UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය-2016 ආදර්ශ ප්‍රශ්නෝත්තර - බුද්ධ ධර්මය (නව නිර්දේශය)

අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය-2016:
 

ආදර්ශ ප්‍රශ්නෝත්තර - බුද්ධ ධර්මය (නව නිර්දේශය)

11 වන ශ්‍රේණියේ බුද්ධ ධර්මය පොතේ “ දිවි මඟට එළිය දෙන දහම් පද” නමැති පාඩමෙන් ඉදිරිපත් කරන්නේ ධම්ම පදයේ වග්ග කිහිපයකින් තෝරාගත් ගාථා නවයකි. යමක වග්ගය, බාල වග්ගය, ආත්ම වග්ගය, ජරා වග්ගය, අප්පමාද වග්ගය යන වග්ග වලින් මෙම ගාථාවන් තෝරා ගෙන ඇත .

මෙම පාඩමෙන් පරීක්ෂා කරනු ලබන්නේ දරුවන්ගේ මතක ශක්තියයි (ස්මරණයයි)

නිවැරැදිව ගාථාව ලියා තිබීම, තේරුම සහ ඒ ඇසුරෙන් දෙනු ලබන රචනාමය ප්‍රශ්නයකට පිළිතුරු සැපයීම මෙයින් බලාපොරොත්තු වේ.

ධම්ම පදය නමැති ග්‍රන්ථය දීඝ නිකායේ ඛුද්දක නිකායට අයත් පොත් පහළොවෙන් එකකි.

බුදුරදුන් පන්සාළිස් වසක් තුළ දේශනා කළ ධර්මයෙහි සාරය ලෙස ධම්ම පදය හැඳින්විය හැකිය .

බෞද්ධ ලෝකයාගේ මුදුන් මල්කඩ ලෙස සැලකෙන හස්ථසාර ග්‍රන්ථය ධම්ම පදයයි.

මෙහි වග්ග 26ක් තිබේ. ගාථා වශයෙන් ගත්විට 423කි.

බෞද්ධ අබෞද්ධ ඕනෑම අයෙකුට මෙහි ඇතුළත් ගාථාවන්ගෙන් ජීවිතයට ආදර්ශ ලබාගත හැකියි.

ගාථාව, තේරුම, නිධානය, ඉගෙන ගන්නා විධ්‍යාර්ථයෙකු විසින් දැන තිබීම ඉතා වැදගත්ය.

අ .පො.ස. සා/පෙළ විභාගයේදී ගාථාව සහ තේරුම නිවැරැදිව ලියා තිබීම බොහෝ විට අපේක්ෂා කළත් ගාථාවෙහි නිධානය පිළිබඳව එතරම් සැලකිල්ලක් දක්වනු නොලැබේ.

එබැවින් අධ්‍යාපනය හදාරන සිසුන්ගේ වැඩි දැනීම සඳහා මෙම පාඩම කථාවට අදාළ නිධාන කථාව ද ඉදිරිපත් කරමි.

පන්ති කාමරවල ඉගැන්වීම් කාර්යෙහි නිරතව සිටින ආචාර්ය භවතුන්ට ද මෙම පාඩම වැදගත් වෙතැ’යි සිතමි.

අක්කොච්චි මං අවධි මං
අජිනි මං අහාසි මං
යේ තං උපනයිහන්ති
වේරං තේසං න සම්මති - (යමක වග්ග)

තේරුම – අසවලා මට බැන්නේය, මට පහර දුන්නේය, මා පැරද වූයේය, මා සතු දේ පැහැර ගත්තේය යනුවෙන් යමෙකු නැවත නැවතත් සිත’යි නම් ඔහුගේ වෛරය නොසන්සිඳේ,

