බිනර පුර පසළොස්වක 2017.09.05
ගුණ දහමෙන් පෝෂණය වෙමු
ජීවිත කාලය පුරා ම අපට පැවරුණු යුතුකම් හා වගකීම් කොටසක් තිබේ. පුද්ගලික ව තමන්ට ද,
මව්පිය දූ දරුවන්ට ද, පොදුවේ සමාජයට ද වශයෙනි. මව්පිය දූ දරු, ගුරු ශිෂ්‍ය, ස්වාමි
භාර්යා, මිතුරු පාර්ශ්ව, ස්වාමි සේවක, දායක සහ පැවිදි උතුමන් ආදී ලෙස සමාජ
සාමාජිකයන් කණ්ඩායම්වලට වෙන් කරමින් ඔවුනොවුන් වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකම්
සමූහයක් බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේ දී පෙන්වා දුන්හ. පුද්ගල දියුණුවට සේ
ම සමාජයේ යහපැවැත්මට, සංහිඳියාවට හේතුවන මේ යුතුකම්, වගකීම් කවර මොහොතක, කවර
හේතුවක් නිසා හෝ මඟ හරිනවා නම් එතැන දී ඇතිවන හිඩැස මහා ගැටලුවකට මුල විය හැකි ය.
සමාජයේ කුඩා ම ඒකකය වන්නේ ද, ඉහළ වැදගත්කමක් හිමිකර ගන්නේ ද මව්පිය මුලිකත්වයෙන්
ගොඩනැඟෙන පවුල ය. එය සරසන්නේ ද, සනසවන්නේ ද දරුවන් ය. මෙලොව එළිය දකින දරුවා ජීවිතය
දකින්නේ ඇසෙන පෙනෙන දෙයිනි. ක්‍රියාත්මක වන්නේ ආදර්ශයෙන් හා අනුකරණයෙන් ය. යම්
හෙයකින් දරුවන්ගේ පූර්වාචාර්යවරුන් වන මවුපියන් යහපත් ආදර්ශයක් නොදුන්නේ නම් ඔවුන්
නිසිලෙස වගකීම් ඉටු නො කළේ නම් දරුවන් කෙරෙන් ප්‍රකට වන්නේ සැනසීම නොව වැනසීම ය.
සතුට නොව අසතුට ය. පසුගිය දින කිහිපයේ එවැනි සිදුවීම් රැසක් අසන්නටත් දකින්නටත්
ලැබුණි.
උතුරු ප්‍රදේශයේ පාසල් දරුවන් සය දෙනකු දියේ ගිලී අකල් මරණයට පත්වීම ,අ.පො.ස. උසස්
පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රයක් සම්බන්ධව වංචාවකට හසු වූ සැකකාර ටියුෂන් ගුරුවරයකු
පිළිබඳ පුවත, රාග ගින්නෙන් දැවුණු පාපතර පුද්ගලයන් නිසා නිවෙසේ තනි වූ දූවරු
දෙදෙනෙකුට සිදු වූ අභාග්‍ය සම්පන්න සිදුවීම් පිළිබඳ තවමත් කතාබහට ලක් වේ.
අපේ සමාජයේ බොහෝ යහපත් දේ සිදුවේ. උතුම් ගුණැති, මනුසත් දම් හඳුනන, ජීවිතාවබෝධය ඇති
මිනිස්සු බොහෝ වෙති. ඒ අතර අකල් කුණාටු සේ මෙවන් සිදුවීම් ද වාර්තා වේ. මෙවැනි දේ
අතීතයේ ද සිදුවුණි, වෙසෙසින් බෞද්ධ සමාජයක අනාගතයේ එවැනි ව්‍යසන වළක්වා ගත යුතු ය.
