උඳුවප් පුර පසළොස්වක 2015.12.24
ඓතිහාසික ආගමික දිනයක්
ශාරීරික, පාරිභෝගික, උද්දේශික වශයෙන් චෛත්‍යය තුනකි.
බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු නිකෙලෙස් සිරුර ආදාහනය
කිරීමෙන් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ එදා සිට අදත් මතුවටත්
සමස්ත ලෝකවාසී බෞද්ධයන් ජීවමාන බුදුරදුන්සේ මහත් ශ්‍රද්ධා
ගෞරවයෙන් වඳින පුදන පූජනීය වස්තුවකි. එම ගෞතම බුදුපියාණන්
වහන්සේගේ නිකෙලෙස් සිරුරේ සිසිල් පහස ලත් ජය ශ්‍රී මහ බෝධින්
වහන්සේ පාරිභෝගික චෛත්‍යයකි.
මෙයට වසර දෙදහස් හයසියකටත් පෙර සිට එනම් සම්මා සම්බුද්ධත්වය
පිළිබඳ ශ්‍රේෂ්ඨ පණිවුඩය ලෝකවාසි ජනතාව වෙත ප්‍රදර්ශනය කරන
පූජනීය ජීවමාන වස්තුව ජය සිරි මහ බෝ සමිඳුන්ගේ දක්ෂිණ ශාඛාවය.
ලොව පැරැණිතම ශ්‍රේෂ්ඨතම එම පූජනීය බෝධින් වහන්සේ අපේ රටට වැඩම
වූයේ දෙවනපෑතිස් නිරිඳුන්ගේ ඇරැයුමෙන් අනුබුදු මිහිඳු
මාහිමියන්ගේ නියමයෙන් දඹදිව ධර්මාශෝක අධිරාජයා ගේ අනුග්‍රහයෙන්
ශ්‍රී සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේගේ කැපවීමෙනි. මිහිඳු
මහ රහතන් වහන්සේගෙන් දහම් අසා මඟ ඵල ලද අනුලා දේවිය ප්‍රධාන
කාන්තා පක්ෂයට සසුන් පැවිද්ද ලැබීමට අවශ්‍ය බව දේවානම්පියතිස්ස
මහ රජතුමා මගින් අනුබුදු හිමියන් වෙත දැන්වූහ. කාන්තාවන්
පැවිදි කිරීමට තමන් වහන්සේට නොහැකි බැවින් ඒ සඳහා දඹදිව සිය
නැගණියවූ සඟමිත් තෙරණිය ඇතුළු භික්ෂුණී සංඝයා මෙහි වැඩම කර
ගන්නා ලෙස උන්වහන්සේ පෙන්වා වදාළහ. එය ඇසූ දෙවනපෑතිස් නිරිඳුන්
අරිට්ඨ කුමරා ප්‍රධාන දූත පිරිසක් දඹදිව අශෝක රජතුමා වෙත
යැවූහ. ඒ සඟමිත් තෙරණිය ඇතුළු භික්ෂුණී සංඝයා සහ බුදුරදුන්
පිටදුන් බෝධීන් වහන්සේගේ ශාඛාවක්ද මෙහි එවන මෙන් සඳහන් රාජකීය
සන්දේශයද රැගෙනය. ධර්මාශෝක අධිරාජයා වෙත අදාළ සන්දේශය
පිළිගන්වා සඟමිත් තෙරණියද හමුවී මිහිඳු මාහිමියන්ගේ පණිවුඩය
සැල කළහ. සිය පුතනුවන් වූ මිහිඳු මාහිමියන් සහ මුණුබුරා වූ
සුමන සාමණේරයන් වහන්සේ වෙනුවට සඟමිත් තෙරණිය නිසා සැනසීමෙන්
සිටි ධර්මාශෝක රජතුමා ඇය මෙරටට එවීමට මුලදී එතරම් කැමැත්තක්
නොදැක්වීය. අනතුරුව සඟමිත් තෙරණිය එතුමන්ට කරුණුූ විස්තර කර
දුන්නාය. ඒ ඇසූ රජතුමා ජයසිරි මහ බෝ සමිඳුන්ගේ දක්ෂිණ ශාඛාවද
සමඟ සඟමිත් තෙරණිය ප්‍රධාන භික්ෂුණී සංඝයාද සමඟ පිරිවරද සහිතව
මෙරටට එවීමට සූදානම් කරවීය.
