සතර බ්‍රහ්ම විහරණ තුළින් හෙළිවන සහජීවනය
කොලොන්නාව පුරාණ විහාරවාසී
කොළඹ මහානාම විද්‍යාලයේ
ආචාර්ය
සියඹලාගොඩ ධම්මින්ද හිමි
උතුම් පැවැත්ම හෙවත් සතර බ්‍රහ්ම විහරණ සියලු සත්වයන්ට මහත් ආශිර්වාදයක් ගෙනදීමට
සමත් බෞද්ධ ඉගැන්වීමකි. මහා බ්‍රහ්මයා තුළ ඇති ගුණයන් ලෙස සතර බ්‍රහ්ම විහරණ සතර
හැඳින්වේ. එසේ ම බුදුරදුන් තුළ මෙන් ම මවුපියන් තුළද දරුවන් පිළිබඳ මෙම ගුණ ඇති බව
දේශනාවේ සඳහන් වේ. සමාජයක්, පවුලක්, රටක් ලෙස යහපත් ජීවන තත්ත්වයක් ගොඩනඟා ගැනීම
උදෙසා සාමයෙන් සමගියෙන් අන්‍යොන්‍ය වුවමනාවන් හැඳින ගෙන ජීවත්වීම සඳහා සතර බ්‍රහ්ම
විහරණ ගුණ මහත් පිටුවහලකි. සමගියෙන් එකිනෙකාගේ දියුණුව ඉවසමින් ආශිර්වාදාත්මක
දිවියක් ගත කිරීමට මෙමගින් ලබාදෙන දායකත්වය සුළුපටු නොවේ.
මිනිසුන් ලෙස සහජීවනය ඇතිකර ගැනීම සඳහා ආගම් භේදයකින් තොරව අනුගමනය කළ හැකි වීම
මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා (උපේක්ෂාව යන) ගුණයන්ගේ සුවිශේෂී බවද වේ.
බුදුදහමේ සමස්ත ඉගැන්වීම පදනම් වන්නේ මෛත්‍රිය මතය. ලොව අවිහිංසාව පදනම් කරගත් ආගම්
අතර බුදුදහමට හිමිවනුයේ ප්‍රමුඛතම ස්ථානයකි. සියලු සත්වයෝ සුවපත්වීම මෙන්ම සැප
කැමැත්තෝ වීම බුදුදහමේ අරමුණයි. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ සිදුකරන සැම
කාර්යයකදී ම තමා උපමාකර ගෙන (අත්තූපනායික ධර්ම පර්යාය) කටයතු කරන ලෙසයි. පටුසීමාවන්
මත ඔවුනොවුන් කෙරෙහි ප්‍රචණ්ඩත්වය මුදා හැරීම බුදුදහමින් ප්‍රතික්ෂේපිත ය.
බුදුරදුන් නිරන්තරව දේශනා කළේ අනෙකකු තමන්ට කරනවාට අකැමැති දෙයක් තමන් විසින්
අනෙකාට සිදු නොකළ යුතු බවයි. මිනිසාට පමණක් නොව සතා සිව්පාවාටද මේ තත්ත්වය පොදු ය.
කෙනෙකු නසා තව කෙනෙකුට සෞභාග්‍ය ළඟා කරගැනීම සිතීම පවා අඥාන සිතුවිල්ලකි. සතෙකුට
වුව ද තම නිවෙස් වාසස්ථානය අහිමිකිරීම නොකළ යුත්තකි. එවැනි පසුබිමක හක්බෙල්ලෙකුගේ
කටුවට දුම් අල්ලීම, සුවඳ දියරෙන් නෑවීම සෞභාග්‍ය ඇතිකිරීමට සමත් ක්‍රියාවන්
නොවේ.අලි කෙඳි ,ඇත් දළ, ගෝන අං වැනි දෑ අපල ගෙවීමට නොව වැඩිකිරීමට සමත් පාප
ක්‍රියාවන් ය. මෙය පැළදීම පවා මෛත්‍රියෙන් ඉවත්වීමකි.
