මා ඉපිද සුමාන දෙකකින් ඇය මිය යන බව අම්මා දැන සිටියා - බළන්ගොඩ
ආනන්ද මෛත්‍රෙය මහා නාහිමි
අග්ගමහා පණ්ඩිත අභිධජ මහා රට්ඨගුරු බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය
මහානාහිමියන් අපේ පරපුරේ ජනතා හිතසුව සැලසූ ආකර්ෂණීය සංඝපීතෘ වහන්සේ
නමකි. බොහෝ සැදැහැවත් හු උන්වහන්සේ මාර්ගඵලාවබෝධය ලැබ සිටියායැයි
විශ්වාස කරති. සමහරු උන්වහන්සේ බුද්ධ ශාසනය එකලු කිරීමට මෙරට පහළ වූ
දෙවි දේවතාවෙක් ලෙසද සලකති. තමන්ටම ආවේණික සිවුරු පෙරැවීම් රටාවක්, කතා
ශෛලියක්, බස් වහරක්, හැසිරීම් පිළිවෙතක් මෙන්ම සුවිශේෂ චින්තන රටාවක්ද
ප්‍රකට කළ උන්වහන්සේගේ චරිතාපදානය ඉතා හොඳින් කැටපත් කළේ ආචාර්ය
ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමිපාණන් වහන්සේ ය.
උන්වහන්සේගේ බුදු බව පතන බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමි නම් සාර
සංග්‍රහය ඊට කදිම සාක්ෂියකි.
1896 අගෝස්තු 24 වැනිදා රාත්‍රී 12 පසුවී මිනිත්තු 5 ට බළන්ගොඩ
කිරිඳිගල ගමේදී උපන් පුංචි මහත්මයා හෙවත් විලියම් යන ගිහි නාමය ලත්
උන්වහන්සේ 1998 ජූලි මස 18 වැනි සෙනසුරාදා රාත්‍රී 11.40 ට ජයවර්ධනපුර
මහ රෝහලේ දී අපවත්වූහ. පුරා ශතකයකටත් වැඩි කාලයක් මෙරට සසුන් කෙත
බබළවනු වස් මහා ශාසනික මෙහෙයක් කළ අතර නායක හිමියන් හමුවී කතා බහ
කරන්නට මට වාසනාවක් නොලැබිණ. නමුත් උන්වහන්සේගේ ජන්ම දිනය සිහිකරනු වස්
‘මගේ අම්මා’ නම් හෘදයාංගම ලිපි සරණිය උන්වහන්සේගේ ‘මවගේ මතක සටහන්’
බිඳක් හෝ එක් කිරීමට මම කැමැත්තෙමි. ඒ සඳහා ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර
මහා නා හිමියන්ගේ අනුමැතිය ඇතිව ඒ හිමියන් සමඟ අප කතානායක හිමියන් මව
පිළිබඳ කරන ලද ඇතැම් මතකයන් මෙහිදී කැටපත් කැරෙයි. මව් තුරුලේ උණුසුම
මට ලැබුණේ සති දෙකයි. යන ශීර්ෂයෙන් ඉත්තෑපාන මහා නා හිමියන් බළන්ගොඩ
මහා නා හිමියන්ගේ මතක ඔස්සේ මෙසේ ලියයි. එහිදී උන්වහන්සේගේ ගම් පළාත,
මාපිය පාර්ශ්වය, චරිත ලක්ෂණ මතු නොව තවත් බොහෝ කරුණු කාරණා ද මතු වීම
නොවැළැක්විය හැකිය. අපි දැන් ඒ උපුටනයක් විමසා බලමු.
“ මා උපන්නේ, 1896 අගෝස්තු මාසයේ 24 වෙනිදා. සිංහල ක්‍රමයට 23 වෙනිදා
විය හැකියි. බළන්ගොඩ ආසන්නයේ පුංචි ගමක් තියෙනවා කිරිඳිගල කියලා.
බැලුවාම ඒක ගමකුත් නෙවෙයි. ගෙවල් මණ්ඩියක් විතරයි. ඒ ගමේ ඉඳලා මහ පාරට
යන්න පාරක් තිබුණෙත් නැහැ. ඇලවේලි දිගේ නියරවල් දිගේ තමයි ඒ කාලේ ගියේ.
