UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මම මට අයිතිද?

මම මට අයිතිද?

“සුපසන් ජීවිතයකට” යන මාතෘකාව යටතේ පසුගිය සති කීපයේ අප සාකච්ඡා කළේ ලෝභය, විෂම වූ ලෝභය පිළිබඳවයි. ඒ තුළින් යහපත් වූ ජීවිතයක පවත්නා සංතෘෂ්ටිය නැතිවන ආකාරයත්, ඒ වගේ ම මෙලොව හා පරලොව වශයෙන් ඇතිවන පරිහානියේ ස්වභාවය පිළිබඳවත් අප සඳහන් කළා.

අද දවසෙහි මේ දහම් කතාවෙන් බලාපොරොත්තු වන්නේ, එසේ වූ ඒ ලෝභය විෂම වූ ලෝභය නැතිකර ගන්න අප විසින් ධර්ම පරියායක් හැටියට, පිළිවෙත් මාර්ගයක් හැටියට ගත හැකි දහම් පෙළකුයි. එවිට දැඩි ආශාවන් ඒ වගේ ම ඒ තුළින් ඇතිවන ඊර්ෂ්‍යාව, තරහව, අනුන්ගේ දොස් සෙවීම, දැකීම, මේ ආදී උපක්ලේශ බැහැර කර ගන්නට ඉතාම පහසුවෙනවා. ඒ සඳහා අද සාකච්ඡා කරන්නේ සංයුක්ත නිකායේ සඳහන් ‘නතුම්හ සූත්‍ර’ දේශනාවයි. ‘නතුම්හ’ කියන වචනයේ අදහස නුඹගේ හෝ නුඹලාගේ නොවේ කියන අදහසයි.

ඔබ ඔබට අයිති නැහැ, මම මට අයිති නැහැ කියන අදහස, අපට සරලව සිතට ගෙන පරමාර්ථ වශයෙන් ගැඹුරු අදහසක් ගන්නට පුළුවනි. සරල වශයෙන් ලෞකික ජීවිතයේ දකින බොහෝ දේවල් අප කැමැති හා අකැමැති වශයෙනුයි සිතෙහි පවත්වා ගන්නේ. කැමැති දේ ලබන්නටත්, අකැමැති දේට අකැමැති ආවේගය හෙවත් තරහව, අමනාපය නොඉවසන ස්වභාවය පහළ කිරීමත්, සාමාන්‍ය ස්වභාවයයි. ලෝභයෙහි අතුරු ප්‍රතිඵල ලෙස මේවා අපට දකින්නට පුළුවනි. මේ නිසා ඔබ ඔබගේ නොවෙයි කියන මේ අදහස ඔස්සේ අපේ සිත තේරුම් ගන්නට පුළුවනි නම්, සම්මුති ලෝකයෙ හි අප අපේ ජීවිතය පැවැත්වූවත් කිසිවිටකවත් මේ අනිත්‍ය වූ ලෝකයේ කිසිදු වස්තුවක් කෙරෙහි, මගේය මම වෙමි, මගේ ආත්මය එනම් මගේ වසඟයේ පාලනයෙහි යටත්ව පවතිනවාය කියන අදහසින් ක්‍රියා කරන්නෙ නැහැ.

තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ‘නායං භික්ඛවේ න තුම්හාකං’ - ඔය ශරීරය නුඹලාට අයිති නැහැ. ‘නාපි අඤ්ඥේසං’ - කාටවත් අයිතිත් නැහැ. ‘පුබ්බේ ඉදං භික්ඛවේ කම්මං’ - පෙර කරන ලද කර්මයක ඵලයකුයි. ‘අභිසංඛතං’ - හේතූන් ප්‍රත්‍යයන්ගෙන් හටගත් වස්තුවකුයි. ‘අභිසඤ්ඥේඤතයිතං’ - චේතනාවට වස්තුවී පවතිනවා. ‘වේදයිතං දට්ඨබ්බං’ - වේදනාවට වස්තුවක්ව පවතිනවා. නැවතත් පාලි අදහස සඳහන් කරනවා නම්, ඔය ශරීරය නුඹලට අයිති නැහැ. කාටවත් අයිති නැහැ. පෙර කරන ලද කර්මයක ඵලයකුයි. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තා වූ දෙයක්, චේතනාව මුල්වෙලා තියෙනවා. විඳීමට වස්තු වී පවතිනවා කියන අදහසයි.

