UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

හේන්පිටගෙදර ඤාණසීහ නා හිමි

ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ සංඝ නායක ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය රාජකීය පණ්ඩිත හේන්පිටගෙදර ඤාණසීහ නාහිමියන් අපවත් වී අගෝස්තු 01 වන දිනට වසර 36 ක් ගත විය.

දෝන ඇලිස් ජයසිංහ හාමිනේ, දොන් බස්තියන් සකලසූරිය රාලහාමිගේ තෙවෙනි පුත්‍ර රත්නය වශයෙන් 1909 දෙසැම්බර් 18 දින ජන්ම ලාභය ලැබූ සමරවීර සකලසූරිය ළාබාල වියේදීම මූඪගමුමේ මාහිමියන් හට භාර කෙරුණි. අනතුරුව සාමණේර බණ දහම් සහ වත්පිළිවෙත් පුරුදු පුහුණු කිරීම සඳහා බලගල්ලේ සරස්වතී පරිවේණාධිති හිස්වැල්ලේ ශ්‍රී ඥානෝදය මාහිමියන් භාරයට පත් කරන ලදී.

හේන්පිටගෙදර බෞද්ධ මිශ්‍ර පාසලෙන් මූලික අධ්‍යාපනය ලබමින් සිටි සකලසූරිය කුමරා අධ්‍යාපන විෂයෙහි මහත් කුසලතා දැක්වූවෙකි. දක්ෂතම ශිෂ්‍යයන්ගේ උසස් අධ්‍යාපනයට අතහිත දීමට පිහිටුවා තිබු “බෙන්හැම්” ශිෂ්‍යත්වය කොළඹ දිස්ත්‍රික්කයෙන් ලබාගත්තේය. එහෙත් තමාට ලැබුණු එංගලන්තයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් අවසන් වන එම ශිෂ්‍යත්වයට කැමැත්තක් නොදැක්වූ සමරවීර සකල සූරිය ශිෂ්‍යයා 1919 ජනවාරි 16 වන දින හේන්පිටගෙදර ඤාණසීහ නමින් පැවිදිව බලගල්ල සරස්වතී පිරිවෙනෙහි අධ්‍යාපනය ලැබූහ. උන්වහන්සේ තුළ සහජයෙන් පිහිටා තිබූ දක්ෂතා ඔප මට්ටම් කරමින් ප්‍රාචීන ප්‍රාරම්භ හා මධ්‍යම පරීක්ෂණ වලදී විශිෂ්ටතා පල කරමින් 1939 උබේසේකර ස්වර්ණ මුද්‍රිකාව සහිතව රාජකීය පණ්ඩිත උපාධිය දිනා ගැනීමට සමත් විය. මේ අතරතුර සරස්වතී පිරිවනෙහි ආදි ශිෂ්‍යයෙකු වූ රත්නපුර තිරිවාන කැටියෙ මූල මහා විහාරාධිපති එලමල්දෙණියේ සුමේධාලංකාර හිමියන්ගේ ඉල්ලීමට අනුව 1934 දී හේන්පිටගෙදර නා හිමියෝ රත්නපුරේට වැඩම කළහ.

එදා මුද්දුවේ තිබූ අම්බලම හා කුඩා බිම් තීරුව 1934.අගෝස්තු 26 දින දී රත්නපුර ශ්‍රී සුමන පිරිවෙන බවට පත්විය. ශ්‍රී සුමන මහා විද්‍යාලය, ශ්‍රී සුමනා බාලිකා විද්‍යාලය, ඇහැලියගොඩ බුළුගහපිටිය ශ්‍රී සුමන විද්‍යාලය, තෙප්පනාව ශ්‍රී සුමන විද්‍යාලය, තුම්මෝදර ශ්‍රී සුමන විද්‍යාලය, ඉඟිනියාගල විද්‍යාර්ථ පිරිවෙන, වතුපිටිය සාරිපුත්ත පිරිවෙන, මුවගම්කන්ද විද්‍යාලය, පාතකඩ බෞද්ධ විද්‍යාලය, සර්වෝදය ප්‍රජා නායකත්ව භික්ෂු පුහුණු ආයතනය ආදි ගිහි පැවිදි අධ්‍යාපන ආයතන සහ තවත් එවැනි ආයතන ආරම්භ කිරීමට පුරෝගාමීව කටයුතු කළහ.

