විමාන වත්ථු කථා අංක 09 :
දීප විමාන වස්තුව
“දීප” යන්නෙහි ප්‍රදීපය, පහන, බැබළීම ,දීප්තිය වැනි අර්ථ දේ තව්තිසා දෙව්ලොව කළ
සංචාරයක දී අතිශයින් බබළන විමානයක එක්තරා දෙව් දුවක් පහළව සිටිනු දුටු මුගලන්
මහරහතන් වහන්සේ විමානයේ තිබූ විශේෂත්වය දැක දේවතාවියගෙන් මෙසේ විචාළ සේක.
දෙව්දුව, ඔබ මනා රූ සිරින් සියලු දිගින් බබුළුවමින් ඕෂධී (රාත්‍රී අහසේ දීප්තිමත්
දැකිය හැකි) තරුව සේ සිටින්නී ය
කවර හේතුවකින් ඔබට මේ සිරුර පැහැය ලැබුණේ ද? කවර පිනකින් මේ මනවඩන සම්පත් සමෘද්ධ වේ
ද?
පින්වත් දෙව් දුව, ඔබ කළ කවර පිනෙකින් සියලු දිසාවන් බබුළුවමින් හා සියලු දෙවියන්
ඉක්මවමින් මෙසේ බබුළුවන්නෙහි වේ ද?
මහත් අනුභාව ඇති දෙව් දුව, ඔබ මිනිස් දුවක්ව සිට කවර පිනක් කොට මේ පුණ්‍ය සම්පත්
ලැබුවේ වේ ද?
මුගලන් තෙරුන් වහන්සේ විසින් විචාරණ ලදුව සතුටු සිත් ඇති දෙව් දුව මෙසේ ප්‍රකාශ කළා
ය.
පෙර මිනිස් දුවක් ව සිටි මම පහන් දැල්වීමට සුදුසු ගණ අඳුරෙහි පහනක් පූජා කළෙමි. ඒ
පිනෙන් මනවඩන සම්පත් මට පහළ වෙයි. ඒ සම්පත් සමෘද්ධි ද වෙයි.
මහත් අනුභාව ඇති ස්වාමීනි, ඒ පින ඔබ වහන්සේට මෙසේ කියමි. අන් සියලු දෙවියන් ඉක්මවා
මම බබළමි. මෙසේ දිලිසෙන පුණ්‍ය ඍද්ධි ඇත්තී වෙමි’යි දෙව්දුව කීවා ය.
මෙම දෙව් දුව මිනිස් ලොව වාසය කරද්දී කළ පින පිළිබඳ අටුවාවේ එන කථාව මෙසේ ය.
භාග්‍යවත් තථාගත බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වැඩ වාසය කරන එක් අවස්ථාවක උපාසක
උපාසිකා බොහෝ පිරිසක් පොහෝ දින පෙරවරුවෙහි උපෝසථ සීලය සමාදන් වූහ. විකාලයෙන් තොරව
ආහාර ගෙන, සම්පත් ඇති පරිද්දෙන් දන් දී , සුදුවතින් සැරැසී, සුදු උතුරු සළු පැළැඳ,
සුවඳ මල් අතින් ගෙන, පස්වරුවෙහි විහාරයට පැමිණියෝ ය. මෙසේ පැමිණි ඔවුන් භික්ෂූන්
වහන්සේලා අසුරු කොට විහාර ගෙයි තැන්පත් ව ධර්ම ශ්‍රවණය කරන්නට වූයේ කල්යත් ම හිරු
බැස යාමෙන් අන්ධකාරය පැතිර ගියේ ය .
මෙහිදී නම් ගොත් ආදියෙන් ප්‍රසිද්ධියක් නැති එක්තරා උපාසිකාවක් දැන් ධර්ම ශාලාව
පහන් දල්වා ආලෝකමත් කිරීමට සුදුසු කාලය යැයි සිතා පහන් දැල්වීමට අවශ්‍ය ද්‍රව්‍ය ම
නිවසින් ගෙන්වා ගෙන පහන් දල්වා ධර්මාසනය ඉදිරියෙන් තබා නැවැත බණ ඇසීම කළා ය.
එසේ ධර්ම ශ්‍රවණය කරන එම උපාසිකා තොමෝ ඒ ආලෝක දානයෙන් බලවත් පී‍්‍රති සොම්නස් උපදවා
ගත්තාය.
ඇය පසුකලෙක කලුරිය කොට තව්තිසා දෙව්ලොව සිතූ පැතූ දේ ලබන, අන් දෙවිවරුන් අභිබවා දස
දිසාවන් බබුළුවන විමානයක උපන්නා ය.
