UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් දැනුම

ප්‍රශ්නය – මහා කාරුණික වූ බුදුරජාණන් වහන්සේ අසරණ වු දරුවකු දැක අනුකම්පාව උපදවා ආලෝකයක් පතුරුවා ඔහුට පියවි සිහිය ලබා දී, “දරුව මෙහි එව“ තථාගතයන් දෙස බලව. රාහුගෙන් සඳ මිදුනාක් මෙන් මම නුඹ මුදා ගන්නෙමි”යි වදාළ සේක. මේ විපතට පත් දරුවා කවුද? බුදුරජාණන් වහන්සේ මොහු මුදා ගත් ආකාරය පැහැදිලි කරන්න.

පිළිතුර– සෝපාක, රජගහ නුවර සැඬොලෙකුට දාව පුක්කුස කුලයක ස්ත්‍රියක කුසින් උපන් දරුවෙකි. කුඩා කලම පියා මල බැවින් සුළු පියා ඔහු ඇති දැඩි කළේය. තම පුතාට වැඩි සෙනෙහස දැක් වූ ඔහු පසුව සෝපාක විනාශ කිරීම සඳහා රාත්‍රියක සොහොනකට ගෙන ගොස් මළ මිනියක බැඳ තැබීය. එහි දී ඉහත සඳහන් පාඨය දේශනා කොට බුදුරජාණන් වහන්සේ ඔහුට සරණ වූහ. පසුව ඔහුගේ මවට දේශනා කොට වදාළ බණ පදයෙන් මව සෝවාන් වූ අතර සෝපාක හිමියෝද රහත් ඵලයට පත් වූහ.

ප්‍රශ්නය– මාගම රජ පෙළපතකින් පැවත ආ දුටුගැමුණු කුමරු අනුරාධපුරයෙහි කරවන ලද ස්ථූප දෙක ප්‍රමාණයෙන්ද, විශාලත්වයෙන්ද මීට පෙර ද කරන ලද ස්ථූපවලට වඩා වැඩිය. මෙම ස්ථූප දෙක මොනවාද?

පිළිතුරු – 1 මරිච්චවට්ටි– (මිරිසවැටි) 2.රත්නමාලි (රුවන්වැලිසෑය)

ප්‍රශ්නය – ශාසනික ඉතිහාසයේ ප්‍රථම සංගීතිය ඉතාමත් වැදගත් වූවකි. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් පැවැති ප්‍රථම සංගීතියෙහි ඓතිහාසිකත්වයට හානියක් නොවුණත් මෙම සංගීතියෙහි ප්‍රතිඵල පිළිබඳව විවිධ මත භේද මූලාශ්‍රවල දක්නට ලැබේ. මෙම සංගායනාවෙහි දී ධර්ම විනය වශයෙන් පැවති සකල බුද්ධ වචනයම සංගෘහිත කළ ආකාරය පිළිබඳව විවරණයක් කරන්න.

පිළිතුර – සංගීතියෙහි දී, විනය ශාසනයාගේ ආයු බැවින් බුදුරජාණන් වහන්සේ විසින් විනයධාරීන්ගෙන් අග්‍ර ස්ථානයෙහි තැබූ උපාලි මහා ස්ථවිරයන් සංඝස්ථවිර වශයෙන් විනය සංගායනාව පළමුව කළහ. දෙවනුව ආනන්ද මහා ස්ථවිරයන් සංඝ ස්ථිවිර කොට ධර්මය සංගායනා කළහ. තවද මෙහිදී ධර්ම විනය වශයෙන් පැවැති සකල බුද්ධ වචනයම නිකාය වශයෙන් පසකට බෙදා සංග්‍රහ කරන ලදුව එනම්,

