අසිරිමත් ධාතු පුරාණය 11 කොටස
අකු ධාතුන් වහන්සේ තැම්පත් කළ ථූපාරාම මහා සෑය
පොල්ගහවෙල
මහමෙවුනා
භාවනා අසපුවේ නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
අප සාකච්ඡා කරමින් සිටින්නේ ධාතුන් වහන්සේගේ පරම්පරා විස්තරය යි. චේතිය
පූජාවෙන් මහා පුණ්‍ය නිධානයක් රැස්වෙන බවත්, ඒ පුණ්‍ය නිධානයෙන් අමා මහ
නිවන මතුවන බවත් ඛුද්දක නිකායේ නිධිකණ්ඩ සූත්‍රයෙහි මෙසේ සඳහන් වෙනවා.
දාගැබ් වහන්සේලාටත්, ගුණවත් සංඝයාටත්, ආගන්තුකයින්ටත් යම්
පුද්ගලයෙකුටත්, මව්පියන්ටත්, වැඩිමහළු සහෝදර සහෝදරියන්ටත් දන්දීම්,
ගෞරව දැක්වීම් ආදිය කරනවානම් මනා කොට තැන්පත් කරපු මෙම නිධානය කාටවත්
සොරකම් කරන්න බැහැ. පරලොව යද්දී තමාගේ පස්සෙන්ම එනවා. සියල්ල අත්හැර
පරලොව යන්න සූදානම් වනවිට මේ පුණ්‍ය නිධානය තමා අරගෙන යන්න තිබෙන්නේ.
මේ පුණ්‍ය නිධානය හැමදෙනාටම බෙදා ගන්න බැහැ. හොරුන්ට පැහැර ගන්නත්
බැහැ. තමා පස්සෙන් එන ඒ පුණ්‍ය නිධානය යි නුවණැත්තා පින් වශයෙන් කළ
යුත්තේ.
කල්‍යාණමිත්‍ර සම්පත්තියට පැමිණ සමාධිය ඇතිකර ගැනීමත්, යෝනිසෝමනසිකාරයේ
යෙදීමත් නිසා විද්‍යා විමුක්ති වශයෙන් ලබන චිත්ත දියුණුව කරා යන්නත් ඒ
ගුණධර්ම කෙරෙහි සිතේ වසඟය පවත්වන්නටත් මේ හැමදෙයටම පුණ්‍ය නිධානය
හේතුවෙනවා. අර්ථ, ධර්ම, නිරුක්ති, ප්‍රතිභාන යන පටිසම්භිදාවන් අෂ්ඨ
විමෝක්ෂයන්, ශ්‍රාවක බෝධියත්, පසේබුදුබවත්, සම්මා සම්බුදු බවත් යන මේ
හැම දේකටම පුණ්‍ය නිධාන හේතුවෙනවා. මේ ආකාරයට යම් මේ පුණ්‍ය
සම්පත්තියක් ඇද්ද එය විශාල යහපතක් සලසනවා. ඒ නිසයි ප්‍රඥාවන්ත
සත්පුරුෂයන් කළ පින් ඇති බව දැන ප්‍රශංසා කරන්නේ.
ථූපාරාම මහා සෑය
මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කොට ධර්මය ප්‍රචාරය කරන අතරේදී
උන්වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාට කියනවා රජතුමනි, මම භාග්‍යවතුන්
වහන්සේ බැහැදැකීම සඳහා දඹදිවට වඩින්න ඕන. ස්වාමිනි ඔබවහන්සේම නේද කියා
සිටියේ තථාගත අරහත් සුගතයන් වහන්සේ පිරිනිවන් පා අවසානයි කියා.
රජතුමනි, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ බව සැබෑවක්මයි. නමුත්
උන්වහන්සේගේ ධාතුන් වහන්සේ වැඩ සිටිනවා. ධාතුන් වහන්සේ දැකීම, වන්දනා
කිරීම බුදුරජාණන් වහන්සේ දැකීම හා වන්දනා කිරීම හා සමානයි. ස්වාමිනි,
එසේනම් අප ලංකාදීපයේත් ධාතුන් වහන්සේ තැන්පත් කර වන්දනා කරමු. රජතුමනි,
ඒ පිළිබඳව සුමන සාමණේරයන් වහන්සේට කියන්න. උන්වහන්සේ අවශ්‍ය කටයුතු
සිදුකරයි. එසේය ස්වාමිනි, කියා රජතුමා මහත් සතුටට පත්ව සුමන සාමණේරයන්
වහන්සේ මුණ ගැසී ධාතුන් වහන්සේ ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.
