UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වාර්ෂික ඇසළ පෙරහර පවත්වන මහියංගණ පින්බිම

වාර්ෂික ඇසළ පෙරහර පවත්වන මහියංගණ පින්බිම

සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද ස්පර්ශයෙන් අතිපරිශුද්ධවූ සිරිලක සොළොස්මස්ථාන ප්‍රථම වශයෙන් සිහියට නැගෙන මහියංගණ සිද්ධස්ථානය බුදුගුණ මහිමය පෙන්වන කේශධාතු, ගී‍්‍රවාධාතු, ශාරීරික ධාතු නිධන් කළ මිහිමත ප්‍රථම චෛත්‍ය රාජයාණන් වහන්සේගෙන් සුදිලෙන ජනමන පුබුදන වර්ෂ දෙදහස් පන්සීයකට අධික ඉතිහාසයක සිද්ධීන් සනිටුහන් කරණ අසහාය පූජ්‍යස්ථානය වශයෙන් බෞද්ධ , අබෞද්ධ ජනයාගේ වන්දන, මානන, පුජා සත්කාරයන්ට භාජන වන්නේය.

මහියංගණ, මහානාගවන, බිම්තැන්න යන නම්වලින් හඳුන්වන මෙම ඓතිහාසික ප්‍රදේශය සිංහල ජනතාවට ආගමික, ජාතික හා ආර්ථික , සාමයික වශයෙන්ද සුවිශේෂ වන්නේය. එකල යක්ෂ ගෝත්‍රික ජනතාව රැස්වන මහානාග වන උයනට ඉහළ අහස් තලයේ සවණක් ඝන බුදුරැස් මාලා විහිදුවමින් අප බුදුරජාණන් වහන්සේ වැඩ සිට යක්ෂයන් දමනය කළ වග වංශ කතාවල විස්තර වන්නේය.

ලොව්තුරා බුද්ධත්වයෙන් නව වෙනි මස දුරුතු පෝ දින එහි වූ යක්ෂ සමාගම පැවති අවස්ථාව බලා බුදුරදුන් වැඩියේ ඔවුන්ගේ සිත් සතන් සනසා ලක්දිව ශිෂ්ට සම්පන්න ජනාවාසයක් කිරීමට මෙන්ම මතු බුද්ධ ශාසනය පිහිටුවීමට පරිසරය සකස් කිරීමේ මහා කාරුණික හැඟීමෙන්ය. එදවස එතැනට පැමිණි මහා සුමන දෙවිඳුන් ප්‍රධාන දේව සමාගමට බුදුරජාණන් වහන්සේ දහම් දෙසා සරණශීලයෙහි පිහිටුවූසේක. සමන් දෙව් රජුගේ ඉල්ලීම නිසා පූජ්‍ය වස්තුවක් වශයෙන් කේශධාතු ස්වල්පයක් දුන් සේක. සමන් දෙව් රජ එම කේශධාතු සත්රුවන් කරඬුවෙන් පිළිගෙන බුදුරදුන් වැඩසිටි තැන ඉඳුනිල්මිණි සෑයක් කොට පූජා පැවැත්වූහ.

අප බුදුරජාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවයේදී සරභූ මහ රහතන් වහන්සේ සඳුන් දර සෑයෙන් ගී‍්‍රවා ධාතු ලංකාවට වැඩම කරවා මහියංගණභූමියේ ඉඳුනිල්මිණි චෛත්‍ය වසා දොළොස් රියන් රන් සෑයක් කරවා අපමණ පුද පූජා පැවැත්වූහ.

උද්ධචූලාභය රජතුමාද මහියංගණ සිද්ධස්ථානය සංවර්ධනය කරන්නේ තිස් රියන් උස චෛත්‍යයක් කරවා විවිධ පූජා සත්කාර සිදුකරවමින් රුහුණු ප්‍රදේශයෙන් නැගී සිටි විහාරමහාදේවි හා දුටුගැමුණු කුමාරයා තම දස මහා යෝධයන් සහිත සිංහල සේනාව රුහුණෙන් ආරම්භව අනුරාධපුර විජිතපුරයට යන ගමනේ එක් ජය භූමියක් වූයේ මේ මහියංගණ සිද්ධස්ථානයයි. ජරාවාසව තිබූ උද්ධචූලාභය රජු විසින් කරවූ තිස් රියන් සෑය වසා අසූරියන් උස චෛත්‍යයක් කරවා පුද පූජා සිදුකළහ.

