වප් අව අටවක 2015.11.03
සමාජ මෙහෙවර
අප මේ ගතකරන්නේ මෙවර වස්සාන සමයෙහි උදා වූ චීවර මාසය තුළ හෙවත්
කඨින පින්කම් සිදුකරන කාලය තුළය. වසරකට වරක් උදාවන වස්සාන සමය
එළඹෙන තෙක් බොහෝ බෞද්ධ පින්වතුන් බලා සිටින්නේ ඉකුත් වස්සාන
සමයේ දී තමන්ට මෙතෙක් කළ නොහැකි වූ පින්කම් සිදුකර ගැනීමටය.
වස්සාන සමය එළඹීමත් සමඟ ගමයි, පන්සලයි අතර අතීතයේ පටන් පැවැත
එන අවියෝජනීය සබඳතාවය තවත් වර්ධනය වෙයි. අන් හැම කාලයකටත් වඩා
බෞද්ධ ජනතාව ස්වකීය විහාරස්ථාන වෙත දිනපතා ගොස් තෙරුවන් වැඳ
පුදා ගැනීමට අමතක නොකරති. එසේ ගම්වැසියන් සියලු දෙනාටම එකම
දිනයක ඒකරාශිවීමට ඉඩකඩ නොමැති විට දිනපතා පිරිස කොටස් වශයෙන්
හෝ විහාරස්ථානයට ගොස් ආගමික වතාවත්වල නිරතවනු දක්නට ලැබේ.
විවේක මෙන්ම පහසු දිනයන් යොදාගෙන අමතරව ධර්ම දේශනා ආදී
පින්කම්ද සංවිධානය කරනු ලැබේ.
වසරකට වරක් පමණක් කඨින පින්කම සිදුකෙරෙන නිසාම කඨින පින්කම
සඳහා සියලුදෙනාගේ සහාය ලබාදීමට අමතක නොකරති. එම පින්කමෙහි
පහසුව සඳහා ප්‍රධාන දායකත්වය එක් අයෙකුගේ මූලිකත්වයෙන් සිදුකළ
ද ගම්වැසි සියලු දෙනාමද ඊට නොමඳව අනුග්‍රහය දක්වනු ලැබේ.
විහාරස්ථ දහම් පාසලේ දරු දැරියන් කඨින චීවර පෙරහරෙහි අලංකාරය
සඳහා නැටුම්, ගැයුම්, වැයුම් ඉදිරිපත් කරති. ඇතැම් විට සමහර
විහාරස්ථානයක එම මහඟු පින්කම අලංකාර කිරීම සඳහා අලි ඇතුන් පවා
සම්බන්ධ කර ගනිමින් දර්ශනීය පෙරහරෙන් කඨින චීවරය විහාරස්ථානයට
වැඩම කරවනු ලැබේ.
ඇතැම් ප්‍රදේශයක කඨින චීවරය චීවර මාසය පුරා නිවසින් නිවසට
වැඩමවා නිවෙස් හිමියන් ආගමික වතාවත්වල නිරත වනු දක්නට ලැබේ.
කෙසේ වුවද ඉන් හැඟී යන්නේ බෞද්ධ ජනතාව පින්දහම් සිදුකිරීමට
ඉමහත් ශ්‍රද්ධාවෙන්ම ක්‍රියාකරන බවයි.
කවර අඩුපාඩුකම් මධ්‍යයේ වුවද ගම්වැසියන් එසේ විහාරස්ථානයට
ඒකරාශීවීම අගය කළයුතුවෙයි. ඊටත් වඩා ගිහි පැවිදි සියලු දෙනා
උත්සුක විය යුතු තවත් වැදගත් කරුණක් ඇත. එනම් විහාරස්ථානයට
කවදත් පැමිණෙන පිරිසටත් වඩා විහාරස්ථානයට වසරකට වරක් වත්
නොපැමිණෙන පිරිසද විහාරස්ථානය වෙත ගෙන්වා ගැනීමට කටයුතු
යෙදීමය. සමාජයේ සාමාන්‍ය විශ්වාසය නම් මව්පිය, ගුරුවර,
වැඩිහිටි ආදීන් වෙත ගරුසරු දක්වන, දහමට නැඹුරුව කටයුතු කරන
බොහෝ දෙනා සිතා මතාම වැරැදි අඩුපාඩු සිදුනොකරන බවයි. සංවරයෙන්
තොරව කටයුතු කරන ඇතැම් දෙනා බොහෝවිට ඉහත කී පරිසරයෙන් ඈත්ව
ක්‍රියාකරන පිරිසක් ලෙසද පෙනී යන බව ද කියයි. කෙසේ වුවද සියලු
දෙනා වෙත සමාජ වගකීම් පැවරී ඇති බව අමතක නොකළ යුතු ය. සමාජ
වගකීම් පැහැර හැරීමෙන් සමාජයේ පවත්නා සාරධර්ම පරිහානියට පත්වන
බව අමුතුවෙන් සඳහන් කළ යුතු ද නොවේ.
සමාජයේ සිදුවන විවිධ අඩුපාඩු මග හරවා ගැනීමට ගිහි පැවිදි
වැඩිහිටි සමාජයට කළහැකි මෙහෙවර බොහෝ ය. ඒ අතර දරුවන් හදන වඩන
මව්පියවරුන්ගේ මූලික වගකීම නම් දරුවන් නිසි මඟට යොමු කිරීමය.
මව්පියවරුන් නිරන්තරයෙන් දරුවන් ගැන සොයා බැලීමද අත්‍යවශ්‍යය.
අද දරුවන් හෙට වැඩිහිටියන් වන හෙයින් මතු පරපුර යහගුණ පිරි
පරපුරක් වනුයේ ද හෙට ලොවට සරිලන සේ දරුවන් ඇති දැඩි කිරීම
මගිනි. දරුවන්ගේ අඩුපාඩුවක් දුටු විට එය නොසඟවා එහි වරද නිවරද
දරුවාට වටහාදීමද අත්‍යවශ්‍යය.
හැදෙන වැඩෙන දරුවන් වෙසෙසින්ම ආගමික පරිසරය වෙත යොමු කිරීමද
අත්‍යාවශ්‍යය. ආගමික පරිසරය, සංවර ගති පැවතුම් උදාකරදීමට
බෙහෙවින්ම ඉවහල් වන හෙයිනි. දහමට නැඹුරුව ගත කරන ජීවිතය හැම
විට අයහපතෙන් යහපත වෙන්කර ගැනීමට යොමුවෙයි.
වාර්ෂික පින්කම පමණක් නොව විහාරස්ථානය ගම්වැසියන් ඒකරාශී කරන
විවිධ පින්කම් සංවිධානය කිරීම මඟින් බෞද්ධ සංස්කෘතියේ ආරක්ෂාවට
හා වර්ධනයට එය මහත් පිටිවහලක් සිදු වනු ඇත. වත්මනෙහි වෙසෙන අප
බෞද්ධ සාරධර්ම ආරක්ෂා කරමින් වර්ධනය කළ තරමට එය මතු පරපුර
මගින්ද ආරක්ෂා වනු ඇත. සමාජය භෞතික අංශයෙන් පමණක් නොව
ආධ්‍යාත්මික අංශයෙන්ද දියුණු වූ තරමට සමාජ ආරක්ෂාව සැලසේ. තම
තමන්ට කළ හැකි වගකීම් නොපිරිහෙලා ඉටු කිරීමෙන් තමන්ට මෙන්ම
සමාජයටත් මහඟු මෙහෙවරක් සැලසෙනු ඇත. |