ග්‍රන්ථකරණයට පිවිසි උන්වහන්සේගේ මුල්ම කෘතිය වූයේ 1946 දී එළිදැක්වූ දෙවියෝ නම් කෘතියයි.පිළිවෙලින් සිංහල මේඝ දූතය,අභිධර්ම පරීක්ෂණය, සද්ධර්ම සතකම්, සිංහල රඝු වංශය, මහ රහතන් වහන්සේ, සිය බස් ලකර විස්තර වර්ණනා, විඥප්තිමාත්‍රයා සිද්ධිවාදය, බෞද්ධ දර්ශනය, සාහිත්‍ය ග්‍රන්ථ ප්‍රකාශයට පත්කරන ලදී. එමෙන්ම ගාමිණී ගීතානාම, ජෙට්ඨගාමණී චරිත, මහා පැරකුම්බා සිරිත, මිනිසා සහ ජීවිත පරමාර්ථ හැඩ ගැසෙන චරිතය, ගැටලු තැන්, බුද්ධ ධර්මය හා බෞද්ධ සභ්‍යත්වය , දර්ශන විද්‍යාව සහ බුදුදහම, උපාධියෙන් පසු, බුද්ධ ධර්මය, සත්ත්වයා අභිධර්ම බෞද්ධ සමාජවාදය සිරකූඩුවක් තුළදී ඇතුළු විශාල පොත් සංඛ්‍යාවක් ලියා රටට පමණක් නොව මානව වර්ගයා වෙනුවෙන් දායාද කළේය.

නාහිමියන්ගේ සේවය අගය කිරීමක් වශයෙන් අගෝස්තු 01 වන දින සිට 06 වන දින දක්වා ගුණ සමරු පින්කම් මාලාවක් රත්නපුර ශී‍්‍ර සුමන මහ පිරිවෙන් විහාරස්ථානයේදී පැවැත්වීමට සබරගමුව පළාතේ ප්‍රධාන සංඝ නායක මහාචාර්ය කෝන්ගස්තැන්නේ ආනන්ද නා හිමියන්ගේ අනුශසනා පරිදි කෘත්‍යාධිකාරි බුළුගහපිටියේ සුමංගල හිමියන් හා විහාරස්ථ දායක සභාව දහම් පාසල් තරුණ බෞද්ධ සංගමය හා කාන්තා සංවිධානය එක්ව කටයුතු කර තිබිණි.

හේන්පිටගෙදර ඤාණසීහ මාහිමිපාණන් වහන්සේට නිවන් සුව අත්වේවා


මාදිවෙල චන්දවිමල නා හිමි

කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙන් විහාරාධිපති රාජකීය පණ්ඩිත සාහිත්‍යාචාර්ය , මහෝපාධ්‍යාය මාදිවෙල ශී‍්‍ර චන්දවිමලාභිධාන නායක ස්වාමින්වහන්සේ අපවත් වී තෙමසක් පිරිණි.

බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයට අයත් වූ මාදිවෙල තම ජාත භූමිය කරගත් රාජකීය පණ්ඩිත සාහිත්‍යාචාර්ය මාදිවෙල ශ්‍රී චන්දවිමල නා හිමිපාණන් වහන්සේ 1920 අගෝස්තු 13 වැනි දින ජන්ම ලාභය ලැබීය. සම්භාවනීය පවුලක් ලෙස නම් දරා සිටි ලියනගේ එංගෝනෝනා මැණිකේ මාතාවගේ හා කුරුවිට කෝරාළලාගේ ජෝෂප් පෙරේරා උපාසක මහතාගේ බාල පුත්‍ර රත්නයක් වූ පී.කේ. ඩේවිඩ් පෙරේරා උඩමුල්ල බෞද්ධ මිශ්‍ර පාසලෙන් හතරවැනි පන්තිය දක්වා අධ්‍යාපනය හදාළේ ය.

