UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අරියවංස සූත්‍ර දේශනාව

අරියවංස සූත්‍ර දේශනාව

මහේච්ඡතාව නිසා පුද්ගලයා මෙන්ම සමාජයත්, පරිහානියට පත්වේ. පුද්ගලයාගේත් සමාජයේත්, අභිවෘද්ධියට හේතු වන්නේ අල්පේච්ඡතාවයි.

වප් පුර පසළොස්වක පත්‍රය හා සම්බන්ධයි

කාලගුණය වෙනස් වීම නිසා ඇතිවෙන වෙහෙස නැති කරගැනීමටත් පහසුවෙන් හා විවේකී ව සිටීමටත් (උතුපරස්සය විනෝදනං පටිසල්ලානාරාමත්ථං) සිවුපසයට අයත් බෙහෙත් භාවිතයේ ඇති වන්නා වූ ප්‍රයෝජනය නම් විවිධ වූ රෝගාබාධවලින් ආරක්ෂා වීමටත් වේදනාවන් නැති කරගැනීමටත් නිරෝගිකම ආරක්ෂා කරගැනීමටත්ය. මෙහි දැක්වූ අරියවංස දේශනාවේදී සිවුපසයට අයත් ගිලන්පස , පිණ්ඩපාතයට ම එක්කර ඇත. එනිසා චීවර, පිණ්ඩපාත, සේනාසන යන තුන සහ භාවනාව යන කරුණු හතර,ආර්යවංශ ධර්මයෝ වෙති.

ධාර්මික ව සිවුපසය පරිභෝජනයෙන් සීලයත් සම්මා සතියෙන් යුක්තව කෙලෙස් දුරුකිරීමට ප්‍රයත්න කිරීමෙන් භාවනාවත් වැඩේ.

උසස් දිවිපැවැත්මක් සඳහා අරියවංස දේශනාවෙන් ඉගැන්වෙන උපදෙස්.

සරල වූත්, තෘප්තිමත් වූ ත් සැපවත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය වන්නා වූ උපදෙස් මාලාවක්, අරියවංස දේසනාවෙන් ඉගැන්වේ. සියලුම මිනිසුන්ට ජීවත්වීම සඳහා ඇඳුම්,ආහාර හා නිවාස අත්‍යවශ්‍යය. ඒවා ලබාගැනීමට සියලුදෙනාම උත්සාහවත් වෙති. කොපමණ ලැබුණත් තෘප්තිමත් නොවීම, මිනිසා තුළ ඇති ප්‍රධාන දුර්වලතාවකි. එනිසා අසීමිත ආසාවලින් පීඩිත වූ මිනිස්සු තණ්හාවට දාස ව කටයුතු කරති. එවැනි අය ජීවත් වන්නේ අතෘප්තිමත් ව ආසාවන්ගෙන් පෙළෙමින්ය. (ඌණෝ ලෝකෝ අතිත්තෝ තණ්හාදාසෝ) තණ්හාවෙන් වෙළුණු , අසීමිත බලාපොරොත්තු ඇති මිනිසුන්ගේ ජීවිතය අසාර්ථක වූ විවිධ කරදරවලට පත්වන්නා වූ එකකි.

අතීතයේ සිටි අධික ධන තෘෂ්ණාවෙන් පිරුණු රජකෙනෙකුට, දිනක් මෙවැනි සිතිවිල්ලක් ඇති විය. ‘මා අත තබන ඕනෑම භාණ්ඩයක් රත්රන් වන්නේ නම් කෙතරම් අගේද, යනුවෙනි. පසුව ඒ රජතුමා අධික තණ්හාවෙන් යුක්තව පුටුවට අත තැබීය. මහපුදුමයකි. ඒ පුටුව රත්රන් විය. එයින් සතුටට පත්වූ රජතුමා මේසයට අත තැබීය. එයත් රත්රන් විය. තව තවත් අධික තණ්හාවෙන් පිරුණූ රජතුමා, රත්රන් ලබාගැනීමේ ආසාවෙන් ඇඳ, ඇතිරිළි, පිඟන් කෝප්ප අල්ලමින් ඒවා රත්රන් බවට පත්කෙළේය. රජතුමාට ඇති වූ සතුට නිම්හිම් නැත. ඔහුට කුසගිනි ඇතිවිය. කෑම මේසයට ගිය රජතුමා පිඟානට අත තැබීය. එය රත්රන් විය. හැන්දට අත තැබීය. එයත් රත්රන් විය. අත තබන සියල්ලම රත්රන් නිසා රජතුමාට කිසිම දෙයක් කන්නට නොහැකිව නිරාහාරව මියගියේය. අසීමිත ආසාවෙන් පෙළෙන අය තණ්හාව නිසා ම විනාසයට පත්වෙයි. ස්වර්ණ හංස ජාතක කථාවෙන් ඉගැන්වෙන්නේ මේ උපදේශයමය.

බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටි කාලයේදී එක් උපාසකයෙක් ලූණු වත්තක් හදා එහි ලූණු භික්ෂූන්ට සහ භික්ෂුණීන්ට දෙන්නේය. ඇතැම් අවස්ථාවලදී තමාට කැමැති පරිදි ලූණු කඩාගෙන යන ලෙසත් භික්ෂූන්ට දන්වා ඇත. නන්දා නම් භික්ෂුණිය ලූණු වත්තට ගොස් උපාසකයාට හෝ එහි සිටින අයගෙන් නොවිමසා ලූණු වත්තට ගොස් ලූණුූ විශාල ප්‍රමාණයක් කඩාගෙන යන්නීය. එය දැනගත් උපාසකයා කළකිරීමට පත්විය. මෙම කරුණු භික්ෂූන් විසින් බුදුරජාණන් වහන්සේට දන්වන ලදී. නන්දා භික්ෂුණියගේ අසංවර භාවයට නින්දා කළ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් අමතා “මහණෙනි” නුදුන් දෙයක් භික්ෂූන් විසින් නොගත යුතුය. භික්ෂූන් ලද දෙයින් සතුටු විය යුතුය” යැයි අවවාද කළ සේක. අතීතයේත් නන්දා භික්ෂුණිය දැඩි ලෝභයෙන් කටයුතු කර විනාශයට පත් වූ බව දක්වමින් ස්වර්ණ හංස ජාතකය වදාළ සේක.

අතීතයේ දී බෝසතාණන් වහන්සේ බමුණු කුලයක ඉපිද විවාහ වී සිටින කල්හි නන්දා, තත්වනී, සුන්දරී නන්දා යැයි දියණියන් තිදෙනෙක් ලැබ, ඔවුන් විවාහයට පත්වීමට පෙර මළේය. මියගිය පියා, හංස රාජයෙක්ව ඉපිද සිටින අවස්ථාවේදී ජාතිස්මරණ ඤාණය ලැබ පෙර ආත්මයේදී තමාගේ දියණියන් තිදෙනා දුටුවේය. ඔවුන්ට උදවු කිරීමට සිතු හංස රාජයා දිනපතාම නිවසට පැමිණ රත්තරන් පියාපතක් දමා යන්නේය. එය විකුණා පවුලේ පිරිස ජීවත් වෙති. එක් දිනක් බැමිණිය රන්පත්වලට ලෝභයෙන් දියණියන් තිදෙනා කැඳවා “දියණියනි,රන්හංසයා අල්ලාගෙන සියලු රන්පත් ගළවා ගත්තොත් අපට මහත් ධනයක් ලබාගත හැකිය. ඔබලා හංසයා අල්ලාගෙන රන්පත් ගලවා ගණුවය’යි කීවාය. එයට කැමැති වූ දියණියෝ තිදෙනා රන්හංසයා අල්ලා ගෙන සියලුම පිහාටු ගලවා ගත්හ. හංසයා වේදනාවෙන් පීඩාවට පත්විය. මෙසේ හංසයාගේ කැමැත්තක් නැති ව පිහාටු ගලවා ගත් නිසා, ටික වේලාවකින් ම පිහාටු සියල්ලේම රත්රන් බව නැති වී ගියේය. එතැන් සිට කිසි දිනක ඒ රන්හංසයා එම නිවසට නොපැමිණේය.

අධික තණ්හාව නිසා පහසුවෙන් ලබාගත හැකි වූ රන්පත් නැති වී ගියේය. එදා අධික තණ්හාවෙන් කටයුතු කළ බැමිණිය. අද මේ නන්දා භික්ෂුණියයයි, බුදුරජාණන් වහන්සේ විසින් වදාළ සේක.

මහේච්ඡතාව නිසා පුද්ගලයා මෙන්ම සමාජයත්, පරිහානියට පත්වේ. පුද්ගලයාගේත් සමාජයේත්, අභිවෘද්ධියට හේතු වන්නේ අල්පේච්ඡතාවයි. යථාලාභ, යථාබල, යථාසාරුප්ප ගුණවලින් පිරිපුන් අය යථාසන්තෝෂයෙන් ජීවත්වෙති. ඔවුහු තමාට ලැබෙන ප්‍රමාණයටත් තමාගේ ශක්තියටත්, තමාට ගැළපෙන ආකාරයටත් කටයුතු කරති. එනිසාම ඔවුන්ගේ අභිවෘද්ධිය සැලසේ. ප්‍රදර්ශන කාමයෙන් තොරවූ ඔවුහු, තමා උසස් කොටත් අනික් අය පහත්කොටත්, (අත්තුක්කංසන පරවම්භන) නොසලකති. එවැනි අය නිහතමානි ගුණයෙන් යුක්තය.මෙවැනි ගුණවලින් පිරිපුන් සමාජයක් ඇති කරගැනීමට අ ර්යවංශ දේශනාව ප්‍රයෝජනවත් වූ නිසා පැරැණි ලාංකික රජවරුන් විසින් විවිධ ආධාර කරමින් විහාරස්ථානවල අරියවංස සුත්‍ර දේශනාව පවත්වන ලද බව සෙල්ලිපිවලත් වංසකථාවලත් සම්භාව්‍ය සාහිත්‍ය ග්‍රන්ථවලත් සඳහන් වේ.

