ඉල් පුර පසළොස්වක 2016.11.14 පොහොය දිනය
සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි අනුස්මරණීය සිද්ධීන් රැසකට මුල් වූ පොහොය දිනයකි ඉල් පුර
පසළොස්වක පොහොය දිනය. වස්සාන ඍතුවෙහි අවසාන පොහොය වනුයේද මෙම ඉල් පුර පසළොස්වක
පොහොය දිනයයි. කඨිනාස්තරණ විනය කර්මය කළ හැකි අවසන් දිනය වනුයේද මෙම පසළොස්වක පොහොය
දවසයි.
බෞද්ධ ජනතාවගේ සුවිශේෂ ආගමික දිනය පොහොය දවසයි. පොහොය දින හිමිදිරි පාන්දරින්
පිරිසුදු වී, සුදුවතින් සැරසී, තෙල්, මල්, සුවඳ දුම් ආදිය රැගෙන පන්සල් වෙත පැමිණ
අටසිල් සමාදන්වී තෙරුවන් වැඳ පුදා ගැනීම සැදැහැවත් ජනතාවගේ පාරම්පරික සිරිතක් ව
පවතී. පොහොය දිනය ආගමික වතාවත් සඳහාම වෙන් කරගත යුතු වේ. එදිනට වෙනත් ගමන් බිමන්
යාම ආදිය පසෙකින් තබා පන්සලට ගොස් පෙහෙවස් සමාදන් විය යුතුවේ. පන්සල් යෑමට, සිල්
සමාදන් වීමට,බණ ඇසීමට, භාවනා කිරීමට පොහොය දින යොදා ගැනීමෙන් මෙලොව වශයෙන් මහත්
ආධ්‍යාත්මික සංවර්ධනයකට මග සලසා ගත හැකිව තිබේ.
එබඳු දිනයෙක සැනසීම පිණිස බාහිර අනෙකුත් දේ පසෙක තබා ආගමික පරිසරය වෙත යොමුවීම
ජීවිතයේ අන් සියලුදේට වඩා වටිනාකමක් ඇත. අතපසුවීමකින් හෝ පෙහෙවස් සමාදන් විය නොහැකි
වූවානම් පොහොය දිනය තුළ විහාරස්ථානයට ගොස් තෙරුවන් පුදා ආගමික වතාවත්වල නියැලීමටවත්
උනන්දුවිය යුතුය. පොහොය දිනය තුළ විහාරස්ථානයේ රැඳී සිටිමින් ආගමික වතාවත්වල
නිරතවීම තුළින් සිත, කය, වචනය සංවරකර ගැනීමට එය මහෝපකාරි වේ.
මිනිස් සිත නිරන්තරයෙන් එක් අරමුණක තබා ගැනීමට ඇති අපහසුව නිසාම හොඳ නරක
සිතිවිලිවලින් සිත අරමුණෙන් අරමුණට වෙනස් වෙමින් ගමන් කරනු ලැබේ. විසිරී පවතින සිත
එක් අරමුණකම තබා ගනිමින් සිතේ සංවරය උදාකර ගැනීමට වටිනාම පරිසරය විහාරස්ථානය මගින්
උදාකර දෙයි. එමෙන්ම මුවින් පිටවන වචනයක් පාසා අනුනට පීඩාවක් හිරිහැරයක් කරදරයක්
විපතක් නොවන වචනම පිටකිරීමට උනන්දුවිය යුතුය. වචනයේ සංවරය සඳහාද පොහොය දින මුල් කර
ගනිමින් ඊට හුරු පුරුදු විය යුතුය. කයින් සිදුවන අකුසල්වලින් වැළකීමට පොහොය දිනයදා
අදිටනක් ඇති කර ගැනීමට යහපත් අඩිතාලමක් ජීවිතයට උදාකර ගැනීමට සුදුසුම දිනය පොහොය
දවසයි.
කවර සමාජයක් තුළ වුවද අර්බුද ගැටලු පැන නගිනුයේ එම සමාජය තුළ වෙසෙන මනුෂ්‍යයන්ගේ
කයින්, වචනයෙන් සිතෙන් වන අඩුපාඩු මුල්වීම නිසාය. සමාජයට ශික්ෂණයක් අත්‍යවශ්‍ය
වනුයේ එබඳු අඩුපාඩු දුරලීමටය. කවර තරමේ ප්‍රශ්නයක් ඇතිවුවද ඒ නොසන්සුන් බවට
හේතුවනුයේ සිත, කය,වචනයෙහි සංවරය නොමැතිවීමේ හේතුවෙනි. ඒ නිසාම මනුෂ්‍යයා සිල්වතෙකු
වූ තරමට ගුණවත්කම ඔහු සතුවේ. සිල්වත් බව සියලු දුක් දුරලන්නකි. එමගින් ලබන කායික,
මානසික සහනය වෙනත් කිසිඳු අයුරකින් ළඟා කරගත හැකි නොවේ.
පොහොයදා විහාරස්ථානයට පැමිණ පෙහෙවස් සමාදන්වන සැදැහැවතුන්ගේ ශ්‍රද්ධාව වර්ධනය වන
අයුරෙන් සැලැසුමකට, කාලසටහනකට අනුව ආගමික වැඩසටහන් සම්පාදනය කිරීමද වගකීම වේ. නිවසේ
සිට පන්සලට පැමිණ ආගමික වතාවත්වල නිරතවීමේදී එමගින් ලැබෙන සංවරය, සන්සුන් බව සැමට
ආදර්ශවත්ය. සියලු සංවරයට කය වචනය, සිත යන තුන්දොර සංවරය මුල් වන හෙයින් එබඳු
සංයමයක් නොපවතින විට ඇතිවන අර්බුද අපමණය.
පොහොය දිනයෙහි ඇති ශ්‍රේෂ්ඨත්වය වටහා ගනිමින් ආගමික පරිසරයට යොමුවීමෙන් බාහිර
අභ්‍යන්තර බොහෝ කරදර බාධකවලින් වෙන්විය හැකිවේ. ජීවිතයෙහි ඇති වටිනාකම තේරුම් ගත්
බොහෝ දෙනා පොහොය දිනය තුළ ආගමික වතාවත්වල නිරතවීම හේතුවෙන් එය දකින, බලන අය පවා
සුමඟට යොමු කරවීමට හේතුවක් වෙයි.
පුර පසළොස්වක, අව අටවක, අමාවක, සහ පුර අටවක ලෙස පොහොය දින හතරක් මසකට යෙදේ.
ඇතැම්විට එබඳු පොහොය දින පහක් පමණ යෙදෙන මාසද ඇත. ඒ සතර පොහොයෙන් ප්‍රධාන පොහොය දින
වන පසළොස්වක දිනයේදී හෝ විහාරස්ථානයට ගොස් සිල් සමාදන්වීම් ආදි ආගමික ජීවිතයක් එබඳු
පොහොය දවසකදී හෝ ගත කළ යුතු වෙයි. එසේම අගාමික වතාවත්වල යෙදිය නොහැකි වුවහොත්
පසුතැවීමකට වුවද එය හේතුවිය හැකියි.
|