වයස අවුරුදු දහය පිරූ ඩේවිඩ් පෙරේරා කුමරුවා පිරිවෙන් විහාරයෙහි අධිපති ධූරය දැරූ මාදිවෙල ශී‍්‍ර අනෝමදස්සි මහානායක හිමිපාණන් වහන්සේගේ හා පිලාන ඉන්ද්‍රරතන මහා ස්වාමින් වහන්සේගේ ආචාර්යත්වයෙන් හා මාදුළුවාවේ ශ්‍රී චන්ද්‍රජෝති නා හිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් 1932 අගෝස්තු මස 22 වැනිදා මාදිවෙල ශ්‍රී චන්දවිමල නමින් පැවිදි දිවියට ඇතුළත් වූහ. මූලික පන්සල් අධ්‍යාපනය හා පිරිවෙන් අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙනෙහි උසස් අධ්‍යාපනය ලැබූහ. ප්‍රාරම්භක මධ්‍යම අවසාන විභාගත්‍රයට පෙනී සිටී උන්වහන්සේ රාජකීය පණ්ඩිත සාහිත්‍යාචාර්ය යන උපාධිය සමඟ විද්‍යාලංකාර පිරිවෙන් අවසාන විභාගය සමත්වූහ.

සිංහල පාලි සංස්කෘත හා හින්දි යන භාෂාවන්හි ප්‍රාමාණික උගතෙකු වූ නා හිමිපාණන් වහන්සේ එම භාෂා විෂයන් පිළිබඳ මෑත යුගයේ වැඩ සිටි මහා පඬි රුවනක් වූහ.

1941 ජූලි මස 17 වන දින කෝට්ටේ රාජ මහ විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේ දී මාදිවෙල ශ්‍රී අනෝමදස්සී මහානායක මාහිමියන් වහන්සේ උපාධ්‍යායව පත්බේරිය ධම්මාලෝක හා වලානේ විමල යන නාහිමිපාණන් වහන්සේලාගේ කර්ම වාගාචාර්යව උපසම්පදා ශීලයට පත්වූහ.

හින්දි භාෂාව අධ්‍යයනය සඳහා ඉන්දියාවට ගිය මාදිවෙල චන්දවිමල මාහිමියෝ ඉන්දියාවේ නායික් ප්‍රාන්තයේ ඉගත්පුරේ පිහිටි ධර්මගිරි විහාරයේදී ත්‍රිපිටකය හින්දි බසට පරිවර්තනය කිරීමට එක්වූහ.

යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නා හිමිපාණන් වහන්සේ ගේ ආරාධනයෙන් විද්‍යාලංකාර පිරිවෙන් ආචාර්ය මණ්ඩලයට එක්වූ උන්වහන්සේ 1996 වන තෙක් එහි ආචාර්යයන් වහන්සේ නමකලෙස ආයතනයට මහඟු මෙහෙවරක් කළහ. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශි‍්‍ර කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ විවිධ තනතුරු දරමින් සංඝ සභාව වෙනුවෙන් අනූපමේය මෙහෙවරක් අපවත් වනතුරුම ඉටු කළේය. තම ජීවිතයේ වැඩිකාලයක් අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් කැපකළ මාදිවල ශී‍්‍ර චන්දවිමල ස්වාමින් වහන්සේ සිරි පැරකුම්බා පිරිවෙන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ සංස්කෘත ආචාර්යවරයා විය. එම වෛද්‍ය විද්‍යාලයේ දියුණුවට අපමණ මෙහෙයක් නාහිමියන් අතින් සිදුවිය.

අල්පේච්ඡ දිවිපෙවෙතක් ගතකළ නාහිමිපාණන් වහන්සේ තමන් වෙත හිමිවූ පිරිකර මුදල් මාදිවෙල ශ්‍රී චන්දවිමල ශිෂ්‍යත්ව අරමුදල නමින් අරමුදලක් පිහිටුවා දක්ෂ දරුවන් වෙත ශිෂ්‍යත්ව පිරිනැමීමට ගත් ක්‍රියා මාර්ගය ප්‍රසංශනීය වේ.