1. දීඝ නිකාය, 2.මජ්ක්‍ධිම නිකාය, 3.සංයුක්ත නිකාය, 4. අංගුත්තර නිකාය, 5.ඛුද්දක නිකාය, පසුව විනය – අභිධර්ම පිටක නමින් වෙන් වූ ධර්මය ද ඛුද්දක නිකායටම ඇතුළත් වූ බව “චත්තාරො නිකායො ඨපෙත්වා අවසේසං ඛුද්ධවචනං ඛුද්දක නිකායො නාම (සමන්ත පාසාදිකා) යන්නෙන් පෙනේ. බුද්ධ වචනය පරපුරෙන් පරපුරට අවිච්ඡින්නව ගෙන යාම සඳහා විනය උපාලි ස්ථවිරයන්ට ද , දීඝ නිකාය ආනන්ද ස්ථවිරයන්ටද, සංයුක්ත නිකාය මහා කාශ්‍යප ස්ථවිරයන්ටද, මජ්ක්‍ධිම නිකාය සැරියුත් හිමියන්ගේ ශිෂ්‍යයන්ටද අංගුත්තර නිකාය අනුරුද්ධ ස්ථවිරයන්ටද, ඛුද්දක නිකාය සියලු දෙනාටද භාර කළහ. ධර්ම විනය දෙකෙහි භාරකාර පරපුර භාණකවරුන් වශයෙන් පසුකාලීනව මූලාශ්‍රවල සඳහන් ව ඇත.

ප්‍රශ්නය – “දිට්ඨ ධම්ම හිතාය” ව්‍යඝ්ඝපජ්ජ සූත්‍රයෙහි එන ධර්ම පාඨයකි. ධර්ම විවරණයක් කරන්න.

පිළිතුර – මෙලොව හිත සුව පිණිස පවත්නා යන්නය සරල අදහස, මේ සඳහා ජීවන මාර්ග හතරක් ධර්මයෙහි සඳහන් වෙයි. උට්ඨාන සම්පදා ආරක්ඛ සම්පදා, කල්‍යාණ මිත්‍ර සේවනය, සමජීවිකතාව.

ප්‍රශ්නය – ව්‍යඝ්ඝපජ්ජ සූත්‍රයේ සඳහන් වන පරිදි පරලොව ජීවිතය සැපවත් කර ගන්නා ක්‍රමය පැහැදිලි කරන්න.

පිළිතුර – පරලොව හිත සුව පිණිස පවත්නා ධර්මයෝ සතර දෙනෙක් වෙති. එනම් ශ්‍රද්ධා සම්පදා, ශීල සම්පදා, ත්‍යාග සම්පදා, ප්‍රඥා සම්පදා, යන මොවුන්ය.

ප්‍රශ්නය – “අජද්ධු චාරිකං” මෙය ව්‍යගඝපජ්ජ සූත්‍රයේ එන ධර්ම පාඨයකි. ධර්මානුකූලව පැහැදිලි කරන්න.

පිළිතුර – සම්පත් අනුභව නොකොට මරණයට පත්වන තැනැත්තා අජද්ධු මාරික නම් වෙයි. අනාථ මරණය යනුවෙන්ද මෙය හඳුන්වා ඇත.

ප්‍රශ්නය – සිත පිරිසුදුව තබා ගෙන කරන හැම ක්‍රියාවක්ම කුසල් බව ධර්මය හැදෑරීමෙහි දී අප ඉගෙන ගෙන තියෙනවා. එසේ නම් පිරිසුදු සිතක ස්වභාවය ධර්මානුකූලව පැහැදිලි කරන්න.

පිළිතුර – ධම්මපද ධර්ම ග්‍රන්ථයෙහි එන මනසාචෙ පදුට්ඨෙන, මනසාචෙ පසන්නෙන යන පාඨ දෙක කෙරෙහිත් අවධානය යොමු කරන්න. පදුට්ඨෙන – පසන්නෙන යන පද දෙකින් ගම්‍යමාන වන්නේ අපිරිසුදු හා පිරිසුදු සිතක ස්වභාවයයි. “භවාංග චිත්ත” යයි නම් කරනු භවයාගේ නොසිඳ පැවැත්මට හේතුව සිත පිරිසුදුය. මඩ බොර නැති ප්‍රසන්න ජලයක් සේ පිරිසුදුය. මේ පිරිසුදු සිත ඇස්, කන්, නාස් ආදී වු දොරටු මගින් ඇද බැඳ ගන්නා අරමුණු නිසා උපදනා ලෝභ,ද්වේශ මෝහාදී වූ කෙලෙසුන්ගෙන් අපිරිසුදු වේ. “පභස්සරම්දං භික්ඛවෙ චිත්තං කං ඛො ආගන්තුකෙහි උපක්කි ලෙසෙහි උපකිලිට්ඨං “ ආදි දේශනාවට අනුව වඩාත් පැහැදිලි වනු ඇත.

