UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගැටබරු ඇසළ මහා පෙරහර මංගල්‍යය

ගැටබරු ඇසළ මහා පෙරහර මංගල්‍යය

පුරා විද්‍යාත්මක හා ආගමික අතින් සුවිශේෂී වැදගත්කමකින් යුත් මොරවක්කෝරළේ අනන්‍යතාව ප්‍රතාපවත් ලෙස සංකේතවත් කරන මහානුභාව සම්පන්න ගැටබරු රජමහා විහාරයට සහ බටහිර රජ්ජුරු බණ්ඩාර දෙවිඳුන්ගේ දේවාලයට රුහුණේ ඓතිහාසික සිද්ධස්ථාන අතුරින් අද්විතීය ස්ථානයක් හිමි වේ.

මේ පින් බිමෙහි පහළ වූ ශ්‍රේෂ්ඨ නරපතියකු වූ වළගම්බා රජු සමයේ මෙම සිද්ධස්ථානය කර වූ බව ඉපැරණි වංශ කතාවල සඳහන් වේ. ගැටබරු බටහිර රජ්ජුරු බණ්ඩාර දෙවිඳුන් ශුද්ධ වස්තුවක් ලෙස වන්දනාමානයට පාත්‍ර වෙද්දී මහානුභාව සම්පන්න ගැටබරු රජමහා විහාරය මොරවක් කෝරළයේ අසහාය ධර්ම මන්දිරය බවට පත් විය. තව ද රජ්ජුරු බණ්ඩාර දෙවිඳුන් හා බැඳුණු විශ්වාස පද්ධතියක් අප හද තුළට පිවිසීමෙන් අපේකම එම විශ්වාස පද්ධතියේ කොටසක් වී ඇත.

1834 දී මෙම සිද්ධස්ථානය සොයා ගැනීමෙන් අනතුරුව 1835 දී රජමහා විහාරය සමාරම්භය සිදුවුණි. එතැන් සිට විහාරාධිපති පරම්පරා හතක කාලයක් තුළ ක්‍රමිකව ගැටබරු පුදබිම වර්තමාන තත්ත්වයට එළැඹීමේ දී වසර එකසිය අසූවක දිගු ගමනක් පසු කර ඇත. මීට අඩසිය වසකට පමණ පෙර 1950 දශකයේ දී එවකට විහාරාධිපතිව වැඩ විසූ අපවත්වී වදාළ රොටුඹ සිරි රතනපාල මහා ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් සහ දිවංගත වරල්ලේ සාමවිනිසුරු එම්.ඩී. යාපා මහතාගේ මූලිකත්වයෙන් ප්‍රදේශවාසීන්ගේ දායකත්වයෙන් මෙම සිද්ධස්ථානය ප්‍රතිසංවර්ධන කටයුතු ඇරඹිණි. නිදහසින් පසුව ඇතිවුණු බෞද්ධ ප්‍රබෝධයත් සමඟ මොරවක්කෝරළයේ ආගමික සහ සංස්කෘතික අංශයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් වාර්ෂිකව ඇසළ උත්සවය ආරම්භ වූ අතර, ඉන් පසු දශක ගණනාවක් ඉක්ම ගොස් සහශ්‍රකයට එළඹ විසි එක්වැනි සියවසට පා තබා ඇති මොහොතේ ගැටබරු ඇසළ උත්සවය මනා විනිවිද භාවයකින් හා සංවිධිතභාවයකින් ඉදිරිපත් කිරීමේ හැකියාව ඇසළ උත්සව සංවිධාන කමිටුවට ලැබී ඇත.

බෙරළපනාතර චන්දවිමල නා හිමි

ආචාර්ය කිරින්දේ ආනන්ද හිමි

එමෙන් ම මෙතෙක් පැමිණී පෙරහර මංගල්‍යය ඉතිහාසයේ දී සිද්ධස්ථාන සංවර්ධන ක්‍රියාදාමයේ දී මූලික වූ දේශපාලන රාජ්‍ය හා පොදු ජන සමාජීය නායක කාරකාදීන් ප්‍රධාන දායක පිරිස මෙම අවස්ථාවේ දී පුණ්‍යානුමෝදිතව සිහිපත් කරමු.

