බිනර පුර පසළොස්වක 2016.09.16
මෙහෙණ සසුන් දොර විවෘත වූ
බිනර පොහොය
වස්සාන සමයෙහි එළඹෙන පොහොය දිනයන් අතුරෙන් බිනර පුර පසළොස්වක පොහොයද ශාසනික මෙන් ම
සාහිත්‍ය වශයෙන් ද වැදගත් පොහොය දිනයකි. ඇසළ පුර පසළොස්වක පොහොය දා පොහොය විනය කර්ම
සිදු කර උපසම්පදා භික්ෂූන් වහන්සේ ඇසළ අව පෑළ විය දා පෙරවස් එළඹුණහ. එසේ වස් එළඹ
පුරා දෙමසක් ගත වනුයේ මෙම බිනර පුර පසළොස්වක පොහොය දිනයටය.
මෙහෙණ සස්නෙහි ආරම්භය සිදු වූයේ ද බිනර පුර පසළොස්වක පොහොයදාකය. තිලෝගුරු
බුදුපියාණන් වහන්සේ කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයෙහි වැඩ වසන සමයෙහි මහා ප්‍රජාපතී
ගෝතමිය උන්වහන්සේ වෙත පැමිණ වැඳ එකත් පසෙක සිට කාන්තාවන්හට පැවිද්ද අයැද සිටියා ය.
මහා ප්‍රජාපතී ගෝතමිය ගේ එම ඉල්ලීම තෙවැනිවරටත් උන්වහන්සේ ප්‍රතික්ෂේප කළහ. අනතුරුව
බුදුරදුන් කිඹුල්වත් නුවරින් විශාලා මහනුවර කූටාගාර ශාලාව වෙත වැඩම කළ සේක. මහා
ප්‍රජාපතී ගෝතමිය රෝහිණී නදී තීරයෙහි පැවිදිවූ කුමාරවරුන්ගේ භාර්යාවරු පන්සිය දෙනා
සමඟ කෙස් කපා කසාවත් හැඳ කිඹුල්වත් නුවර සිට යොදුන් පනස් එකක් පමණ වූ දීර්ඝ
පාගමනින් පසු කූටාගාර ශාලාව වෙත පැමිණියාය. ආනන්ද හිමියන් වෙත කරුණු කියා
උන්වහන්සේගේ මාර්ගයෙන් එහි දී කාන්තාවන්හට පැවිද්ද ලබා දෙන ලෙස ඉල්ලා සිටියාය.
ආනන්ද හාමුදුරුවෝ බුදුරදුන් වෙත ගොස් ස්වාමිනි, භාග්‍යවත් බුදුපියාණන් වහන්ස,
පන්සියයක් බිසෝවරුන් පිරිවරා මහා ප්‍රජාපතී ගෝතමිය ස්ත්‍රීන්හට පැවිද්ද නොදෙතියි අඬ
අඬා දොරටුව සමීපයෙහි සිටින්නීය. ස්ත්‍රීහු බුද්ධ ශාසනයෙහි අනගාරික ලබත් නම්
මැනැවැයි අයැද සිටියහ. බුදුරදුන් අනඳ හිමියන්ගේ ඉල්ලීම තෙවරක් ම ප්‍රතික්ෂේප කළහ.
අනතුරුව ආනන්ද හිමියන්ගේ බලවත් උත්සාහය නිසා කරුණු කියා මහා ප්‍රජාපතී ගෝතමිය
ප්‍රධාන කාන්තාවන්ට සසුන්දොර විවෘත විය. ආනන්දය, මහා ප්‍රජාපතී ගෝතමිය පැවිදි වනු
කැමැත්තී නම් පෙර බුදුවරුන්ගේ ශ්‍රාවිකාවන් විසින් පිරූ අෂ්ට ගරු ධර්මයන් ඇය විසින්
ද පිළිගත යුතුයි. එයම ඇයට පැවිද්ද හා උපසම්පදාව වන්නේ යැයි වදාළහ.
අනඳ හිමියන් එම ගරු ධර්ම අට බුදුරජාණන් වහන්සේ වෙතින් හදාරා මහා ප්‍රජාපතී ගෝතමිය
වෙත වැඩමවා ගරු ධර්ම විස්තර කොට කියා දී ඔබ මේ ගරු ධර්මයන් පිළිගන්නේ නම් එයම ඔබට
පැවිදි උපසම්පදාව වන්නේ යැයි කීහ. එවිට මහා ප්‍රජාපතී ගෝතමිය පස්වනක් ප්‍රීතීන්
පිනා බුදුරදුන් වැඩ සිටින දිශාවට දොහොත් බුදුන් දී ආනන්ද ස්වාමීනි, භාග්‍යවතුන්
වහන්සේ වදාළ ගරු ධර්ම අට පිළිගනිමියි තෙවරක් කීවාය. ඒ වචනය සමඟම මහා ප්‍රජාපතී
ගෝතමියගේ පැවිද්ද ද විය. උපසම්පදාවද විය. බුදුරජාණන් වහන්සේ ගේ නියමයෙන් පන්සියයක්
ක්ෂත්‍රිය කාන්තාවෝ භික්ෂූ සංඝයාගෙන් උපසම්පදාව ලැබූහ. එසේ මෙහෙණ සසුනේ ඇරැඹුම බිනර
පෝදා සිදුවිය.
ගෞතම බුදුපියාණන් වහන්සේ ලොව පහළවීමට පෙර භාරතීය සමාජය තුළ කාන්තාවට නිදහසක්
නොවූවාය. එහෙත් බුදුරදුන් ජීවමාන දවස ම කාන්තාවට ආධ්‍යාත්මික සුවය ළඟාකර ගැනීමෙන්
නිර්වාන ශාන්තිය උදාකර ගැනීමට අවස්ථාව උදාවූවාය. සම්බුදු දහම එක් රටකට, එක් ජාතියකට
හෝ එක් ජනවර්ගයකට පමණක් සීමාවූවක් නොව සියලු සත්වයන් වෙත එමඟින් ශාන්තිය උදාකර ගත
හැකි දහමකි.
|