නිකිණි අව අටවක 2017.08.15
පාපී සිතිවිලි එපා
වැරැදි කිරීම මිනිස් ස්වභාවය බව සාමාන්‍ය ව්‍යවහාරයේ කියැවේ. නොදන්නාකමට හෝ
නොසැලකිල්ල නිසා හෝ වැරැදි සිදු වුවද දිගින් දිගටම වැරැදි කිරීම බෞද්ධකමට කැප නොවේ.
එක් වරක් කළ වරදක් නැවත නොකරන්නට, වැරැදි අවම වන ලෙස ජීවන හැසිරීම් පවත්වා ගන්නට
උත්සාහ කරනවා නම්, ඒ පුද්ගලයා ජීවත්වන පරිසරය අන්‍යයන්ට ද සුවදායි වේ. බුදුදහම
අනුමත කරන්නේ පොදුවේ සියලු මනුෂ්‍ය වර්ගයාටද,ගහ කොළ, ගංගා ඇළදොල, සතා සිවුපාවුන්
ඇතුළු සමස්ත පරිසරයට ද හිතකාමී වන එවැනි මානුෂීය හැසිරීම් ඇති ගුණගරුක මිනිසුන් ය.
බොහෝ විට වැරැදි සිදුවන්නේ සිතට වහල් වීම නිසා ය. සිතිවිලි ගළපා ගැනීමකින් තොරව,
ක්‍රියාවට නැඟීමෙන් කවර ඵලයක් අත්වේ දැ යි විමසීමෙන් තොරව ක්‍රියාත්මක කරන්නට යෑම
නිසා ය. කළ යුතු වන්නේ එහි විරුද්ධ පස ය. එනම් සිතට වහල් නොවී සිත තමන්ගේ වහලකු කර
ගැනීම ය. බුද්ධියෙන් විමසීම ය. තර්කානුකූල වීම ය. එවිට සිත යහපතට නැඹුරු කිරීම පහසු
ය. පවින් වැළකීම පහසු ය.
සුචරිත ධර්මයෙහි යුහුසුළු විය යුතු බවත්, සිත පවින් වළක්වා ගත යුතු බවත්, පින්
කිරීමට පසුබට වන පුද්ගලයාගේ සිත පාපයෙහි ම ඇලෙන බවත් ධම්ම පදයේ සඳහන් ය. පාප නම්
සිතින්, කයින්, වචනයෙන් සිදු කරන දුශ්චරිත ය. සරලව කියනවා නම් ලෝභ, ද්වේශ, මෝහාදී
අකුසල මූලයන් නිසා සිතිවිලි පාලනය කරගත නොහැකිව සිදු කරන ක්‍රියාකාරකම් ය.දුශ්චරිත
ය. ජීවිතය අඳුරෙන් අඳුරට ගෙන යන අයහපත්කම් ය. උත්සාහ කළ යුතු වන්නේ ජීවිතය, අඳුරෙන්
ආලෝකයට ගෙන යන, ආලෝකයෙන් ආලෝකයට ගෙන යන සුචරිත ගුණ වර්ධනය කිරීම ය.
සුචරිත ධර්ම නම් හොඳ දේ ය. යහපත් දේ ය. අලෝභ, අද්වේෂ, අමෝහ සිතිවිලි වර්ධනය කොට
පවත්වාගෙන යන ඇවතුම් පැවතුම් ය. සාමාන්‍ය ස්වභාවය නම්, යහපත් දේ කරන්නට කල්පනා
කරනවිට ඊට විරුද්ධව වෙනත් සිතිවිලි ඇතිවීම ය. තර්ක ගොඩ නැඟීම ය. බොහෝ විට පාපී
ක්‍රියාවන්ට එලෙස වන්නේ නැත. සොරකමෙහි පුරුදු ඇත්තා අවස්ථාව ලද විගස ක්‍රියාවේ
යෙදෙන්නේ ය. අනුන් බිඳවන්නට කේළාම් කියන කෙනා ඉන් වන විපාක නොසිතන්නේ ය.
