UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

අලුත්වැව සෝරත නා හිමි

කතරගම කිරිවෙහෙර රජ මහා විහාරාධිපතිව වැඩ විසූ අපවත්වී වදාළ ඌව විශ්ව විද්‍යාලයේ කුලපති ආචාර්ය අලුත්වැව සෝරත නා හිමියන් අපවත් වී වසර දෙකක් පිරීම නිමිත්තෙන් කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානය ප්‍රධාන කිරිවෙහෙර රාජ මහා විහාරයට අයත් පංච මහා විහාරයන්හි විහාරාධිපති කතරගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති, ශාස්ත්‍රෙවිදී කොබවක දම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි, කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ විහාරාධිකාරී තලගල ඤාාණින්ද හිමියන් ප්‍රධාන විහාරස්ථ දායක සභාවහා සමිති සමාගම් මගින් ඔක්තෝබර් මස 30,31 යන දිනයන්හි පින්කම්ª රැසක් පැවැත්වීමට නියමිතව තිබිණි.

අගුණුකොළපැලැස්ස අලුත්වැව ග්‍රාමයේ දී 1943 අප්‍රේල් 05 වන දා දොන් එළියස් දහනායක විදාන මහතා සහ කරුණාවතී දිසානායක මැණිකේ යන දම්පතින්ට පුත් රුවනක් උපත ලැබීය. නිසි වියේදී ගමේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූ මේ කුමරුවා අලුත්වැව මේධංකර, පරත්තේ ශ්‍රී ආනන්ද, පොළොන්මාරුවේ රේවත යන නාහිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් 1957නොවැම්බර් 08 වනදා පැවිදි බිමට ඇතුළත් විය. පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනෙහි සහ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනෙහි අධ්‍යාපනයෙන් පසු එවකට විද්‍යෝදය විශ්ව විද්‍යාලයට ඇතුලත්ව ශාස්ත්‍රවේදී උපාධිය දශාස්ත්‍රපති හා ආචාර්ය උපාධියද හිමි කරගත්හ.

අලුත්වැව සෝරත ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1963 මැයි 31 වන දා මල්වතු විහාරයීය මංගල උපෝෂථාගාරයේදී අධිසිල් ලැබූහ. 1976 දී ගුරු සේවයට ඇතුලත් වූ සෝරත නා හිමියන් කතරගම මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති වශයෙන්ද1987 දී එහි විදුහල්පති ධූරයටද පත්වූහ.

එවකට මහා විදුහලක්ව පැවති කතරගම පාසල මධ්‍ය මහා විද්‍යාලයක් හා ජාතික පාසලක් දක්වා උසස් තත්ත්වයට ගෙන ඒමට මහත් කැපවීමක් කළහ.

උන්වහන්සේ ලියූ කතරගම පුද සිරිත්, ශ්‍රී ලංකාවේ බෝධි සංස්කෘතිය, බෞද්ධ රෝහණය සහ බෞද්ධ භාවනාව හා වෙනත් ලිපි යන ග්‍රන්ථ පාඨක ප්‍රසාදයට පාත්‍ර වූහ.

සෝරත නාහිමියන් කතරගම ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හා මොනරාගල සහ හම්බන්තොට දෙදිසාවේ විහාරාධිපති සංගමයේ සහාපති ධුරයන්ද කතරගම බෞද්ධ සංගමය, කිරි වෙහෙර මහාසේන සිල් සමිතිය, ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය ශ්‍රී සංඝමිත්තා කුලඟන සමිතිය විහාරස්ථ තරුණ බෞද්ධ සමිතිය, මුල් ළමා විය, ලේක්හවුුස් සරසවි පියස ආදී සමිති සමාගමි රැසක අනුශාසක ධුරදරමින් උදාර මෙහෙවරක නිරත වූහ.

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව සෑම ක්ෂේත්‍රයක් උදෙසාම උන්වහස්සේ අති මහත් නිහඬ සේවාවක් සිදු කළහ. උන්වහන්සේ සිදු කළ ශාසනික හා ආගමික සේවාවන් අගය කරමින් මල්වතු මහා විහාර සංඝ සභාව මඟින් නාහිමියන් වෙත රුහුණු මාගම්පත්තුවේ අධිකරණ සංඝනායක පදවිය පිරිනමන ලදී 2003 වසරේ දී මල්වතු මහා විහාර පාර්ශ්වය මඟින්උපාධ්‍යාය පදවියක් පිරිනැමූහ. කතරගම අෂ්ඨපල බොධීන් වහන්සේ උදෙසා රන් වැටක් ඉදිකළ අලුත්වැව සෝරත නාහිමියන් වහන්සේ මෑත යුගයේදී අටවිසි බෝධීන් වහන්සේ ද රෝපණය කරවූහ.

