ශ්‍රී දළදා මාළිගාවේ කාර්තික මංගල්‍යය
මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ
අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ
නියෝජ්‍ය ලේඛකාධිකාරි හා
අස්ගිරි මහාවිහාර පරිවේණාධිපති ශාස්ත්‍රපති
නාරන්පනාවේ ආනන්ද හිමි
බුදුපියාණන් වහන්සේ උපන් භාරත දේශයේ වැසියන්ටත් වඩා ශ්‍රී ලාංකික බෞද්ධයෝ අතිශයින්ම
භාග්‍යමත් වෙති.ඒ අන් කවරක් නිසා හෝ නොව බුදුරදුන්ගේ ශාරීරික , පාරිභෝගික, ධාතුන්
වහන්සේලා වැඩි වශයෙන් මේ අපේ කුඩා ශී‍්‍ර ලංකාවේ අදටත් නිරුපද්‍රිතව වැඩසිටීම
නිසාය.
වාම ශ්‍රී දළදා වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, ගී‍්‍රවා ධාතුන් වහන්සේ මෙන්ම බොහෝ
ශාරීරික ධාතුන් වහන්සේලාත්, ජයශ්‍රී මා බෝධින් වහන්සේ, පාත්‍රාධාතුන් වහන්සේ වැනි
පාරිභෝගික ධාතුන් වහන්සේලාත් වැඩ සිටින්නේ මේ පුංචි ශ්‍රී ලංකාද්වීපයෙහිය. මේ කී
පූජාවස්තුන් වටා පූජා සංස්කෘතියක් නිර්මාණය වීම දක්වා ලාංකීය ජනජීවිතය තුළට ප්‍රබල
බලපෑමක් මේ නිසා ඇතිවී තිබේ.
මෙම පූජා වස්තු අතර දළදා වහන්සේ ට හිමිවී තිබෙනුයේ ඉතාමත් සුවිශේෂි ස්ථානයකි. හතරවන
සියවසේ කිත්සිරි මෙවන් රජ දවස දළදා වහන්සේ මේ රටට වැඩමවීමත් සමඟ ඒ හා බැඳුණු පූජා
චාරිත්‍ර විධි සම්ප්‍රදායක් ද නිර්මාණය වීය. මෙය කොතෙක් දුරට ලාංකීය බෞද්ධ ජන සමාජය
තුළ මුල්බැස ගත්තේද යන්න ප්‍රකට වන්නේ දළදා සංස්කෘතිය යනුවෙන් වෙන් කර දැක්විය හැකි
වෙනම සංස්කෘතියක් පවා බිහිවී තිබීමෙනි.
රාජධානි අනුක්‍රමයෙන් වෙනස්වීමත් සමඟ දළදා වහන්සේද ඒ ඒ රාජධානිවලට වැඩම කළා සේම
දළදා වහන්සේ විෂයෙහි පැවැත්වු මෙම පූජා චාරිත්‍රවලද යම් විකාශනයක් සිදුවී ඇති අයුරු
දක්නට ලැබේ. ප්‍රාග් බෞද්ධ ලාංකීය ජන සමාජය තුළ තිබු පුද පූජාවන් හා මිශ්‍ර වෙමින්
මෙම දළදා පූජා විධි සකස්වූවා සේම කල්යාමේ දී ඒ සඳහා විදේශ බලපෑම් ද ඇති වූ බව
ප්‍රකට කරුණකි. එය වඩාත් ප්‍රකට වනුයේ මහනුවර අවදිය වන විට දළදා වහන්සේ, උදෙසා
සිදුකළ පූජා විධීන් දෙස බැලීමෙනි. වර්තමාන දළදා මාලිගාවේ සිදුකෙරෙන මෙම පූජාවන් මේ
සියල්ලේම සම්මිශ්‍රණයක් යැයි කීවොත් එය වඩාත් නිවැරදිය.