සුමන මහරහතන් වහන්සේ වදාළා රජතුමනි, ධාතුන් වහන්සේ තැන්පත් කිරීමට
සෑයක් අවශ්‍ය වෙනවා. එයට සුදුසු සෑයක් තනන්න. මම ධාතුන් වහන්සේ වැඩමවා
ගෙන එන්නම් කියා දඹදිවට වැඩියා. ධර්ම අසෝක රජතුමා මුණ ගැසී කියනවා
ලංකාදීපයේ තැන්පත් කිරීමට ධාතුන් වහන්සේ අවශ්‍යයි කියා. රජතුමා සතුව
තිබූ ඔහු වන්දනාමාන කළ බුදුරජාණන් වහන්සේගේ භික්ෂා පාත්‍රාධාතුව පුරවා
තිබුණ සර්වඥ ධාතුන් වහන්සේ සමඟ සියල්ලම සුමන සාමණේරයන් වහන්සේට ලබා
දෙනවා. ඒක පුදුමයක්. මේ ඉතිහාසය පුරාවටම ලංකාවට උදව් උපකාර කළ එකම එක
රජතුමා ධර්ම අසෝක නිරිඳුන්. ඔහු ඉන්දියාවේ තිබූ සාරයම ලංකාවට පරිත්‍යාග
කළ රජ කෙනෙක්. අප අදටත් භුක්ති විඳින්නේ වන්දනාමාන කරන්නේ ධර්ම අසෝක
රජතුමා ලබාදුන් දේයි.
සුමන සාමණේරයන් ඒ ධාතුන් වහන්සේ රැගෙන දිව්‍ය ලෝකයට වඩිනවා. දැන් ඔබ
දන්නවා සිළුමිණ සෑයේ දළදා වහන්සේත්, දකුණු අකු ධාතුන් වහන්සේත් වැඩ
සිටින බව. සාමණේර මහරහතන් වහන්සේ ශක්‍ර දේවේන්ද්‍රයාට කියනවා සක්දෙවිඳ,
දකුණු අකු ධාතුන් වහන්සේ අපට ලබාදෙන්න. ස්වාමිනි, අපට වන්දනා කරන්න
දළදා වහන්සේ වැඩ සිටිනවා. ඔබ වහන්සේ දකුණු අකු ධාතුන් වහන්සේ රැගෙන
යන්න. සුමන සාමණේරයන් වහන්සේ සර්වඥ ධාතුන් පාත්තරයත්, අකු ධාතුන්
වහන්සේත් වඩම්මවාගෙන ලංකාදීපයට වැඩියා. මිහින්තලයේ ගලක් මුදුනේ පාත්‍රා
ධාතුන් වහන්සේ සහ සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් කර අකු ධාතුන් වහන්සේ
රැගත් කරඬුව රජතුමාට බාර දුන්නා. රජතුමා ඒ ධාතුන් වහන්සේ ඇතෙකු පිට
තබාගෙන රට වටේම වඩම්මවනවා. අද ථූපාරාමය තිබෙන තැනින් ගමන් කරද්දී ඇතා
එතැනින් එහාට යන්නේ නැහැ. ධාතු කරඬුව බිමට ගන්නට දෙන්නෙත් නැහැ.
දැන් ථූපාරාමය තිබෙන තැන බලද්දී එතැන පස් ගොඩක් තිබුණා. ඒ පස්ගොඩ
තනිකරම කටුගස්වලින් වැහිලයි තිබුණේ. පැරැණි පොත්වල සඳහන් වෙනවා පැරැණි
ස්ථූප එසේ කටුගස් වලින් වැහෙන්නේ මිනිසුන්ට සතුන්ට වැසිකිලි කැසිකිලි
කරන්නට යන්න බැරි වෙන විදිහටයි කියා. දැන් රහතන් වහන්සේ වදාළා රජතුමනි,
මේ ස්ථානයේ මීට පෙර වැඩ සිටිය කකුසඳ බුදුරජාණන් වහන්සේගේ දබරා ධාතුන්
වහන්සේ තැන්පත් කර සෑයක් තනා තිබෙනවා. කකුසඳ, කෝණාගමන, කාශ්‍යප
බුදුරජාණන් වහන්සේගේ ගෞතම බුදුරජුන්ගේ මෙන් ධාතු විස්තරයක් නැහැ. හේතුව
කිම? දීර්ඝායුෂ තිබෙන මිනිසුන් ජීවත්වන කාලයේ පහළ වන බුදුවරුන්ගේ
ධාතුන් වහන්සේගේ විසිරීමක් වෙන්නේ නැහැ. මුළු බුද්ධ ශරීරයම එක ධාතුන්
වහන්සේ නමක් පමණයි. එනිසා කකුසඳ, කෝණාගමන, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ
තිබෙන්නේ එකම ධාතුන් වහන්සේ නමක් පමණයි. අපේ බුදුරජාණන් වහන්සේගේ
ධාතුන් වහන්සේ කොතරම්ද? ද්‍රෝණ අටයි. කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ පටී
ධාතුව තිබුණේ දැන් ථූපාරමය තිබෙන තැන. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ජල
සාටකය තැන්පත් වී තිබුණේ දැන් ථුපාරාමය තිබෙන තැන. ගෞතම බුදුරජුන්ගේ
අකු ධාතුන් වහන්සේ එතැනම වැඩ සිටිනවා. දේවානම්පියතිස්ස රජතුමා යොදුනෙන්
යොදුන එක් සෑයකට අනෙක් සෑය පෙනෙන ලෙස ධාතුන් වහන්සේ දෙනම දෙනම තැන්පත්
කොට සෑයන් ඉදිකර තිබෙනවා. එය “යෝජන ස්ථූප” ලෙස හඳුන්වනවා.