ධීවර අමාත්‍යාංශය මඟින් පවත්වාගෙන ආ විසිර ගම්මාන වැඩ සටහන කතරගම ප්‍රදේශයට ගෙන ඒමට සෝරත නාහිමියන් පුරෝගාමී වී ඒ පිළිබඳ උනන්දු වී ගම්මාන කීපයකට නිවාස සාදා ගැනීමට ආධාර මුදල් ලබාදීමට ද ක්‍රියා කළහ.

මැණික් ගඟ කුඩා ගල් අමුණු ප්‍රදේශයෙන් හරස්කර කතරගම ප්‍රදේශයේ වැව් වැසි ජලයෙන් පුරවා යල මහ දෙකන්නය වී ගොවිතැන් කරන්නට රාජ්‍ය අනුග්‍රහයද ලබාගැනීමත්, කතරගම නාගහවීදිය ප්‍රදේශයේ ජීවත්වන ජනතාව වෙනුවෙන් නව පාලමක් ඉදිකරවීමත් එම නාගහවීදිය ගම්මානයේ පොල්අතු සෙවිලි කළ කුඩා නිවාස වෙනුවට ස්ථිර නිවාස 200ක් පමණ දිනේෂ් ගුණවර්ධන හිටපු අමාත්‍ය තුමාගේ අනුග්‍රහයෙන් හා දානපතියන්ගේ ආධාරයෙන් ඉදිකරවන ලදී. නාගහවීදිය ගම්මානය මහාඝෝෂාපුර නමින් නව ගම්මානයක් ඉදිකර එහි වෙසෙන තරුණ දරුවන්ගේ ක්‍රීඩා කෞශල්‍ය දියුණු කර ගැනීම සදහා ක්‍රීඩා මණ්ඩපයක් සහිත ක්‍රීඩාංගණයක්ද ලබාදීමට පුරෝගාමී වූහ.

ඊ. එච් සෝමපාල


හේන්පිටගෙදර ඤාණවාස නා හිමි

දිවුලපිටිය හේන්පිටගෙදර කොරනෝලිස් පෙරේරා සකලසූරිය පවුලේ කනිටු පුතණුවන් ලෙස 1917.01.14 දින උපත ලැබූ පින්වත් කුල දරුවා නමින් කරුණාතිලක සලකසූරිය නම් විය. සකලසුන්දරාරාම විහාරස්ථානය සඟසතුකර පූජා කරන අවස්ථාවේ දී සකලසූරිය පවුලේ අය විසින් කරුණාතිලක සකලසූරිය කුඩා දරුවාද සසුනට පූජා කරන ලදී. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක ධුරන්දරව වැඩ විසූ හිස්සැල්ලේ ඤාණෝදය මහා නාහිමියන් වෙතින් 1926දී හේන්පිටගෙදර ඤාණවාස නමින් පැවිදි ජීවිතයට ඇතුළත් විය.

පැවිදි ජීවිතයට අදාළ මූලික අධ්‍යාපන කටයුතු බලගල්ල සරස්වතී මහ පිරිවෙනින් ලැබූ අතර වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා රත්නපුර ශ්‍රී සුමන මහ පිරිවෙනට වැඩම කරවන ලදී. 1940 දී උපසම්පදා භූමියට ඇතුළත් විය. 1946 දී රාජකීය පණ්ඩිත උපාධිය පිරිනමන ලද අතර ශාස්ත්‍රවේදී ගෞරව උපාධියත් ලබා ගැනීමට සමත් විය. 1964 දී දර්ශන විශාරද උපාධියද ලබා ගත්තේ ය.

රත්නපුර ප්‍රදේශයේ ඉමහත් ප්‍රසිද්ධියට පත් ශ්‍රී සුමන විද්‍යාලය හා සුමන බාලිකා උසස් විද්‍යාලය ආරම්භ කිරීමේ දී මූලිකව කටයුතු කළේ ය. විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ පාලි අංශයේ මහාචාර්යවරයෙකු වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කළ අතර විදේශ රටවල් කිහිපයකම බුද්ධ ධර්මය පිළිබඳ මහාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කළේ ය. රත්නපුර ශ්‍රී සුමන පිරිවෙන් විහාරස්ථානයේ මෙන්ම බලගල්ල සරස්වතී මහ පිරිවෙනෙහි ද අධිපතිධූරය ද ඉසිලූහ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ නාහිමියන් නිකායේ දියුණුව උදෙසා ද මහත් සේවාවක් ඉටු කළහ. 1986 නොවැම්බර් 02 දින අපවත් වී වදාළ හේන්පිටගෙදර ඤාණවාස නාහිමියන් විසින් ඉටුකළ සේවාවන් අගය කිරීමක් වශයෙන් සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක මහාචාර්ය කොස්ගස්තැන්නේ ආනන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි කෘත්‍යාධිකාරී බුලුගහපිටියේ සුමංගල හිමියන් හා නේවාසික ස්වාමීන්වහන්සේලා සමඟ විහාරස්ථ දායක සභාව විසින් වාර්ෂික කඨින චීවර පූජා පින්කමට සමගාමීව ගුණසමරු පින්කම් මාලාවක්ද නො. 01 හා 02 දෙදින තුළ රත්නපුර ශ්‍රී සුමන මහ පිරිවෙන් විහාරස්ථානයේ දී පැවැත්වීමට නියමිතව තිබිණි.


