UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිනැති හෙළ දූ පුතුන්ගේ අර්හත්වය

පිනැති හෙළ දූ පුතුන්ගේ අර්හත්වය

අනුරාධපුර උඩමළුවේ උතුම් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ නොයෙක් ප්‍රාතිහාර්යයන් සහිතව රෝපණය වූ අයුරු අපි කථා කළෙමු. පින්වන්තයන්ගේ යුගයේ සිදුවන දේ අද දැක ගන්නට නැත. අද කාලයේ පින කොතරම් අඩුද යත් ඒ සිදුවීම් පිළිගන්නට පවා සමහරුන් අකැමැතිය.
එය එසේ වීමට හැකිද? කියා සැක කරයි. ප්‍රශ්න කරයි.

 

අනුලාදේවිය ඇතුළු පිරිස පැවිදි වීම

ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ තුළ පිහිටි අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ තේජස ලංකාවාසීන්ගේ හිතසුව පිණිස ලක් දෙරණේ මැනවින් පිහිටියේ ය. කන්‍යාවන් පන්සියයකින්ද, අන්තඞපුරය ස්ත්‍රීන් පන්සියයකින් ද, පිරිවර සහිත අනුලා දේවි සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ වෙතින් පැවිදි බව ලබාගෙන උතුම් අර්හත්වයට පත්වුණි. අරහත් භික්ෂුණි පරපුර ආරම්භ වූ අතර, ලක්දිව කාන්තාවන්ට බුදු සසුනේ පිහිට ලැබුණේය.

ඒ අතරම අරිට්ඨ රාජපුත්‍රයා පන්සියයක් පිරිවර සහිතව මිහිඳු මහරහතන් වහන්සේ වෙතින් පැවිදි බව ලබාගෙන උතුම් අර්හත්වයට පත්වුණි. මේ අනුව ලක්දිව අර්හත් පරපුර බිහිවුණි. හෙළ බස කතාකළ ගමේගොඩේ වතුපිටි සමඟ ජීවිතය ගතකළ අය බුදුබණ අසමින් ගෞතම සසුනේ පැවිදිව අර්හත්වයට පත්වුණි. සිංහලෙන් බුදුබණ දේශනා කළේය. පිනැති හෙළ පුතුන් පැහැදිව මුනිවරුන් අතරට එක්වුණි.

මහ බෝ වැඩම වූ නැවේ කොටස් භික්ෂුණී ආරාමවල

උපාසිකා විහාරය යන නමින් ප්‍රසිද්ධ වී තිබුණ භික්ෂුණි ආරාමයෙහි භික්ෂුණී සංඝයා සහිත සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ වැඩ වාසය කළේය. දඹදිවින් භික්ෂුණීන් වහන්සේ වැඩමවීමෙන් පසු ඒ උපාසිකා වෙහෙර වටකොට චූලගණය, මහාගණය, සිරිවඩ්ඪ නමින් මහා ප්‍රාසාද තුනක් ඉදි වූයේය. එහි තවත් ප්‍රාසාද නවයක් කරවා දොළොස් ප්‍රාසාදයක් ඇතිවුණි. මේ ආකාරයට භික්ෂුණින් හට භික්ෂුණී ආරාම ඉදිවුණි. ඒ භික්ෂුණිහු සංඝමිත්තාවන් පෙරටු කොට සිටි අතර, මිහිඳු මහ රහතන් වහන්සේ භික්ෂු භික්ෂුණී, උපාසක, උපාසිකා හට මැනවින් චතුරාර්ය සත්‍ය දේශනා කරමින් වැඩ සිටියේ බුදු කෙනෙකු ලෙසය. ඒ නිසා මිහිඳු මහ රහතන් වහන්සේ අනුබුදු මිහිඳු මහා රහතන් වහන්සේ ලෙස අදත් අප කතා කරමු.

ඉහත සඳහන් භික්ෂුණී ආරාමවල චූලාංගණය නමැති මහා ප්‍රාසාදයේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වඩමවාගෙන ආ නැවෙහි කුඹගස තැබුවේය. මහාගණ නමැති අනෙක් ප්‍රාසදයේ නැවෙහි සුක්කානම තැබුවේය. සිරිවඩ්ඪ නම් අනෙක් මහා ප්‍රාසාදයේ නැවෙන් ගෙනා හබලක් තැබුවේය. මේ අනුව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවාගෙන පැමිණි නැවට පවා රහතුන්ගේ යුගය කෙතරම් උපහාර පූජා පැවැත්වුවාද? රහතුන් ගේ යුගය එසේ නම් අද කෙසේ අප පුද සත්කාර කළයුතුද? අනුරාධපුර උඩමළුවේ උතුම් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ සුවසේ වැඩ සිටින සේක. පිනැතියන් හට පින් කරගන්න කිසිදු බාධාවක් නැත.