හොඳ පරිසරයක හැදෙන දරුවා ගුණ යහපත්කම් හඳුනයි. කළ යුතු නොකළ යුතු දේ හඳුනයි. තමන්ට
අනර්ථ, අනුන්ට ද අනර්ථ දේ නොකරයි. එලෙස සිත, කය වචනය හසුරුවයි. දරුවන් වැරැදි කරනවා
නම් ඒ වරදේ වගකීම මවුපියන්ට ය. පොත පතේ දැනුම පමණක් දී වගකීම් ඉටු කළා යැයි නිදහස්
විය නො හැකි ය. ඇසුරු කරන අය, යන එන තැන් ගැන විමසිලිමත් වන බව ඔවුන්ට ඇඟවිය යුතු
ය. එමෙන් ම නිරන්තර සොයා බැලීම් කළ යුතු ය .
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ දරුවන් පවින් වළක්වා ගැනීමත්, යහපතෙහි යෙදවීමත්
මවුපියන්ගේ යුතුකම බව ය. දරුවාගේ චරිතය ගොඩනැඟෙන්නේ එහි අඩු වැඩි බව මත ය. කුඩා කල
සිටම පවට ලජ්ජාව, බිය ඇති කළේ නම් ඔවුන් අනාගතයේ ද වරදට බිය වෙති. මවුපියන්
නොරවටති. එවිට මිතුරන් සමඟ හිතුමතේ විනෝ ද වන්නට ගොස් දියේ ගිලී මිය යාම වැනි
අවාසනාවන්ත දේ සිදු වන්නේ නැත. වංචා කරමින් තමන්ගේ කුස ගැන පමණක් සිතන්නේ නැත. රාග
ගින්නෙන් දැවී අහිංසක ජීවිත බිලිගන්නට පෙළඹෙන්නේ නැත.
අතීතයේ මෙන් නොව දැන් සමාජ සබඳතා දුරස් ය. අසල්වැසියන්, ගමේ මිනිසුන් අතර තබා සමහර
පවුල්වල අම්මා, තාත්තා දූ දරුවන් අතර බැඳීම් ද දුරස් ය. එවැනි හිඩැසක් ඇති තැනක
වැරැදි වීමට ඇති ඉඩ වැඩි ය.
එකල බොහෝ දරුවන් පාසල් ගියේ සැතපුම් තුන හතර ගෙවාගෙන පා ගමිනිනි. ඇතැම්විට තනි මඟ
ය. ඒ යන අතර මග දෙපස නිවැසියන්ගෙන් මහපාරේ යන එන්නන්ගෙන් කිසි කලෙකත් ඔවුන්ට
අහිතක්, නපුරක් වූයේ නැත. ආමන්ත්‍රණයෙන් ඔවුහු මාමාලා, නැන්දලා ය. කිරි අම්මලා කිරි
අත්තලා ය. එක්කෝ අයියලා අක්කලා ය. දැන් ඒ බැඳීම් අඩු ය. එවැනි පරිසරය අනාරක්ෂාකාරි
ය. විපතක දී කරදරයක දී පිහිටට එන අය අඩු ය.
ඇතැම් දරුවෝ ගෙදර ද හුදකලාවේ ය. ජංගම දුරකථනයට, රූප පෙට්ටියට යොමා ගත් නෙත සිත මිස
අවට වන දේ දන්නේ නැත. ඒද අනාරක්ෂාකාරි ය.
මේ අන් කවරදාටත් වඩා ඒ ගැන සිතිය යුතු කාලයකි. මඟ හැරෙන අපේ වටිනාකම්, බැඳීම් යළි
ගොඩනඟා ගත යුතුව තිබේ. සමාජය ගැන සේ ම ජීවිතය ගැන දරුවන්ට අවබෝධය දිය යුතු සේ ම ගුණ
යහපත් කම් හුරු කරවන්නට වැඩි අවධානයක් යොමු කළ යුතුව තිිබේ. එවිට අනාගතය ගැන බිය
විය යුතු නැත. එවැනි පරිසරයක් නිර්මාණය කිරීමේ වැඩි වගකීම මවුපියන්ට ම ය.
|