මෛත්‍රිය කරනවා යනු මෛත්‍රි භාවනාව සිදුකිරීම නොවේ. සාමාන්‍ය ජීවිතයේ දී ගහකොළට
සතාසිව්පාවාට, මිනිසාට ආදරය, හිතවත්කම ලෙන්ගතු කම් දක්වා ආරක්ෂා කිරීමයි. තමන්ගේ
පැවැත්ම වෙනුවෙන් සාහසික ක්‍රියා නොකිරීම යි. එසේ ම අනෙකා හැර, අහවල් කුලයේ කෙනා
හැර ආදි වශයෙන් මෙත් වැඩිය නොහැකි ය. සියල්ල අනිත්‍ය ලෝකයක එක් දෙයක් පමණක් නිත්‍ය
නොවේ. එහෙයින් පටු කරණු පදනම් කරගනිමින් ජනජීවිතය ආකූල කිරීම ප්‍රඥාගෝචර නොවේ. එසේ
ම එක් පිරිසකගේ මෛත්‍රිය, දුර්වලකමක් ,බෙලහීන කමක්, නොහැකියාවක්, අමනෝඥ බවක් ලෙස
නොසැලකීමට සියල්ලෝ වගබලා ගත යුතුවේ. එසේම අනෙකාගෙන් ලැබෙන මිත්‍රත්වය අනවශ්‍ය ලෙස
මූලධර්මවාදීව යොදා නොගැනීමට සිතාගත යුතුවේ. එසේ නොමැති වුවහොත් අනවශ්‍ය ගැටුම්
නිර්මාණය විය හැකි අතර අවස්ථාවාදීන් එය දඩමීමා කරගනිමින් තම බඩ වියත රැකගැනීම සඳහා
පාවිච්චි කළ හැකි ය.
දෙමාපියන් තම දරුවන්ට යම් සේ ආදරය සෙනෙහස දක්වන්නේ ද එසේම හැමෝම විෂයෙහි මෙසේ මෙත්
සිත පැතිරිය යුතුවේ. එවිට හැමෝම සහෝදරත්වය තුළ රැඳෙමින් කටයුතු කිරිමට පෙළඹේ. බෙදී
වෙන්වී විනාශවීමට වඩා එක්වී ජයග්‍රහණය ලැබීම සෑම අතින්ම යහපත් වේ. පවුලක් රටක්
ජාතියක් ලෙස එය මහත් ආශිර්වාදයකි.
අනෙකාගේ දුකේ දී සත්පුරුෂ මිනිසුන්ගේ හිත් කම්පාවීම, එය තමන්ට වූ කරදරයක් යැයි සිතා
දුක්වීම කරුණාවයි. බෞද්ධයා යනු සත්පුරුෂ ගුණ ඇති පිරිසකි. එහෙයින් ඔවුන් තුළ කරුණාව
තිබීම අත්‍යවශ්‍ය ය. බුදුරදුන් තරම් මහා කරුණාවෙන් ලෝකයාට පිහිට වූ ශාස්තෘවරයෙකු
නොමැති තරම් ය. උන්වහන්සේ වසර හතළිස් පහක් මුළුල්ලේ අලුයම් දහසය දහස් හාරසිය
විසිපහක් (16425) පිහිටවිය යුතු අය තෝරා උදව් කළහ. එහි දී සැලකිල්ලට ගනු ලැබුවේ
පිහිට ලැබීමේ අවශ්‍යතාවේ අනුපිළිවෙළ මිස,ජාති,ආගම්, කුල භේදයන් නොවේ. විශේෂයෙන්
‘බුද්ධං සරණං ගච්ඡාමි’ ලෙස බුදුන් සරණ යන බෞද්ධයා උන්වහන්සේගේ ගුණයන් තම
ක්‍රියාකාරකම්වලට යොදාගත යුතුවේ
කරුණා ගුණය සමාජය සුවපත් කිරීමට මෙන් ම එකිනෙකාට පිහිටවීම සඳහා යෝග්‍ය වු ගුණයකි.
තම නාසයට උඩින් වතුර යන තුරු බලා නොසිට අද ඔහුට වූ අයහපත හෙට තමන්ටද විය හැකි බව
සිතීම වැදගත් ය. එහෙයින් කෙනෙකුට වරදින විට සිනාසී පව් අනුමෝදන් වීමෙන් ගැලවිය
යුතුවේ. තමන් යම් කාරණයක් නිසා අපහසුතාවයට පත් වන්නේද අනෙකාද එසේම අපහසුතාවන්ට
පත්වීමෙන් දුක් පීඩාවන්වලට පත් වන බව සිතීම වැදගත් ය.
