ලොවෙහි විස්මිත
දායාදයන්ගේ
අතුරුදහන් වීම
බත්තරමුල්ල
සිරි සුදස්සනාරාම
සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක ආචාර්ය
මිරිස්සේ ධම්මික හිමි
දීඝ නිකායෙහි පාඨික වර්ගයට අයත් අග්ගඤ්ඤ සූත්‍රයෙහි ලෝක උප්පත්ති කතාවෙහි සත්වයා,
ප්‍රීතිය අනුභව කරගෙන, ශරීරයෙන් හටගත්තා වූ ප්‍රභාෂ්වර බව පොළොවෙහි ඇති වූ රස ඕජාව
එනම් රස පොළොව, භූමි පප්පටකය, බදාලතාව, ඇල් සහල් ආදී වූ සත්වයෝ පරිභෝග කළ සියලු
දේම, මේ සත්වයන් තුළ හටගත් ලාමක අකුසල් ධර්මයෝ නිසාම විනාශ වූ ආකාරය නිකිණි පුර
පසළොස්වක පෝදා සිට අප කතා කරමින් පැමිණි අතර, අද අප ආහාරය නිසා ඇතිවන්නා වූ රස
තෘෂ්ණාව හේතුවෙන් සත්වයා තුළ හටගත්තා වූ අකුසල ධර්මයෝ ගැන කතා කරමු.
වාසෙට්ඨයෙනි, ඒ කාලයේ එම සත්වයෝ නැවතත් එක තැනකට එක් රැස්වෙලා ඒ අය මෙහෙම කතා
කරන්නට වුණා. බලන්න, මහා ඛේදයක් එනම් අපට මහා විපතක් සිද්ධ වෙලා සත්වයන්ගේ සිත්වල
මලානික බවක් ඇති වෙන්නට පටන් ගත්තා.
ලාමක අකුසල ධර්ම පහළවීම
පෙර අප සිතින් ප්‍රීතිය අනුභව කරගෙන, අපේම ශරීරයෙන් හටගත්ත ප්‍රභාෂ්වර බවින් යුක්තව
ශෝභන වස්ත්‍රාභරණ ඇතිව බොහෝ කාලයක් වාසය කළා. ඒ ආකාරයෙන් ජීවත් වූ අපට බොහෝ කාලයක්
ඇවෑමෙන් රස පොළොවෙහි දියෙහි පැතිරීගෙන යන රස ඕජාව ඇති වුණා. එය ඉතාම පැහැපත් හා
සුවඳවත් ඒ වගේ ම රසවත් බව අපට මතකයි. එදා අප ඒ රස පොළොව අත්වලින් පිඬු කොට එනම්
කෑලි බවට කඩා අප ආහාරයට ගත්තා. රස පොළොව ආහාරයට ගැනීමත් සමඟ අපගේ ශරීරයේ තිබූ
ප්‍රභාෂ්වර බව බබළන ස්වභාවය නැතිව යන්නට පටන් ගත්තා. අපට මතකයි, එය අතුරුදහන් වුණාට
පසුව සඳු හිරු පායාගෙන ආවා. ප්‍රකට වුණා. සඳු හිරු ආරම්භයත් සමඟ නැකත් තාරකාවෝ පහළ
වුණා. නැකැත් තාරකාවෝ පහළ වූ පසු රාත්‍රිය හා දහවල ආරම්භ වුණා. රාත්‍රිය හා දවල්
ආරම්භයත් සමඟ මාස, පක්ෂ, ඍතු ආදී වශයෙන් කාලය සකස් වුණා. එදා ඒ අප පොළොව පරිභෝග
කරමින් වළඳමින් ආහාර කොටගෙන බොහෝ කාලයක් ජීවත්ව සිටියා.
ඒ අතර ලාමක අකුසල් දහම් පහළ වීමම රස පොළොව අතුරුදහන් වුණා. රස පොළොව අතුරුදහන්
වූවාට පසුව භූමි පප්පටකය පහළ වුණා මතකයි. අප ඒ භූමි පප්පටකය පරිභෝග කරමින් කාලයක්
ජීවත් වුණා. අන්න ඒ කාලයේ දී නැවතත් ලාමක අකුසල් ධර්ම අපගේ සිත්වල පහළවීම භූමි
පප්පටක අතුරුදහන් වුණා. එය අතුරුදහන් වූවාට පසුව ඉතාම රසවත් සුවඳවත් බදාලතාව පහළ වූ
අතර එය පරිභව කරමින් ජීවත්වන අතර නැවතත් ලාමක අකුසල ධර්ම සිත්වල පහළවීම නිසා
බදාලතාවත් අතුරුදහන් වූවා. එයත් අතුරුදහන් වූවාට පසුව නොසාන ලද බිමෙහි කුඩු නැති
දහයියා නැති පැසුණු පිරිසුදු සුවඳැති සහල්ම විශේෂයක් පහළ වුණා. අප එයත් පරිභෝග
කරමින් බොහෝ කාලයක් ජීවත් වන අතර, අප තුළ ලාමක අකුසල් දහම් පහළ වීම නිසා අර ඇල්
සහල්වල කුඩුයි සහල වසාගෙන දහයියාත් බැදෙන්නට පටන් ගන්නා ලදී. පරිභෝගය සඳහා පෙර දින
සවස කපා ගත් පසු දින උදයේ යළි එතැන ඇල් සහල් වැවුණේ නැහැ. වැවුණ ද ඉතා අඩුවෙනි.
