‘බුදු දහමෙහි අපාය සංකල්පය’ ලිපි මාලා අංක – 15 දානයට ගැරහීම ප්‍රේත අත් බවට හේතුවකි
ශාස්ත්‍රපති
රාජකීය පණ්ඩිත
මහරැඹෑවැවේ පාලිත හිමි
ගියවර අපගේ අවධානය යොමු වූයේ පේතවත්ථුවේ සඳහන් අන් අයගේ දරුවන් මැරූ
පවින් තමන්ගේම පුතුන් කන ප්‍රේතියගේ කථාවස්තුව විමසා බැලීමටයි. අද අපගේ
අවධානය යොමුවන්නේ දන් දෙන තම සැමියා පිළිබඳ ද්වේෂ සිතක් ඇතිකරගෙන දන්
දීමට පරිභව කොට සා ගින්නෙන් දැවෙන ප්‍රේත අත් බවක් ලද ස්ත්‍රියක්
පිළිබඳ තොරතුරු සඳහන් මහාපේසකාර පේතවත්ථුව හා තවත් කතාවස්තුවක් පිළිබඳ
ඔබගේ අවධානය යොමු කිරීමටයි. විමසා බැලීමටයි.
මහාපේසකාර පේතවත්ථුව
අපගේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ජේතවන මහා විහාරයෙහි වැඩ වාසය කරන
සමයක එක්තර භික්ෂූන් වහන්සේ දොළොස් නමක් බුදුරදුන්ගෙන් කමටහන් ගෙන වස්
විසීම පිණිස සුදුසු සෙනසුනක් සොයමින් යන අතරතුර රමණීය වූ මහත් ගස් සහ
ජලය ඇති කැලයක් දැක එහි වස් විසීම පිණිස සිත් අලවා අසල වූ පේසකාර ගමට
පිණ්ඩපාතය පිණිස වැඩියහ. එහි පේසකාර පවුල් එකොළහක් වූ අතර ඒ සියලු
දෙනාම භික්ෂූන් වහන්සේලාට මනා ලෙස දන් පැන් ආදියෙන් සංග්‍රහ කළහ. දානය
වැළඳීමෙන් පසුව භික්ෂූන් සමඟ කතා කළ ඒ පිරිස උන්වහන්සේලා වස් විසීමට
වඩින බව දැන ඔවුන්ගේ ගමෙහි වස් වසන ලෙස ඉල්ලා සිටියහ. භික්ෂූන්
වහන්සේලා ද ඔවුන්ගේ ඉල්ලීම ඉවසූහ. එම ගමෙහි ප්‍රධානියා භික්ෂූන්
වහන්සේලා දෙනමක් බාරගත් අතර අනෙක් පිරිස එක නම බැගින් බාර ගත්හ.
භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය කුටි ආදිය ඔවුන් කර දුන් අතර මනා ලෙස
සිව්පසයෙන් උපස්ථාන කරන්නට වූහ.
එහිදී ප්‍රධාන පේෂාකාරයා භික්ෂූන් වහන්සේලා දෙනමක් තබාගෙන දෙනමට
ශ්‍රද්ධාවෙන් ඇප උපස්ථාන කිරීමට බලාපොරොත්තු වූවත් ඔහුගේ බිරිඳ
ශ්‍රද්ධාවක් නැති, නොපැහැදුණු, ලෝභී, මිත්‍යාදෘෂ්ටික කාන්තාවක් වූවා ය.
ඇය මනා ලෙස භික්ෂූන් කෙරෙහි නොපිළිපැදීම නිසා ප්‍රධාන පේසකාරයා ඇගේම
කනිටු සොහොයුරිය රැගෙන අවුත් නිවසෙහි ප්‍රධානත්වය දුන්නේ ය. ඇය බොහෝ
සෙයින් ශ්‍රද්ධා සම්පන්න වූ බැවින් භික්ෂූන් කෙරෙහි මනාව පිළිපැද්දාය.
