සසර ගමන
නවතාලන
ශක්තිමත් සිත
කථිකාචාර්ය, දර්ශනපති
රාජකීය පණ්ඩිත
ඇත්කඳුරේ සුමනසාර හිමි
හරි ගිය හැම කෙනෙකුටම හරිගියේ සිත හොඳින් හදාගත් නිසායි. වැරැදුන හැම
කෙනෙකුටම වැරැදුනේ සිත හදා නොගත් නිසායි. බුදුබණ ඇසීම හරහා නිවැරැදි
වන්නේ සිතයි. සිත නිවැරැදි වීම තුළින් මේ ජීවිතය වගේම සසරත් නිවැරැදි
වෙනවා. අස්ථිර ලෝකයේ ස්ථිර පැතුමන් ගොන්නක් ගොඩ ගහගෙන බර දරාගෙන මේ ගමන
යන්නට බැහැ. මේ ලෝකයේ අපට ඕනෑම දෙයක් කරන්න බැහැ. අවශ්‍ය දේ පමණයි
කරන්න පුළුවන්.
අප කවුරුත් ලබා ඇති මනුස්ස ජීවිතය ඉතාමත් දුර්ලභ එකක්. ඒ මනුස්ස ජීවිතය
නිවැරැදිව ධර්මානුකූලව පවත්වාගෙන යෑමත් ඉතාම දුර්ලභ දෙයක්. ඒ වගේම හිත
නිවෙන ධර්මය, සසර නිවෙන ධර්මය, ප්‍රඥාව ඇතිකරන ධර්මය වූ ආර්ය ධර්මය
ඇසීමත් ඉතාම දුර්ලභයි. ඒ වගේම මේ මහා සසුන් කෙත ආර්ය ධර්මය ලෝකයට
මුලින්ම හෙළිපෙහෙළි කරන බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීමත් ඉතාමත්
දුර්ලභයි.
අප ලැබූ මනුස්ස ජීවිතය කෙතරම් දුර්ලභද? කියා ත්‍රිපිටකයේ සඳහන් වෙනවා.
දිනක් ආනන්ද ස්වාමින්වහන්සේ පිණ්ඩපාත චාරිකාවක වඩිනවා. එවලෙහි
උන්වහන්සේ දුටුවා එක් පුද්ගලයෙක් අශ්ව රෝම කූපයක් ඉතාමත් ඈතින් තබා ඒ
රෝම කූපය දෙබෑ වෙන්න ඊතලයකින් විඳිනවා. මේ දුටු ආනන්ද හිමියන් පුදුමයට
පත්වෙලා සවස දහම්සභා මණ්ඩපයේදී මේ බව කියා සිටියා. එවෙලෙහි තථාගතයන්
වහන්සේ වදාළා ආනන්ද, එය පුදුම වියයුත්තක් තමා. ඒ වගේම ආනන්ද, තවත්
පුද්ගලයෙක් ඉන්නවා. ඔහු රාත්‍රියේදී අශ්ව රෝම කූපයක් අරගෙන එය දහසයකට
ඉරා ඒ දහසයෙන් එක් පංගුවක් ඝන අන්ධකාරයේ දී දුරස්ව තබා විදිනවා. ඔහුගේ
උදව්වට පවතින්නේ අහසේ කොටන විදුලි අකුණ පමණයි. ඉතින් ආනන්ද විදුලි
ආලෝකයෙන් අශ්ව රෝම කූපයෙන් දහසයෙන් පංගුවකට විදින එකද? නැත්නම් ඔබ දුටු
දේද අමාරු. ස්වාමිනි, ඔබවහන්සේ වදාළ දේ ඉතාමත් අමාරුයි. ආනන්ද, මේ
මනුස්ස ජීවිතයක් ලබන එක තද ඝනඳුරේ දහසයෙන් එක් පංගුවක් වූ අශ්ව රෝම
කූපයට විඳිනවටත් වඩා අමාරුයි. දුර්ලභයි. එවැනි දුර්ලභව ලබාගත් මනුස්ස
ජීවිතය පහළට වැටෙන්න නොදී ආරක්ෂා කරගත යුතු වෙනවා. ඒ වගේම උන්වහන්සේ
වදාළා සමහර අය මරණයෙන් පසු මවු කුසකට ඇදෙන්න වාසනාව ලබා ගන්නවා. පවු කළ
අය සතර අපායට වැටෙනවා. පින, කුසලය දියුණුකළ අය දිව්‍යලෝක කරා ඇදෙනවා.
