දුරුතු අව අටවක – 2016.02.01
සංහිඳියාව
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දඹදිව පහළ වූ
සමය වන විට දෙසැටක් පමණ වූ ආගමික දෘෂ්ටීන් පහළ වී පැවතුණි.
බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය හා ශුද්‍ර යනුවෙන් එදා සමාජය
බෙදා වෙන්කර තිබිණි. බුදුරජාණන් වහන්සේ ලොව පහළවීමත් සමඟ එදා
පැවැති පටුවාද භේද වෙනුවට සැම දෙනට සම මෙතින් සම සිතින් පිහිට
වෙමින් එදා පැවැති වර්ණ භේදය හෙළා දුටහ. සතර මහා ගංගාවෝ ගලාගෙන
අවුත් මහ සයුරට එකතුවූ විට ජලය එකම ලුණු රසක් වන්නා සේ සම්බුදු
සසුන් කෙතෙහි පැවිදි වන්නට සියලු දෙනාට අවසරය හා අනුමැතිය
ලැබිණි. ස්වකීය සැමියා මරණයට පත් වූ විට එම කාන්තාවට නිදහසේ
ජීවත්වීමට පවා අවකාශයක් නොතිබූ භාරතීය එදා සමාජය තුළ කාන්තාවට
නිසිතැන නිසි ගෞරවය හිමිවූයේ ද සම්බුදුදහම පහළවීම හේතුකරගෙනය.
පුරුෂයා පමණක් නොව කාන්තාවද උසස් ගුණ නුවණින් යුතු දෙපළක් බව
බුදුදහම පෙන්වා දුන්හ. භාරතීය ජන සමාජයට මෙන්ම භාරතීය කාන්තාවට
ද ලොව්තුරා දහමෙන් සුවය ළඟා කර ගත හැකිවූයේ බුදුදහමේ මූලිකත්වය
ඇතිවය.
මනුෂ්‍යයා උසස් හෝ පහත් වන්නේ අන් කිසිවකින් නොව තමාගේ
ක්‍රියාව අනුව යැයි බුදුපියාණන් වහන්සේ දේශනා කර වදාළහ. චතුර්
වර්ණයෙන් බෙදී වෙන්වී සිටි භාරතීය ජන සමාජයට සියලු නිදහස
උදාකරදීමට මුල් වූ සම්බුදුදහම කෙරෙහි ප්‍රසාදයට පත්ව එම
ලොව්තුරා දහම් මඟ සොයා යන්නට විය. තම තමන්ගේ බුද්ධිය මෙහෙයවා
සත්‍ය ගවේෂණය කිරීමෙහි යෙදවීමෙන් සිතීමේ හා විමසීමේ නිදහස
උදාකර දීමටද බුදුසමය මුල් වූහ.
මෙසේ කල්පනා කර බලනවිට යායුතු හෝ නො යායුතු මඟ නොදැන අවිද්‍යා
අන්ධකාරයෙහි වෙළී සිටි ජන සමාජයට සම්බුදුදහමේ ආභාෂයෙන් සියලු
ඝනඳුරු දුරු කර මෙලොව යහපත මෙන්ම පරලොව සුගතියද උදාකර ගැනීමට
හැකිවිය. මානුෂික මෙන්ම මානසික නිදහස හැම විට අගයන සම්බුදුදහම
එමඟින් ලොව්තුරා දහම් මඟෙහි ඇති සුවිශේෂත්වය වටහා ගැනීමට මඟ
සැලසූහ.
නිසි සදිසා නමස්කාරයෙන් ජීවිතයේ ප්‍රායෝගිකව ඉටු කළ යුතු
යුතුකම් හා වගකීම් පැහැදිලි කර දුන්හ. සිදුහත් කුමරු ගිහි ගෙයි
රාජකීය සැප සම්පත් විඳීමට ලද වාසනාව පවා අතහැර මහබිහික්මන් කළේ
සිදුහත් කුමරාගේ අර්ථ සිද්ධියම පමණක් නොව සසර කතරෙහි අතරමංව
සිටි අප්‍රමාණ සත්ත්වයා එම සංසාර දුකෙන් එතෙර කරවීමේ පවිත්‍ර
වූ චේතනාවද නිසාමය.