නිධානය – මෙම ගාථාව බුදුරදුන් දෙව්රම් වෙහෙරදී තිස්ස තෙරණුවන් අරභයා දේශනා කරන ලදී. සැවැත් නුවර දෙව්රම් වෙහෙර තුල්ල තිස්ස නම් තෙර නමක් විය. ඔහු මහලුව පැවිදි වූ කෙනෙකි. බුදුරදුන්ගේ නැන්දණියගේ පුතෙකි. හෙතෙම බුදුරදුන්ට ලැබුණු ලාබ සත්කාර පරිභෝග කොට තරව මහ තෙරුන් කෙරෙහි ගරුසරු නැතිව වැඩුණු සිරුරු ඇතිව වෙහෙර මැද උවටැන් හලෙහි වෙසෙති. ආගන්තුක භික්ෂූන්ට කිසිදු සැලකීමක් ද නොකරති. එක් තරුණ භික්ෂු නමක් ඒ ගැන ඔහුට නිඟා කළේය.

තිස්ස තෙරණුවෝ කිපී බුදුරදුන් වෙත පැමිණ ඒ කාරණය උන්වහන්සේට සැල කළහ. බුදුරදුන් ඔහුගෙන්ම දොස් නිදොස් බව විචාරා වැරැද්ද ඔබ අතේමය. මේ භික්ෂූන් කමාකර ගනුව යැ’යි වදාළහ. ඔහු කළ වරද පිළිගැනීමට අකැමැතිව අකීකරුව සිටියේය. එවිට බුදුරදුන් මහණෙනි, මේ තෙම දැන් පමණක් අකීකරු වූයේ නොවේ. පෙරත් “දේවල “ නම් තවුස්ව උපන් කළ අකීකරුව සිටියේ යැ’යි අතීත කථාව ගෙන හැර දැක්වූහ.

2) අක්කොච්චි මං අවධි මං
අජිනි මං අහාසි මං
යේ තං න උපනයිහන්ති
වේරං තේසුපසම්මති - (යමක වග්ගය)

තේරුම– අසවලා මට බැන්නේය. මට පහර දුන්නේය, මා පැරදවූයේය, මා සතු දේ පැහැර ගත්තේය යනුවෙන් යමෙකු නැවත නැවතත් නොසිත’යි නම් ඔහුගේ වෛරය සන්සිඳේ.

නිධානය – ඉහත නිධාන කථාවම මෙයට ද හේතු විය.

3) නතං කම්මංකතං සාධු
යං කත්වා අනුතප්පති
යස්ස අස්සුමුඛෝ රෝදං
විපාකං පටිසේවති - (බාල වග්ගය)

තේරුම – යම් ක්‍රියාවක් කිරීමෙන් පසු තැවෙන්නට සිදුවේද යම් ක්‍රියාවක විපාකය කදුළු පිරි මුහුණින් යුතුව අඬමින් විඳින්නට සිදුවේ ද එබඳු දේ නොකිරීම යහපත්ය.

නිධානය – මේ ගාථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරදී එක් ගොවියෙකු අරඹයා දේශනා කරන ලදී. සැවැත් නුවර සොරු රංචුවක් එක් ධනවතෙකුගේ ගෙයක් බිඳ ධනය පැහැරගෙන කුඹුරකට ගොස් බෙදා ගත්තේය. ඉන් එක් සොරෙකු සෙසු සොරුන්ට නොදැනෙන සේ සොරාගත් දහසක් බැඳි සියල්ල එම කුඹුරෙහිම වැටී අමතක වී ගියේය. කුඹුර හිමි ගොවියා උදෑසනම කුඹුරට ගොස් සී සාන්නට පටන් ගත්හ. බුදුරදුන්, ආනන්ද තෙරණුවන් සමඟ ඒ කුඹුරට වැඩ මසු පියල්ල වැටී තිබූ තැනින් වඩිනා සේක. ආනන්ද, සර්පයා දුටුවේ දැ’යි වදාළ සේක. තෙරණුවෝ සර්පයා දුටිමි’යි කීහ. ගොවියා ඒ අසා බුදුරදුන් වැඩි කළ සර්පයා මරමි’යි කෙවිට ගෙන ආයේ මසු සියල්ල දැක එය පසෙන් වසා සාන්නට විීය. මිනිස්සු පා සටහන් අනුව අවුත් මසු පියල්ලත් ගොවියාත් හැරගෙන ගොස් රජුහට දැක්වූහ. රජු ඔහු මරන්නට විධාන කළේය. මිනිසුන් ඔහුට තළා පෙළා මරණ තැනට ගෙන යන විට ඔහු ආනන්ද, සර්පයා දුටුවාද? එසේය ස්වාමීනි, සර්පයා දුටුමි’යි කියමින් යෙයි. මිනිසුන් එය විචාරා දැන ඔහු රජු වෙතට ගෙන ගියහ. රජ තෙම කරුණ විචාරා බුදුරදුන් කරා ගොස් ඒ සියලු පුවත් ඔහු මරණින් නිදහස් කළේය. බුදුරදුන් මේ නිමිති කොට ඉහත ගාථාව දේශනා කළහ.