තල්අරඹේ සිරි සුදස්සි රූමස්සල නාහිමි

සම්බුද්ධ ශාසනයටත් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායටත් අමිල සේවයක් සිදුකරන තල්අරඹේ සිරිසුදස්සි නාහිමිපාණෝ කාගේත් පැසසුමට ලක්වන යත්‍රීන්ද්‍රයන් වහන්සේ නමකි.

මාතර තල්අරඹ ගම් පියසෙහි 1940 දී ජන්ම ලාභය ලබා ගමේ පාසලෙන් ලැබූ අධ්‍යාපනයෙන් පසුව 1954 වර්ෂයේ දී ආදරණීය මෑණියන්ගෙන් කළ ඉල්ලීම උඩ කොග්ගල තලාතුඩුව වන සෙනසුනේ අධිපති දොරපේ ඉන්දෝහාස මාහිමිපාණන්ට භාර දුන්නේය. 1955 වර්ෂයේ දී උන්වහන්සේගේ ශිෂ්‍යයෙකු වශයෙන් මහෝපාධ්‍යාය කැකුණේවෙල ඉන්ද්‍රගුප්ත මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් දයාසේන නමින් සිටිය පින්වත් කුමරු සසුන් ගත කළ අතර මෙම හිමියන් තල් අරඹේ සිරි සුදස්සි නමින් හැඳින්විය.

එතැන්සිට පානදුර වල්පල ශ්‍රී සද්ධර්මෝදය, ගාල්ල වැලිවත්ත විජයානන්ද, අහංගම දිගරැද්ද ශ්‍රී විද්‍යාචන්ද්‍ර පිරිවෙන්වලින් ශබ්ද ශාස්ත්‍ර සහිත මූලික අධ්‍යාපනයත් දංගෙදර මල්වත්තේ ශ්‍රී පුෂ්පාරාමාධිපති මහෝපාධ්‍යාය මලිගස්පේ රතනරංසි, අහංගම විජය ශ්‍රී මංගලාරාමාධිපති රාජකීය පණ්ඩිත පොල්හේනේ සෝමවංශ කොග්ගල වෑදුව ධර්මායතනාධිපති රාජකීය පණ්ඩිත හීනිපැල්ලේ ඉන්දවංශ යන මාහිමිවරුන්ගෙන් ධර්ම විනයත් ප්‍රගුණ කරවූහ. සිරි සුදස්සි හෙරණපාණන් කොග්ගල ඔයෙහි අභිනවයෙන් සාදවන ලද විශේෂ සීමාවේ 1960 වර්ෂයේ දී රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය කඩවැද්දුව ශ්‍රී ජිනවංස නාහිමි රාජකීය පණ්ඩිත මාතර ශ්‍රී ඤාාණාරාම, බැමියේ විමලවංශ, පුස්සැල්ලාවේ ධම්මතිලක, මහෝපාධ්‍යාය මලිගස්පේ රතනරංසි යන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සහිත මහා සංඝරත්නය වැඩමවා උපසම්පදා කරවාගත් ඉන්දෝහාස මාහිමිගේ මුල්ම ශිෂ්‍යවරයා මුන් වහන්සේ ය.

කොග්ගල කෑම්ප් පාසලෙහි බුද්ධ ධර්මය ඉගැන්වීමෙහි නිරතව සිටියදීම ශ්‍රී ලංකා මහා බෝධි සමාගම මඟින් පැවැත්වූ පරීක්ෂණයකට පෙනී සිටි සුදස්සි හිමියෝ එයින් සමර්ථව ශිෂ්‍යත්වයක් ලැබ තම ගුරුදේවයන් වහන්සේගේ අවසරය හා ආශිර්වාදය ඇතුව 1962 දී හැඩිගල්ලේ ශ්‍රී පඤ්ඤාතිස්ස භාරතයේ ප්‍රධාන සංඝනායක හිමිපාණන්ගේ මඟ පෙන්වීම යටතේ ධර්මදූත භික්ෂු පිරිසට එක්ව දඹදිව සාංචියේ ජාත්‍යන්තර ධර්මදූත විද්‍යාලයේ දෙවසරක පුහුණුවෙන් පසු බරණැස කල්කටා දිල්ලි හා සංකස්ස යන නගරවල ධර්මදූත සේවාවේ යෙදී සිටියහ.