බුදුරදුන් රහුල කුමරුට,අංගුලිමාලට, නාලාගිරි, ධනපාල හස්තීන්ට දැක්වූයේ එකම ආරක
කරුණාවකි. එසේම තම ශ්‍රාවකයන්ට මෙන් ම අනෙක් ශ්‍රාවකයන් උදෙසාද සම සිතින් කටයුතු
කළහ. බ්‍රහ්ම දණ්ඩනය හෙවත් උතුම් දඬුවම පැනවූයේද, කරුණාවෙන් යුක්තව ය.ඇතැම්
ශාස්තෘන්ගේ ඉගැන්වීම් විවේචනය කළේ ද්වේෂයෙන් නොවේ. ඔවුන්ගේ ඉගැන්වීම් බහුතර පිරිසක්
අගාධයට යාම පිළිබඳ උපන් කරුණාව නිසාවෙනි. උන්වහන්සේගේ දඩුවම් ගත් විට එය කායික
හිංසනයක් නොවීය. කායිකව දඬුවම් දීමෙන් දඬුවමක අරමුණ ඉටුනොවන බව දේශනා කළහ. දඩුවම්
ලබාදෙනුයේ පුනරුත්ථාපනය වීම සඳහා ය. කරුණාවෙන් තොරව ලබාදෙනු ලබන මරණ දඬුවම වැනි දෑ
ඉහත අරමුණු ඉටුකිරීමට සමත් නොවේ. කිසිවෙකුට තවත් කෙනෙකුගේ ජීවිත විනාශ කිරීමට,
කායික හිංසන, මානසික හිංසන ඇතිකිරීමට හැකියාවක් නැත. තමන්ට අනුව තමන් උසස් යැයි
සිතෙනා සේම අනෙකා ද එසේ සිතනවා විය හැකි ය. බුද්ධියෙන් පමණක් නොව හදවතින් ද තීන්දු
තීරණ ගැනීම බොහෝ ප්‍රශ්නවලට විසදුම් ය.
නීති රීති, රෙගුලාසි ප්‍රඥප්ති වලින් සිදුනොකළ හැකි සේවාවක් කරුණාවෙන් පිරුණු
මිනිසුන් ගේ යහපත් ක්‍රියාකාරකම් තුළින් ඉටුකර ගත හැකි ය. ජපානයට මුහුණ පෑමට සිදුවු
අවාසනාවන්ත තත්වයෙන් එරට මුදාගැනීමට ලංකාවේ හිටපු ජනාධිපතිවරයෙකුගේ දේශනයක් ඉවහල්
විය. එහිදී ද එතුමා පාවිච්චි කළේ ධම්ම පදයේ සඳහන් “නහිවේරේන වේරාණී” යන ගාථාවයි.
අන්‍ය සැපතේ දී සතුටුවීම මුදිතාව නම් වේ. දෙමව්පියන් විශේෂයෙන් තම දරුවන්ගේ
දියුණුවේ දී සතුටට පත්වේ. සමාජ ජීවිතයේ දී තමන්ගේ කම පමණක් නොසිතා දියුණුව
අභිවෘද්ධිය දැක සතුටුවීමට සියල්ලන්ටම හැකියාව ඇත්නම් බොහෝ ගැටුම් ඊර්ෂ්‍යා සහගත
ක්‍රියාකාරකම්වලින් අත්මිදී සුහදව කටයුතු කළ හැකිවේ. එය රටක්, ජාතියක්, ආගමක් ලෙස
ගත්කළ යහපත් ප්‍රවණතාවයකි.
මැදහත් බව උපේක්ෂාව නම් වේ. විශේෂයෙන් අටලෝ දහමෙන් කම්පා නොවන බව මධ්‍යස්ථව
සිතීමයි. සාමාන්‍ය ජීවිතයේ දී සියල්ල එකසේ නොලැබේ. මෙය දරාගැනීමේ ශක්තිය උපේක්ෂාව
නම් වේ. එකිනෙකාගේ වචන මෙන් ම ක්‍රියාකාරකම් ද ඉවසා ගැනීමේ හැකියාවත් හැමෝටම තිබිය
යුතුවේ. එසේ නොමැති විට ගැටුම් හිත් අමනාපකම් ඇතිවීම මෙන් ම බොහෝ සමාජ ප්‍රශ්න
උද්ගත වේ. ජීවිත ගෙවනවා යනු සැප සහ දුක අවස්ථාවෙන් අවස්ථාව එළඹීමයි.
ජීවත්වීමට නම් මෙය දරාගත හැකි විය යුතු ය. හුදකලාව, එක්ටැම් ගෙවල් තුළ කිසිවෙකුට
ජීවත්විය නොහැකි ය. සමාජයේ බොහෝ ප්‍රශ්නවලට මුල මිනිසුන් සැම දෙයක් පිළිබඳව එක්
කෝණයකින් පමණක් සිතීම නිසා ය. එය ගැටලු ප්‍රශ්න මතු කිරීමට සමත් වේ. ඇතිවන ප්‍රශ්න
මෙන් ම ක්‍රියාකාරකම් තුළ උපේක්ෂා සහගත වන්නේ නම් ගැටුම් ප්‍රශ්න අවම වී සාමය
සහජීවනය ආරක්ෂා වේ.
සිව් බඹ විහරණ පොදුවේ ගත් කළ රටත්, සමාජයත් යහපත් තැනක් කිරීමට මහත්වූ දායකත්වයක්
සපයයි. මේ නිසාම සමාජය ජීවත්වීමට සුදුසු තැනක් බවට පත්වේ. |