ආශාව අන්ධබවයි තරහව මුලාවයි
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක ආචාර්ය
මිරිස්සේ ධම්මික හිමි
සුපසන් ජීවිතයකට දේශනා පෙළෙහි අද දවසේ පවසන්නට බලාපොරොත්තු වන්නේ වඳුරෙක් හෙවත්
වානරයෙක් උපමා කොට දෙසූ දහම් පෙළක්. සාමාන්‍යයෙන් ධර්ම කතාවෙහි අභාවිත සිතක්
වානරයකුගේ මනසත් ඔහුගේ හැසිරීමටත් සමාන කොට දක්වා තියෙනවා.
එයට හේතුව නම් වානරයෙක් ගසෙන් ගසට, අත්තෙන් අත්තට, පැන හැම ඵලයක් ම, ගෙඩියක් ම,
පලතුරක් ම කඩමින් ලෑටිගාමින් බිමට දමින් ගමන් කරන නිසාය. කිසිදු පළතුරකින්, ඵලයකින්
වානරයා සතුටු වන්නේ නැහැ. හැම ඵලයකම හැම පලතුරකම රස බැලීමක් පමණක්මයි වානරයා සිදු
කරන්නේ.
අභාවිත සිත් පවතින අශ්‍රැතවත් පෘතග්ජන මනුෂ්‍යයන්ගේ සිතත් රූපාදී අරමුණු අරගෙන
එහෙත් එහි සෑහීමකට පත් නොවී නැවත නැවතත් රූපාදී අරමුණුවලට බැඳෙමින් වානරයා මෙන්
අතෘප්තිමත් ව ගමන් කරනවා. වානරයාගේ මනස තුළ ඇතිවන සිතිවිලි සමුදාය කුමන ආකාරයක්
දැයි අප පැවසුවේ නැති වුණත් අභාවිත සිත් තිබෙන මනුෂ්‍යයෙකුගේ අතෘප්තිකර සිතක හා
සිතිවිලිවල ස්වභාවය අප හැමකෙනෙකුට ම පැහැදිලියි. වර්තමානයේ සඳහන් කළොත් ආතතිය,
දොම්නස, වික්ෂෝපය ආදී වශයෙන් සඳහන් කරනවා.
සාමාන්‍ය ලෙසින් සඳහන් කළොත් සෝකය, දුක, එපාවීම, කනගාටුව, කම්මුලේ අත්ගසාගෙන හිස්
ආකාසය දෙස බලාගෙන සිටීම. කුසගින්න නොදැනීම, නින්ද නොයෑම, සිතේ, හිසේ මහා අඳුරක්,
බරක් සේ දැනීම ආදී ලෙසිනුයි. මේ නිසා යහපත් වූ ජීවිතයක් ගත කරන්නට කැමැති හැම
කෙනෙකුටම භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් දහම් පෙළක් ‘මක්කට’ නම් වූ වානරයෙක්
උපමාකොටගෙන දෙසූ දහම් කතාවෙන් අවබෝධ කරගත හැකියි.
