බිනර අමාවක 2017.09.19
මනස හැදීමේ කලාව
මේ සාහිත්‍ය මාසයයි. මග හැරෙන මානව වටිනාකම් නැවත හදවතට සමීප කරගන්නට, ආනන්දයෙන්
ප්‍රඥාව, සොයා යන්නට නැවත ආරම්භයක් දීමට සුදුසුම කාලය යි. එසේ කියන්නේ, සාහිත පොත
පත කියවීමට ඇති උනන්දුව, ආශාව අන් කවරදාටත් වඩා අපේ ළමා පරපුර වෙතින්, වැඩිහිටි
සමාජයෙන් වේගයෙන් දුරස්වන සෙයක් පෙනෙන්නට ඇති නිසා ය. ආගමික සාහිත්‍ය කියවීම් ඇතුළු
ව කවිය, කෙටි කතාව, නිසදැස, නවකතාව අපේ සමාජයේ සීමිත පිරිසකට පමණක් සීමා වී ඇති බව
පෙනෙන නිසා ය. අපේ දරුවන් අසංවේදීයි. ආවේගශීලීයි. ඔවුන්ට කිසිදු හැඟීමක් නොවෙයි.
දුකක්, අනුකම්පාවක් නොදැනෙයි. ප්‍රශ්නයක් විසඳාගන්නට නොදැනෙයි. කවිපදයක් ලියන්නට,
නිර්මාණාත්මක රචනයකට නොනැමෙන සිත්වෙයි, ආදී අනේක චෝදනා, නැඟෙන්නේ එවැනි පසු බිමක ය.
වෙසෙසින් වැඩිහිටි සමාජය එලෙස කම්පා වුවද එහි වගඋත්තර කරුවෝ ද ඔවුන් ම වෙති.
‘කියවීම මිනිසා සම්පූර්ණ කරයි’ යනු ජනපි‍්‍රය කියමනකි. ඒ දැනුම සේ ම ජීවිතාවබෝධය ද
පොත පතින් ලැබෙන නිසා ය. අතීතයේ අපේ විස්තෘත පවුලෙහි සාමාජිකයන් අධ්‍යාත්මිකව පෝෂණය
වූයේ ආගම දහම පදනම් වූ නිර්මාණාත්මක සාහිත්‍යයෙනි. දරු මුනුබුරන් මැදි කරගත් ආච්චි,
සීයාගේ මුවින් ගිලිහුණු ජනකතා, බණ කතා, කවි ගී ගායනා, උපහැරණ කතා මඟින් ජීවිතයේ
යථාව ගැන ඔවුන්ට දුන් දැනුම ජීවිතය මනාව හසුරුවා ගන්නට, ගුණ දහමින් පොහොසත් වන්නට
අපූර්ව මාර්ගෝපදේශයක් විය. අද ඒ විස්තෘත පවුල ගිලිහී ගිය ද, සාහිත්‍ය ශ්‍රවණයට ඉඩ
සීමිත වුව ද කියවා රස වින්දනයට මා හැඟි සාහිත්‍ය පොත පත අසීමිත ව ඇත. අවශ්‍ය වන්නේ
දරුවන් කියවීමට යොමු කරවීම ය.