වෙනත් භික්ෂුණී ආරාම

ධම්මරුචික ආදී වෙනත් නිකායයන් පහළ වූ පසුවත් ඒ දොළොස් ප්‍රාසාදය ම සෑම කාලයේ ම හත්ථාල්හක භික්ෂුණීන් විසින් පමණක් පරිහරණය කළේය. සංඝමිත්තා මෙහෙණින් වහන්සේ වාසය කළ ඒ උපාසිකා විහාරය බොහෝ භික්ෂුණින්ගෙන් සහ අන්‍ය උපාසිකාවන්ගෙන් ජනාකීර්ණව තිබූ නිසා බුද්ධ ශාසනයේ දියුණුව ප්‍රාර්ථනා කළ, භික්ෂුණින් වහන්සේගේ යහපතම අපේක්ෂා කළ එතුමිය ඉතා නුවණින් යුක්තව වෙනත් විවේකී භික්ෂුණී සේනාසනයකට කැමැති විය.

එතුමිය මේ හත්ථාල්හක ආරාමය පිහිටන ස්ථානයට වැඩම කළේය. නොයෙකුත් නිර්මල සමාපත්ති වලට සමවදින්ට දක්ෂ වූ සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේ සුන්දර වූ හුදෙකලා සුවය විඳිමින් ඒ වටදාගෙය තුළ දිවා විහරණයෙන් වැඩ වාසය කළේය. දේවානම්පියතිස්ස රජු සඟමිත් තෙරණින් වහන්සේ වන්දනා කරන්නට භික්ෂුණී ආරාමයට ගියේය. එහිදී අසන්නට ලැබුණේ භික්ෂුණීන් වහන්සේ අලුතින් සැදු චේතියඝරයට විවේකී විහරණ පිණිස වැඩම කළ බවයි. එවිට රජතුමා එහි ගොස් සංඝමිත්තා තෙරණින් වහන්සේ සමඟ සතුටු සාමීචියේ යෙදී උපාසිකා වෙහෙරින් මෙතැනට වඩින්නට කාරණාව කුමක්දැයි? ඇසීය. අනුන්ගේ අදහස් තේරුම් ගන්ට දක්ෂ රජු භික්ෂුණීන්ගේ විවේකවාසයට මෙතැන රුචි බව දැන ඒ චෛත්‍ය ගෘහය වටකොට ඉතා අලංකාර භික්ෂුණී සේනාසනයක් කෙරෙව්වේය. ඇත්හළ අසළ කරනා ලද භික්ෂුණී සේනාසනය ඒ හේතුවෙන් “හත්ථාල්හක විහාරය” යන නමින් ප්‍රසිද්ධියට පත්වුණි. ලොවට මහත් යහපත සලසන කල්‍යාණ මිතුරියක් වන මහා නුවණැති ඒ සඟමිත් මහරහත් තෙරණින් වහන්සේ ඒ රම්‍ය වූ භික්ෂුණී සේනාසනයෙහි වැඩ වාසය කළේය.

පෙර බුදුවරුන් දවස මහා විහාරය කෙසේ වීද?

මිහිඳු මහරහතන් වහන්සේගේ දූරදර්ශී ඤාණය අනුව මහා විහාරය සැලසුම් විය. අනුරාධපුර මහා විහාර සැලැස්ම අතීතයේ පහළ වුන බුදුවරුන්ගේ යුග වලදීද මේ ආකාරයෙන්ම තිබූ බවට කරුණු යෙදේ. පෙර බුදුවරුන්ගේද බෝධින් වහන්සේ පිහිටියේ දැන් අපගේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ පිහිටි භූමියේම ය. පෙර පහළ වූ සිව් බුදුරජාණන් වහන්සේ ම රුවන්වැලි මහා සෑ බිම පරිභෝග කළ සේක. ථූපාරාමය පරිභෝග කළ සේක. එක් බුදු සසුනක ජලසාටිකා ධාතුවද, විටෙක පෙරහන්කඩ ධාතුන් වහන්සේද, තවත් බුදු සසුනක පටී ධාතුන් වහන්සේ ද, තැන්පත්ව ස්තූප ඉදිවූයේ ගෞතම භාග්‍යවතුන් වහන්සේගේ දකුණු අකු ධාතුන් වහන්සේ වැඩ සිටින ථූපාරාමය පිහිටි ස්ථානයේම ය. කල්ප ගණන් ආ පස්සට බලන අපගේ මිහිඳු මහරහතන් වහන්සේ මහා විහාර භූමියට අපූරු සැලැස්මක් දුන්නේය. ඒ සැලසුමට කියන්නේ “සීහ වික්කන්ත සැලසුම” කියාය. (යම් සේ සිංහයෙක් සිංහ සෙයියාවෙන් සැතපී සිටින සැටියෙන් කළ සැලසුම)