මහනුවර සිංහල රාජ වංශය අවසන් වන්නේ නරේන්ද්‍රසිංහ රජතුමාගෙනි. අනතුරුව ආරම්භ වන්නේ
දකුණු ඉන්දියානු වඩුග දේශයෙන් පැමිණි වඩුග රාජ පරපුරේ යුගයයි. මේ නිසා කල්යාමේ දී
දළදා වහන්සේ උදෙසා පැවැත්වු පූජා චාරිත්‍ර විෂයෙහි හින්දු ආගමික චාරිත්‍ර එකතු වීමද
වළකාලිය නොහැක්කක් විය.
වඩුග රජ පෙළපතේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ඉතා සුවිශේෂීම චරිතයක් විය. වැලිවිට
සරණංකර සාමණේරයන් වහන්සේගේ උපදෙස් මත ස්‍යාමෝපසම්පදාව පිහිටුවීම, උන්වහන්සේට සංඝරාජ
පදවිය පිරිනැමීම, අස්ගිරි, මල්වතු උභය මහා විහාරයෙහි මහානායක අනුනායක ආදි ශාසනික
තනතුරු ඇති කර ශාසනය චිරස්ථායි කිරීම, බොහෝ වෙහෙර විහාර පිළිසකර කරවා ගම්බිම් පුදා
නව විහාර ආරම්භ කිරීම ආදී එතුමා කළේ මහත් වූ ශාසනික සේවාවකි. ඒ අතර දළදා වහන්සේ
උදෙසා එතෙක් පැවැති පූජාචාරිත්‍ර විධි ක්‍රමවත්ව පවත්වාගෙන යෑමට විශාල වෙහෙසක් දරා
ඇත. උභය මහාවිහාරයේ මහා සංඝයා විසින් පරම්පරානුගතව එතෙක් සිදුකළ තේවා විධි තවදුරටත්
ක්‍රමවත් කළේ මෙතුමාගේ ඉල්ලීම අනුවයි. ඒ අනුව දෛනික තේවාව දිනකට තුන්වරක්
සිදුකිරීම, අමුතු මුළුතැන් පූජාව, පැවැත්වීම, සතිපතා නානුමුර මංගල්‍යය නමින් විශේෂ
පූජාවක් පැවැත්වීමද, වාර්ෂික සතර මංගල්‍යය පැවැත්වීම ආදි දළදා පූජා විධි රැසක් ද
මෙතුමාගේ උපදෙස් මත සිදුවිය. එහිලා රාජ නියෝග පැනවූවා පමණක් නොව රාජකාරි ක්‍රම
ආරම්භ කිරීම, ඒවායේ පැවැත්ම උදෙසා ගම්වර පිදීම ආදි බොහෝ දේ මෙතුමා අතින් සිදුවිය.
මෙකී සියලු පූජාවන් අද දක්වාම උභය මහා විහාරයේ අතිපූජ්‍ය මහානායක මාහිමියන්
වහන්සේලා දෙනමගේ අධීක්ෂණය යටතේ මහා විහාරිය භික්ෂූන් වහන්සේලා විසින් ඉමහත්
ශ්‍රද්ධාවෙන් සිදුකරන අතර දියවඩන නිලමේතුමා විසින් ඒ සඳහා අවැසි සියලු දෑ
නොපිරිහෙලා සම්පාදනය කර දෙනු ලැබේ.
එම පූජාවන් අතර පහත සඳහන් සතර මංගල්‍ය ඉතා වැදගත් තැනක් ගනී.
01. ඇසළ මංගල්‍යය හෙවත් දළදා පෙරහැර
02. අලුත් සහල් මංගල්‍යය හෙවත් අගසස් පිදීම
03. අලුත් අවුරුදු මංගල්‍ය හෙවත් සිංහල අළුත් අවුරුදු චාරිත්‍ර ඉටු කිරීම
04. කාර්තික මංගල්‍යය හෙවත් ප්‍රදීප පූජාව
මෙම මංගල්‍ය හතර දළදා වහන්සේ උදෙසා වාර්ෂිකව කෙරෙන විශේෂ පූජා ක්‍රමයකි. එයින් ඉල්
මසට යෙදෙන්නේ කාර්තික මංගල්‍ය යයි.