මේ අදහස මැනවින් අපට තේරුම් ගන්නට පුළුවනි නම්, අපේ ජීවිතවල සිදුවිය හැකි පස්පව් දස අකුසල්වලින් බැහැර වීමට පරමාර්ථ වශයෙන් ඉතා යහපත් වූ අදහස් පෙළක් සිත තුළ පුරුදු කරන්නට පුළුවනි. මේ ශරීරය නුඹලාට අයිති නැහැ කියන අදහස ඔස්සේ අප අප ගැන සිතුවොත් මේ ශරීරය මට අයිති නැහැ. සම්මුතිය තුළ මම බව මගේ බව සැබෑය. අනුමාන වශයෙන් අපේ ජීවිතයේ පැවැත්ම ගැන සලකාගෙන, ඉගෙනීම, රැකියාව ගිහි ජීවිතවලට අනුව විවාහය, දරුවන් ගේදොර මේ ආදී ලෙසින් කටයුතු පවත්වනවා. එහෙත් පරමාර්ථ වශයෙන් ගළපා බලන විට මේ සියල්ල ම අනිත්‍ය, දුක්ඛ, අනත්ත ත්‍රිලක්ෂණ ධර්මයට යටත් බව තේරුම් ගත යුතු වෙනවා. භාග්‍යවතුන් වහන්සේ ඔය ශරීරය නුඹලාට අයිති නැහැ යනුවෙන් පැහැදිළි කළේ, අර දෙවනුව සඳහන් කළ පරමාර්ථ අදහස තේරුම් ගන්නටයි. පරමාර්ථ වශයෙන් ජීවිතය ගැන පෙන්වා දෙන දහම තේරුම් ගත්තෙ නැති වුණොත් සම්මුතියේ පමණක් ජීවත්වෙන්නට මනුෂ්‍යයන් උත්සාහ කරනවා. එනම් “ඒතං මම - මෙය මගේය, ඒසෝ හමස්මි - එයම මම වෙමි. ඒසෝ මේ අත්තා - එය මගේ ආත්මයයි. එනම් එය මගේ යටතේ පවතිනවා. මට පාලනයක් තියෙනවා. එය ස්ථිරව පවතිනවා කියන අදහසයි.

එතැන දී සිදුවන්නේ කුමක් ද? මම කියා, අර පළමු අදහසින් තමාගේ ජීවිතය ගැන සිතුවත් මේ මම කියා අදහස් කරන ශරීරය ස්ථිර නොවන බව පැහැදිලියි. එනම් ලෙඩවීම දිරාගෙන යාම මරණය ආදී ලෝකස්වභාවයන්ට පත්වීම උරුමයි. එයට හේතුව කුමක් ද? මෙලොව පවත්නා සියලු දේම එනම් සවිඤ්ඤාණක, අවිඤ්ඤාණක සෑම වස්තුවක් ම සංඛත හෝ සංඛාර නමින් හඳුන්වනවා. එවිට මේ සංඛතයක් වූ සවිඤ්ඤාණකව පවත්නා මේ කයත්, අනිත්‍ය, දුක්ඛ, අනත්ත ත්‍රිලක්ෂණ ධර්මයට යටත් වෙනවා. එයට හේතුව කුමක් ද? මේ සංඛතය සවිඤ්ඤාණක වුවත් අවිඤ්ඤාණක වුවත් නිර්මාණය වී පවතින්නෙ සතර මහා භූත හෙවත් ධාතු කොටස් හතරකිනුයි. පඨවි – තද ගතිය, ආපෝ - වැගිරෙන ස්වභාවය, තේජෝ - උණුසුම, වායෝ - සුළඟ නම් වූ මේ සතරෙනුයි.

පඨවි ආදී ධාතුන්ගෙන් නිර්මාණය වූ සියලුම වස්තූන්ගේ ස්වභාවය, එම පඨවි ආදී ධාතූන්ගේ විසිරීම සිදුවන විට එම ධාතූන්ගෙන් නිර්මාණය වූ ඵලය ද විසිරී යාමයි. එනම් වෙනස්වීමයි. සවිඤ්ඤාණක වස්තුවක් නම් ලෙඩවීම, දිරාගෙන යාම ආදියට මුහුණදීමයි.