හිතේ කෙලෙස් නිකෙලෙස් කරගත් අය පරිනිර්වාණය කරා ගමන් කරනවා කියා.
බුදුරජාණන් වහන්සේ වදාළා බුද්ධ දේශනා ඇසීමෙන් නිවැරැදි අවබෝධයකට යෑමට
අපට මාර්ගය සැකසෙනවා. මේ ජීවිත නමැති ලෝකය මැනවින් අවබෝධ කරගත්
බුදුරජාණන් වහන්සේ අපටත් අසිරිමත් ගමනක් යාමට හේතුවන අසිරිමත් ධර්මයක්ම
දේශනාකොට වදාළා. තථාගත ධර්මය ශ්‍රවණය කිරීමට මෙහෙමයි කියා වෙලාවක්
අවශ්‍ය නොවුණත් ලැබෙන වෙලාවේ ධර්ම කරුණක් සිතට ගතහොත් එය ජීවිතය වටින
භාවයකට, ශ්‍රේෂ්ඨ භාවයකට, සිත නිවැරුදි භාවයට, අවබෝධයකට, ශාන්තියකට
ගෙනයාමට හේතුවෙනවාම යි. හරි ගිය හැම කෙනෙකුටම හරිගියේ සිත හොඳින්
හදාගත් නිසායි. වැරැදුන හැම කෙනෙකුටම වැරැදුනේ සිත හදා නොගත් නිසායි.
බුදුබණ ඇසීම හරහා නිවැරැදි වන්නේ සිතයි. සිත නිවැරැදි වීම තුළින් මේ
ජීවිතය වගේම සසරත් නිවැරැදි වෙනවා. අස්ථිර ලෝකයේ ස්ථිර පැතුමන් ගොන්නක්
ගොඩ ගහගෙන බර දරාගෙන මේ ගමන යන්නට බැහැ. මේ ලෝකයේ අපට ඕනෑම දෙයක් කරන්න
බැහැ. අවශ්‍ය දේ පමණයි කරන්න පුළුවන්. රැයත්, දවාලත් ගෙවෙනවා. මේ
ගෙවෙන්නේ තමාගේ ආයුෂයි. මිනිසුන්ගේ ආයුෂ හරියට පුංචි දිය කඩිත්තක් වගේ.
පුංචි දොළ පාරක් වගේ. සැඩ සූර්යා දින දෙක තුනක් පෑයූ ගමන් පුංචි
දියකඩිත්ත සිඳී යනවා. අපේ ආයුෂත් ඒ වගේමයි. ඕනෑම මොහොතක මරණ ස්වභාවය අප
කරා එන්න පුළුවන්.
මේ ජීවිතයේ දී කෙතරම් පැතුමන් සහිතව ජීවත් වුවත් කිනම් මොහොතක හෝ අප ඇද
වැටෙන්න පුළුවන්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ මාරයා මොහු
පුංචියි, මොහු උගත්, මොහු වගකීම් සහිතයි, මොහු වැඩිහිටියි ආදී කියා
කිසිදු වටිනාකමක් නොදී අවස්ථාව ආ ගමන් මරා දමනවා. කුසල් කරන අයත්
මරනවා, කුසලය හඳුනන්නේ නැති බාල අයත් මරා දමනවා. හැමෝම මරණයට, මාරයාට
හසු වෙනවා. මාරයා ආකාර පහකින් ක්‍රියාත්මකයි. කේශ මාර, ස්කන්ධ මාර,
අභිසංස්කාර මාර, මාර මාර, දේවපුත්ත මාර. අපේ හැම මොහොතකම ඇස, කන, නාසය,
දිව, කය, ශරීරය හරහා එකවර නොවේ නැවත නැවත අප මරා දැමීමට මාරයා උගුල්
අටවනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ෂය මාරයාගේ උගුල්. මේවාට ඇලීම හෝ
ගැටීම ඇතිවිට මේ හරහා කර්ම රැස්වෙනවා. කර්ම රැස් වෙන්න වෙන්න අලුත්
භවයන්ට අප ඇදී යනවා. කර්ම ඇති කළ අලුත් භවයන් ලැබෙනවා. කර්මයන් නැතිකළ
අලුත් භවයන් නැහැ. ඒ නිසා මේ මාරයාගේ ක්‍රියාත්මක වීමත් ධර්මානුකූලව
වටහා ගන්න පුද්ගලයා මාරයාගේ උගුල්වලට හසුවන්නේ නැතිව ජීවිතය තුළ ධර්මය
දරාගෙන ධර්මකාමී ගමනක් යනවා.