4) තංච කම්මං කතං සාධු
යං කත්වා නානුතප්පති
යස්ස පතීතො සුමමෝ
විපාකං පටිසේවති - (බාල වග්ගය)

තේරුම – යමක් කිරීමෙන් පසු තැවෙන්නට සිදු නොවේද යමක විපාකය ප්‍රීතියෙන් හා සොම්නසින් යුතුව විඳිය හැකිවේද එබඳු ක්‍රියාවල නිරත විය යුතුය.

නිධානය – මෙම ගාථාව බුදුරදුන් වේළුවනාරාමයේ දී සුමන ම ාලාකාර නම් තැනැත්තා අරඹයා දේශනා කරන ලදී. රජගහ නුවර සුමන නම් මල් කරුවෙක් බිම්බිසාර මහ රජුට සමන් මල් අටනැලියක් සපයයි. එක් දිනක් ඔහු සමන් මල් අටනැලියක් ගෙන රජමාළිගාවට යන අතර මඟදී සවනක් රැස් විහිදුවමින් භික්ෂූන් පිරිවරාගෙන වඩින බුදුරදුන් දැක දෑ සමන් මලින් පිදීමට සිතුවේය. මේ මල් අප මහ රජුගේ අණට ගෙන යමි. ඒ අණ කඩකෙරුවොත් මා සිරගෙයි ලෑමට හෝ තැලීමට හෝ මැරීමට හෝ අණ කෙරෙති. ඒ හැම දඬුවමක්ම විඳිමි’යි සිතා දිවි පුදා සමන් මල් අටනැලියම බුදුරදුන්ට පිදුවේය. ඒ මල් බුදුරදුන්ගේ සිරස මුදුනෙහි වියනක් මෙන්ද බැබළෙන්නට වීය. ඒ දැක නුවර වැසියෝ ඔල්වරසන් හඬ දුන්හ. බිම්බිසාර මහරජ තෙමේද ඒ ආශ්චර්ය දැක සතුටුව බුදුුරදුන් සහිත මහා සංඝයාට මහ දන් දී සුමන මල්කරුටද බොහෝ සැප දුන්හ. සවස භික්ෂූන් සුමන මල්කරු බුදුරදුන්ට දිවි පුදා මල් පිදූ අනුහසින් මෙලොවදීම මහ සම්පත් ලැබුවේ යැයි කථා කළහ. බුදුරදුන් ඒ අසා සුමන මල් කරු මල් සමඟ දිවි පිදූ අනුහසින් දෙවි මිනිස් සැප විඳ මතු සුමන නම් පසේ බුදු වන්නේ යැ’යි වදාරා මේ ගාථාව වදාළ සේක.

5) අත්තාවකතං පාපං
අත්තනා සංකිලිස්සති
අත්තනා අකතං පාපං
අත්තනාව විසුඡ්ඣති
සුද්ධි අසුද්ධි පච්චත්තං
නාඤ්ඤමඤ්ඤෝ විසෝධයේ - (ආත්ම වග්ගය)

තේරුම – යමෙකු පව් කළොත් එයින් ඔහුම කෙලෙසෙන්නේය. යමෙකු පව් නොකළොත් එයින් ඔහුම පිරිසුදු වන්නේය. පිරිසුදුකම හා අපිරිසුදුකම පවතින්නේ තමා කෙරෙහිමය. එක් අයෙකුට තවත් අයෙකු පිරිසුදු කළ නොහැකිය.