වාසෙට්ඨයෙනි, එවිටය ඒ සත්ව පිරිස තෘෂ්ණාවේ ගැඹුරට යමින් ඇල් සහල් බෙදා ගන්නට, සීමා
තබන්නට පටන් අර ගත්තා. එලෙසම තෘෂ්ණාවේ ගැඹුරට ක්‍රමයෙන් මේ සත්වයෝ යන්නට පටන්
අරගෙනයි තියෙන්නේ.
සොරකමේ ඇරඹුම
වාසෙට්ඨයෙනි, එකල්හි ආශාවන්ගෙන් පිරුණු, එනම් ලෝල එක්තරා සත්වයෙක් තමන්ට බෙදා
වෙන්කර දෙන ලද කොටස රැක ගනිමින් එනම් තමාගේ කොටස තබාගෙන තමන්ට නොදෙන ලද කොටසක්
පරිභෝගය සඳහා හොරෙන් එනම් අන් අයකුගේ කොටසක් ගෙන යෑමට සූදානම් වන විටම අන්‍යයන් ඔහු
අල්ලා ගන්නා ලදී. නුඹ නුඹගේ කොටස රැකගෙන තමන්ට නොදුන් කොටසක්ගෙන පරිභෝග කිරීම
ඒකාන්තයෙන් ම ලාමක එනම් ඉතාම වැරැදි ක්‍රියාවක් නුඹ කළා, මින් පසු එසේ නොකරන්නයැයි
ඔහුට අවවාද කළා.
වාසෙට්ඨයෙනි ඒ සත්ව තෙම එසේය බවත්ති කියා අවවාද දුන් අයට පිළිවදන් දුන්නා. එනම් වරද
පිළිගත්තද, දෙවෙනිවරත් ඒ සත්වයා තමන්ගේ කොටස රැකගන්න, තමාට නොදුන් තවත් එක්තරා
කොටසක් පරිභෝගය සඳහා සූදානම් වූවා. දෙවැනිවර ද නුඹ ලාමක ඉතාම වැරැදි දෙයක් කළා
යළිත් මෙවැනි ක්‍රියාවක් නොකරන ලෙස අන්‍යයන් දැඩිව අවවාද කළා. එනමුත් අර සත්වයා
තමන්ගේ කොටස රැකගෙන තමන්ට නොදුන් තවත් අන්‍යයකුගේ කොටසක් ගෙන පරිභෝග කරනවා. මෙය
ලාමක පහත් ක්‍රියාවක් යළිත් මෙබන්දක් කරන්න එපා යැයි තුන්වන වතාවටත් අවවාද කළා.
එපමණක් නොව කෙනෙක් අතින්, ගලකින්, දණ්ඩයකින් පහර දුන්නා. එතැන් පටන් සොරකම සකස්
වෙනවා. බොරුකීම, ගැරහුම, දඬුවම් කිරීම ආරම්භ වෙනවා.
ලෝක උප්පත්ති කතාව විමසා බලන අපට මනුෂ්‍යයන්ගේ රස තෘෂ්ණාවෙන් ආරම්භ වූ කතාවෙන්
සත්වයන් ඔවුනොවුන් කෙරෙහි රාගයෙන් මුසපත්ව වර්ගයා බෝවීම ආරම්භ කරමින් අනතුරුව
ආහාරයෙන් ඇතිකර ගන්නා වූ රස තෘෂ්ණාවෙන් සොරකමත්, බොරුවත්, පහරදීමත්, දඬුවම්දීමත්
ආරම්භවන ආකාරය ඉතාම හොඳින් පැහැදිලි වෙනවා. මේ සියල්ලටම මුල නම් තෘෂ්ණාව බවත් රස
තෘෂ්ණාව බවත් ඉතාම හොඳින් පැහැදිලියි.
වර්තමානයේ දී පවා බොහෝ ගැටලුවලට බොහෝ විපත්වලට හේතුව මේ තෘෂ්ණාව බවම ඉතාම
පැහැදිලියි. මේ තෘෂ්ණාව වර්තමානයේ අප රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා,
ස්පර්ශ තණ්හා, ධම්ම තණ්හා වශයෙන් හඳුන්වනවා. මේ තණ්හාව ආරම්භයේ දී කෙසේ සකස් වූයේ
දැයි මේ ලෝකෝප්පත්ති කතාවෙන් දැන් අපට පැහැදිලියි. ආහාරය නිසාම සත්වයෝ මේ තෘෂ්ණාවට
මඟ සාදාගෙන ඇති බව මෙහි දී මේ කතාවෙන් පැහැදිලියි. එහෙත් කාමරාගය හෙවත් පරිදාහය
හටගත්තේ සත්වයන්ගේ ස්ත්‍රී – පුරුෂ භේදය ඇතිවීමෙන් අනතුරුවයි. එහෙම නම් තෘෂ්ණාව එක්
ආකාරයකින් කාම තෘෂ්ණාව හැටියට රාගය හැටියට පැන නැගුණු අතර අනික් ආකාරයෙන් දිවේ
හටගත් රස තෘෂ්ණාව හැටියටත් ඒ නිසා ම සොරකමත්, ගැරහීමත්, බොරුකීමත්, දඬුවම්ලබාදීමත්,
ආරම්භවන බව පැහැදිලියි.