පොළොන්නරු රාජධානිය විරාජමාන කළ 1 වෙනි මහා පරාක්‍රමබාහු රජතුමන් විසින් මෙම මහිංයගණ ප්‍රදේශයද ආවරණය වන පරිදි ආර්ථික සාමාජික සංවර්ධනය ඇතිකොට මහියංගණ සිද්ධස්ථානයටද වන්දන මානන පුද පූජා සිදුකරන ලදී. තවද සිරිසඟබෝ කුමාරයාණන් හැදී වැඩී පසුව ලක්දිව බෝධිසත්ව ගුණයෙන් ධාර්මික රජකෙනෙකු ලෙස පාලනය කළේ එවකට මෙම මහියංගණ ආරාමයේ වැඩ සිටි මහා ප්‍රාඥ නන්ද හිමියන්ගේ මාර්ග උපදේශකත්වයෙනි.

නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවර ඩී.එස්. සේනානායක මැතිඳුන් කෘෂිකාර්මික ඇමතිවරයා ලෙස මෙම මහියංගණ ප්‍රදේශය නිරීක්ෂණය කොට සිද්ධස්ථානයත් එමෙන්ම ප්‍රදේශයේ වාරිමාර්ග හා කෘෂිකාර්මාන්තය දියුණු පමුණු කරන්නට විශේෂ සැලැස්මක් ක්‍රියාත්මක කරවූහ.

සමන් දේවාලය, බෝධිරාජායාණන් වහන්සේ, සමාධි මහා බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩසිටින විහාරය මහසඟරුවන වැඩසිටින සංඝාරාමය පුෂ්පාසන, ධර්මශාලා, විශ්‍රාමශාලා, වාහල්කඩ සහිතව අහස් තලයේ සුදුබුදුරැස් විහිදෙන මිනිරුවන් කොතින් කාන්තිය පැතිරෙණ දර්ශන ඈතට නෙත් සිත් පුබුදන, ශ්‍රද්ධාව වඩවන, ජනමන සනසන චෛත්‍ය රාජයාණන් වහන්සේද එක්වන්ව නිවන් මගට ශුභ සලකුණක් වැන්න. අසහාය පුණ්‍යායතනයක් වැන්න. සිරිසිරි නාදෙන් මඳ මඳ පවනේ සැලෙන ලක්ෂ සංඛ්‍යාත බෝපත් වලින් විසිතුරු බෝධිරාජයාණන් වහන්සේ ජනීජනයන්ගේ ජය පැතුම් ඉටුකරන වසර දහස් ගණනක ඉතිහාසයක් සනිටුහන් කරන කප්රුකක් වැන්න.

පින්පල අදහා පින්කොට දෙවියන් යැද පිහිට ලබන්නට යෝග්‍ය ආයතනයක්වූ සමන් දේවාලයටද දීර්ඝ ඉතිහාසයක් ඇති අතර බිනර පෝ දිනවල පෙරහරද පුද පූජා සිදු කෙරේ.

මහියංගණ සිද්ධස්ථානය අස්ගිරි මහා විහාරයට අයත් නිසා එම සංඝ සභාවේ අනුමැතිය ඇතිව පත්වී මහියංගණ නායක පදවිය හෙබවූ අඹගස්වැවේ ශ්‍රී ධම්මපාල රතනජෝති මහානාහිමි, ගුන්නෑපාන ශ්‍රී ධම්මසිද්ධි මහානාහිමි, මුල්ලේගම ගුණරතන මහා නා හිමි, යටවත්තේ ශ්‍රී ධර්මකීර්ති ධම්මරතන මහා නා හිමි, පලීපාන ශ්‍රී චන්ද්‍රානන්ද මහා නාහිමි, උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත රතනපාල මහානාහිමි යන මහානාහිමිවරුන් ගත් උත්සාහය නිසා යම් යම් සංවර්ධන කටයුතු සිදුකෙරිණ.

මෑත භාගයේ මෙම පුණ්‍ය භූමිය ජරාවාසයෙන් මුදාගැණීම සඳහා ප්‍රථම ප්‍රයත්නය දරන ලද්දේ ගුන්නෑපාන ශ්‍රී ධම්මසිද්ධි සරණංකරාභිධාන (ක්‍රි.ව. 1921-1929) මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසිනි. “මහියංගණ සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණ සමාගම නමින් සංවිධානයක් පිහිටුවා ගෙන එමඟින් සිද්ධස්ථානය පිළිසකර කිරීමට බලවත් උත්සාහයක් දරා ඇත. ජරාවාස වූ චෛත්‍ය වටා ඇති පස් ඉවත් කිරීමක් සෙසු ප්‍රදේශ ශුද්ධ පවිත්‍ර කිරීමත් එම සමාගමෙන් සිදුකළ අතර ප්‍රදේශයේ ජනතාවගේ ශ්‍රමය හා සහයෝගයද ලබාගෙන ඇත.