හොඳ සාහිත්‍ය කෘතියක් නම් මිනිසා හදන්නට, මිනිසා විසින් ම නිර්මාණය කර ගන්නා ලද
මාධ්‍යයකි. ප්‍රශ්නයට මුහුණ දෙන්නට පෙර ඒ සඳහා මානසිකව සූදානම් කිරීමේ අපුර්ව
කලාවක් එහි වේ. බුදු දහමින් පෝෂිත වූ එවැනි සාහිත්‍යයක් අපට තිබේ. ජාතක කතා
පොත්වහන්සේ, ලෝවැඩ සඟරාව, ලෝකෝපකාරය, ගුත්තිල කව, සුභාෂිතය, බුත්සරණ, අමාවතුර ආදී
තවත් බොහෝ කෘති හැරුණු කොට සැලලිහිණි, ගිරා ඈ සඳෙස් කව, ටිබෙට් ජාතික එස් මහින්ද
හිමි, මහගමසේකර, කුමාරතුංග මුනිදාස, මාර්ටින් වික්‍රමසිංහ, ආදී බොහෝ වියත්
කතුවරුන්ගේ ශ්‍රේෂ්ඨ සාහිත්‍ය නිර්මාණ අපමණ වේ. හෙළයේ මහා ගත්කරු මාර්ටින්
වික්‍රමසිංහ මහතා වරක් සඳහන් කළේ වසර ගණනාවක් ජීවත් වීමෙන් වුව ලද නොහැකි ජීවන
අත්දැකීම් ජාතක කතාවන් හි අන්තර්ගත වන බව ය. විවිධ ජීවන සංසිද්ධීන්, ජීවිතයේ
යථාර්ථය, ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන සැටි, විවිධ මිනිස් චෛතසිකයන් ක්‍රියාත්මක වන
සැටි, එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් මිනිස් හැසිරීම් ආදී බොහෝ ජීවන වටිනාකම් ඒවායෙහි
ගැබ් වේ. මේ නිර්මාණ කතා කරන්නේ අපගේ හදවතට ය. එහි ජීවත් වන්නේ ද අප ම ය.
සාහිත්‍යයට සමීප නොවී පාඩමට, විභාගයට පමණක් මුල් තැන දීම තුළ සිදු වන්නේ අධි
වේගයෙන් අනෙකා පසුපස හඹා යාම ය. උගත්කම විනා හදවත පෝෂණය නොවන එවැනි පසුබිමක ජීවන
ගැටලුවක් හොඳම විදිහට විසඳාගන්නට, අනුන්ගේ දුක හඳුනාගන්නට, මෛත්‍රියට, දයානුකම්පාවට
ඉඩක් නැත. පවට බය වෙන්නට, පිනට බර වෙන්නට ඉඩක් නැත. අද අපේ ළමයින් ලබන සුළු විවේකය
වුව ළමා මනසට අගෝචර කාටුන්, පරිගණක හා ජංගම දුරකථන මඟින් කරන ක්‍රීඩා ආදියට යොමු වන
අයුරු බස්රියක දුම්රියක වුව සුලබ දසුන් ය. ඉන්ද්‍රජාලිකව සියල්ල සිදුවන, මළ
මිනිසුන් පවා නැඟිටින ඇතැම් කාටුන් නිර්මාණ තුළ සිරගත වන දරුවාගෙන් අපේක්ෂා කළ හැකි
චරිත සංවර්ධනය කුමක් නම් විය හැකි ද?
අද අපේ සමහර දරුවන් ජීවිතයේ ප්‍රශ්නයකට, ගැටලුවකට මුහුණ දෙන්නට හරි ක්‍රමය දන්නේ
නැත. විභාගයක් අසමත් වුවහොත් දිවි නසා ගන්නවා හැර වෙනත් විකල්ප නැත. ගුරුවරයෙක් දෙන
දඬුවමක් නිහතමානීව පිළිගන්නට දන්නේ ද නැත. එදා ගුරුගෙදරට පමා වූ වරදට ගුරුවරුන්ගෙන්
අත්ල පුරවා ලැබුණේ වේවැල්, කෝටු, නාරං, සියඹලා අතු, කිතුල් නොවේ නම්, පොල් ඉරටු,
කසඹිලියා ඉපල් පහර ය. ළමයා වරද හදා ගත්තේ ගුරුවරයාට ප්‍රති පහර දී පළි ගැනීමෙන් නොව
නැවත පමා නොවී අකුරට එන්නට තමන්ටම ප්‍රතිඥා දීමෙන් ය. හොඳ සාහිත්‍ය කෘතීන් නිතර
පරිශීලනයට අපේ ළමා පරපුර යොමු නො කළේ නම් රටට ආදරය කරන, ගහ කොළට, සතා සීපාවුනට ආදරය
කරන, රට, ජාතිය, ආගම, සංස්කෘතිය තමන්ගේකම, අපේ කම නොහඳුන පරපුරක අවසානය ද දුර නොවනු
ඇත.
|