ඉක්බිකි එක් දිනක් මහ මුගලන් මහ රහතන් වහන්සේ දිව්‍ය ලෝක චාරිකාවන්හි යෙදන්නාහු සඳ
හිරු රැස් මෙන් දසා දිසා බබළවමින් දහසක් අප්සරාවන් පිරිවර කොට සිටි ඒ දෙව්දුව දැක
මුලින් සඳහන් තේරුම් දී ඇති ගාථාවලින් ප්‍රශ්න කළ සේක.
ඉහත දක්වා ඇති පරිදිම, මෙම දේවාතාවිය විසින් පිළිතුර දුන් කල්හි චතුස්සත්‍යය අළලා
කළ ධර්ම දේශනාව අසා ඕ තොමෝ සෝවාන් ඵලයට පත් වූවා ය. දෙව්ලොව චාරිකාවෙන් ආපසු පැමිණි
මුගලන් මහරහතන් වහන්සේ මෙම විස්තර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට සැළකළ කල්හි
අර්ථෝපත්ති කොට බුදුරජාණන් වහන්සේ විසින් මහජනයාට ( සුදුසු තන්හි මෙම පින්කම
පිළිබඳ) දේශනා කළ සේක. මෙවන් ධර්මය ඇසු ජනයා පහන් පුජාවක් කිරීමේ දී මනාව සකස්කොට
කටයුතු කරන්නන් බවට පත් වූහ. (විමාන වත්ථු අට්ඨකථා පිටුව 40)
පින්වත් ඔබ – තම ජීවිත කාලය තුළ නිතර නිතර සිහිකළ හැකි සිත පහදවා ගෙන කළ එක
පින්කමක් හෝ කරගත යුතු ය. එහි වැදගත්කම වූයේ මෙවන් ආනිසංස විය හැක. උතුම්
බුද්ධධර්මය අවබෝධ කරගන්නා තෙක් (සෝවාන් ඵලයට හෝ පත්ව නිවන දකින තුරු) සතර අපායෙන්
මිදී දෙව් මිනිසුන් අතර ම නැවැත නැවැත ඉපදීම ධර්මයට එකඟ වූවකි. මෙයින් නැවැත නැවැත
සුගති උප්පත්ති ලැබෙන පරිදි පින්ම කළ යුතු බව නොකියැ වේ.
බුදුදහමේ මුඛ්‍ය පරමාර්ථය වූයේ ද? බුද්ධෝත්තමයකු ඉතා කලාතුරකින් ලොව පහළවන්නේ ද
අෂ්ට දුෂ්ටක්ෂණයෙන් මිදී මේ ලැබූ මනුෂ්‍ය ආත්මය නැවැත සසර දී කවදා ලැබේදැයි සිතාගත
නො හැකි හෙයින් මේ ජීවිතයේ දී ම අවම වශයෙන් සෝවාන් ඵලයට පත්වන්නකු හෝ විය යුතු බව
කියා දීමටම ය.
එහෙත් ප්‍රතිසන්ධි සිතේ ඇතිවූ කම්ම දායාදය මත එවැන්නක් කරගත නො හැකි වුවහොත් ඉහත
දැක්වූ සුගතිගාමී උත්පත්තීන් ද විකල්ප වශයෙන් දැන වදාළ තැන් ත්‍රිපිටකයේ බොහෝ ඇත.
පින් සිත් ( දස පුණ්‍ය ක්‍රියා සිත්) නැති කවරෙකුට වුව ද කුසල් සිත් (දස කුසල්
ලෙසින්) පහළ කරවා ගැනීම කළ නො හැකි බව බොහෝ දෙනා නොදන්නා කරුණකි.
පින් කිරීම යනු මනුෂ්‍යාත්ම භාවය ලැබූවකු මනුෂ්‍යයකු ලෙස (සම්මා ආජීවයෙන්) ජීවත්වීම
යි. යමෙකු දීමට දිගු කළ දෑත් නැත්තේ ද (දාන) කය වචනය සංවර නැත්තේ ද (ශීල) සිත සංවර
නැත්තේ ද (භාවනා) බණ නො අසයි ද ආදි වශයෙන් වූ දස පුණ්‍ය ක්‍රියා නොකරන්නේ ද ඔවුහු
මනුෂ්‍යකමට නොහොබී. බුදු දහමේ උත්තරීතර මනුෂ්‍ය ධර්ම ලෙස සඳහන් වනුයේ මාර්ග ඵල අට
හා නිවන ය.
තව ද පිනෙන් ලැබෙන ආනිසංස පුණ්‍යඍද්ධි වශයෙන් ද විමාන වස්තු කථාවන්හි සඳහන් වේ.
මෙහි සරල තේරුම ලෙස ගත හැක්කේ යමෙක් පින් කිරීම නිසා ලබන ආනිසංසයක් වේ ද ඒවා පුදුම
කරවන සුළු බව ය.
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ
(බුද්ධ ශාසන අමාත්‍යාංශය)
ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලයේ ලේකම්
කේ.කේ. සුගතපාල |