වප් අමාවක 2016.10.30
නිර්ලෝභය
තමා සතු යමක් දීම, පිරිනැමීම ලෙහෙසියෙන් හෝ පහසුවෙන් කළ හැකි දෙයක් නොවේ. ඊට හේතුව
නම් දීමේ චේතනාව පහළවීමත් සමඟ එය වැළැක්වීමට ලෝභය නමැති අකුසල මූලය සිතට
ඉදිරිපත්වීමය. ලෝභකම සිතෙහි පෙරට ඒමත් සමඟ දීම හෙවත් පරිත්‍යාගය වළක්වාලයි. යම්
කෙනෙකුගේ අසරණකම දැක තම හදවතින් ඊට පිහිටක්වීම සඳහා කාරුණිකව ඉදිරිපත් වෙයි. අනුනගේ
දුක දැක ඊට නිරන්තරයෙන් පිහිටවීම බෞද්ධයා සතු මූලික ලක්ෂණයකි.
රෝගියකු සුවපත් කිරීමේ අරමුණින් තම සිරුරේ ලේ ටිකක් දන්දීමට ඉදිරිපත්වනුයේ
කිසිවකුගේ හෝ ඉල්ලීමකට හෝ බලකිරීමකට නොවේ. වරක් නොව තිස් හතළිස්වර ලේ දන්දීමෙන්
රෝගීන් නිරෝගීමත් කිරීමට පිහිටවූ හා පිහිටවන අය අප සමාජයේ අනන්තවත් ඇත. සිරුරේ
රුධිරය පමණක් නොව ඇතැම්විට වකුගඩු ආදි ශරීරයේ අවයව පවා දන්දීමට ඇතැමෙක් ඉදිරිපත්
වෙයි. ජීවිතයක් අකාලයේ මියැදෙන්නට බලා නොසිට එසේ පිහිටවනුයේ මනුෂ්‍යත්වයද ඉස්මතු වන
හෙයිනි. අනුන්ගේ දුක තමන්ගේ දුකක් ලෙස කල්පනා කරන බොහෝ දෙනා එසේ පරිත්‍යාගශීලීව
ඉදිරිපත්වීම සැබැවින්ම අගය කළ යුතුවෙයි.
මෙසේ තමන් සතු යමක් අන්‍යයන් වෙත කාරුණිකව පිරිනැමිය හැකි වන්නේ පරිත්‍යාගය පුරුදු
පුහුණු කරන අයකුටම පමණක් වේ. ඇතැමෙක් මළ පසු තම නෙත් දෙක ලොව නොදකින අයෙකුට ලොව දෙස
බලන්නට පිරිනමනු ලැබේ. එමෙන්ම ඇතැමෙක් මරණයට පත්වීමෙන් පසුව තම සිරුර මිහිදන් කිරීම
හෝ ආදාහනය කිරීමෙන් වැළකී වෛද්‍ය විද්‍යාව හදාරන සිසුන්ගේ දැනුම වර්ධනය කර ගැනීම
සඳහා වෛද්‍ය විද්‍යාලයට පිරිනමනු ලැබේ. සමහර විට ජීවත්ව සිටින කලද විවිධ
පරිත්‍යාගයන් සිදු කර මරණයෙන් පසුවද තම සිරුර පවා එසේ සමාජ යහපතට යොදා ගැනීමට
කල්පනා කිරීමද අගය කළයුතු වේ.
දන්දීම පාරමිතා ගුණයකි. ඇතැමෙක් අනුන් පරිත්‍යාග කිරීමට පෙළඹෙනවිට ඒ අයගේ උනන්දුව
පවා වියැකී යන අයුරෙන් මිස එහි අගය වචනයකින් හෝ පහදා සහාය පළ කිරීමටවත් උනන්දු නොවන
අයුරුද දක්නට ලැබේ. තමන් පරිත්‍යාගශීලී නොවුවද එසේ පරිත්‍යාගයෙහි නිරතවන්නා හෝ
දිරිමත් කිරීමද කළ යුතු වේ. යන එන මඟ තොටේදී වුවද හමුවන අසරණකම කියමින් යමක් ඉල්ලා
ගැනීමේ අපේක්ෂාවෙන් තමන් ඉදිරියට එන අයෙකුට ශක්ති පමණින් උපකාරයක් කළයුතු වන්නේ
එවැන්නෙකුට එමගින් පිහිටක් වන අපේක්ෂාවෙනි. සත්‍යය භාවිතා නොකරන වංචනික අයකුට වුවද
ඒ වංක හෝ අවංක බව දන්නේ එබඳු ඉල්ලාගෙන එන තැනැත්තාම පමණි. නාඳුනන අයෙකු වුවද ඔහුගේ
වචනය, ඉල්ලීම සත්‍යයක් සේ විශ්වාසයේ තබා එසේ පිහිටවීමෙන්, පරිත්‍යාග කරන්නාට
යහපතත්, වංචනිකව යමක් ලබා ගන්නාට අයහපතත් සිදුවන බව විස්තර කළ යුතු නොවේ.
දීම, පරිත්‍යාගය බෞද්ධ සමාජයට හුරු පුරුදු වූයේ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් බුදු
සිරිත ආදර්ශයට ගැනීම හේතුවෙන්මය. කොතෙක් අය ජීවත් වුවද තමා සතු යමක් පරිත්‍යාග
කිරීමට දන්දීමට සිත් පහළ වනුයේ කලාතුරකින් අයෙකුට පමණි. අනුග්‍රහයක් අරමුණින් වුවද
කරන පරිත්‍යාගයෙන් තමාගේ ලෝභය දුරු වී පරිත්‍යාගය වර්ධනයවීමට එය හේතුවක් වනු ඇත.
තම කුසගිනි නිවා ගැනීමට ගන්නා ආහාරවේල අනුනගේ කුසගිනි නිවන්නට උපකාර කර ඒ ගැන
නිරතුරුව සතුටු වේ. විවිධ උවදුරු පැමිණි විට ඊට පිහිටවීමට ඇති නැති හැම ශක්ති
පමණින් ඉදිරිපත් වන අයුරෙන් විපතකදී අනුනට පිහිටවීමට කෙතරම් සමාජය කැමැත්තක්
දක්වන්නේදැයි වටහා ගැනීමට එයම පමණක් වුවද ප්‍රමාණවත් වේ.
තමන් දැහැමින් උපයාගත් ධනය තමන් ද පරිහරණය කරන ගමන් අනුනගේ සැපත, සුවය සඳහා යෙදවීම
අගය කළ යුතුවේ. එසේ නොමැතිව ධනයෙන් තමාටවත් අනුනටවත් ප්‍රයෝජනයක් නොගන්නේ නම් එබඳු
ධනයක් පළක් නොවන බවද අවබෝධ කරගත යුතු ය.
ලෝභකම හැම විට නිර්ලෝභීවීමෙන් යටපත් කළයුතුය. දන්දීම හෙවත් පරිත්‍යාගය ඇතැම්විට
යුද්ධයක් හා සම කළ හැකිය. දන්දීමේ චේතනාව පහළවෙත්ම ඊට එරෙහිව ඉදිරිපත් වනුයේ
ලෝභකමය. එය යටපත් කර ගෙන පරිත්‍යාගයෙහි යෙදෙන්නා සසර පුරා නිර්ලෝභීව ජීවත්වීමට
උත්සාහ ගනු ඇත.
|