නිධානය – මේ ගාථාව බුදුරදුන් දෙව්රම්වෙහෙරදී චූලකාල උපාසකයන් අරඹයා දේශනා කරන ලදී. සැවැත් නුවර චූල කාල නම් උපාසකයෙක් සිටියේය. ඔහු එක් දවසක් බණ අසා පාන්දර විහාරයෙන් නික්ම යන වේලෙහි වස්තු හිමියන් විසින් ලුහු බඳිනා ලද සොරෙකු අත තිබු බඩු චූලකාලයන් ළඟට දමා පැන ගියහ. මිනිස්සු ඔහු සොරකෙ’යි සිතා අල්වාගෙන තලන්නට වන්හ. පැන්තොටට යන අය එය දැක නොයෙක් කාරණා කියා ඔහු මුදා ගත්හ. උපාසක තෙම විහාරයට ගොස් එපවත් බුදුරදුන්ට සැල කළහ. බුදුහු එය අසා මහණෙනි, චූලකාලයන් තමන් අපරාධයක් නොකළ නිසාත් ජීවිතය ලද්දේ යැ’යි වදාරා එය නිමිති කොට මේ ගාථාව දෙසන ලදී.

6) සූකරානි අසාධූනී
අත්තනෝ අහිතානිච
යංවේ හිතං ච සාධුංච
තං වේ පරම දුක්කරං - (ආත්ම වග්ග)

තේරුම – තමාට අහිත වූ අයහපත් දේ කිරීම ඉතා පහසුය. යම් දෙයක් තමාට වැඩදායක ද යහපත පිණිස හෝ පවතී ද එවැනි දේ කිරීම ඉතා අපහසුය.

නිධානය – මේ ගාථාව බුදුරදුන් සංඝ භේදයට අදාළ කරුණක් අරඹයා වේළුවන විහාරයේදී දේශනා කරන ලදී. එක් දවසක් දෙව්දත් තෙර තමා සංඝ භේදය කරන බව අනඳ තෙරුන්ට කීවේය. උන් වහන්සේ එය බුදුරදුන්ට සැල කළහ. බුදුරදුන් ඒ අසා ආනන්දය, තමාට අහිත දැය කරන්නට පිළිවන. හිතදැය කරන්නට නොපිළිවෙනැ’යි වදාරා මේ ගාථාව වදාළ සේක.

7) අචරිත්වා බ්‍රහ්මචරියං
අලද්ධා යොබ්බනේ ධනං
ජිණ්ණකොඤ්චාවඣයන්ති
ඛීන මච්ඡේව පල්ලලෙ - (ජරා වග්ග)

තේරුම – ඇතැම් අය තරුණ වයසේ ලබා ගත හැකි ධනය හෝ වෙනත් ප්‍රතිලාභයක් හෝ නොලැබ බඹසර නොහැසිර මහලු වූ පසු පෙර කරන ලද යම් යම් දේ සිහි කරමින් දුන්නෙන් මිදී ගොස් වැටුණු ඊතල මෙන් ශෝකයෙන් සුසුම් ලමින් සිටිති.

නිධානය – මේ ගාථාව බුදුරදුන් ඉසිපතනාරාමයේදී මහජන සිටුවරයා අරඹයා දෙසන ලදී. බරැණැස් නුවර අසූ කෙලක් ධනය ඇති සිටු පුත්‍රයෙක් වීය. හෙතෙම එසේම අසූ කෙලක් ධනය ඇති සිටු කුමාරිකාවක් සරණ පාවා ගත්තේය. දෙමාපියන්ගේ ඇවෑමෙන් ඔවුන් දෙදෙනා එක්කෝටි හැට කෙලෙක් ධනයට හිමි කරුවෝ වූහ. පසු කලෙක දී ඒ සිටු තෙම සුර දූතයන් හා එක්ව සුරා පානය කොට ඒ සියලු ධනය විනාශ කොට සිය මාලිගාවත් විනාශකර බිරිදත් සමඟ සිඟමනට බැස්සේය. එක් දවසක් ඔවුන් විහාරයට ගොස් ඉඳුල් බත් පිළිගන්නා බව දුටු බුදුරදුන් අනඳ තෙරුන් අමතා අර ඉඳුල් බත් පිළිගන්නා සිටු තෙම මෙනුවර ප්‍රධාන සිටු වන්නේය. මහණ වූයේ නම් රහත් වන්නේය. ඔහු පවිටු මිතුරන් ඇසුරු කොට සුරා පානය කළ නිසා සියලු සම්පතින් පිරිහී යැ’යි වදාළ සේක.

