UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

කලල්පිටියේ හේමාලෝක නා හිමි

අත්තනගල්ලේ, කලල්පිටිය ග්‍රාමයේ ජී. නෝනහාමි මහත්මියගේ සහ ජී. එල් පොඩිසිඤ්ඤාා මහතාගේ පුතනුවකු ලෙස උපත ලද සහෝදර සහෝදරියන් හත් දෙනකුගෙන් යුත් පවුලේ හතර වෙනියා ලෙස මේ කුමරුවා ජන්මලාභය ලැබීය. වයස අවුරුදු 12 ක් වූ කුමරුවා එවකට දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායකව වැඩ විසූ ශ්‍රී සද්ධර්මාභාරතීස්වරාචාර්ය කීර්ති ශ්‍රී ධර්මරක්ෂිත කතලුවේ ශ්‍රී සුමංගලාභිධාන නා හිමියන්ගේ ආචාර්යත්වයෙන් 1930 දී අත්තනගල්ල රජමහා විහාරයේදී කලල්පිටියේ හේමාලෝක යන නාමයෙන් පැවිදි දිවියට ඇතුලත් වූහ.

හපුගල සුධර්මාරාමයේ කුඹල්වැල්ලේ ධම්මරතන හිමියන්ගේ පා සෙවණේ වැඩෙමින් අවුරුදු 17 ක් දහම් අධ්‍යාපනය ලැබීය. 1938 දී මල්වතු වහා විහාරස්ථ මංගල උපෝසථාගාරයේ දී උපසම්පදා ශීලයෙහි පිහිටවනු ලැබුණි. උන්වහන්සේ ගාල්ල කුඹල්වැල්ල ශ්‍රී රේවත පිරිවෙනින් සිංහල, පාලි සංස්කෘත භාෂා ඇතුළුව ධර්ම විනය, ශබිද ශාස්ත්‍රයන් පිළිබඳව ප්‍රවීණතාවයක් ඇති කරගත්හ. හක්මන ගුණානන්ද හිමියන් විසින් අරඹා ආරාජිකව තිබූ කළුගලමාවත සද්ධර්මෝදයාරාමයට 1940 දී හේමාලෝක හිමියන් වැඩමවන ලදී. චෛත්‍ය සහ බෝධීයෙන් පමණක් සමන්විතව තිබූ විහාරස්ථානය, සියලු විහාරාංගයන්ගෙන් අංගසම්පූර්ණ වූයේ හේමාලෝක හිමියන්ගේ අප්‍රතිහත ධෛර්යයෙනි.

1976 දී ආරම්භ කරන ලැබූ හේමාලෝක දහම් පාසල අක්මීමන ශාසනාරක්ෂක බලමණ්ඩලයේ දහම් පාසල් අතරින් විශිෂ්ඨ දහම් පාසලක් වන අතර සිසු සිසුවියන් දහසකට ආසන්නව දහම් අධ්‍යාපනය ලබයි. 2016 ජනවාරි 25 දින 99 වන උපන් දිනය සැමරූ කලල්පිටියේ හේමාලෝක හිමියන්ට දිගාසිරි සහ නිරෝගී සුවය පතමින් පින්කම් රාශියක් 2016 ජනවාරි 23සහ 24 දෙදින තුළ විහාරස්ථානයේදී සිදු කෙරිණි.

කලල්පිටියේ හේමාලෝක නා හිමියන් වහන්සේ සසුනට වැඩ පිණිස ලොවට හිත සුව පිණිස තුණුරුවන් ගුණ බලයෙන් සියලු දෙවිරැකවරණින් චිරාත් කල් වැඩ වෙසෙත්වායි පතන්නෙමු.


රද්දොළුවේ අවරවංශ නා හිමි

1933 වර්ෂයේ ජනවාරි මස 19 වන දින උපත ලද නා හිමිපාණන් වහන්සේ රද්දොළුව මෙතෝදිස්ත ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව රද්දොළුව ශ්‍රී පඤ්ඤානන්ද ජාතික පාසලින් අධ්‍යාපනය ලබා ගත්තේය. වයස 11 දී පමණ රද්දොළුව සුබෝධාරාමධිපතිව වැඩ විසු පණ්ඩිතාචාය¡¡ කොටුගොඩ ශ්‍රී ධම්මානන්ද නා හිමියන් ගේ ආචාර්යත්වයෙන් රද්දොළුවේ අමරවංස නමින් සසුන් ගත විය.