ඒ නිසා ධර්මයට කැමැති පුද්ගලයා ධර්මානුකූලව ගමන යන පුද්ගලයා ඉදිරියට
යනවා. ධර්මයට ද්වේෂ කරන පුද්ගලයා අධර්මය පිළිගන්න පුද්ගලයා භෞතික සැප
සම්පත් ඔස්සේ හඹායන පුද්ගලයා පරාජිත බවට පිරිහෙන බවට පත්වෙන බව තථාගත
ධර්මය තුළින් කියා දී තිබෙනවා.
අටුවා කතාවක මෙසේ සඳහන් වෙනවා. අටමහා නරකයට වැටී බොහෝ දුක් විඳින නිරි
සතුන් දෙදෙනෙක් ගෙනවිත් යමරජු කියනවා, ඔබලා බොහෝ කල් දුක් වින්ඳා. ඒ
නිසා ඔබලා නිදහස් කරන්න මම කැමැතියි. ඊට පෙර මම, ඔබ දෙදෙනාට වර දෙකක්
දෙනවා. එක් අයෙකුට පුළුවන් මිනිසුන්ට සේවය කරන්න, දානය පුරුදු කරන්න,
කුසල් වඩන්න. අනෙකාට පුළුවන් ලබන කෙනෙක් වෙන්න. දැන් එක් අයෙකුට
ලබන්නත්, අනෙකාට දෙන්නත් පුළුවන්. එක් අයෙක් මුලින්ම ඉදිරිපත් වෙලා ලබන
කෙනා වීමට කැමැත්ත පළ කළා. අනෙකාට ඉතුරු වුණේ දෙන කෙනා වෙන්න. යම රජු
කියනවා ඔබලා මිනිස් ලොවට යන්න. ඔබේ ලෝභී සිත නිසා හිඟන්නෙක් ලෙස ලබන
කෙනා වෙන වරය ඔබට දෙනවා. දෙන කෙනාගේ වරය ලැබූ කෙනා බොහොම පොහොසත්
සිටුවරයෙක් වගේ ජීවත් වුණා. ලබන්න කැමැති වූ කෙනා බොහොම දුප්පත්ව අන්
අයගෙන් හිඟා කමින් ජීවත් වුණා.
මෙයින් පැහැදිලියි, අපේ ජීවිත විවිධාකාර ලෙස පහළට වැටෙන ආකාරය. යම්කිසි
විදිහකින් ඔබ සතු භාජනයක් ඕනෑම මොහොතක කැඩී බිඳී විනාශවෙන්න පුළුවන්.
මේ වගේ අපේ ශරීරය හටගත් පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාස, විඤ්ඤාණ ධාතු
විනාශවෙන්න පුළුවන්. කැඩෙන, බිඳෙන, විනාශවන නිසා මේ ශරීරයට ලෝකය
කියනවා. අපේ ජීවිතය මේ සත්ත්ව ශරීරය ලෝකයක්. ඕනෑම මොහොතක සත්ත්ව ශරීරය
කැඩී බිඳෙන ස්වභාවයට පත්වෙන්න පුළුවන්. නමුත් මේ ශරීරය කැඩී බිඳී
ගියත්, අපේ සිත අපට තැන්පත් කර ගන්න පුළුවන්නම්, ධර්මකාමීව අරමුණු සමඟ
එකතු කරන්න පුළුවන්නම් තාවකාලිකව ලැබූ ශරීරයට වඩා එය බොහෝ ලෙස වටිනවා. |