අල්ලසට, දූෂණයට නැමුණු සිත ඒ පසුපස ම දුවන්නේ ය. පරිසරය අපවිත්‍ර කරන්නා මොන තරම්
දැනුම්වත් කළ ද ඒ ගැන නොතකන්නේ ය. අවස්ථාව ලද සැනින් පරමාර්ථයට ළඟා වන්නේ ය.
පාපයට එසේ වුව යහපතට පුරුදු පුහුණු නොකළ සිත ඊට අදි මදි කරන්නේ ය. පසුබට සිතිවිලි
ඇති කරන්නේ ය. බුදුහිමි දවස බණ අසා පැහැදුණු චූළ ඒකසාටක නම් බමුණා තමන් සතු වූ එකම
වස්තුව වූ සාටකය (සළුව) බුදුරජාණන් වහන්සේට පූජා කරන්නට සැරසුණු අවස්ථාවේ විටින්
විට ඔහුගේ සිතිවිලි ලෝභයත්, දාන චේතනාවත් අතර දෝලනය විය. විටෙක ඔහුට ඇත්තේ එකම
සළුවක් නිසාත්, ඒ නිසාම ඇති වූ තණ්හාව නිසාත් සළුව පූජා කිරීමේ සිතිවිලි නැති වේ.
නැවත සිත හදා ගනිමින් සළුව පූජා කිරීමේ සිත බලවත් වේ. නැවත දුප්පත් බැමිණියටත්,
තමාටත් ඇති එකම සළුව පුජා කළේ නම් ගමනක් බිමනක් යා නොහැකි නොවේදැයි සිතිවිලි ඇතිවේ.
පින් සිත යටපත් වේ. දීර්ඝවේලාවක් සිතින් තර්ක කරමින් අවසානයේ සළුව පූජා කර බමුණා
මහත් සතුටට පත්වේ. මේ යහපත සඳහා ගත් වෑයමක තරම ය. පොදුවේ මිනිසුන් ලෙස අපට ද බොහෝ
විට මෙවැනි අවස්ථාවන්ට මුහුණ දෙන්නට සිදුවේ. අප කළ යුතු වන්නේ යහපත් කාර්යයක නිරතවන
මොහොතක සිතවෙලා ගන්නා ලෝභ, ද්වේෂ, මෝහ, සිතිවිලි, පවිටු සිතිවිලි, විතර්ක, චේතනා
චූල ඒකසාටක බමුණා සේ පරාජය කිරීමටම උත්සාහ කිරීම ය.
ඇතැම්විට පොහෝ දා සිල් සමාදන් වන්නට සැලසුම් කළත් ඒ දිනය ළංවෙත් ම සමහර අයට
දරුවන්ගේ කටයුතු සිහිපත් වේ. භාවනා කරන විට විවිධ විතර්ක ගොඩ නැඟේ.
අද නොවෙයි හෙට,මේ සතියේ නොවෙයි ලබන සතියේ ආදී පසුබට වීම් ඇතිවේ. සමාජය ලස්සන වන්නේ
පව පැරැදවූ තරමට ය. යහපත බලවත් වූ තරමට ය. බෞද්ධයාගේ වෑයම විය යුතු වන්නේ පාපී
සිතිවිලි පරදා යහපත ජයගන්නට උත්සාහ කිරීම ය. ඒකායන අරමුණ විය යුතු වන්නේ පවින්
වැළකී කුසල් දහම් වඩා නිර්වාණාවබෝධයට ළඟා වීම ය. ඒ අරමුණ තුළ ජීවත්වන මිනිසුන්
සිටින සමාජය ම හිතානුකම්පී ය. තමන්ට හිත පිණිස ද අනුන්ට හිත පිණිස ද වන්නේ ය.
|