මෙයත් ඔබගේම කතාවක් ලෙස මනසින් සිහිපත් කරන්න. මේ මොහොතේ අද දවසේ ඔබට මේ ගැටලුව
නොවුණත් පෘතග්ජන ජීවිත ගතකරන ඕනෑම කෙනෙකුට මෙවැනි සිදුවීම්වලට මුහුණපාන්නට
සිදුවෙනවා. භාග්‍යවතුන් වහන්සේ මෙහෙම පෙන්වා දෙනවා. යම් තැනක වඳුරන්ගේ හැසිරීමක්
නොවේ ද, මිනිසුන්ගේ හැසිරීමක් නොවේ ද, හිමාල පර්වතයේ එවැනි යා නොහැකි විසම ප්‍රදේශ
ඇත. ඒ වගේ ම වඳුරන්ගේ හැසිරීමක් වේ ද, මිනිසුන්ගේ හැසිරීමක් නොවේ ද, එවැනි විසම
ප්‍රදේශත් හිමාලයේ දකින්න පුළුවන්. එලෙසම වඳුරන්ගේ හැසිරීමක් වේ ද, මිනිසුන්ගේ
හැසිරීමක් වේ ද, එබඳු සිත්කලු සමව පවතින බිම් ප්‍රදේශ ද හිමාලය ආශ්‍රය කරගෙන
පවතිනවා. භාග්‍යවතුන් වහන්සේ මෙහෙම සඳහන් කරනවා. මහණෙනි,
එහි වඳුරන් අල්ලා මරණයට පත් කොට මස් කරන්නට කැමැති සමහර වැදි පුද්ගලයන් වඳුරන් ගමන්
කරන මාර්ගය මැනවින් විමසා බලා ඒ වඳුරන් ගමන් කරන මාර්ගයෙහි වදුරුලහටු ගල්වා තබනවා.
මෙහෙම මේ වදුරුලහටු ගල්වා තිබෙන විටක බාලගති නැති, ලොල් ගති නැති වඳුරෙක් නම් ඒ
ලහටු දැක ඒ ලහටු දුරින් ම දුරු කරලා මඟ හැරලා ගමන් කරනවා. මොකද්ද මේ බාලගති හා
ලොල්ගති යැයි සඳහන් කරන්නෙ.
සාමාන්‍ය මනුෂ්‍යයන්ගේ ජීවිතවල බාලගති යැයි පවසන්නෙ හැදියාවෙන් තොර වූ ජීවිත පවත්වන
අයටයි. එනම් පස්පව්, දස අකුසල්වලට යොමු වුණු අය බාල ගති ඇති අයයි. ඒ අය තුළ විනයක්,
ශික්ෂණයක්, හැදියාවක් මනා වූ පැවැත්මක් නැතිබව පැහැදිලියි.
තවත් සරලව සඳහන් කළොත් තැනක හැසිරෙන්න දන්නෙ නැති එනම් දෙමව්පියන්, වැඩිහිටියන්,
ස්වාමිභාර්යාවන් ආදී ලෙසින් ගරු නොකරන අය බාලගති ඇති අයයි. ඔවුන් අතින් ප්‍රාණඝාත
හා සොරකම් එමෙන් ම වරදවා ඉන්ද්‍රියන් සතුටු කිරීම් ආදියට පහසුවෙන් ම පෙළඹීමේ ලක්ෂණ
ඇති වෙන්නට පුළුවනි. ඒ බාලගති ස්වභාවයයි. ඔවුන්ගේ සිතිවිලි ඉතාම ලාමකයි. ඕලාරිකයි.
එනම් බාලයි.
ඔවුන්ගේ වචන ඉතාම පහත් අශිෂ්ට අවිනයෙන් යුතු වචන වෙන්නට පුළුවනි. ඔවුන්ගේ හැසිරීම
පවා ඇඳුමෙ, පැළඳුමේ, ඉරියව්වේ පටන් ම සංවරයක් නොවීම නිසා බාලයකුගේ හැසිරීමක් හැටියට
දක්වනවා. වානරයකුගේ හැසිරීම සාමාන්‍ය වානරයන්ට වඩා පහත් වීම මෙහි බාලගති ලෙස
දක්වනවා. ඕනෑම තිරිසන් සතෙකුට වගේ ම වානරයකුට වුවත් තමාගේ ජීවිතයට ඇති අනතුර ඉවෙන්
මෙන් ඔවුන්ගේ ස්වභාවයට අනුව දැකගන්නට දැනගන්නට පුළුවනි. හැම කෙනෙක් ම ජීවිතයට
කැමැතියි. තමන්ගේ ජීවිතයට විපතක් වෙනවාට කැමැති නැහැ.
