UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධම්මපදට්ඨ කථාවෙන්:  රස තෘෂ්ණාවෙන් වැනසෙන්නට ගිය සුන්දර සමුද්ද තෙර වත

ධම්මපදට්ඨ කථාවෙන්: 

රස තෘෂ්ණාවෙන් වැනසෙන්නට ගිය සුන්දර සමුද්ද තෙර වත

සැවැත්නුවර එක්තරා ධනවත් පවුලක සැදැහැති කුමරෙක් උපන්නේය. හේ සුන්දර සමුද්ද නම් වූවේය. සතළිස් කෙළක් ධන සම්පත් හිමි දෙමාපියන් ඇති මෙම කුමරා කුඩා කල සිටම ධර්මයට ප්‍රිය කළේය.

බොහෝ විට බොහෝ පිරිස් සමඟ දෙව්රම් වෙහෙරට යාමටත් නිතර නිතර බුදුරදුන්ගෙන් ධර්ම ශ්‍රවණයටත් හුරු පුරුදුව සිටි සුන්දර සමුද්ද එක් දිනක් පිරිසක් සමඟ දහම් අසද්දී ගිහිගෙයි වසමින් පිරිසුදු බ්‍රහ්මචර්යාව රැකිය නොහැකි අයුරු පෙන්වා දුන් බුදුරදුන්ගේ දෙසුමක් කෙරෙහි විශේෂයෙන් පැහැදිණි. එසේ නම් පැවිදි විය යුතු යැ’යි අදිටනින් ඔහු ඒ සඳහා බුදුරදුන් වෙතින් අවසර ප්‍රාර්ථනා කළේය. එහෙත් දෙමාපිය අනවසරයෙන් පැවිද්ද ලබා දිය නොහැකි බව බුදු හිමියන් වදාළ බැවින් නිවසට පැමිණි ඔහු තම අදහස දෙමාපියන් ඉදරියේ තැබුවේය.

එහෙත් දෙමාපියන් කිසිසේත්ම තම පුතුගේ අදහස නොපිළිගත් අතර ඒ සඳහා අවසර නොදුන් අතර ගිහිගෙය හැර දමා යාමට බාධා ද ඇති කෙරිණි. විවිධ උපවාස ආදිය සිදුකර පසුව අවසානයේදී දෙමාපියන්ගේ කැමැත්ත ලද සුන්දර සමුද්ද තරුණයා බුදුරදුන් වෙත පැමිණ පැවිදි උපසම්පදාව ලැබුවේය. කල් යාමේදී දෙව්රමෙහි වැඩ සිටිනවාට වඩා වෙනත් නගරයකට ගොස් තම ප්‍රවෘජ්‍යා අරමුණු සාකච්ඡා කර ගනිමි’යි සිතූ සේක. ඒ සඳහා බුදුරදුන්ගෙන් අවසර ගත් තෙරුන් වහන්සේ රජගහනුවරට වැඩමකර අරමක් සකසා එහි වැඩ සිටි සේක. තෙරණුවෝ දිනපතා විිවිධ වීදි ඔස්සේ පිඬුසිඟා වඩිමින් කාලය ගත කළහ.

මේ අතර සැවැත්නුවර විශාල සැණකෙළියක් පැවැත්විණි. විටෙක සුන්දර සමුද්ද තෙරණුවන්ගේ දෙමාපියෝ ද එය නැරඹීමට මෙහි පැමිණියහ. මෙම උත්සවයට පැමිණ සිටි සුන්දර සමුද්ද තෙරණුවන්ගේ ගිහිකල සම වයස් මිතුරන් ක්‍රීඩා කරමින් , විනෝද වෙමින්, කා බී, එකිනෙකා සමඟ අල්ලාප සල්ලාපයෙහි යෙදෙන අයුරු මෙම දෙමාපියෝ දුටුවහ. තම පුතු ද ගිහිව සිටියේ නම් මෙම තරුණයන් මෙන් කා බී විනෝද වන්නේ වේදැ’යි සිතා දරු නැති සොවින් දෙමාපිය දෙපළ හඬන්නට වූහ. මේ අවස්ථාවේදී මෙම උත්සවය නැරඹීමට පැමිණි පුර ස්ත්‍රියක් , මාපියන් දෙපළ හඬනු දැක කවර කාරණාවකින් හඬන්නේදැ’යි විමසුවාය. පුතු පැවිදි වීමෙන් ඇති වු පාළුව නිසා බව පැවසූ විට ඇය පුතු රැගෙන විත් දිය හැකි බව ප්‍රකාශ කළාය. ඉන් මහත් සේ සතුටට පත්වූ දෙමාපියෝ ඒ වෙනුවෙන් කවර දෙයක් වුව ලබා දීමට සූදානම් බව ප්‍රකාශ කළහ. එසේ කළහොත් ඔහුගේ බිරිඳ බවට පත් කරවන බවට ද පොරොන්දු වූ මාපියන් ඒ සඳහා අවශ්‍ය සියලුම මඟ වියදම් ද පිරිවරද පුර ස්ත්‍රියට ලබා දුන්නහ.