පස්වන ශතවර්ෂයට අයත් ලඹුඇබැඳිගල සෙල්ලිපියේ සඳහන් පරිදි දේවගිරි විහාරයේ අරියංවස දේසනාව පැවැත්වීම සඳහා සිරිනක නම් තැනැත්තා විසින් කහවණු 100 ක්ද ගවලපිටිය නම් තැනැත්තා විසින් කහවණුූ 20 ක්ද තැන්පත් කර ඇත. තවද හත්වන ශත වර්ෂයට අයත් තෝනිගල සෙල්ලිපියේ සඳහන් විස්තර අනුව දේව නම් ගම් ප්‍රධානියෙකු විසින් උඳුපියලි ආදිය ගබඩාවක තැන්පත් කර ඒවායේ පොලියෙන් අසල විහාරස්ථානයේ දී අරියවංස දේශනාව පවත්වන ලෙසට නියෝග කර ඇත.

තුන්වන ශතවර්ෂයේදී රජ කළ වෝහාරතිස්ස (ව්‍ය.ව.269-291) විසින් අර්ය වංස දේශනාව කරන ලද විහාරස්ථානවල දන්වැට පැවැත්වූ බව මහාවංසයේ (ම.ව. 36-ගා.38) සඳහන් වේ. මාගම මහාවාටි විහාරයේ වාර්ෂිකව පැවැත්වූ අරියවංස දේශනාවක් ඇසීමට ඛුඩ්ඪරජ්ජ පළාතේ සිටි මහතෙරකමක් මාගමට පැමිණි බවත්, මහාදාඨික රජතුමාගේ කාලයේදි (ව්‍ය,ව. 67-69) දිඹුලාගල විහාරස්ථානයේදී පැවැත්වූ අරියවංස දේශනාවක් ඇසීමට යොදුන් තුනක් දුරට සෙනඟ සිටි බවත්, කුම්බලතිස්ස පර්වතය අසල පිහිටි විහාරයේ අරියවංස දේශනාව පැවැත්වූ බවත් රසවාහිනියේ සඳහන්වේ. මේ විස්තරවලින් පැහැදිලි වන්නේ ලාංකික රජවරුන් සමඟ ජනතාව අරියවංස දේශනාව ඇසීමට කැමැති වූ බවත් එම දේශනාව පැවැත්වීම සඳහා ආධාර කළ බවත්ය.

වර්තමාන සමාජයේ සියලුම මිනිස්සු වාණිජකරණයට අසුවී සිටිති. එනිසා අප සියලු දෙනාම වෙළෙන්දන් හෝ පාරිභෝගිකයන් බවට පත් වී ඇත. මෙහි ඇති විශේෂත්වය නම් මහේච්ඡතාවෙන් පිරීයාම නිසා ආත්මාර්ථකාමිත්වය නිසින් සාරධර්ම යටපත් කිරීමයි. එනිසාම මහීකාන්තාවට තමාගේ දරුවන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීමට හැකියාවක් ඇතත් ඔවුන්ගේ අසීමිත ආසාවන් සම්පූර්ණ කිරීමට නොහැකිව පෘථිවි මාතාවෝ වැළපෙති. එහි ප්‍රතිඵල නිසා පරිසරය දූෂණය වීම, ඕසෝන් ස්ථරය පළුදුවීම, උෂ්ණත්වය වැඩිවීම,අයිස් කඳු දියවීම වර්ධනය වෙයි. මේ අනතුරුවලට පිළිතුරු අරියවංස දේශනාවේ අන්තර්ගත වේ. එනම් මිනිසා විසින් අප්පිච්ඡතා සන්තුට්ඨිතා, සුභරතාදී ගුණධර්මවලින් පෝෂණය විය යුතු බවයි. එනිසා වර්තමාන සමාජයටත් අරියවංස ප්‍රතිපදාව කියාදිය යුතුය.

 

    වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය නොවැම්බර් මස 03 වැනිදා අඟහරුවාදා පූර්වභාග 5.20 ට ලබයි. 04 වැනිදා බදාදා පූර්ව භාග 6.38 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 03 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය නොවැම්බර් 11 වැනිදා බදාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 03

Full Moonඅමාවක

නොවැම්බර් 11

First Quarterපුර අටවක

නොවැම්බර් 19

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 25


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]