8) අචරිත්වා බ්‍රහ්මචරියං
අලද්ධා යොබ්බනේ ධනං
සෙන්ති චාපාතිඛීත්තාව
පුරාණානි අනුත්ථුනං - (ජරා වග්ගය)

තෙරුම – ඇතැම් අය තරුණ වයසේ ලබා ගත හැකි ධනය හෝ වෙනත් ප්‍රතිලාභයක් හෝ නොලැබ බඹසර නොහැසිර මහලු වූ පසු පෙර කරන ලද යම් දේ සිහි කරමින් දුන්නෙන් මිදී ගොස් වැටුණු ඊතල මෙන් ශෝකයෙන් සුසුම් ලමින් සිටිති.

ඉහත නිධානයම මෙයට ද හේතු විය.

9) උට්ඨානවතෝ සතිමතෝ
සුචිකම්මස්ස නිසම්මකාරිනෝ
සඤ්ඤතස්සච ධම්මජීවිමෝ
අප්පමත්තස්ස යසෝභිවඩ්ඪති
(අප්පමාද වග්ග)

තේරුම – උත්සාහයෙන්ද, නිවැරැදි සිහියෙන් ද යුතු නිදොස් දේ විමසා බලා කරන තැන්පත් දැහැමි දිවි පැවතුම් ඇති නොපමා වූ පුද්ගලයගේ කීර්තිය මනාව වැඩේ.

නිධානය – මේ ගාථාව බුදුරදුන් වේළුවනාරාමයේ දී චූලපන්ථක තෙරණුවන් අරඹයා දෙසන ලදී. රජගහ නුවර එක් සිටු කුලයක මහා පන්ථක චූල පන්ථක යැ’යි සහෝදරයන් දෙදෙනෙක් වෙසෙති. එයින් මහා පන්ථක විහාරයට ගොස්බණ අසා පැවිදිව නොබෝ කලකින් රහත් වීය. උන් වහන්සේ සිය මලණුවන්ටත් ඒ උතුම් සැපත ලබා දෙනු කැමැතිව චූලපන්ථකයන් පැවිදි කළහ. හේ නුවණ මද කෙනෙකි.

සාර මසකිනුත් එක ගාථාවක් ඉගෙන ගත නොහැකි වීය. ඒ නිසා මහා පන්ථක තෙරහු මෙතරම් මෝඩයෙකුට මේ ශාසනෙහි වැඩක් නැති’යි නෙරපූහ. චූල පන්ථක තෙර සිවුරු හැරීම පිණිස ගෙදරට යාමට නික්මිණි. බුදුරදුන් ඒ බව දිවැසින් දැක ඉදිරියට වැඩ කරුණු විමසා ඔහුගේ නුවණට නිසි කමටහනක් දුන්හ.උන් වහන්සේ එය මෙනෙහි කරමින් සිටියදීම රහත් විය. බුදුරදුන් එය නිමිති කොටගෙන මෙම ගාථාව දේශනා කළහ.

 

   වප් අමාවක පෝය

 වප් අමාවක පෝය ඔක්තෝබර් 29 වනදා සෙනසුරාදා අපරභාග 08.40 ට ලබයි.
30 වන දා ඉරිදා අපරභාග 11.08 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 30 වනදා ඉරිදා ය.
 

මීළඟ පෝය නොවැම්බර් 07

වන දා සඳුදාය
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 30

First Quarterපුර අටවක

නොවැම්බර් 07

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 14

Second Quarterඅව අටවක

නොවැම්බර් 21


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]