මෙසේ වස් කාලය නිමා වූ කල්හි බොහෝ පින් රැස් කරගත් ඒ පේසකාර ගමෙහි
පිරිස භික්ෂූන් වහන්සේලාට සිවුරු පිණිස වස්ත්‍ර ද පිළිගැන්වූහ. තම
ස්වාමියා පින්කරන කල්හි ඔහුගේ ශ්‍රද්ධාවක් නැති ලෝභී බිරිඳ ඔහුට මෙසේ
ශාප කළා ය. එනම් “ඔබ ශ්‍රමණයන්ට දෙන ඔය ආහාර මළමුත්‍ර වේවා! පාන වර්ග
ලේ සැරව වේවා! වස්ත්‍ර ගිනි වස්ත්‍ර වේවා ! යනුවෙනි.
කලක් ගතවීමෙන් ඒ පේසකාර ප්‍රධානියා මිය ගොස් වින්ධ්‍යා කැලයෙහි මහත්
ආනුභාව ඇති රුක් දෙවියෙක්ව උපන්නේ ය. ටික කලකින් ම ඔහුගේ ලෝභි බිරිඳ ද
මියගොස් ඒ දේවපුත්‍රයා වසන තැනට නුදුරෙහි නිර්වස්ත්‍රව කුසට අහර නැති
විරූපී ප්‍රේතියක්ව උපන්නාය. දුකට පත් ඇය ඒ රුක් දෙවියා සමීපයට පැමිණ
ස්වාමීනී, මට කුසට අහරක් දෙන්න යැයි ඉල්ලීය. ඇය කෙරෙහි අනුකම්පා ඇති වූ
ඒ දේව පුත්‍රයා ඈට දිව්‍යමය වූ ආහාර ද වස්ත්‍රද දුන්නේ ය. ඇය ඒ ආහාර
පාන අත ගැසූ පමණින් මළ මුත්‍ර බවට, ලේ සැරව බවට පත්විය. දිව්‍යමය
වස්ත්‍ර ඇඟේ දා ගත් පමණින් ගින්දර බවට පත් වී ඇගේ සිරුර දවන්නට විය.
ඇයට මහත් දුක් දෙන්නට විය. ඇය මහත් ශබ්දයෙන් විලාප දෙන්නට විය.
ඒ සමයෙහිම එක්තරා භික්ෂුවක් පිටිසර පෙදෙසක වස් වැස නිමකොට බුදුරදුන්
දකිනු පිණිස යනු කැැමත්තේ වින්ධ්‍යා කැලය මැදින් ඇති මාර්ගයෙන් වෙළෙඳ
පිරිසක් සමඟ ගමන් ආරම්භ කළහ. වෙහෙසට පත් ව සිටි භික්ෂුව එහි මහත් සෙවණ
ඇති ගසක් මුල දෙපට සිවුර එළා මදක් සැතපුණහ. නුදුරෙහි වූ වෙළෙඳ පිරිස ද
මඳක් වෙහෙස නිවා නැවතත් ගමන් ආරම්භ කළ අතර ඒ භික්ෂුව එහි තනි විය.
භික්ෂුව අවදි වී බලන කල වෙළෙඳ පිරිස නැති බව දැන තමන්ට අවශ්‍ය ප්‍රත්‍ය
කෙසේ ලබා ගන්නේ දැයි කල්පනා කරමින් සිටින කල ඒ වනයෙහි වූ පෙර කී රුක්
දෙවියා පැමිණ උන්වහන්සේ තම භවනට වඩමවා දිව්‍යමය වූ ආහාර පානාදියෙන්
සංග්‍රහ කිරීමට සූදානම් විය. ඒ අවස්ථාවේ ද අර ප්‍රේතිය පැමිණ නැවතත්
ආහාර පාන ඉල්ලීය. දිව්‍ය පුත්‍රයා ද නැවතත් ඇයට පෙර පරිදිම ආහාරපාන හා
වස්ත්‍ර පිළිගැන්වීය. එහෙත් ඒ සියල්ල පෙර පරිදිම විය. ආහාර මළමුත්‍ර
බවටත්, පාන ලේ සැරව බවටත්, ඇඳුම් ගිනිදැල් බවටත් පත්විය. මෙය දුටු
භික්ෂුව කම්පාවට පත් වූ අතර දිව්‍ය පුත්‍රයාගෙන් ඈ මෙසේ වීමට පෙර කළ
අකුශල කර්මය කුමක් දැයි විමසීය.