මිහිඳුමහ රහතන් වහන්සේ ථූපාරාම සෑය ඉඳිකළ පසු සංඝයාත් සමඟ විනය සංඝායනා
කළා. එවලෙහි පොළොව කම්පාවුණා. මේ ලංකා ධරණීතලයේ වංශකථා සහිතව ඉදිවූ
මුල්ම චෛත්‍යය තමා ථූපාරාමය සෑය. එම සෑය රාජවංශයෙන් පැවැත එනවා. අද අප
වන්දනා කරන ථූපාරාම සෑයේ තිබෙන්නේ අකු ධාතුන් වහන්සේ සහ කේශ ධාතුන්
වහන්සේ. ථූපාරාම සෑය අනෙක් සෑයන් සමඟ බලද්දී කුඩා වුවද එය තුන්ලොව
කම්පා කළ මහා සෑයක්.
මිරිසවැටිය සෑයේ පරම්පරා විස්තර
දුටුගැමුණු රජතුමා මුලින්ම කළ සෑය මිරිසවැටිය මහ සෑයයි. දුටුගැමුණු
රජුට පරම්පරාවෙන් ලැබුණ සර්වඥ ධාතුන් වහන්සේ ජය කොන්තයේ තැන්පත් කර
රජතුමා ගමන් කරන කරත්තයේ ඉදිරියේ තබා තිබෙන්නේ.(ජය කොන්තය කියන්නේ අද
පාර්ලිමේන්තුවේ තිබෙන සෙන්කෝලය වගේ එකක්.) දිනක් රජතුමා දැන්
මිරිසවැටිය සෑය තිබෙන ස්ථානයේ ධාතුන් වහන්සේ තැන්පත් ජය කොන්තය තබා
පැන් පහසු වුණා. රජතුමා පැන්පසුවී අවසානයේදී යන්නට සැරසී ජය කොන්තය
ගන්න උත්සාහ කළත් එය ගන්නට අපහසු වුණා. රජතුමා තීරණය කළා මෙතැනටයි
ධාතුන් වහන්සේ උරුම කියා සෑයක් ඉදිකළා. ඒ සෑයේ ජය කොන්තය තැන්පත් කළා.
මේ සෑයට “මිරිසවැටිය” කියා නම තබන්නත් එක් හේතුවක් තිබෙනවා. ඒ තමා
රජතුමා කෑමට පෙර සෑමදාම සංඝයාට දානය පිළිගන්වලයි කෑම කන්නේ. එක් දිනක්
සංඝයාට පිළි ගන්වන්නේ නැතිව මිරිස් කා තිබෙනවා. එයට වන්දියක් ලෙස මේ
සෑයට මිරිසවැටිය කියා නම්කළ බව පොතපතේ සඳහන් වෙනවා.
ඉතින් ඔබත් නිරන්තරයෙන් මේ සෑයන් වන්දනා කරන්න. ඔබ සෑ රජාණන් වහන්සේ
දෙස බලා නිරන්තරයෙන් සිත පහදවා ගන්න. බොහෝ ගාථා කියමින් වන්දනා කරන්නට
ඔබ දන්නේ නැත්නම් සොළොස්මස්ථාන වන්දනා කරන ගාථාව හෝ කියමින්
නිරන්තරයෙන් සෑයන් වන්දනා කරන්න.
මහියංගනං නාගදීපං - කල්‍යාණං පදලාඤ්ඡනං
දිවාගුහං දීඝවාපී - චේතියංච මුතිංගණං
තිස්සමහා විහාරංච - බෝධිං මරිචවට්ටියං
සොණ්ණමාලී මහාචේතිං -ථූපාරාම භයාගිරිං
ජේතවනං සේලචේතියං - තථාකාචරගාමකං
ඒතේ සෝළසඨානානි – අහං වන්දාමි මුද්ධනා
මහියංගණය, නාගදීපය, කැලණිය, ශ්‍රීපාදය, දිවාගුහාව, දීඝවාපිය,
මුතියංගණය, තිස්සමහා වෙහෙර (සේරුවාවිල) ජය ශී‍්‍රමහා බෝධින් වහන්සේ,
මිරිසවැටිය, රුවන්වැලි මහා සෑය, ථූපාරාමය, අභයගිරිය, ජේතවනය, සේල
චෛත්‍යය, කිරිවෙහෙර යන මේ උතුම් ස්ථාන දාසය මම සිරසින් වන්දනා කරමි.
-
නයනා නිල්මිණි
|