තම ගුරුදේවයන් වහන්සේගෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය මහ පිරිවෙනට ඇතුළත්ව සිංහල, පාලි සංස්කෘත හා සූත්‍ර අභිධම¡ විනය යන පිටකත්‍රය පිළිබඳව දැනුමද ලබා වර්‍ග පිළිවෙළින් විද්‍යෝදය අවසන් පරීක්ෂණයෙන්ද සමත් වී විද්‍යෝදය විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමේ පරීක්ෂණයෙන් සමත් විය. විද්‍යෝදය විශ්ව විද්‍යාලයට ඇතුළත් වී අධ්‍යාපනය ලබන අතර උභය විහාරාධිපතිව වැඩ විසූ තම පැවිදි සහෝදර රද්දොළුවේ අරියවංස හිමිපාණන් වහන්සේගේ හදිසි අපවත් වීම නිසා සියලු අධ්‍යාපන කටයුතු අතරමග නවතා සුබෝධාරාමය අභිනවාරාමය යන උභය විහාරස්ථාන වල අධිපති බවට පත්වී ගම් ප්‍රදේශයේ සියලු ආගමික සාමාජික කටයුතු සිදු කිරීමට සිදු විය.

20 වන වියේදී බේරුවල සිරිනිවාස මහා නායක මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලැබීය. ශ්‍රී ලංකා අමරපුර නිකායේ ශ්‍රී සුමංගල කාරක මහා සංඝ සභාවෙන් කාරක සභික ධූරයක් හා ගෞරවනාම සම්මුතියක් සහිත සම්මාන නායක පදවියක්ද පිරිනමන ලදී.

දහම් පාසල් ළදරු පාසල්, ළමා සමිති, තරුණ සමිති ආදියද ආරම්භ කොට විශාල වැඩ කොටසක් සිදු කරන ලදී. රද්දොළුව මෙතෝදිස්ත ප්‍රාථමික විද්‍යාලයට ගොඩනැගිලි ඉදිකර ගැනීම සඳහා විහාරස්ථානය සතු අක්කරයක් පමණ බිමි කොටසක් ලබා දී ශ්‍රී ධම්මානන්ද ප්‍රාථමික විද්‍යාලය නමින් නම් කරන ලදී. ළදරු පාසල සඳහා විහාරස්ථාන භූමියෙන් බිම් කොටසක් ලබා දී ශ්‍රී සුමන ළදරු පාසල නමින් නම් කරන ලදී.

රද්දොළුව ශාන්ත සිසිලියා දෙවිමැදුර භාරව සිටි ඇන්තනි සිරිල් පියතුමා සමඟ ගම් පුබුදු වැඩසටහන් නොදියුණු ගම් වලට ගොස් සිදු කරන ලදී. නැදගමුව ආරච්ච්වත්ත නම් ග්‍රාමයේ විහාරස්ථානයක්ද සාදවන ලදී. අද එය අංග සම්පුර්ණ විහාරස්ථානයක් බවට පත් වී ඇත.

අරන්කැලේ සුප්‍රසිද්ධ භාවනා අසපුවේ මලියදේව මහරහතන් වහන්සේ වැඩසිටි භාවනා කුටිය දුර්වල වී තිබෙන අවස්ථාවක එය ප්‍රතිසංස්කරණය කරන ලදී. පොල්පිතිමූකලාන ධර්‍ම භාවනා මධ්‍යස්ථානයේ අලුතින් සාදවන සීමා මන්දිරය මුල්ම වස් තුන් මාසය වස් සමාදන් වී කඨින චීවර පූජා පුණ්‍ය කර්‍මය සිදු කරන ලදී. සීදුව පොලිස් වසම තුළ පිහිටුවා ගත් පොලිස් උපදේශක කමිටුවේ ප්‍රධාන අනුශාසක ධුරය ද ලබා දී ඇත.

සිවි වතාවක් දඹදිව වන්දනාවේ යෙදී ඇත. ජර්මනිය, ප්‍රංශය, තායිලන්තය යන රටවල සංචාරය කොට ඇත. නා හිමිපාණන් වහන්සේගේ 83 වන ජන්ම දිනය ජනවාරි මස 19 වන දිනට යෙදී තිබිණි. ජනවාරි මස 17 වන දින සිට බෝධිපූජා ධර්‍ම දේශනා මහ පිරිත් දේශනා සඟ සතු දාන ගිලන් පස දාන වියලි ආහාර දාන දිවා ආහාර ආදියද වෛද්‍ය සායනයක්ද සිදු කොට හිමිපාණන් වහන්සේට දිගාසිරි පැතීය.


නිකුල පඤ්ඤාසාර නා හිමි

උගත් සිල්වත් නිහතමානී අවංක පැවතුම් වලින් යුතු මහ තෙරනමක් ලෙස පසුගියදා සියමි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ කොළඹ පළාතේ ප්‍රධාන සංඝනායක ධූරයෙන් පිදුම් ලැබූ කොළඹ කොටුව බෝධිරාජ විහාරාධිපති නිකුල පඤ්ඤාසාර නා හිමියන් හැඳින්විය හැකිය.