අසූචි මළ මුත්‍ර හා සැරව අනුභව කරන, කෘෂ වූ, ලේ වැකී ගිය දැකීමට
අපි‍්‍රය වූ ගිය ශරීර ඇති, නව වස්ත්‍රයක් පැළඳීමට දුන් විට ගිනි දැල්
බවට පත් වන මේ ස්ත්‍රිය කවරෙක් ද? ඈ විසින් කවර නම් අකුශල කර්මයක් කරන
ලදද? එවිට ඒ දිව්‍ය පුත්‍රයා භික්ෂූන් වහන්සේට පිළිතුරු දෙමින් මෙසේ
පවසයි.
ස්වාමීනී, මේ තැනැත්තිය පෙර ආත්මයේ මාගේ බිරිඳ විය. ලෝභි වූ ඇය මා
විසින් භික්ෂූන් දන් දෙන කල්හි ආක්‍රෝශ, පරිභව කළාය. භික්ෂූන්
වහන්සේලාට මා විසින් දෙන ඒ දානය මළ මුත්‍ර බවටත්, පාන වර්ග ලේ සැරව
බවටත්, වස්ත්‍ර ගිනිදැල් බවටත් පත් වේවායි ඇය ශාප කළා ය. එසේ දුෂ්ට
සිතින් කළ ඒ පාපී ක්‍රියාවේ ප්‍රතිඵල දැන් ඈ විසින්ම විඳවන්නීය වශයෙන්
පැහැදිලි කළේ ය.
ඉන් පසු දිව්‍ය පුත්‍රයා එම භික්ෂූන් වහන්සේගෙන් මෙසේ ඇසීය. ‘ස්වාමීනි,
මේ ස්ත්‍රිය අපමණ දුකට පත් වෙමින් කාලය ගෙවන්නේ ය. මේ අකුසල කර්මයෙන්
මැය මුදවා ගැනීමට යම් ක්‍රමයක් ඇද්දැයි විමසීය. එවිට භික්ෂූන් වහන්සේ
ක්‍රමයක් ඇත දේව පුත්‍රය’ යනුවෙන් පැවසූහ. එසේ නම් පවසන්න ස්වාමීනි,
යනුවෙන් දේව පුත්‍රයා කීය. එවිට භික්ෂූන් වහන්සේ පවසන්නේ ‘දේව පුත්‍රය’
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ එක් ආර්ය ශ්‍රාවක නමක් හෝ උදෙසා දානයක්
දී ඇය වෙනුවෙන් පින් අනුමෝදන් කරන්න’ යනුවෙන් පැවසීය.
එයින් සතුටට පත් දිව්‍ය පුත්‍රයා ඒ භික්ෂූන් වහන්සේටම දිව්‍යමය වූ ආහාර
පානාදිය සැදැහැ සිතින් ගෞරව පෙරටුව පිළිගන්වා ඇයට පින් අනුමෝදන් කළා ය.
ඒ ප්‍රේතියගේ අතෙහිම තබා දිව්‍යමය වූ වස්ත්‍ර යුගළක් ද භික්ෂූන්
වහන්සේට පිළිගැන් වූවා ය. ඒ පින් අනුමෝදන් වූ ඇය ඒ දුක්ඛිත ප්‍රේත
ආත්මයෙන් මිදි, දිව්‍යමය වූ ශරීරයක් ද දිව්‍යමය වූ ආහාර පාන ද දිව්‍යමය
වූ වස්ත්‍ර ලැබ අතිශය සතුටට පත් වූවා ය.
උක් වනයේ උපන් ප්‍රේතයා
අපගේ බුදුරජාණන් වහන්සේ වේළුවන මහා විහාරයේ වැඩ වසන කල එක් ලෝභී
මිනිසෙක් උක්දඬු මිටියක් කරතබාගෙන උක්දඬුවක් කමින් මහමග ගමන් කරයි.
එකල්හි එක් උපාසකයෙක් ළදරුවකු සමඟ ඔහු පිටුපසින් ගමන් කරන්නේ උක්දඬු
පිළිබඳ ආශාව ඇති දරුවා ඔහුට උක් උක්දඬුවක් ඉල්ලා දෙන ලෙස උපාසකයාට
දැන්වීය. උපාසකයා උක්දඬුවක් ඉල්ලූවිට ඒ පුරුෂයා කිසිවක් නොකියාම ගමන්
කරයි. ඔහු නැවතත් දරුවාගේ ඇවටිල්ල නිසා දරුවා කෙරෙහි අනුකම්පාවෙන්
උක්දඬුවක් දෙන ලෙස ඔහු නැවතත් ඉල්ලීය. එයින් නොසතුටු සිත් ඇති ඒ
පුරුෂයා අනාදරයෙන් යුතුව ඉල්ලීමෙන් බේරීම සඳහා එක් උක්දඬු කැබැල්ලක්
ඔහු දෙසට විසි කළේ ය.