තමාගේ ඉරියව් පවත්වන විට තමාට සිදුවන විපත්වලින් වැළකී ඉරියව් පවත්වන්න තරම් සතුන්ට
පවා අවබෝධයක් ඇති බව දැකගන්න පුළුවනි. සමහර සතුන්ට විපතක් වෙන විට ඔවුන් ට
ස්වභාවයෙන් ලැබී ඇති ආරක්ෂාව ඔවුන් සපයා ගන්නවා. සමහර සතුන් වේගයෙන් දුවගොස් හුඹහකට
ඇතුල් වෙනවා.
සමහර සතුන් වේගයෙන් දුවගෙන ගොස් තමාගේ හිස කුමකට හෝ ආවරණය කර ගන්නවා. ඒ වගේ ම
ඉඳිඹුවන් වැනි සතුන් තමාට ලැබී ඇති ආරක්ෂාව අනුව කටුව තුළට ශරීරය හොවා ගන්නවා. ජලයක
සිටින සතුන් ජලය මතුපිට සිටියත් ජීවිතයට අනතුරක් යැයි දැනුනොත් ජලයේ යටට පීනා යනවා.
සමහර සතුන් කරදරයක් වේයැයි දැනේ නම් කැලේ මැදටම ගොස් ගලක් යට හෝ ගසකට හෝ මුවා වී
ජීවිතය රැකගන්න උත්සාහ ගන්නවා.
එහෙම නම් වානරයකුට පවා තමාගේ ජීවිතය ට ඇති අනතුර තේරුම් ගන්න හැකි, හැකියාවක්
උපතින් ම ලැබී තිබෙනවා. එහෙත් බාලගති ඇති වානරයා ඒ ස්වභාවයෙන් පවා අත්මිදෙන්නෙ
තමාගේ සිතෙහි සකස් වුණා වූ ඒ අසංවර බව නිසාය. ලොල් ගති යැයි මෙහි සඳහන් කරන්නේ දැඩි
ආශාවයි. මනුෂ්‍යයන් තුළ පමණක් නොවෙයි, සමහර සතුන් තුළ පවා එම සතාගේ වර්ගයාට අනුව
පවතින ස්වභාවයෙන් බැහැරව දැඩි වූ ආශාවන් තිබෙන සතුන් සිටින්නට පුළුවනි. ඔබ අප ඇසුරු
කරන බොහෝ විටක බළලුන්, සුනඛයන් වැනි සතුන් අතර පවා සමහර සතුන් සමහර ආහාරවලට දැඩිව
ආශාවන් දක්වනවා. තවත් සතුන් ගොදුරු කරගන්න ඒ සතුන් මරණයට පත් කරන්න නිතර සූදානම්
වෙන සතුන් දකින්න පුළුවනි.
නමුත් එවැනි ම වර්ගයට අයත් සතුන් එසේ නොකන්නත් පුළුවනි. සමහර සතුන් නිතරම දැඩි
තරහවකින් මෙන් සිටින්නට පුළුවනි. එවැනි ම වර්ගයට අයත් තවත් සතුන් ඉතාම හීලෑ සතුන්
ලෙස දැකගන්නට පුළුවනි. ලොල් ගති ඇති විට සිතේ ඇති ඒ අසංවර බව නිසා දැඩි ආශාවන්ගෙන්
ද දැඩි ගැටීම්වලින් ද යුක්තව පවතිනවා. මේ බාල ගති ඇති ලොල් ගති ඇති මේ වානරයාගේ
කතාවත් ඒ වගෙයි.
එවැනි බාලගති ඇති ලොල්ගති ඇති එක්තරා වඳුරෙක් අර අලවා තිබෙන ලහටුවක අත් අලවා
ගන්නවා. එයට හේතුව අර බාලගති ස්වභාවය හා ලොල්ගති ස්වභාවය නිසා ජීවිතයට ඇති අනතුර
පිළිබඳව ඔහුට කල්පනා නොවීමයි. එය දැක ගන්න තරම් හැකියාවක් ඇති නොවීමයි.