බුදුරජාණන් වහන්සේ නැවතත් මෙසේ අනුශාසනා කරනවා. වාසෙට්ඨයෙනි, ඉක්බිති ඒ සත්වයෝ
නැවතත් රැස්වෙනවා. එසේ රැස්වෙලා මේ ආකාරයට කතා කරනවා. මහත්
වූ විපතක් අපට වෙලා තියෙනවා. යම් කෙනෙකු කෙරෙහි සොරකම පැන නගිනවාද? ගැරහුම් ඇති
කරනවාද, බොරු කියනවාද? දඬුවම්දීම ඇති වෙනවාද? එම සත්වයන් කෙරෙහි එසේ වූ ලාමක අකුසල
ධර්ම කෙනෙක් සකස් වෙනවා ද, යමෙක් අපගෙන් දොස් නැගිය යුත්තාට මොනවට දොස් නගන්නේද?
ගැරහිය යුත්තාට මොනවට ගරහන්නේ ද? නෙරපිය යුත්තාට මොනවට නෙරපන්නේ ද? කියා තීරණය
ගැනීම සඳහා එක් සත්වයකු සම්මත කරගන්නේ නම් ඉතාම හොඳයි. අප ඔහුගේ සේවය වෙනුවෙන් අපගේ
ඇල් සහල් කොටසෙන් කොටසක් දෙමුයි. මේ එක් රැස් වූ පිරිස කතා කර ගත්තා.
එනම් යම් කෙනෙක් සොරකම් කරන විට එය සොරකමක් කියා තීරණය කරන්නත් බොරු කියන අය බොරු
කිව්වා යැයි තීරණය කරන්නත්, කාටද දඬුවම් කළ යුත්තේ කියා තීරණය කරන්නත් අපට කෙනෙක්
අවශ්‍යයයි. අන්න ඒ අය විසින් ගරහන අය ගැරහිය යුතු අය ලෙස ද, නෙරපිය යුත්තා නෙරපිය
යුත්තා හැටියට දක්වන්න අවස්ථාව, අයිතිය ඇති නායකත්වයක් අපට අවශ්‍යයයි. අප ඔහුට
ඔහුගේ සේවය වෙනුවෙන් ඇල් සහල් කොටස බැගින් ලබා දෙමු කියන අදහසයි.
මහා සම්මත රජු...
රජ පරපුරේ ආරම්භය
මෙසේ කතා කරගත්ත මේ සත්වයෝ ඒ අය අතරින් හැමට වඩා රූප සම්පන්නවත්, දැකුම්කළුවූත්,
වඩා සිත් පහදන සුළු වූත් තේජසක් තියෙන පුද්ගලයා වෙතට ගොස් නුඹ මෙහි එන්න. දොස්
නැගිය යුත්තාට නිසි පරිදි දොස් නගන්න. ගැරහිය යුත්තාට ගරහන්න, නෙරපිය යුත්තා
නෙරපන්න, අප වනා හි ඔබට හැල් සහල් කොටස බැගින් දෙන්නමියි කීවා. එසේ යැයි කියා ඒ
සත්ව තෙම පිළිවදන් දී නායකත්වය භාරගත්තේ ය.
වාසෙට්ඨයෙනි, මහජනයා විසින් සම්මතකොටගෙන පුද්ගලයෙකුට බලයක් ලබාදීමෙන් මහා සම්මත
කියන අදහස ඇති වුණා. රාජ්‍යයත්වයේ ආරම්භය එතනයි. වාසෙට්ඨයෙනි, කුඹුරුවල හෙවත්
ක්ෂත්‍රීයවලට අධිපති යන අදහසින් ක්ෂත්‍රීය යැයි දෙවැනි වර හඳුන්වනු ලැබුවා.
දැහැමින් අන්‍යයන් සුවපත් කෙරේ, සතුටු කෙරේ, යන අදහසින් රජයැයි කියා තෙවැනි වරටත්
නම ඇති වුණා. පළමුව සම්මත කියා ද දෙවනුව
ක්ෂත්‍රීය කියා ද තුන්වනුව රජු කියා ද නම පැවතුණා.
මෙන්න මේ ආකාරයට තමයි පැරණි ලෝකය තුළ කුල සම්මතය ඇතිවුණේ. ඒ ආකාරයෙන් විස්තර කරලා
බුදුරජාණන් වහන්සේ නැවතත් වදාළා. ‘ඒ නිසා පින්වත් වාසෙට්ඨයෙනි, මෙලොවත් පරලොවත්
ජනයාට ඉතා ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයමයි’.
- දීපා පෙරේරා |