ප්‍රශ්නය – මෙහි පහත සඳහන් වන්නේ ධම්මපද ග්‍රන්ථයෙන් උපුටා ගත් ධර්ම පාඨයක්. අදහස කෙටියෙන් පැහැදිලි කර මුල් පදයට ධර්මානුකූල විවරණයක් දක්වන්න. සුභානු පස්සිං විහරන්තං ඉන්ද්‍රියෙසු අසංවුතං භෝජනමහි අමත්තඤ්ඤං කුසීතං හීන විරියං තං වෙ පහසති මාරො වාතො රුක්ඛං ච දුබ්බලං

පිළිතුර – රූපාදී වූ අරමුණු ශුභ යයි දකිමින් වාසය කරන ඇස්, කන්, නාසා ආදී වූ ඉඳුරන්හි සංවර නැති අහරෙහි දී පමණ නොදත් අලස වූ වීර්ය රහිත ඒ පුද්ගලයා දුබල රුකක් සුළඟින් උදුරා දමන්නාක් මෙන් මරු වසඟයට යේ. සුභානු පස්සිං විහරන්තං – පුහුදුන් මිනිසුන් විසින් දිව ශුභ වශයෙන් සිතන දකින අරමුණු සයෙක් වේ. රූප ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ, ධම්ම යනුවෙන් ඒ සය නාමිකව සඳහන් වේ. මේ රූපාදී අරමුණු දුබල මිනිසෙකු සැරයටියක ආධාරයක එල්බ ගන්නා සේ චිත්ත චෛතසික ධර්මයන්හි එල්බ ගනු ලැබෙයි. ඒවාට අරමුණු යැයි කියන්නේ ඒ නිසයි.

ප්‍රශ්නය – සූත්‍ර හා අභිධර්ම පිටක දේශනා අනුව ක්ලේශ ධර්ම දහයකි. පැහැදිලි කරන්න.

පිළිතුර – ලෝභ, දෝෂ, මෝහ, මාන, දිට්ඨි විචිකිච්ඡා, ථීනමිද්ධ, අභිරිකං අනොත්තප්ප,

ප්‍රශ්නය – විදර්ශනා භාවනාව පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න.

පිළිතුර – සංස්කාරයන් කෙරෙහි වූ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ සිතට නගා ගෙන සිත එහි පුරුදු කිරීමෙන් භවත්‍රයෙහි කිසිවක නොඇලෙයි. කිසි විටෙකත් සංස්කාර ධර්ම ශුභවාදීව පිළිනොගනී. සංස්කාර ධර්ම පිළිබඳව නැවත නැවත සිහිය වැඩීමෙන් බලවත්ව ගිය විදර්ශනාව (උත්ථාන ගාමිණි විදර්ශනා) නියත වශයෙන්ම නිර්වාණාවබෝධය සඳහාම සිත යොමු කරන බව සඳහන් වේ.

 

 

     ‍ බිනර අමාවක පෝය  

බිනර අමාවක පෝය ඔක්තෝබර් මස 12 වැනිදා සඳුදා පූර්වභාග 2.58 ට ලබයි. 13 වැනිදා අඟහරුවාදා පූර්වභාග 5.36 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 12 වැනිදා සඳුදාය.

මීළග පෝය
ඔක්තෝබර් 20 වැනිදා අඟහරුවාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 12

First Quarterපුර අටවක

ඔක්තෝබර් 20

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 27

Second Quarterඅව අටවක

නොවැම්බර් 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]