ජීවිත කාලය පුරා සිදුකළ සේවාවන් වෙනුවෙන් උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවිය, කෝට්ටේ රාජ මහා විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක පදවිය හා උපාධ්‍යාය පදවිය මෙන්ම උන්වහන්සේ විසින් රචිත ශ්‍රී අනවමදර්ශී හින්දි සිංහල ශබ්ද කෝෂයට ගෞරව කිරීම් වස්, භාෂාශාස්ත්‍රවේදී ගෞරව නාමයද, ත්‍රිපිටක විෂයෙහි පැවැති දැනුම වෙනුවෙන් ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය ගෞරව නාමයද ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණි සාමගී‍්‍රධර්ම මහා සංඝ සභාව විසින් මාදිවෙල ශී‍්‍ර චන්දවිමල මාහිමියන් වෙත පිරිනමන ලදහ. සිරි පැරකුම්බා මහා විහාරාධිපති ධුරයේ 2009 වර්ෂයේ සිට හොබවන ලද මාදිවෙල ශී‍්‍ර චන්දවිමලාභිධාන නා හිමිපාණන් වහන්සේ අපවත්වන තුරුම හෙබවූහ.

මීට තෙමසකට පෙර අපවත්වී වදාළ නාහිමිපාණන් වහන්සේ උතුම් නිවනින් සැනැසේවායි පතමු


ගැටමාන්නේ හේමාලෝක නාහිමි

කොළඹ සල්පිටි කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක මාවිත්තර සිරි තිසරණ ධර්මායතනය, ගැටමාන්න රාජමහා විහාරය ඇතුළු විහාර ගණයේ විහාරාධිපති කොළඹ රාජකීය විද්‍යාලයේ විශ්‍රාමලත් ධර්මාචාර්ය කෝරළඉම විජයගිරි සම්මාන පරිවේනාධිපති ශාස්ත්‍රපති සද්ධර්ම වාගීශ්වර ශාස්ත්‍රවිශාරද පණ්ඩිත ගැටමාන්නේ හේමාලෝක නා හිමිපාණන් වහන්සේ අපවත් වී වර්ෂ පූර්ණ පින්කම් මාලාව අගෝස්තු මස 01 වැනි දින සිට 06 වැනි දින දක්වා මාවිත්තර සිරි තිසරණ ධර්මායතනයේදී පැවැත්විණි.

ඒ අනුව අගෝස්තු මස 01 වැනිදා සිට 05 වැනිදා දක්වා පිළිවෙලින් දිනපතා ධර්මදේශනා මාලාවක්ද 06 වනදා දවල් අර්ධ ශතාධික සංඝගත දක්ෂිණාවක්ද අගෝස්තු මස 11 වන දින නාහිමිපාණන් වහන්සේගේ 75 වන ජන්ම දිනය සිහිපත් කරමින් වවුනියාව බෝගස්වැව ගම්මානයේදී වෛද්‍ය සායනයක්ද සංවිධානය කර ඇති බව තිසරණ ධර්මායතනාධිපති කැස්බෑව ප්‍රාදේශීය ශාසනරක්ෂක බල මණ්ඩලයේ අනුමණ්ඩල නියෝජ්‍ය ලේකම් ඇඹිලිපිටියේ රතනජෝති හිමියෝ ‘බුදුසරණ’ට පැවසූහ.

 

නිකිණි අව අටවක පෝය


නිකිණි අව අටවක පෝය අගෝස්තු 14 වන දා සඳුදා අපර භාග 07.45 ට ලබයි. 15 වන දා අපරභාග 05.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 15 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය අගෝස්තු 21 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 15

Full Moonඅමාවක

අගෝස්තු 21

First Quarterපුර අටවක

අගෝස්තු 29

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 05


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]