UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආචාර්ය වල්පොල විමලඤාණ හිමියෝ “සද්ධම්මජෝතිකධජ” ගෞරවනාමයෙන් පිදුම් ලබති

සේවාව සුවිශාලය

ආචාර්ය වල්පොල විමලඤාණ මහා ස්ථවිරපාදයන් වහන්සේ අප ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහාසංඝ සභාවේ ක්‍රියාකාරී සාමාජික හිමි නමකි. උගත් යතිවරයන් වහන්සේ නමක් වශයෙන් උන්වහන්සේගෙන් ඉටුවන ආගමික, ශාසනික සේවාව සුවිශාලය. පිරිවෙන් ආචාර්යවරයෙකු වශයෙන් මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරයකු වශයෙන්ද ශාස්ත්‍රීය වශයෙන්ද උන්වහන්සේ කළ මෙහෙවර අනල්පය. දෙස් විදෙස් සංචාරය කිරීමෙන් ජීවිත පරිඥානය උන්වහන්සේට උසස් ජාතික මෙහෙවරක් ඉටු කරන්නට මඟ පෑදු බව විශේෂයෙන්ම සිහිපත් කළ යුතුය. නිකායේ උන්නතිය පතා උන්වහන්සේ සියලු ගැටලු සහගත අවස්ථාවන්හි දුර දක්නා නුවණින් ඒවාට පිළියම් යෙදූ අයුරු ප්‍රසංසනීයය. එසේම අමරපුර අරියවංශ සද්ධම්මයුක්තික පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි වශයෙන් පුරා වසර 15 ක් පමණ සිදු කළ සේවය අමතක නොකළ යුත්තකි. උන්වහන්සේ මියන්මාර් රජයේ “අග්ගමහා සද්ධම්මජෝතික ධජ” ගෞරව නාමයෙන් පිදුම් ලද මේ අවස්ථාවේ උන්වහන්සේට තවත් සසුන් මෙහෙවරේ යෙදෙන්න දිගාසිරි සම්පත් ලැබේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.


නිසි ඇගයීමක්

පෑලියගොඩ ගංගාරාමාධිපති ආචාර්ය වල්පොල විමලඤාණ ස්වාමින්ද්‍රයන්වහන්සේ වෙත මියන්මාර් රජයෙන් අග්ගමහා සද්ධම්මජෝතික ධජ යන ගෞරව නාමය පිරිනැමීම ගැන ඉමහත් සතුටට පත්වෙමි.

විමලඤාණ හිමියන් හා මගේ ඇසුර වසර හතළිස් පහකට තරම් ඈතට දිවයන්නකි. 1957 සිට පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනෙහි එකම පන්තියේ අධ්‍යාපනය ලැබු අප විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබුවේද එකම වර්ෂයේ දීය. මෙම කාලය තුළ ශිෂ්‍ය සමිතිවල ක්‍රියාකාරීව කටයුතු කළ අප දෙදෙනාගේ සංස්කාරකත්වයෙන් යුතුව “ලේඛන සිඛා” නමින් ශාස්ත්‍රීය සඟරාවක් අඛණ්ඩව ප්‍රකාශයට පත්කිරීමට හැකියාව ලැබිණි.

විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු අපි රත්මලානේ පරමධම්මචේතිය පිරිවෙන් ආචාර්යවරුන් වශයෙන් වසර කිහිපයක් සේවය කළෙමු. අනතුරුව පශ්චාත් උපාධි අධ්‍යාපනය සඳහා මා එංගලන්තයටත් විමලඤාණ හිමියෝ ජපානයටත් යොමුවුණේ එකම කාල වකවානුවක දීය.

විශේෂ අධ්‍යාපනයෙහි ප්‍රතිඵලයක් වශයෙන් උන්වහන්සේ ඉතා කෙටි කාලයකින් ආචාර්ය උපාධියද ලබා තවදුරටත් ශාස්ත්‍රීය කටයුතුවලට යොමුවූ බව සඳහන් කළ යුතුය. ඒ අනුව නැවතත් උන්වහන්සේ සමඟ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ එකම අධ්‍යයනාංශයෙහි සේවය කරන්නට ලැබීම සතුටට හේතුවකි.

මියන්මාර් රජය මගින් වල්පොල විමලඤාණ හිමිපාණන්වහන්සේට පිරිනමන්නට යෙදුණු මෙම ගෞරව නාමය උන්වහන්සේ පිළිබඳ නිසි අගැයීමක් වශයෙන් සඳහන් කරන අතර එම ගෞරව නාමය උන්වහන්සේගේ ශාස්ත්‍රීය කටයුතු මෙන්ම සාමයික හා සමාජ කටයුතු තවදුරටත් කරගෙන යාමට ආශිර්වාදයක් වේවායි ප්‍රාර්ථනා කරමි.