මාතලේ දිශාවේ නිකුල ග්‍රාමයේ විසූ තෙන්නකෝන් මුදියන්සේලාගේ ටිකිරිබණ්ඩා පිය තුමන්ගේ සහ ධනසේකර මුදියන්සේලාගේ පිංච් අම්මා මව් තුම්යගේ පුත්‍රයෙකු ලෙස 1969 ජනවාරි 07 දින උපන් පින්වත් කුමරුවා කොළඹ කළුතර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, කොළඹ කොටුව බෝධිරාජ විහාරාධිපති විද්‍යෝදය පිරිවනෙහි ආචාර්ය දොරටියාවේ නන්දසාර නා හිමියන්ගේ ශිෂ්‍යයෙකු ලෙස 1985 නොවැම්බර් 22 දින නිකුල පඤ්ඤාසාර නමින් පැවිදි බිමට පත්විය.

හඟුªරන්කෙත මාදන්වල ශ්‍රී ධර්මෝදය මහ පිරිවෙනෙන් මූලික අධ්‍යාපනය හා ප්‍රාචීන ප්‍රාරම්භ හා ප්‍රාචීන මධ්‍යම විභාග සමත්වූ පඤ්ඤාසාර හිමියෝ කොළඹ මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙනට ඇතුළත්ව ප්‍රාචීන අවසාන විභාගයෙන් සමත් වී රාජකීය පණ්ඩිත උපාධිය හිමිකර ගත්හ.

1989 ජූනි 01 දා මහනුවර අස්ගිරි මහා විහාරයීය රාජ පූජිත උපෝසථාගාර සීමා මාලකයේද,ී උපසම්පදාවට පත් පඤ්ඤාාසාර හිමියෝ 1995 දී ස්වකීය ගුරු දේවයාණන් වහන්සේගේ අපවත් වීමෙන් පසු කොළඹ කොටුව බෝධි රාජ විහාරය සහ කුරුණෑගල දොරටියාව බෝධිරුක්ඛාරාමය යන උභය විහාරයෙහි විහාරාධිපති ධූරයට පත් වූහ. එම විහාරස්ථානයන්හි දහම් පාසල් ආරම්භ කොට අංග සම්පූර්ණ විහාරස්ථාන බවට පත් කිරීමට ඉමහත් වෙහෙසක් දැරීය. තායිලන්තය, ඇමරිකාව සිංගප්පූරුව මැලේසියාව ආදී විදේශ රට වලට වැඩම කරමින් ධර්ම දූත සේවයෙහි ද නියුතු විය.

කොළඹ වරාය බෞද්ධ සංගමයේ සභාපති, ශ්‍රී ලංකා රේගු බෞද්ධ සංගමයේ අනුශාසක යන තනතුරු දරණ පඤ්ඤාසාර නා හිමියෝ ඒ තුලින් සමාජ හා ආගමික සේවා රැසක් සිදු කරති.

නිකුල පඤ්ඤාසාර නා හිමියන් රටට දැයට සමයට සිදු කරන අමිල මෙහෙවර අගය කළ මහාවීහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක මා හිමියන් ප්‍රධාන සංඝරත්නය ධර්ම කීර්ති ශ්‍රී සිලරතන යන ගෞරව නාමය සහිත කොළඹ දිශාවේ ප්‍රධාන සංඝනායක ධූරය පිරි නැමීය.

නායක පදවි ලද නිකුල පඤ්ඤාසාර නාහිමියන් පිළිගැනීමේ උළෙල මහා සංඝරත්නයේ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් කොළඹ කොටුව බෝධිරාජ විහාරයේදී පසු ගියදා මහත් හරසරින් පැවැත්විණි. කොළඹ පළාතේ ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලද සද්ධර්ම කිර්තී ශ්‍රී සීලරතන නිකුල පඤ්ඤාසාර නා හිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවය චිර ජීවනය ලැබේවා


දෙනිපිටියේ ඛේමානන්ද මා හිමි

අහංගම එළිකැටිය, බිමිබාරාම පුරාණ මහා විහාරය ගම්පහ මාකලන්දන ශ්‍රී ඉන්ද්‍රවංශාරාමය යන උභය විහාරාධිපතිව වැඩ විසූ ශාස්ත්‍රවේදී දෙණිපිටියේ ඛේමානන්ද මාහිමිපාණන් වහන්සේ අපවත් වී වර්ෂ පූර්ණ ගුණානුස්මරණ සමරුව මෙම ජනවාරි මස 20 වන දිනට යෙදී තිිබිණි.