පසු කලක මියගිය ඒ පුරුෂයා උක්දඬු කෙරෙහි වූ ලෝභය නිසාම ඊට සරිලන ලෙසම
මුහුණු තිස්දෙකකින් යුතු ප්‍රේතයෙක්ව මහා උක්වනයක උපන්නේ ය. ඉතා
හොඳින් මහත්ව වැඩුණ ඒ උක් වනයේ උක්දඬුවක් කෑම සඳහා මේ ප්‍රේතයාට සිත්
ඇති වූ විට ඒම හා උක්ගස් මුගුරු මෙන් ක්‍රියාත්මක වී ඔහුට ක්ලාන්ත
වනතෙක් පහර දෙයි. කිසි කලෙක ඔහුට උක්දඬුවක රස බැලීමට නොහැකි විය.
දිනක් මෙසේ ක්ලාන්ත වී සිටින ප්‍රේතයා දුටු මුගලන් මහරහතන් වහන්සේ
ඔහුගෙන් තමා කවුදැයි කරුණු විමසීය. එවිට ඔහු තමා ප්‍රේතයෙකු බවත් මහත්
උක්වනයක වසන බවත් කිසිදිනක ඔහුට එහි උක්දඬුවක්වත් කෑමට නොහැකි බව
පැවසීය. එසේ කෑමට සිත් වූ විට කරුණු විමසීය. මෙසේ තමාට සිදුවන බව
පැවසීය. ඔහුගේ කර්ම ශක්තිය අවබෝධ කොටගත් මුගලන් මහරහතන් වහන්සේ ඔහුට
මෙසේවීමට හේතු වූ හෙවත් ඔහු කළ අකුශල කර්මය පහදා දුන්නේ ය. ඔබ පෙර
ආත්මභවයෙහි මිනිසෙක් වී ඉපිද සිටියේ ය.
එහි දී අකුශල කර්මයක් කළේ ය. එනම් දිනක් ඔබ උක්දඬු මිටියක් කරතබාගෙන
උක්දඬුවක් කමින් මහමග ගමන් කළේ ය. එකල්හි එක් උපාසකයෙක් ළදරුවකු සමඟ
ඔහු පිටුපසින් ගමන් කරන්නේ උක්දඬු පිළිබඳ ආශාව ඇති දරුවා ඔහුට උක්
උක්දඬුවක් ඔබගෙන් ඉල්ලුවේ ය. ඔබ එය නෑසුනාක් සේ ගියේ ය. ඔහු නැවතත්
දරුවාගේ ඇවටිල්ල නිසා දරුවා කෙරෙහි අනුකම්පාවෙන් උක්දඬුවක් දෙන ලෙස
ඔබගෙන් ඉල්ලීය. එයින් නොසතුටු සිත් ඇති ඔබ අනාදරයෙන් යුතුව ඉල්ලීමෙන්
බේරීම සඳහා ඔහු දෙස නොබලාම පිටුපස්සෙන් එක් උක්දඬු කැබැල්ලක් ඔහු දෙසට
විසි කළේ ය.
එම කර්මයාගේ විපාක වශයෙන් මෙසේ ඔබට සිදුවෙයි යනුවෙන් මුගලන් මහරහතන්
වහන්සේ ඒ ප්‍රේතයාට කරුණු අවබෝධ කර දුන්සේක.
උක්දඬු කෑමෙහි මහත් ආශාවෙන් සිටින ඒ ප්‍රේතයාට උක්දඬු කෑම සඳහා උපායක්
ඉගැන්වීය. එනම් පිටුපසින් පිටුපසට ගොස් තමා කැමති ලෙස උක්දඬු අනුභව කරන
ලෙයසි. පුදුමයකි! එසේ කළවිට ඒ ප්‍රේතයාට උක්දඬු කෑමට හැකිවිය. මෙසේ
වූයේ ඔහු අනාදරයෙන් පිටුපස නොබලාම අර දරුවාට උක්දඬුවක් විසිකිරීමේ
විපාක වශයෙනි.
|