ඇය පිරිවර සමඟ රජගහනුවරට පැමිණ සුන්දර සමුද්ද තෙරණුවන් පිඬුසිඟා වඩිනා වීථිය අසල නිවසක් ගෙන නතර වූවාය. පසුදින සිටම ඉතා ප්‍රණීත ආහාර සකසා පිඬු සිඟා වඩින තෙරුන්ගේ පාත්‍රයට දන් බෙදන්නට වූවාය. දින කිහිපයක්ම මෙසේ ප්‍රණීත ආහාර බෙදූ ඇය මින් පසු වෙනත් නිවෙස් කරා නොගොස් තම නිවසේදීම දන් වළඳන්නැ’යි ආරාධනා කළාය. පුර ස්ත්‍රියගේ කුමන්ත්‍රණය නොදත් තෙරණුවෝ මෙය සැදැහැයෙන් කරන යෝජනාවක් සේ සිතා පසුදින සිට ඇගේ නිවසට පමණක් පිඬු සිඟා වැඩියහ. එහිදී ඇය පාත්‍රයට ප්‍රණීත ආහාර පුරවා පිළිගැන්වූවාය.

මෙසේ දින කිහිපයකින් පසු ඇගේ නිවසේ සිටම දන් වළඳින ලෙස තෙරණුවන්ට පැවසුවාය. තෙරුන් වහන්සේ එයට ද එකඟ වූ සේක. දින කිහිපයකින් පසු ඇය කුඩා ළමයින්ට කැවිලි පෙවිලි දී තෙරුන් දන් වළඳන මොහොතේ දූවිලි නංවා ක්‍රීඩා කරන්නැ’යි පැවසුවාය. කුඩා ළමයි එසේ කරද්දී තෙරණුවන් ආලින්දයට වඩම්මවා පිණ්ඩපාතය බෙදන්නට ක්‍රියා කළ ඇය ටික දිනකින් කුඩා ළමයින් එතැනට ද මෙහෙය වූවාය. ඔවුන්ගෙන් බේරීම සඳහා ඉහළ මහලයට යාමට පුර ස්ත්‍රිය යෝජනා කළ අතර තෙරුන් වහන්සේද, මේ ස්ත්‍රිය සැදැහැයෙන්ම කරනා දෙයක් සේ සලකා එයට ද එකඟව උඩු මහළට වැඩම කළ සේක.

එහිදී පුර ස්ත්‍රිය පිණ්ඩපාතය බෙදීම පසෙක තබා ඇගේ මායම් තෙරුන් ඉදිරියේ පාන්නට වූවාය. ඈ ආදර බස් තෙපළමින්, හුරතල් වෙමින් ස්ත්‍රී මායම් රඟ දක්වන්ට වූවාය. එසේ කර තමන් සමඟ එක්ව සැපවත් දිවියක් ගත කරන්නටත් මහලු කල පැවිදි වන්නටත් ආරාධනා කළාය.

තෙරණුවෝ අහෝ මේ සිදු වූයේ කවර විපතක්දැ’යි මහත් සේ සංවේගයට පත් වූහ. එවිට බුදුරජාණන් වහන්සේ සුන්දර සමුද්ද තෙරුන් වහන්සේ මුහුණ දුන් මෙම අපහසුතාව බුදු නෙතින් දැක ආලෝකයක් විහිදුවා උන් වහන්සේ එතැනින් ඉවත් කරවා කාම වසඟයට හසුවී විනාශ වෙන්නට ඉඩ තිබූ දිවිය එම කාම වසඟයෙන් බේරා දී ඔහුට දහම් දෙසා රහත් ඵලයට පත් කළ සේක.

එසේනම්, රස තෘෂ්ණාවේ බැඳුණු කවරකුට වුවද අත්විඳිය හැකි ඉරණම මෙසේ යැ’යි මෙම කථාවෙන් අපට වත්මන් සමාජයටත් ගැළපෙන සේ වැදගත් උපදේශයක් පෙන්වා දෙයි.

 

   ඉල් පුර පසළොස්වක පෝය

 ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 13 වනදා ඉරිදා අපර භාග 11.17ට ලබයි.
14 වනදා සඳුදා අපර භාග 07.22 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 14 වනදා සඳුදාය.
 

මීළඟ පෝය නොවැම්බර් 21 වනදා සඳුදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 14

Second Quarterඅව අටවක

නොවැම්බර් 21

Full Moonඅමාවක

නොවැම්බර් 28

First Quarterපුර අටවක

දෙසැම්බර් 07


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]