ගැටබරු ඇසළ මහා පෙරහර මංගල්‍යයේ ප්‍රධානතම අංගය වන්නේ බටහිර රජ්ජුරු බණ්ඩාර දෙවිඳුන්ට පූජෝපහාර පිණිස පවත්වනු ලබන ඇසළ මහා පෙරහර මංගල්‍ය උත්කර්ෂවත් සහ අත්‍යාලංකාර ලෙස දෙදිනක් තිස්සේ වීදි සංචාරය කරන රන්දෝලි මහ පෙරහරයි. එය පෙරහර සම්ප්‍රදායට යමින් මොරවක් කෝරළේ සංස්කෘතික අනන්‍යතාවය සුරකිමින් වඩාත් තේජාන්විතව සහ ගෞරවාන්විතව ප්‍රෞඪත්වයෙන් යුතු ව මෙවරත් වීදි සංචාරය කරයි. ආරම්භයේ දින දෙකකට පමණක් සීමා වූ ඇසළ මහා පෙරහර මංගල්‍යය වර්තමානය වන විට දින හතක් පුරාවට පැවැත් වේ. මනා සංවිධාන ශක්තියකින් යුක්තව ගැටබරු ඇසළ මහා පෙරහර මංගල්‍ය සියලු ජාතීන්ගේ එකමුතු බව ප්‍රතිමූර්තිමත් කරන සංකේතයක් බඳු ය.

ගැටබරු රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පණ්ඩිත බෙරලපනාතර චන්දවිමල නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් රජමහා විහාර කෘත්‍යාධිකාරී උත්සව කමිටුවේ ප්‍රධාන ලේකම් උඩමළුවේ තේවාව භාර ආචාර්ය කිරින්දේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොටපොල ප්‍රාදේශීය ලේකම්තුමාගේ සහභාගීත්වයෙන් සැදුම්ලත් මෙවර ගැටබරු ඇසළ උත්සව සංවිධාන කමිටුව ප්‍රදේශයේ රාජ්‍ය ආයතන ස්වේච්ඡා සංවිධාන සමූපකාර ආයතන පෞද්ගලික ආයතන මෙන් ම ප්‍රදේශයේ තරුණ නායකත්වය ද දායක කාරකාදීන් රැසක් ද ඇතුළත්ව සිටී.

සැප්තැම්බර් 1 වන දා සර්ව රාත්‍රික පිරිත් දේශනාවද 2, 3, 4 දිනවලදී හිඟුරුපනාගල, වරල්ල, කොස්මෝදර ප්‍රාදේශීය පේළි පෙරහරද 5 වන දා රන්දෝලි මහා පෙරහරද පැවැත්වේ.

ගැටබරු ඇසළ මහා පෙරහරේ විශේෂත්වය වන්නේ ලංකාවේ වෙනත් වාර්ෂික පෙරහරවලට වඩා සුවිශේෂ බවක් හා එයටම ආවේණික අනන්‍යතාවකින් යුක්ත වීමය. මෙය රත්නත්‍රයට මුල් තැන දෙමින් බෞද්ධ දේවතාවකු වූ රජ්ජුරු බණ්ඩාර දෙවියන් වෙනුවෙන් පැවැත්වෙන දේව පෙරහරයි. සියලුම චාරිත්‍ර විධිවලදී රත්නත්‍රයට මුල් තැනක් දෙමින් සෑම දිනක ම පෙරහර ආරම්භ වන්නේ සෙත් පිරිත් දේශනයකින් පසුව ය.

හිටපු රාජ්‍ය නායකත්වයන්ගෙන් මෙන් ම වර්තමාන අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍යතුමාගේ විශේෂ අනුග්‍රහයෙන් නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමාගේ පූර්ණ මැදිහත්වීමෙන් පහළ මලුව හා උඩමලුව තුළ පැවැති ප්‍රධාන ගොඩනැගිලි අවශ්‍යතාවයන් කිහිපයක් ආරම්භ කිරීමට හැකිවීම පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරමි. එමෙන් ම සිද්ධස්ථාන සංවර්ධනයේ සහ පෙරහර මංගල්‍යයේ අනේක විධ කාර්යයන් වෙනුවෙන් නන් අයුරින් දායක වන දායක කාරකාදීන් සහ උත්සව සංවිධානය ප්‍රධාන සියලු පාර්ශ්වයන් පුණ්‍යානුමෝදනා පූර්වක ව මෙහි දී සිහිපත් කරමු.

පෙරහර මංගල්‍ය කරවීම තුළින් ජනතාව තුළ බුද්ධාලම්භන පී‍්‍රතිය උද්දීපනය වී ඔවුන්ට අවශ්‍ය දැහැමි දිවි පෙවෙතක් කලට වැසි ලැබී සකල ශ්‍රී ලංකාවාසී ජනතාවට සාමය, සහජීවනය, සෞභාග්‍යය, සමෘද්ධිය, ගැටබරු රජ්ජුරු බණ්ඩාර දෙවිඳුන් ගේ පිහිටෙන් හා දේව ආශිර්වාදය ලැබේවා!

 

බිනර පුර පසළොස්වක පෝය


බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 05 වන දා අඟහරුවාදා අපරභාග 12.41 ට පෝය ලබයි.
6 වන දා බදාදා අපර භාග 12.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 05 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 13 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 05

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 13

Full Moonඅමාවක

සැප්තැම්බර් 19

First Quarterපුර අටවක

සැප්තැම්බර් 28


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]