UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

චීවර  පූජාව

චීවර  පූජාව

විනයානුකූල ව සිවුරක් මැසිමේ දී පළමුව අතු පහම උ ස අතට ගැබ සහිත ව මසා ඒවා මූට්ටු කළ යුතුය. එහි දී 1,2,3,4,5 වශයෙන් සෑම අත්තක් ම උඩ, යට ගැබ මාරු විය යුතුය. එවිට සියලු ම අතුවල ගැබ එකිනෙකට මාරුවී තිබේ. අනතුරුව අතු පහ මූට්ටු කළ යුතුය. මෙසේ අතු පහ මූට්ටු කර අවසන් වූ පසු ව වටේ නුවා ව මැසිය යුතුය. එහි දී සිවුරේ මුළු හතර ඇද නැති ව පිළිවෙළට මසා ගැනීම අවශ්‍යය.

මෙහි පළමු කොටස වප් අව අටවක (ඔක්තෝබර් 22) වන පෝදා පළවිය.

මෙසේ මූලික මැසීම් අවසන් කර සිවුරේ 2. 3. 4. යන අතුවල උඩට සහ යටට, අඟල් දෙකක පටියක් මැසිය යුතුය. උඩ පටියට කියන්නේ ගීවෙයය කියා ය. යට පටියට කියන්නේ ඡඤ්ගෙයය කියාය. ගණ්ඨිය සහ පාසක මසන්නේ, සිවුරේ යට පැත්තේ 1 සහ 5 යන අතුවල නුවා දෙක එකතුවන තැනටය. ගණ්ඨිය වශයෙන් යොදන්නේ අඟල් 3ක් පමණ දිගැති ශක්තිමත් නූල් කෑල්ලකි. පාසක වශයෙන් යොදන්නේ තොණ්ඩුවක් වැනි වූ නූලකි.

මෙසේ සිවුර මසා නිම වූ කල්හී දිග සහ කෙටි ගැබ එකිනෙකට මාරු වී ඇති නිසා, පිළිවෙළට බෙදා සකස් කරන ලද කුඹුරක ලියදි සේ පෙනේ. එය බුදුරජාණන් වහන්සේ විසින් මගධ ක්ෂේත්‍රයේ ලියදි සහ නියර බෙදා තිබුණ ලෙසින්, ආනන්ද හිමියන් විසින් සකස් කරන ලද සිවුරේ ආකෘතියයි.

සිවුරු රෙදි සහ සිවුරේ පාට

කෝම - කෝම නම් ගස් ගස්වල පොතුවලින් වියන ලද රෙදිවලින් සකස් කරගත් සිවුරු

කෝස - කෝස නම් පණුවන්ගේ නූල්වලින් වියන ලද රෙදිවලින් මැසූ සිවුරු

කප්පාස - කපු රෙදිවලින් සකස් කරගත් සිවුරු

සාණ - හණ නූල්වලින් වියන ලද රෙදිවලින් මැසූ සිවුරු

ලෝම - මිනිස් ලොම්, අස්ලොම්, නපුරු සතුන්ගේ ලොම් හැර වෙනත් ලොම්වලින් වියන ලද රෙදිවලින් සකස් කරගත් සිවුරු

කොමු, සපු, ලොම් ආදිය මිශ්‍ර කර වියන ලද රෙදිවලින් මැසූ සිවුරු

තව ද දුහුල් රෙදි, පත්තුණ්ණ දේශයේ රෙදි, සෝම දේශයේ රෙදි, චීන පටපිළී ආදියෙන් මසන ලද සිවුරු ද අනුරුද්ධ මහරහතන් වහන්සේට දෙවියන් විසින් දෙන ලද සිවුරු ආදිය ද භික්ෂූන් වහන්සේලාට භාවිතයට සුදුසු සිවුරු වර්ගයෝය.

සිවුරේ වර්ණය හඳුන්වන්නේ ‘කාසාය – කසට – කහට’ පාට වශයෙනි. එහෙත් සිවුරට නියමිත වර්ණයක් සම්මත නොවීම නිසා ඡබ්බග්ගිය භික්ෂූහු සම්පූර්ණ නිල් (සම්බනීල) සියල්ල කහ (සබ්බපීත), සියල්ල රතු (සබ්බලෝහිත), සියල්ල සුදු (සබ්බ ඕදිත), සියල්ල මදටිය පාට (සබ්බමඤ්ජිට්ඨ) සිවුරු භාවිත කළහ. එය දැනගත් බුදුරජාණන් වහන්සේ තනි නිල්, කහ, රතු, මදටිය, සුදු, කළු වර්ණ සිවුරු දැරීම තහනම් කළහ.

සිවුරු වර්ණ කිරීමේ දී පඬු සකස් කරගැනීමට ගස්වල මුල්, කඳ, පොතු, කොළ, මල්, ගෙඩි යන වර්ග හය අනුමත කර ඇත. කසාමුල් හැර අනෙක් සියලු මුල් වර්ග ද පතඟි හා ටිගොල් හැර අනෙක් අරටු වර්ග ද ලොත් සුඹුලු හා කඩොල් සුඹුලු හැර අනෙක් පොතු වර්ග ද සිහින් කසා හා බේරු කොළ හැර අනෙක් සියලු කොළ වර්ග ද වනුක් මල් හා කෑල මල් හැර අනෙක් සියලු මල් වර්ග ද සියලු ඵල වර්ග ද සිවුරු වර්ණ කිරීමට සුදුසුය. මෙම වර්ගවලින් සකස් කර පඬුගසා, කාසාය වස්ත්‍රයක් බවට පත්කරගත් සිවුරු, ථෙරවාදී සම්ප්‍රදාය අනුගමනය කරන භික්ෂූහු භාවිත කරති. එනිසා සිවුරක් සකස් කිරීමේ දී නියමිත රෙදි වර්ගයක් වීම, විනයානු කූලව කඩකපා මැසීම, සුදුසු පඬු වර්ගයකින් පඬු ගැසීම කළ යුතුය.බුදුරජාණන් වහන්සේ විසින් අනුමත කරන ලද සංඝාටි (දෙපොට සිවුර) උත්තරාසංග (තනිපොට සිවුර), අන්තරවාස (අඳනය) යන තුන් සිවුරු පස් කඩ, හත් කඩ ආදී වශයෙන් අතු ගණන වැඩි කර මසා ගත හැකිය. එහෙත් සියලු ම සිවුරුවල පහත සඳහන් කොටස් අන්තර්ගත විය යුතුමය.