අගය කළ යුත්තකි

රාජ්‍ය වර්ෂ 1803 දී ශ්‍රී ලංකා අමරපුර නිකාය බිහිවීම සාසන ඉතිහාසයේ වැදගත් සංසිද්ධියකි. බුරුම සාසන ඉතිහාසයෙහි සඳහන් වන පරිදි අති පූජ්‍ය අඹගහවත්තේ ඤාණවිමල තිස්ස හිමියන්, බෝවල ධම්මානන්ද හිමියන් හා සමඟ බුරුමයට වැඩමවා උපසම්පදාව ලබා 1803 දී ලංකාවට සැපත් වී ඇත. බුරමයේ උපසම්පදාව ලැබූ භික්ෂු පිරිසක්ද උන්වහන්සේලා හා සමඟ මෙහි සැපත් වූහ. මෙසේ සමාරම්භ වූ අමරපුර නිකාය පසුකාලීනව පාර්ශ්ව 22ක් දක්වා වැඩී ගියද අද ඒ සියලු පාර්ශ්වයන් සමගියෙන් එක්ව අමරපුර මහ නිකාය ලෙසින් කටයුතු කරනු දැක්ම සතුටට කාරණයක් වේ.

මියන්මාරය හා ශ්‍රී ලංකාව අතර පවත්නා ආගමික හා සංස්කෘතික සබඳතාවන් ඈත අතීතයට දිවෙයි. භික්ෂුවංශය දුර්වලව ගිය බොහෝ අවස්ථාවල දී එය යථා තත්වයට පත් කර ගනු සඳහා මියන්මාරය මුල්ව ක්‍රියාකළ අයුරු ඉතිහාසයෙන් පැහැදිලි වේ. එපමණක් නොව අද දවසේත් අප රට ආගමික හා සාමාජික පුනර්ජීවනයෙහි ඇප වී ක්‍රියාකරන්නාවූ මහ තෙරවරුන් වෙත ගෞරව සම්මාන පිරිනැමීමද අගය කළ යුත්තකි. උදාර සසුන් මෙහෙවරක නියැළෙන ආචාර්ය වල්පොල විමලඤාණ හිමියන් වෙත මියන්මාර් රජයෙන් “අග්ගමහා සද්ධම්මජොතික ධජ” ගෞරව සම්මානය පිරිනැමීම ශ්‍රී ලංකාවටත් බෞද්ධ ජනතාවටත් කරන ලද උපහාරයක් ලෙස සැලකිය හැකිය. මෙම සම්භාවනීය ගෞරව නාමයෙන් පිදුම් ලද විමලඤාණ නාහිමියන් වෙත අපගේ සුබ පැතුම් පළ කිරීමට කැමැත්තෙමි.


උදාර සමාජ මෙහෙවරක්

පිදිය යුත්තන් පිදීම බෞද්ධ ආචාර ධර්ම විග්‍රහය මුල් තැනක් ගන්නා බව පෙනේ. අප හිතවත් වල්පොල විමලඤාණ ස්වාමීන් වහන්සේ දහසකුත් එකක් අභියෝග මැද දෙස් විදෙස් අධ්‍යාපනය ලබා මෙරටට පැමිණ උදාර ජාතික ආගමික ශාසනික සමාජ මෙහෙවරක නියැළුණු හිමිනමකි. උතුරුමැද පළාතේ අග හිඟකම්වලින් ගහණ ගම් දනව් කරා වැඩමවා ග්‍රාම වාසීන්ට එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා සපුරා දෙන්නට මහත් වෙහෙසක් ගත් බව අපි දනිමු. ඒ අතර හොරොව්පොතාන පහළ කුඹුක්ගොල්ලෑව ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතිය විශේෂයෙන් අගය කළ යුත්තකි. බොහෝ වෙහෙසී කුඹුක්ගොල්ලෑව ග්‍රාමය කේන්ද්‍ර කොට අවට ගම් කිහිපයකටම විදුලිය ලබා දීමද අමතක නොකළ යුත්තකි. එසේම හැදෙන වැඩෙන තරුණ පිරිස උදෙසා වත්තල පවත්වා ගෙන යනු ලබන කාර්මික විද්‍යාලය රටට වැඩ ඇති දරුවන් සඳහා ඉමහත් පිටිවහලකි. හිසට සෙවණක් නැති සරණාගත පවුල් සඳහා ගෙවල් ඉදිකර දීම, නොයෙක් විට සිදුකර ඇති උන්වහන්සේ සුනාමි විපතේදී ගෙවල් රාශියක් ඉදිකොට ඇති බව සඳහන් කළ යුතුය. මෙවන් උදාර සමාජ මෙහෙවරක් ඉටු කරන වල්පොල විමලඤාණ හිමිපාණන්ට ඒ කාර්යයන් තවදුරටත් ඉදිරියට කරගෙන යෑමට නිදුක් නිරෝගී භාවය ලැබේවායි උන්වහන්සේ බුරුම දේශයෙන් උපහාර ලද මේ මොහොතේ අපිදු ප්‍රාර්ථනා කරමු.

 

    වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය නොවැම්බර් මස 03 වැනිදා අඟහරුවාදා පූර්වභාග 5.20 ට ලබයි. 04 වැනිදා බදාදා පූර්ව භාග 6.38 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 03 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය නොවැම්බර් 11 වැනිදා බදාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 03

Full Moonඅමාවක

නොවැම්බර් 11

First Quarterපුර අටවක

නොවැම්බර් 19

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 25


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]