එයට හේතුව ඔහුගේ අර නොහික්මුණු ස්වභාවයත් දැඩි ආශාවත් විසින් ඔහුට සිදුවෙන්න යන
අනතුර පිළිබඳව අවධානය යොමු කරන්නට තරම් අවස්ථාවක් නැතිවීමයි. සාමාන්‍ය
මනුෂ්‍යයෙකුගේ ජීවිතය පවා ඔබට මෙහි දී සිහිපත් කරන්නට පුළුවනි. දැඩි ආශාවන්ගෙන් හා
තරහවෙන්, වෛරයෙන් පිරිපුන් මිනිසුන්ට මහා අන්ධකාරයකින් ඔවුන්ගේ ඇස් කන් ආදී
ඉන්ද්‍රියන් වැසී තිබෙන බව පැහැදිලියි. සාමාන්‍ය ලෝකයා සඳහන් කරන්නේ දැඩි ආශාව
අන්ධභවයි. ඒ වගේ ම තරහව පවා බලවත් වූ මුලාවක් බවයි. බන්ධනයක් බවයි.
මේ බාලගති ඇති ලොල්ගති ඇති වානරයාත් අර ලහටුවෙහි එක අතක් අලවගන්නවා. ඒ අසතිය
නිසායි. ඔහුට ඉදිරියේ තිබෙන අනතුර පිළිබඳව හැඟීමක් තිබුණෙ නැති නිසායි. අර පවත්නා
මනසෙහි අසතිය නිසා ම දෙවෙනි අතත් ඒ ලහටුවෙහි අලවාගන්නවා. පළමු අත මුදාගන්නෙමෙයි
දෙවෙනි අත එහි තැබීමෙන් සිදුවුණේ දෙවැනි අතත් එහි ඇලීමයි.
මේ ලොල්ගති ඇති වානරයා දැන් අත් දෙකෙන් ම එහි ඇලී තියෙනවා. ඒ අත් දෙක ගලවා
ගන්නෙමෙයි පිටුපස පවතින පා දෙකෙන් එක පයක් එහි තබනවා. එයත් ඇලෙනවා. නැවතත්
ගැලවෙන්නෙමෙයි, මිදෙන්නෙමෙයි හතරවෙනි පාදයත් එහි තබනවා. දැන් අත් දෙක හා පා දෙකම
එනම් අවයව හතරම මේ ලහටුවෙහි ඇලී පවතිනවා. බාලගතියත් ලොල් ස්වභාවයත් තමාගේ ස්වභාවයට
අනුව සිතන්නට තරම් හැකියාවක් ඇති නොකරගත් මේ වානරයා තමාගේ තුඩ හෙවත් නළල එනම් හිසත්
ඒ ලහටුවේ තබනවා. මිදීමක් ගැලවීමක් අනතුරක් පිළිබඳව දැනුනත් එහෙත් එතැනින් මිදීමේ
ස්වභාවය තේරුම්ගන්න හිතන්න තරම් මේ ලොල්ගති ඇති වානරයාගේ මනස මනාසේ සකස් වී නැති බව
මෙහි පැහැදිලියි.
පස් තැනකින් ලහටුවට ඇලී එල්ලී පවතින වානරයාට සිදුවන්නේ වැදි පුද්ගලයාගේ ගොදුරක් බවට
පවත්වීමටයි. පස්තැනකින් ඇලී ගසෙහි එල්ලී පවතින වානරයා වැදි පුද්ගලයා විසින් ඩැහැගෙන
මරා මසට ගන්නවා. එනම් වැදි පුද්ගලයා කැමැති පරිද්දක් කැමැති පරිද්දකින් මේ වානරයා
පත් කරනවා.
තවත් කොටසක් දුරුතු මස අමාවක පෝදා 08 දා පත්‍රයේ...
- දීපා පෙරේරා |