කුසි (දිග, පළල නුවා) අඩඪ මණ්ඩල (කුඩා මැඩිලි), විවට්ට (වස් අත්ත, මැද මණ්ඩලය, මහමැඬිල්ල, මැද අත්ත) අනුවට්ට (ඇළ අතු), ගීවෙය්‍යක (ගෙළ පටිය), ජංගෙය්‍ය (කෙණ්ඩා පටිය), ගන්ඨි (ගැටය හෙවත් සිවුර පෙරවූ පසු සුළඟට එහා මෙහා නොයන ලෙස අල්ලා තැබීම සඳහා සිවුරේ කෙළවර ඇති ගැටය), පාසක (සිවුර පෙරවූ පසු සුළඟට එහා මෙහා නොයන ලෙස අල්ලා තැබීම සඳහා සිවුරේ කෙළවර ඇති ගැටය ඇතුළු කිරීමට යොදන පුඩුව හෙවත් තොණ්ඩුව) යන කොටස් සිවුරක අන්තර්ගත විය යුතු බව මහාවග්ග පාළි චීවරක්ඛන්ධකයේ සඳහන් වේ. (ම.ව.708 පිටු)පස්කඩ, හත්කඩ ආදී වශයෙන් සකස් කෙරෙන සිවුරක, කඩ හෙවත් අතු (දිග පටි වැනි තීරු) ගණන වැඩි කළ හැකිය. පස් කඩ සිවුරක නම් අතු පහක් ද හත් කඩ සිවුරක නම් අතු හතක් ද ඇත. ඒ සියලු ම අතුවල දිග සහ පළල සමානය. සිවුරක, මැද අත්ත (පස් කඩ සිවුරක නම් තුන්වන අත්ත) වස් අත්ත හෙවත් විවට්ට නමින් හැඳින්වේ. වහලයක මදුණේ යොදන යටලීය මෙන් සිවුරේ මධ්‍යය, වස් අත්තයි. එය, මධ්‍ය මණ්ඩලය යයි ද මැද මණ්ඩලය යයි ද මහමැඩිල්ල යයි ද හැඳින්වේ. අනෙක් අතු ‘මජ්ඣමණ්ඩලය’ යයි ද ‘කුඩාමැඩිල්ල යයි ද හැඳින්වේ. පස්කඩ සිවුරක නම් එක සහ පස්වන අතු හඳුන්වන්නේ ‘බාහත්ත හෙවත් නුවා අත්ත වශයෙනි. එම අතු දෙක ම සිවුර පොරවන කල්හි අතේ බාහුමත වැටෙන නිසා බහත්ත නම් විය. ඒවා අනුවට්ට හෙවත් ඇළ අතු වශයෙන් ද දැක්වේ. ගීවෙය්‍ය හෙවත් ගෙළ පටිය, යොදන්නේ සිවුරේ ඉහළ කොටසේ මැද අතුවල ඇතුල් පැත්තෙන්ය. එයින් බෙල්ලේ දාඩිය සිවුරේ ගෑවීමෙන් වන්නා වූ හානිය වැළකේ. ජංගෙය්‍ය හෙවත් කෙණ්ඩා පටිය යොදන්නේ සිවුරේ පහළ කොටසේ මැද අතුවල ඇතුලු පැත්තෙන්ය. එයින් සිවුර කෙණ්ඩාවල ගෑවීමෙන් වන්නා වූ අපිරිසුදු වීම, වළක්වයි. එනිසා ගීවෙය්‍ය හා ජංගෙය්‍ය යොදන්නේ සිවුරේ ආරක්ෂාවටය.මෙසේ රෙදි කෑලිවලට (කඩ) කපා සිවුර මැසූ පසු එහි වටිනාකම අඩු වෙයි. එනිසා සොරුන්ගෙන් වුවත් අනතුරක් නොවේ. ඉදිකටුවලින් මැසීම නිසා රළුය. ශ්‍රමණයන්ට ගැළපෙන්නේය. සතුරන් විසින් නොකැමැති වන්නේ ය. මෙසේ ‘චීවරය’ සුඛෝපභෝගී නොවන චාම් වූ ආරක්ෂිත වස්ත්‍රයකි.

 

   වප් අමාවක පෝය

 වප් අමාවක පෝය ඔක්තෝබර් 29 වනදා සෙනසුරාදා අපරභාග 08.40 ට ලබයි.
30 වන දා ඉරිදා අපරභාග 11.08 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 30 වනදා ඉරිදා ය.
 

මීළඟ පෝය නොවැම්බර් 07

වන දා සඳුදාය
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 30

First Quarterපුර අටවක

නොවැම්බර් 07

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 14

Second Quarterඅව අටවක

නොවැම්බර් 21


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]