සිරකුටියෙන් එහාට
කොළඹ හැව්ලොක්ටවුන්හි
ඉසිපතනාරාම මහා විහාරාධිකාරී,
අධ්‍යාපනවේදී, ශාස්ත්‍රපති,
වග විජිතවංස හිමි
ඔබ
සිරකරුවෙකු වූ කල ඔබ පළමු වරද කරන්නේ තමාටමය.
ඒ ඔබ ඔබට ආදරයක් නැති නිසා ය.
ඔබ ඔබට ආදරය කරන්නේ නම් කිසිදිනෙක සිරකුටියක නිර්මාතෘවරයෙකු නොවේ.
ඔබ ඔබට මෛත්‍රී කරන්නේ නම් කිසිදිනෙක ශරීරයට අයෝග්‍ය ආහාරපාන,
මත්ද්‍රව්‍ය වැනි දේට යොමු නොවෙනවා පමණක් නොව මනසට අයෝග්‍ය සිතුවිලි
ගලා ගෙන එන විට ඒ සිතිවිලි ඇතුල්වීම වැළැක්වීමට තරම් ශක්තිමත් වැටක්
ඔබේ මනස වටා නිර්මාණය කර ගනී.
දුර්වල වූ මනසක් ඇති විට තව තවත් සිරකුටි නිර්මාණය කරන්නෙකු බවට ඔබ පත්
වේ.
ලෝකයේ ඇති වී තිබෙන සෑම ගැටලුවකට ම හේතුවක් හෝ හේතු සමූහයක් තිබේ. මේ
හේතුවලට පිළියම් සොයන තුරු සුදුසු විසඳුමක් නොලැබේ. අප සෑම විට ම
උත්සාහ ගන්නේ යම් සිදුවීමක් සිදු වූ විට ආසන්න හේතුවට හොඳින් හෝ නරකින්
පිළිතුරු දීමටයි. කිසිදිනෙක ඇති වූ ගැටලුව එයින් නිරාකරණය නොවේ. ලෝකයේ
දැනට ඇති වී තිබෙන ගැටලු දෙස හොඳින් අවධානය යොමු කරන්න. සැබවින් ම මේ
ගැටලු ඇති වී ඇත්තේ කුමක් නිසා ද? සියල්ලෙහි ආරම්භය අපගේ මනස නොවේද?
මිනිස්සු එකිනෙකා වෙන් වෙන්නට විවිධ හේතු හදා ගනී. ඊට නිතරම මනස
සූදානම් කර ගනී.
මේ සියල්ලට ම හේතුව කුමක්ද? අප සිතිවිලිවල වහලෙකු වශයෙන් කටයුතු කිරීම
නොවේද? අප මනස තුළ සිරකුටි රාශියක් හදාගෙන තිබේ. ඒ සිරකුටි ඇතැම් විට
තමන්ගේ රැකියාව, අඹුදරුවන්, වාහනය, නිවස ආදිය නිසා වේ. ඇතැම් විට
තමන්ගේ ජාතිය, ආගම නිසා විය හැකි ය. මේ සියල්ලෙන් ම සිදුවන්නේ අප වෙන්
වෙන්නට හේතු නිර්මාණය කර ගැනීමයි. මේ සිරකුටි තුළ අප සිර වී සිටින තාක්
අපට බාහිර ලෝකයවත් තමන්වත් දැකිය නොහැකිය. මේ සිරකුටි සැමවිටම අප
පීඩාවට ලක් කරයි.
අප මහමෙර හිස මත තබා ගත්තෙකු පරිද්දෙන් අසහනයෙන්, අතෘප්තියෙන් ඒ මේ අත
සැරිසරයි. සිරකුටිවල තාමත් සිරවී සිටින අනෙක් බොහෝ දෙනා කරන දේවලින් අප
පීඩාවට පත් වේ. ඇතැම් විට අපේ සිරකුටියට සමාන නම් අප උද්දාමයට පත් වේ.
අපට පටහැනි නම් වෛරයෙන්, ක්‍රෝධයෙන් පීඩා විඳිමින් කල් ගෙවයි. එහෙත් මේ
එකදු සිරකුටියකින්වත් අප සැනසීමට පත් කළා ද? නැත. හැමදාම කළේ අප තවත්
සංසාර ගමනේ අනාථයන් බවට පත් කිරීම නොවේද?
බුදුරජාණන් වහන්සේ මෛත්‍රී සංකල්පයෙන් පැහැදිලි කළේ මේ සිරකුටිවලින්
නිදහස් වී නිදහස් මනසකින් ලෝකය දෙස බැලීමයි. මේ ලෝක ධාතුවේ සිටින සියලු
ප්‍රාණීන්ට මෙත් වඩන තැනැත්තාට මේ සිරකුටි අදාළ නොවේ. ඔහු මේ සියලු
සිරකුටිවලින් නිදහස් වූවෙකි. මේ සිරකුටිවල සිරකරුවන් බවට අප පත්
වුවහොත් අප ඉතා පටු අදහස් ඇති ආත්මාර්ථකාමින් බවට පත් වේ. යම් කෙනෙක්
සමාජයේ දියුණු වී සිටින විට සමහර අය ඊර්ෂ්‍යා කරන්නේ සිරකුටියක සිර වී
සිටින නිසාය. මේ සිරකුටියෙන් නිදහස් වුණු අය ඒ කෙනාගේ දියුණුව දැක
සතුටට පත් වේ.