ධර්මාශෝක මහ රජතුමා විසින් රජ මාලිගාවේදී මහ සඟරුවන වෙත දානය
පිරිනමා මහ බෝධි ශාඛාව ලංකාවට යැවිය යුතු දැයි
මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගෙන් විමසීය. ඊට
මොග්ගලීපුත්තතිස්ස මා හිමියන් බෝධි ශාඛාව ලංකාවට යැවිය
යුතුයැයි වදාරමින් බුදුරජාණන් වහන්සේ විසින් කරන ලද මහා
අධිෂ්ඨානයෙන් පස රජතුමාට දේශනා කළහ. එම අධිෂ්ඨාන පස පරිනිර්වාන
මංචකයෙහි වැඩ සිටි ගෞතම බුදුපියාණන් වහන්සේ ලංකාව වෙත යොමු කළහ
යැයි මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේ ධර්මාශෝක රජතුමාට
සිහිපත් කරවූහ. එයින් අතිශය සතුටට පත්,රජතුමා පැළලුප්නුවර සිට
බෝධින් වහන්සේ දක්වා සත්යොදුන් මඟ සරසවා රන්කටාරමක් ඒ සඳහා
පිළියෙල කරවීය. මෙසේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ
ශාඛාව සමඟ සඟමිත් තෙරණිය ප්‍රධාන භික්ෂුණී සංඝයා පිරිවරද සමඟ
දඹකොළපටුනට වැඩම වූ ඓතිහාසික දිනය මෙම උඳුවප් පුර පසළොස්වක
දවසයි.
ලාංකේය වනිතා පරපුර වෙනුවෙන් ස්වදේශය හැර දමා විදේශගතව මහත්
ආත්ම ශක්තියකින් සිය ජීවිතය කැප කළ සිරි සංඝමිත්තා මහ රහත්
තෙරණින් වහන්සේ නිසා මෙරටට රහත් මෙහෙණින් වහන්සේ පිරිසක්
ඇතිවූවා පමණක් නොව සිරිලක මෙහෙණි සසුනද ශ්‍රේෂ්ඨවූ වනිතා
පරපුරක්ද බිහිවූවාය. සාමයික,සාමාජික,ආර්ථික ආදි කවර අංශයකින්
හෝ හෙළ කත යම් දියුණුවක් ලැබුයේ නම් ඒ සඟමිත් මහ රහත් තෙරණියගේ
අනූපමේය මෙහෙවරට පින් සිදු වන්නටය. හෙළ වනිතාවට කළ හැකි හැම
මෙහෙවරක්ම සඟමිත් තෙරණිය සිදු කළාය. ආධ්‍යාත්මික ගුණ වගාවකින්
හෙබි සඟමිත් චරිතාපදානය මෙරට වනිතා පරපුර මගින් යුග ගණනාවක්
පුරා අනුස්මරණය කරනුයේ එම උත්තම තෙරණිය කළ මෙහෙවරට කෘතෝපහාරද
පුදමිනි. ගමින් ගමට සඟමිත් පෙරහර පින්කම් උත්සව පවත්වනුයේ මෙම
අසිරිමත් උඳුවප් මහේදීය. සොළොස්මස්ථානයන්ගෙන් එකක් වන සම්බුදු
සිරිපා වන්දනා වාරයද මෙම උඳුවප් පෝදායින් ආරම්භ වී එළඹෙන වෙසක්
පෝදායින් අවසන් වේ.
සුවිශේෂී ලෙස අසිරිමත් සම්බුද්ධ චරිතයත්, අනුබුදු මිහිඳු
මාහිමියන්ගේ ලංකා ගමනයේ ප්‍රතිඵල ලෙස සිදුවූ දුමින්දාගමනයත්
සිරි සංඝමිත්තාගමනයත් සිහියට නංවන උඳුවප් පුර පසළොස්වක පොහොය
දිනය පහන් සිතින් අනුස්මරණය කළ යුතු ඓතිහාසික ආගමික දිනය. |