කාර්තික මංගල්‍යය යනු පහන් පූජාවකි. මෙ නිසාම මෙය ප්‍රදීප පූජාව කියාද හඳුන්වනු
ලැබේ. මෙම සුවිශේෂී පූජාව සිදුකරනු ලබන්නේ සෑම වර්ෂයකම ඉල් මස පුර පසළොස්වක පොහොය
දිනයේ දීය. ශ්‍රී දළදා මාළිගාව සතර මහා දේවාල, උභය මහාවිහාර සහ උඩරට පිහිටි අනෙකුත්
ඉපැරණි විහාර හා දේවාල අසූදෙකක පහන් පූජා කිරීම මෙහිදී සිදුකරනු ලබයි.
මෙහි ඇති විශේෂත්වය නම් රාජ නියෝගයෙන් රජතුමාට හා රටවැසියන්ට සෙත්පතා එකම අවස්ථාවේ
මෙම පහන් දැල්වීම සිදුකිරීමයි.
මෙහිදී එදා රජතුමා විසින් සිදුකළේ පොහොය එළඹීමට දින කිහිපයකට පෙර ඉහත කී
විහාරස්ථානවලට සහ දේවාලවලට පණිවුඩකරුවකු මගින් දැනුම් දීමක් කිරීමයි. එනම් අසවල්
දින නාථ දේවාලයට රැස්වෙන ලෙසත්, එහිදී කාර්තික මංගල්‍යය සඳහා තෙල් බෙදා දෙන බවත්,
එසේ කරනු ලබන දැන්වීමය. ඒ අනුව එම විහාරස්ථානවලින් හා දේවාලවලින් නියමිත
රාජකාරිකරුවකු නාථ දේවාලයට පැමිණෙයි. රජුගේ නියමය අනුව පළමුව දළදා මාළිගාවටත් , ඉන්
අනතුරුව සතර දේවාලවලටත්, උභය මහා විහාරයටත් පිළිවෙලින් තෙල් නැලිය බැගින් ඒ ඒ
ස්ථානවලට තෙල් බෙදා දෙනු ලැබේ.ඇතැම් සිද්ධස්ථානවල තෙල් නැලි 02,03,04,06 ආදි වශයෙන්
බෙදා දෙන අවස්ථාද ඇත. තෙල් නැලියක් යනු නූතන මිණුම් ක්‍රමයට අනුව ලීටර් බාගයක් තරම්
වේ. එසේ ලබාගත් තෙල් තම තමන්ගේ විහාර හා දේවාල කරා ඉතා ගෞරවාකාරයෙන් පුද පෙරහරකින්
රැගෙන ගොස් ඉල් පොහොය එළඹෙන තෙක් සුරක්ෂිතව තබාගත යුතුය.
මෙම තෙල් හිමිවන විහාරස්ථාන හා දේවාලද රජුගේ අනුග්‍රහ ලැබු සිද්ධස්ථාන අසූ දෙකකි.
ඒවා පිහිටා ඇත්තේද දළදා මාළිගාව ආසන්නයේ වීමද සුවිශේෂි කරුණකි. එදා රජතුමා තම ආගමික
කටයුතු සඳහා සහභාගි වූ රාජකීය විහාරස්ථාන මීට ඇතුළත් වේ. ඒ අතර අස්ගිරි මල්වතු උභය
මහා විහාරයද සුවිශේෂි බවක් උසුලයි. රජතුමා විසින් සිදු කළ තෙල් බෙදා දීමේ චාරිත්‍රය
අද ඉටුකරනුයේ දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ තුමා විසිනි. එතුමා වෙනුවෙන් මෙම
රාජකාරිය ශ්‍රී දළදා මාළිගාවේ කාරිය කරවන රාල විසින් සංවිධානය කරනු ලැබේ.
නියමිත දින එනම් ඉල් පොහෝ දින සවස අඳුර වැටෙත්ම මේ සෑම සිද්ධස්ථානයකම එකී තෙල්වලින්
පහන් දල්වා බුදුන් පිදිය යුතුය.එය රාජ නියෝගයකි. රජතුමා ඇතුළු රාජකීයන් දළදා
මාළිගාවේ පහන් පූජාවට සහභාගි විය. එය වාර්ෂික දළදා මංගල්‍යක් ලෙස පැවැත්වීමට රජතුමා
විධිවිධාන යොදා තිබේ. එදිනට දළදා මාළිගාවේ සියලු රාජකාරිකරුවන් පැමිණ සිටිය යුතුය.