මහියංගණ සිද්ධස්ථානය ප්‍රතිසංස්කරණය කොට යථාර්ථ පුණ්‍යභූමියක් ලෙස සංවර්ධනය කිරීමෙහිලා මුල්ලේගම ධර්මකීර්ති ශ්‍රී චන්දජෝති ගුණරතනාභිධාන මහානායක මාහිමියන් වහන්සේගේ අනුශාසකත්වයෙන් දිවංගත ප්‍රථම අග්‍රාමාත්‍යවර, ඩී.එස්. සේනානායක මැතිතුමාගේ හා ඩඩ්ලි සේනානායක අග්‍රාමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන ලද මහියංගණ චෛත්‍ය වර්ධන සමිතිය විසින් කළ කාර්ය භාරය අතිවිශාලය.

ගරාවැටී තිබූ චෛත්‍ය ප්‍රතිසංස්කරණය කොට සිද්ධස්ථානයට අත්‍යාවශ්‍ය ගොඩනැගිලි හා මහජන පහසුකම් සලස්වා ඒ උතුම් චෛත්‍යරාජයාණන් වහන්සේගේ කේතුපිලන්ධන පුණ්‍ය මහෝත්සවය සිදුවූයේ අපවත්වී වදාළ යටවත්තේ ධර්මකීර්ති ශ්‍රී සුමංගල ධම්මරතනාභිධාන මාහිමියන් වහන්සේගේ ප්‍රධානත්වයෙනි.

මහියංගණ සිද්ධස්ථාන පුණ්‍යභූමිය ලංකාවේ ඉතා ධාර්මික රාජ්‍ය පාලනයක් ඇති කළ බෝධිසත්ව ගුණෝපේත සිරිසඟබෝ මහරජතුමන් වැනි උත්තමයන් පහළවීමටද එවන් උතුමන් ගුණ නැණ බෙලෙන් හදාවඩාගන්නට හැකි සිල්වත් ගුණවත් සොබමන් මහා සංඝරත්නට ආරාමීය පරිසරයක් ඇතිවීමටද හේතුභූතවීම අප සැමගේ ප්‍රමෝදයට කුසල් වර්ධනයට සනිටුහන් වන්නේය.

අප සුගත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කේශධාතු ,ගී‍්‍රවා ධාතු නිධන් කළ සමන් දෙවියන් ප්‍රධාන දෙවි දේවාතාවන් වඳින පුදන ගිහිපැවිදි ලක්ෂ සංඛ්‍යාත ජනීජනයාගේ පූජා සත්කාරයන්ට භාජනය වන දුටුපමණින් නෙත් සිත් පහදන කුසල් බලමහිමය වර්ධනය කරමින් සහන් සුවය ගෙන දෙන නිවන් මඟට පියවර තබන්නට සලකුණු වන මහියංගණ පුණ්‍යභූමිය මනුලොව අසමසම සිද්ධස්ථානයකි.

ආගමික, ජාතික, හා ආර්ථික වශයෙන් සම්භාවනාවට පාත්‍රවන මෙම සිද්ධස්ථානය සෑම අංශයකින්ම සම්පූර්ණ කොට සංවර්ධනය කිරීමට මෙන්ම බෞද්ධ ජනතාවට වන්දන, මානන, පූජා සත්කාර කරගැනීමේ සියලු පහසුකම් ඉඩ ප්‍රස්ථා සලසා දීමෙහිලා වර්තමාන නාහිමියන් දරණ ඤාණාන්විත ක්‍රියාමාර්ග ප්‍රශංසනීය වේ.

අස්ගිරි මහා සභාවේ උපාධ්‍යාය ධුරන්ධර උරුලෑවත්තේ ධම්මරක්ඛිතාභිධාන මහියංගණ සිද්ධස්ථානයේ වර්තමාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පරිචිත ඤාණයෙන්, තිර අදිටනින් අවංක චේතනාවෙන් සිදුකරණ ආගමික සේවාවන් සෑම කෙනෙකුගේම ප්‍රශංසාවට භාජන විය යුතුය.

මහියංගණ චෛත්‍යරාජයාණන් වහන්සේගෙන් බුදුරැස් විහිදේවා. තෙරුවන් ගුණ බලයෙන් සියලු සත්වයෝ සැනසෙත්වා

නිවන් දකිත්වා

 

  බිනර පුර පසළොස්වක

 බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 16 වන දා සිකුරාදා පූර්වභාග 03.15 ට ලබයි.
17 සෙනසුරාදා පූර්වභාග 00.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 16 වනදා සිකුරාදාය.
 

මීළඟ පෝය සැප්තැම්බර් 23 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 16

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 23

Full Moonඅමාවක

සැප්තැම්බර් 30

First Quarterපුර අටවක

ඔක්තෝබර් 09


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]