තම ගුරුදේවයන් වහන්සේගේ ඇවටිල්ල මත නැවත ලක්දිවට වැඩම වූ සුදස්සි හිමියන් කොග්ගල තලාතුඩුවේ ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටින අතරතුරදී තම ශිෂ්‍යයාට විධිමත් උසස් අධ්‍යාපනයක් ලබාදීම සඳහා කොළඹ මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලයේ අධිපති බද්දේගම විමලවංශ නාහිමිපාණන්ට භාර දුන්හ. එහිදී උසස් පෙළ සිට අධ්‍යාපනය ලබා විද්‍යෝදය විශ්වවිද්‍යාලය මඟින් බී. ඒ. උපාධියත් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් ඇම්. ඒ. පශ්චාත් උපාධිධරයෙක් වීමට ද ගුරු අධ්‍යාපන පාඨමාලා පුහුණු සහතිකය ප්‍රවීණාචාර්ය ත්‍රිපිටකාචාර්ය ආදී පරීක්ෂණවලින් සමත් මෙම හිමිපාණෝ රට ජාතිය ආගම හා ප්‍රදේශය වෙනුවෙන් සේවාවක් ඉටු කරති. මුන් වහන්සේ පිළිබඳව විස්තර දැනගත් අම්පාරේ ශ්‍රී විද්‍යානන්ද පිරිවෙනේ අධ්‍යක්ෂ උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක හෑගොඩ ශ්‍රී ඉන්ද්‍රසාරාභිධාන නා හිමියන් සිරි සුදස්සි හිමිපාණන් වහන්සේ හමුවීමෙන් පසු 1984 දී තම පිරිවෙන් ගුරුවරයෙකු වශයෙන් පත්කොට ගත් අතර ඉන්දසාර නාහිමියන්ගේ ධර්මදූත කටයුතුවල දී පෙරමුණ ගෙන ක්‍රියා කළ නාහිමියෝ 2000 වසරේ දී නියෝජ්‍ය පරිවෙණාධිපති ලෙසින් ඒ මහා පිරිවෙනින්ම විශ්‍රාම ගියහ.

රූමස්සල බොනවිස්ටා විද්‍යාලය අසල තම පෙරමග දියුණුවට බොහෝ සෙයින් උපස්ථම්භක වේ යැයි සිතූ මුන්වහන්සේ 1974 මැයි 01වැනි දින කළුගල් ගොඩක කටු අකුලක පොල් අතු මඩුවකින් ඇරඹුව ශ්‍රී සමුද්‍රගිරි විහාරය අද විශාල දියුණුවක් ලබා ඇත. ශ්‍රී උපරතන පිරිවෙන නමින් පරිවේණස්ථානයක් ආරම්භකොට ඇත. උන්වහන්සේගේ ම ශිෂ්‍ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති වැලිවතුරේ රතනසාර හිමි පරිවේණාධිපති වශයෙන් කටයුතු කරන අතර ප්‍රවීණ ගුරු මණ්ඩලයක් පත්කරගෙන ඇත. නාහිමියන්වහන්සේගේම ශිෂ්‍යයන්ගෙන් විහාරාධිකාරී කෑගල්ලේ උදිත හිමි කෘත්‍යාධිකාරී වශයෙන් කටයුතු කරයි. නාහිමිපාණෝ අද ඉතා සතුටින් විවේක සුවයෙන් පැවිදි වී හැටවසරක් ද වයසින් හැත්තෑපහක් ද ගත කිරීම අපමණ සතුටක් ය. 2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිතිකොට කතරගම පෙරගිරිගම බෞද්ධාශ්‍රමය රූමස්සල පන්සල තවත් ශාඛාවක් 2013 දී දියත් කළහ.

ප්‍රවචන කීර්ති ශ්‍රී වනරතන ඉන්දෝහාස වංසාලංකාර කම්මට්ඨාන විශාරද තල් අරඹේ සිරි සුදස්සි රූමස්සල නා හිමියන්ට වයස හැත්තෑපහ සපිරීම නිමිතිකොට දිගාසිරි පතමින් මහා පින්කම් මාලාවක් යොදාගෙන ඇත.

 

    වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය නොවැම්බර් මස 03 වැනිදා අඟහරුවාදා පූර්වභාග 5.20 ට ලබයි. 04 වැනිදා බදාදා පූර්ව භාග 6.38 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 03 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය නොවැම්බර් 11 වැනිදා බදාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 03

Full Moonඅමාවක

නොවැම්බර් 11

First Quarterපුර අටවක

නොවැම්බර් 19

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 25


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]