වැලිගම ,දෙණිපිටිය, හාල්පන්දෙණිය ගම් පියසෙහි විසූ පොල්වත්ත ගාල්ලගේ කෙනේරිස් අප්පු නම් පියාණන්ට දාව කොඩිතුවක්කු හේවාමල්ලිකාගේ පොඩිහාමි නම් මාතාවගේ කනිටු පුත්‍රයකුª ලෙසින් 1931.12. 29 වන දින මෙලොව එලිය දුටු පින්වත් කුමරු පොල්වත්ත ගාල්ලගේ ආරියසේන නමි විය.

දෙණිපිටිය මහා විද්‍යාලයයෙන් මූලිකව සිප් සතර හදාරා කුඩා කාලයේදීම සසුන්ගත වීමට පෙලඹිණ. අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායයේ මූලික කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබූ අහංගම එළිකැටිය බිමිබාරාම පුරාණ මහා විහාරස්ථානයේ දී සසුන්ගතවීමට තිබූ කැමැත්ත නිසාම අහංගමට පැමිණ අහංගම ශාරිපුත්‍ර මහා විද්‍යාලයට ඇතුලත්ව වසර 03 ක පමණ කාලයක් එහි අධ්‍යාපනය හදාරමින් බිමිබාරාම මහා විහාරස්ථාන ඇසුරට පත් විය.1944 . 12. 31. වන දින අහංගම පඤ්ඤාවාස මා හිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් පොල්වත්ත ගාල්ලගේ ආරියසේන නම් වූ පින්වත් කුමරු දෙණිපිටියේ ඛේමානන්ද හිමි යන නමින් උතුම් පැවිදි දිවියට ඇතුළත් විය.

විද්‍යාචන්ද්‍ර පිරිවෙනෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ ඛේමානන්ද හිමියෝ අනතුරුව ගාල්ල ගල්වඩුවගොඩ විද්‍යාරාජ මහ පිරිවෙනින් හා කැලණිය විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ශාස්ත්‍රවේදී උපාධිය දිනාගත්හ. වලස්මුල්ල මහා විද්‍යාලයයේ ධර්මාචාර්යවරයෙකු වශයෙන් රජයේ ගුරු සේවයට ඇතුළත්ව අහංගම රෝහණ මහා විද්‍යාලයේ ධර්මාචාර්යවරයෙකු වශයෙන් සේවය කොට නියෝජ්‍ය විදුහල්පති ධුරය දක්වා සේවයෙහි උසස්වීම ලදහ. අනතුරුව ගම්පහ දෙවලපොල මහා විද්‍යාලයේ ධර්මාචාර්වරයෙකු වශයෙන් විශ්‍රාම යන තුරුම මහගු සේවයක යෙදුනහ.

අධ්‍යාපන සේවයෙන් විශ්‍රාම ගත් පසු තම මුල් විහාරස්ථානය වූ අහංගම එළිකැටිය බිමිබාරාම මහා විහාරස්ථානය වෙත වැඩමකර එහි විහාරාධිපතිත්වය භාරගෙන 2015 ජනවාරි මස 19 වන දින අපවත් වන තෙක්ම දුප්පත් පොහොසත් භේදයකින් තොරව සියලු ගම්වාසීන්ට සේවය සලසමින් විහාරස්ථානය රැකබලාගෙන උතුම් සාසන මෙහෙවරක යෙදුණහ.

දෙණිපිටියේ ඛේමානන්ද මා හිමිපාණන් වහන්සේ අපවත් වී වසරක් පිරීමේ ගුණසමරුව වෙනුවෙන් 2016 ජනවාරි 19 වන දින රාත්‍රී එළිකැටිය බිමිබාරාම මහා විහාරයේ සුමධුර ධර්ම දේශනයක් පැවැත්විණි. 2016 ජනවාරි 20 වන දින අර්ධශතධික මහා සංඝයා වහන්සේ විෂයෙහි පැවැති සපිරිකර දහවල මහා දානමය පුණ්‍ය කර්මයකි. එපින් බලයෙන් ගුරුදේවෝත්තම දෙණිපිටියේ ඛේමානන්ද මා හිමිපාණන්් වහන්සේට අජරාමර අමාමහ නිවන්සුව අත්වේවා.

 

 දුරුතු අව අටවක පෝය

  දුරුතු අව අටවක පෝය ජනවාරි 31 වැනිදා ඉරිදා අපරභාග 07.43 ට ලබයි. 01 වැනිදා සඳුදා අපරභාග 10.05 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 01 වැනිදා සඳුදාය. මීළඟ පෝය පෙබරවාරි 08 වැනිදා සඳුදා ය.

 මීළඟ පෝය පෙබරවාරි 08 වැනිදා සඳුදා ය. 
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 01

Full Moonඅමාවක

පෙබරවාරි 08

First Quarterපුර අටවක

පෙබරවාරි 15

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 22


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]