කවර ජන සමාජයක වුවද පටු හැඟීම් පැවැතීමෙන් එබඳු සමාජයක යහපතක්
දියුණුවක් අපේක්ෂා කළ නොහැකි අතරම එබඳු සමාජය ආත්මාර්ථයෙන්
ක්‍රියා කිරීම නිසා ඉමහත් පරිහානියට පත් වේ. ඔවුනොවුන් අතර
සමගිය, සාමය, අන්‍යෝන්‍ය විශ්වාසය වෙනුවට සැක හා බිය පහළවීම
නිසා ඔවුනොවුන් අවිශ්වාසයෙන් ක්‍රියා කිරීමට පෙළඹේ.
ජන සමාජයක ලෞකික දියුණුවට සාමූහිකව කටයුතු කිරීම අත්‍යවශ්‍යය.
විවිධ වූ පටුභේද නිසා දියුණුව වැළකී යයි. මනුෂ්‍යයා පටුවාද
භේදවලින් ඉවත් වූ තරමට එබඳු සමාජයක දියුණුව වළක්වාලිය හැකි
නොවේ. විවිධ වූ ජාතීන් අතර සුහදත්වය වර්ධනය විය යුතු වේ.
ඔවුනොවුන් අතර සමඟිය ගොඩනැගිය යුතු වේ. ඔවුනොවුන් අතර සමගිය
උදාකිරීමෙන් අසමගිය දුරස් කළ හැකිය. ජාතික සමගියත්, ආගමික
එකතුවත් තුළින් ජාතික ආගමික සමගිය උදාකිරීමෙන් ඔවුනොවුන් අතර
යම් සැකයක්, බියක් පැවතියද ඒවා අමතක වී ජාතික ආගමික සංහිඳියාව
උදාවේ. නිවසක වෙසෙන විට අසවල්වැසි නිවස සමඟ අසන්තෝෂයෙන්
ජීවත්වීමෙන් ඔවුනොවුන් තුළ තරහ ගතිය වෛරය ඇතිවීම නොවැළැක්විය
හැකිය. ගමක් වශයෙන් බැලූවිට ද ගමක් අවට ගම් සමඟ සහයෝගයෙන්
කටයුතු කළයුතු වේ. රටක් වුවද අසල්වැසි රාජ්‍යයන් සමඟ සහයෝගයෙන්
ක්‍රියා කිරීමෙන් බාහිරව පැමිණෙන විවිධ කරදර බාධක මැඬලීමට එය
හේතුවේ. තම තමන් විශ්වාස කරන ආගමට ගෞරව කරන අතර අනෙකුත් ආගම්
විශ්වාස කරන අයගේ එම විශ්වාසයටද ගෞරව කළ යුතු වේ.
අන්‍යයන් දෙස බියෙන් සහ සැකයෙන් බැලීමෙන් එම බිය සැක තවත්
වර්ධනය වනු විනා වෙනත් යහපතක් නොවනු ඇත. අසමගියට මුල සැකය හා
බියම වේ. බිය සැක නැති ඔවුනොවුන් වෙත ගරු කරන සමාජය හැමවිට
දියුණු වේ. ඉහළට යනු ඇත. මිනිස් සිත තුළ පහළ වන ක්‍රෝධය, වෛරය
වෙනුවට ඉවසීම හා මෛත්‍රී සහගත සිතුම් පැතුම් වර්ධනය කළ යුතුව
ඇත. වෛරය, ක්‍රෝධය මිනිස් සිත විපතට පත් කරවයි. අනෙක්
තැනැත්තාට ගරු කළ තරමට තමාටද අනෙක් තැනැත්තාගෙන් ගරු බුහුමන් ද
ලැබේ. තම යුතුකම නිසිලෙස ඉටු කිරීම මඟින් තමාට පමණක් නොව අනෙක්
තැනැත්තාටත් එමඟින් ඉටු වනුයේ මහත් සෙතකි. ජාතීන් අතර සමගියත්
ආගමික සංහිඳියාවත් වෙනුවෙන් ක්‍රියා කිරීමෙන් සාමය අගයන ජන
සමාජය නිදහසේ වටිනාකම තේරුම් ගනු ඇත.
|