සතර පනික්ක නිල හෙවත් හේවිසිකරුවන් , කවිකාර මඩුව, ආලත්ති අම්මලා, ගම් දහයේ
විදානේවරු ඒ අතර වෙති. වැඩසිටින මාලිගාව ගොක් අතුවලින් සැරසීම මෙහිදී විශේෂත්වයකි.
එය ගම් හයේ විදානේ වරුන්ගෙ රාජකාරියයි. මෙසේ ගොක් අතුවලින් සැරසීම සිදු කරනුයේ දළදා
මාලිගාවේ විශේෂ මංගල්‍ය අවස්ථාවන්වලදි පමණි. මෙලෙස තෙල් ලබාගත් පහන් දල්වන ඉහත කී
සිද්ධස්ථානවල ද ගොක් අතු සැරසිලි ආදිය සිදු කොට ඉපැරණි චාරිත්‍ර සියල්ල ඉෂ්ඨ කළ
යුතුවේ.
වර්තමානයේ දළදා සමිඳුගේ භාරකාරත්වය දරන අතිපූජ්‍ය මහානායක මාහිමියන් වහන්සේලා
දෙනමත් ගරු දියවඩන නිලමේ තුමත් මෙම පහන් දැල්වීමේ චාරිත්‍රය සිදුකරති. ඒ සඳහා තේවා
භාර නාහිමිවරු ද අනෙකුත් සියලු රාජකාරි කරුවෝද සහභාගි වෙති. දියවඩන නිලමේතුමා
වෙනුවෙන් මෙම කාර්යය සංවිධානය කිරීමේ වගකීම් පැවරී ඇත්තේ කාරිය කෝරාළ මහතාටය. ඔහු
විසින් මේ හා සම්බන්ධ ඉපැරණි චාරිත්‍ර නොපිරිහෙලා ඉටු කිරීමෙන් මෙම පූජාව සංවිධානය
කළ යුතුය.
මෙදින ඇති තවත් විශේෂත්වයක් නම් පෙරහරක් පැවැත්වීමයි. මෙය කාර්තික පෙරහැර කියා
හඳුන්වනු ලැබේ. මේ සඳහා ඇසළ පෙරහැරේ මෙන්ම සධාතුක කරඬුවද වැඩම කරන අතර ඒ නිසාම ඒ හා
සම්බන්ධ සියලු චාරිත්‍ර විධි නිසි ලෙස ඉටුකරමින් මෙම පෙරහැර පැවැත්වීම්ද
සුවිශේෂත්වයකි.
මේ අන්දමට දළදා වහන්සේ උදෙසා දෛනිකව මෙන්ම වාර්ෂිකව මෙබඳු පූජා චාරිත්‍ර විධි අතීත
රජ දවස සිට නොපිරිහෙලා ඉටුකරනුයේ එක් අතකින් එය ජීවමාන බුදුන් වහන්සේ උදෙසා කෙරෙන
අසිරිමත් පූජෝපහාරයක් ලෙසත්, දළදා වහන්සේ මේ රටේ සුවිශේෂීම පූජාවස්තුව නිසා විය.
එමෙන්ම එය අප රටටත් ලක්වැසි සැමටත් මහත් ආශිර්වාදයක් ද වෙයි. එදා සිටි රජවරු මහත්
ශ්‍රද්ධාවෙන් පවත්වාගෙන ආ මෙම ඉපැරණි පූජා චාරිත්‍ර මතුවටත් ආරක්ෂා කර තැබීම දළදා
වහන්සේගේ භාරකාරත්වය දරන උභය මහා විහාරයේ අතිපූජ්‍ය මහානායක මාහිමියන් වහන්සේලා
දෙනමගේ හා ගරු දියවඩන නිලමේතුමාගේ පරම වගකීමද වන්නේය. |