"හේතු පඨිච්ච සම්භූතං - හේතු භංගා නිරුජ්ජති " යමක් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තේ ද එම හේතු ප්‍රත්‍යය බිඳී විසිරී යන විට යමක් නමින් හැඳීන්වූ ඵලය ද විසිරී යන්නේය, බිඳී යන්නේය. එසේ නම් පරමාර්ථ ධර්ම අවබෝධයෙන් තොරව සම්මුතියේ පමණක් පිහිටා මම මගේය කියමින්, අප අපේ ම ජීවිතය සිතින් උපාධානය හෙවත් දැඩිව අල්ලාගෙන සිටියොත් කුමක් ද? සිද්ධවෙන්නෙ. එම පරමාර්ථ ධර්මය පිළිබඳව ඇති අනවබෝධය නිසා මෙම වෙනස්වීම සිතට පිළිගන්නට බැහැ. වෙනස්වීම පිළිගැනීමට තරම් සිත පුරුදුකොට නැහැ. බෞද්ධ දර්ශනයේ එය හඳුන්වන්නේ අභාවිත සිතක් හැටියටයි. මේ අභාවිත සිත නිතරම බලාපොරොත්තු වන්නේ ඇසෙන් දුටු රුව ඒ ආකාරයෙන් ම පවතිනවා දකින්නට හෝ පවත්වා ගැනීමටයි. කනෙන් අසන ශබ්දය, තමා ප්‍රිය නම් එහි ඇලී ඒ ආකාරයෙන් ම පවත්වාගන්නට, තමා කෙරෙහි රඳවා ගන්නට අභාවිත සිත බලාපොරොත්තු වෙනවා. කනින් ලැබූ හඬ වගේ ම නාසයෙන් ලබන ආඝ්‍රාණය මෙයට තමා කැමැති නම් ප්‍රිය නම් ඒ ස්වභාවයෙන් ම තමා කෙරෙහි පවත්වා ගන්නට උත්සාහ කරනවා. දිවෙන් ලබන රසයට පි‍්‍රය නම් ඒ ප්‍රිය ස්වභාවය තමා සතු කරගෙන පවත්වා ගන්නට උත්සාහ ගන්නවා. කයෙන් ලබන ස්පර්ශයට තමා කැමැති නම් ඒ ප්‍රිය ස්පර්ශය තමා සතු කරගෙන පවත්වා ගන්නට උත්සාහ කරනවා. සිතින් ලබන ධර්ම හෙවත් අරමුණුවලට තමා ප්‍රිය නම් කැමැති නම් ඒවා තමා සතු කරගෙන ඒ ආකාරයෙන් ම පවත්වා ගන්නට උත්සාහ ගන්නවා. එයට තව එක් හේතුවක් පවතිනවා. එනම් අභාවිත සිතක ස්වභාවයෙන් ම ප්‍රියවස්තූන් කෙරෙහි ඇලීමටත්, බැඳීමටත් පොළඹවන ආවේග චෛතසික සකස් වී තිබෙනවා. මේවා හඳුන්වන්නේ කාමච්ඡන්දයට උපකාරීවන ධර්ම හැටියටයි. පංචකාම ගුණ හැටියටත් ධර්මයේ විස්තරකොට තිබෙනවා. අපි නිදසුනක් ගනිමු ඒ ඇස හා රූපය සම්බන්ධවයි.

“චක්ඛු විඤ්ඤේ‍යයා රූපා
ඉට්ඨා ඛන්තා මනාපා

ප්‍රිය රූපා කාමෝප සංහිතා රජනීයා” යනුවෙනුයි. ඇසෙහි චක්ඛු විඤ්ඤාණය පහළවන විට ඒ චක්ඛු විඤ්ඤාණය සකස් වන්නේ මෙවැනි ගුණයි. එනම් ඉටුවඩන, මනවඩන, ප්‍රිය දෙයෙහි කාමයෙන් යුත් ඇලුම් කරන නම් වූ ස්වභාවයයි. මේ පංච කාම ගුණයන්ගෙන් යුක්තව රූපය මුල්කොටගෙන චක්ඛු විඤ්ඤාණය සකස් වුණොත් එතැන කාමච්ඡන්දයක් වෙනවා. එනම් ඒ සවිඤ්ඤාණක හෝ අවිඤ්ඤාණක රූපයට ඇලෙනවා. බැඳෙනවා. එහි සතුටු වෙනවා. ඒ ගැන කියනවා. ප්‍රාර්ථනා කරනවා. සිතෙහි ඒ රුවට මුල්තැනක් දෙනවා. එනම් සිත ඒ වස්තුවෙහි ම ඔසවා තබනවා කියන අදහසයි.

අභාවිත සිතක් නම් වූ එනම් මේ සවිඤ්ඤාණක, අවිඤ්ඤාණක වස්තූන් අනිත්‍ය, දුක්ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්ෂණ ධර්මයට යටත් කොට දැකීමට පුරුදු නොකරන ලද මේ සිත මෙම රූපය දැන් තමා සතුකරගෙන තිබෙනවා. ඉහත සඳහන් කළා සේ සිත සතුටු කරන ප්‍රිය ස්වභාවයෙන් අරමුණු කුල්මත් කරන ආකාරයෙනුයි දැන් ඒ රුව සිතින් අල්ලාගෙන තිබෙන්නෙ.

මෙම ලිපියේ ඉතිරි කොටස වප් පුර අටවක ඔක්තෝබර් 20 වන දා පත්‍රයේ පළවේ.


පසුගිය සතියෙන් - සුපසන් ජීවිතයකට 14- අතේ ඇති බත්පතින් කුස පුරවා නොගෙන සිතේ ඇති දේවලින් දුක් විඳින්නේ ඇයි?

 

     ‍ බිනර අමාවක පෝය  

බිනර අමාවක පෝය ඔක්තෝබර් මස 12 වැනිදා සඳුදා පූර්වභාග 2.58 ට ලබයි. 13 වැනිදා අඟහරුවාදා පූර්වභාග 5.36 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 12 වැනිදා සඳුදාය.

මීළග පෝය
ඔක්තෝබර් 20 වැනිදා අඟහරුවාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 12

First Quarterපුර අටවක

ඔක්තෝබර් 20

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 27

Second Quarterඅව අටවක

නොවැම්බර් 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]