සීහ වික්කන්ත සැලැස්ම

මහාමේඝ වනයේ පිහිටි වූ ඒ සීහ වික්කන්ත සැලැස්ම අනුරාධපුර මහමෙව්නාවටම ආවේණික සැලැස්සමකි. ඒ ගැන විස්තර පාලි බෝධි වංශයේ මෙලෙස සඳහන් වේ.

තදා රාජා දේවානම්පියතිස්සෝ මහාමේඝ වනේ, යථා සීහස්ස වාළදිකෝටි පරිචුම්බිතට්ඨානේ බෝධිඝරං හෝති, දක්ඛිණ පාදට්ඨානේ මහා පාසාදෝ නාගඵණාකාරො, වාම පාදට්ඨානේ සන්තිපාතඝරං, නාභිට්ඨානේ ධාතුඝරං, වාමොදර පස්සේ රංසිමාලකො, දක්ඛිණ හත්ථට්ඨානෙ හත්තඝරං, වාම හත්ථට්ඨානේ මහාථූපො බුබ්බුලාකාරො, කණ්ඨවිඨානේ කණ්ඨකූපො, ගීවමාවත්තෙත්වා දක්ඛිණ පස්සේන ඕලෝකෙන්තස්ස දිට්ඨිනිපාතට්ඨාකෙ මුනිඝරං හෝති ඒවං සීහ වික්කන්තං කත්වා මහන්තානං විහාරො මහා විහාරෝති (පාළි බෝධිවංශය 86 පිටුව)

දේවානම්පියතිස්ස රජු මහා විහාරය මෙසේ කළේය. සිංහයාගේ වල්ගා කෙලවර පිහිටි තැන බෝධිඝරය විය. දකුණු පාදය පිහිටිතැන නාග පෙනයක හැඩය ගත් මහා ප්‍රාසාදය විය. වාම පාදය පිහිටි තැන සන්නිපාතඝරය විය. නාභිය පිහිටි තැන ධාතු ඝරය විය. වම් උදර ප්‍රදේශය පිහිටි තැන රංසිමාලකය විය. දකුණු අත පිහිටි තැන භත්තඝරය විය. වම් අත පිහිටි තැන බුබ්බුලාකාර මහා ථූපය විය. උගුර ඇති තැන කණ්ඨකූපය නම් ළිඳය. බෙල්ල හරවා දකුණු පැත්ත බලන විට ඇස්වල දෘෂ්ඨිය වැටෙන තැන මුණිඝරය විය. මෙසේ වලිගය දිග හැර සිංහ සෙයියාවෙන් සැතපී සිටින සිංහයෙක් සේ සැලසුම් ගෙන මහත් කොට කළ විහාරය මහා විහාරය නම් විය. ඒ අනුව එය ජය ශ්‍රී මහා බෝධි භූමිය බව සිතා ගන්නට පුළුවන්. මේ විස්තර පාලි බෝධි වංශයේ සඳහන්ව තිබෙන්නේ.

වැලමිටියාවේ ධම්මරක්ඛිත නායක හාමුදුරුවන්ගේ “ශ්‍රී මහා බෝධින් වහන්සේ ඉතිහාසය හා තදනුබද්ධ සංස්කෘතිය” නම් පොතේ ඒ ගැන කෙටි විවරණයක් සඳහන් වේ. මේ විස්තරය අප්‍රකට කරුණක් බැවින් කරුණු විමසන්නෝ විමර්ශනය කිරීම වටී.


 

   වප් අමාවක පෝය

 වප් අමාවක පෝය ඔක්තෝබර් 29 වනදා සෙනසුරාදා අපරභාග 08.40 ට ලබයි.
30 වන දා ඉරිදා අපරභාග 11.08 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 30 වනදා ඉරිදා ය.
 

මීළඟ පෝය නොවැම්බර් 07

වන දා සඳුදාය
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 30

First Quarterපුර අටවක

නොවැම්බර් 07

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 14

Second Quarterඅව අටවක

නොවැම්බර් 21


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]