එවන් නිදහස් මනසක් අප ඇති කර ගත යුතු නොවන්නේ ද? ඒ නිදහස් මනසෙන් ලෝකය
දකින විට අප මොන තරම් සොම්නසකට පත්වන්නේ ද? සැබවින්ම ඔබ සිරකුටි හදාගෙන
ඔබම ඒ සිරකුටියේ හිරකරුවෙකු වූ කල ඔබව නිදහස් කරන්නේ කවුද? ඔබව
කිසිවෙකුට නිදහස් කළ නොහැකිය. නිදහස් වීම ඔබ සතු වූ කාර්යයකි. එබැවින්
මෙම සිරකුටි පිළිබඳව මොහොතක් මෙනෙහි කරමු. අප විසින් සාදාගත් මේ
සිරකුටි අප විසින් ම බිඳ දැමිය යුතු ය. සිරකුටි සාදාගත් විට පීඩාවක්
වන්නේ නම් එය බිඳ දැමීය යුතුම ය. එය ඇතැම් විට ජාතිය වන්නට පුළුවන.
ඇතැම් විට ආගම වන්නට පුළුවන.
ආගමත් අපට පීඩාවක් වන්නේ නම් එයින් ඇති ඵලය කිම? ආගමක් හෝ දර්ශනයක් අපට
අවශ්‍ය වන්නේ අපව නිදහස් කිරීමට නොවේද? බුදුදහම සැමවිටම ඔබව නිදහස්
මනසක් ඇති පුද්ගලයෙකු බවට පත් කරන්නට උත්සාහ කරන්නේ නිදහස් මනසකින් ඔබ
සන්සුන් කිරීමටය. එනිසා බුදුදහමේ නොයෙක් දේ මේ මේ විදියට කරන්න යැයි
නියෝග දීමක් හෝ අණ කිරීමක් නොමැත. ඔබගේ විමංසන බුද්ධියෙන් ධර්මය වුව ද
විමසා බලන ලෙස කාලාම සූත්‍රයේ දී මඟ පෙන්වා ඇත්තේ එබැවිනි.
ඔබ සිරකරුවෙකු වූ කල ඔබ පළමු වරද කරන්නේ තමාටමය. ඒ ඔබ ඔබට ආදරයක් නැති
නිසා ය. ඔබ ඔබට ආදරය කරන්නේ නම් කිසිදිනෙක සිරකුටියක නිර්මාතෘවරයෙකු
නොවේ. ඔබ ඔබට මෛත්‍රී කරන්නේ නම් කිසිදිනෙක ශරීරයට අයෝග්‍ය ආහාරපාන,
මත්ද්‍රව්‍ය වැනි දේට යොමු නොවෙනවා පමණක් නොව මනසට අයෝග්‍ය සිතුවිලි
ගලා ගෙන එන විට ඒ සිතිවිලි ඇතුල්වීම වැළැක්වීමට තරම් ශක්තිමත් වැටක්
ඔබේ මනස වටා නිර්මාණය කර ගනී. දුර්වල වූ මනසක් ඇති විට තව තවත් සිරකුටි
නිර්මාණය කරන්නෙකු බවට ඔබ පත් වේ.
යම් කෙනෙකුට රිදවීමට හානි කිරීමට පෙර ඒ දෙය මට සිදුවූවා නම් කෙසේ වන්නේ
ද යන්න සිතා බැලිය හැකි නම් සැබවින් ම ඔබ සිරකුටියෙන් පැනීමට සූදානම්
වන කෙනෙකි. එහිදී ඔබට අවශ්‍ය වන්නේ ජාතිය, ආගම හෝ කුලය නොව සියලු
ප්‍රාණීන් කෙරෙහි ඇති කර ගත් දයාවයි.
ලොව බොහෝ දෙනෙක් මනුෂ්‍යත්වය පිළිබඳ ව කතා කරති. ඔබ සියලු ප්‍රාණීන්
කෙරෙහි දයාව දක්වන්නෙක් නම් මනුෂ්‍යත්වයට පමණක් සීමා වී සිටින්නේ ඇයි?
සියලු ප්‍රාණීන් සැප කැමැත්තෝ වෙත් යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කර
ඇත. එබැවින් සියලු ප්‍රාණින්ගේ ජීවත් වීමේ අයිතිය අප සුරක්ෂිත කළ යුතු
ය. මෛත්‍රී සහගත තැනැත්තාට මුළු මහත් ලෝකයම තම නිවස වේ. තම නිවසේ සිටින
සියලු දෙනා සමඟ මිත්‍රත්වයෙන් කටයුතු කරන්නේ යම් සේද එසේ ම මුළුමහත්
ලෝකය සමඟම මිත්‍රත්වයෙන් කටයුතු කරන්නට හැකි වේ නම් අප නිදහස් මනසක
හිමිකරුවෙකි.
එවන් නිදහස් මනසක හිමිකරුවෙකු නිතරම සන්තුෂ්ටියෙන් කල්ගෙවන්නේ වේ.
මෛත්‍රී භාවනාවෙන් අප අපේක්ෂා කරන්නේ මෙවන් සන්සුන්, සැනසිලිදායක,
නිදහස් මනසකි. බෞද්ධ දර්ශනයේ හරය වන්නේත් වත්මන් ලෝකයට අවශ්‍ය වන්නේත්
එවන් නිදහස් මනසක් සහිත මිනිසුන් පිරිසකි. ලෝකයේ ඇතිව තිබෙන සෑම
ගැටලුවකටම විසඳුමක් දිය හැක්කේ එවැනි නිදහස් මනසකින් ලෝකය දෙස
බලන්නවුන්ටය. |