ඉංගී‍්‍රසීන්ට විරුද්ධව නොයෙක් විදියේ සටන් කළ අයත් හැංගිලා හිටියේ මේ
ගමට ඇවිදිල්ලා. ඒකට හේතුව මේ ගමට යන්න එන්න පහසුකම් නැතිකමයි. කොටින්ම
පාරවල් නැතිකමයි. දැන්නම් මේ හරිය හුඟක් දියුණුයි. පාර අද්දරත් ගෙවල්
හදාගෙන විශාල පිරිසක් පදිංචිවෙලා ඉන්නවා.”
“මගේ පියාට වැඩිමල් සහෝදරයෙක් හිටියා. එයා තමයි ඩිංගිරිහාමි,
දිනෙස්හාමි කියලත් කියනවා. කලක් මහණවෙලා සිට සිවුරු හළ කෙනෙක්. හොඳට
ගොවිතැන් බත් කටයුතු කරගෙන තමයි ඒ අය ජීවත් වුණේ. මගේ පියාගේ මව මාතර
කෙනෙක්. පියාගේ පියා හතර කෝරළේ කෙනෙක්. මගේ පියාගේ නම මද්දුමහාමි.
පසුකාලයේ පියා මෙතියස් අප්පුහාමි නමින් ප්‍රසිද්ධ වී සිටියා. මගේ මවගේ
නම හීන්මැණිකේ. මා මෙලොවට බිහි කරලා මගේ අම්මා සති දෙකකින් මිය පරලොව
ගියා. අම්මා බෙන්තර ආරච්චිගේ පරපුරෙන් පැවත එන කෙනෙක්. ඇය සැහැදැවත්
භක්තිමත් උපාසිකාවක්.”
“අපේ ගේ ළඟම තිබුණා. බෝමළුවක්. අම්මා හැමදාම උදේ සවස බෝධීන් වහන්සේ
වඳින්න ඔය බෝමළුවට යනවාලු. ගිහිල්ලා බෝධීන් වහන්සේ වටා හොඳින්
අතුපතුගාලා මල් පහන් පූජා කරලා ප්‍රාර්ථනාවකුත් කරනවාලු. ඒ ප්‍රාර්ථනාව
තමයි, ‘මට මහණ කරන්න පුතෙකු ලැබෙන්න ඕනෑ.’ කියන එක.”
“ඒ කාලයේ මහනුවර පලිපාන වලව්වෙත් මහණ වෙච්ච කෙනෙක් හිටියා. ඒ
හාමුදුරුවන් ඉතා ම සිල්වත් ගුණවත් ධුතාංගධාරී කෙනෙක්. ඒ හාමුදුරුවන්
හැමදාම වගේ අපේ ගෙදරට පිණ්ඩපාතේ වඩිනවා. මගේ අම්මා ඒ හාමුදුරුවන්ට
ආරාධනා කරනවා, ගේ ඇතුළට වඩින්න කියලා. වැඩියාම ආසනයක වඩා හිඳුවලා,
වැඳලා, පිණ්ඩපාත පිළිගන්වනවා. පිණ්ඩපාත පිළිගන්වලා එතැනදීත්
ප්‍රාර්ථනාවක් කරනවා. ‘මට මහණ කරන්න පුතකු ලැබෙන්න ඕනෑ’ කියලා. ඒ වන
විට මගේ අම්මට අවුරුදු විස්සක් විතර ඇතිලු.”
“මගේ පියා හරිම සැඩපරුෂ කෙනෙක්. කිසිම කෙනෙකුට කීකරු කරන්න බැරි මහා
දරුණු කෙනෙක්. නමුත් අපේ අම්මට නම් හරිම කීකරුලු. ඒ කාලයේ පොලිසියේ
මහත්තුරු අපේ තාත්තාට බයයි. දවසක් පොලීසියේ මහත්තුරු කීප දෙනෙකුට
ටවුමෙදි ගහලා. ඒ අයගෙ නිල තොප්පි පවා ගලවාගෙන පුච්චලා දැම්මාලු. එහෙම
කරලා ගෙදර ආවලු. ඒ කරපු වැඩේට ලොකු නඩුවකුත් තිබුණාලු. නඩුවට ගියාම
තාත්තා කරපු දේ ගැන විනිසුරුතුමා ස්තුති කරලා තියෙනවා. නමුත් පොලිස්
නිලධාරීන්ගේ හිස්වැසුම් ගිනි තැබීම රාජද්‍රෝහි ක්‍රියාවක් නිසා ඒකට
දඬුවම් වශයෙන් රුපියල් පහක් දඩ ගහලා තියෙනවා. පුදුම විදිහේ ශරීර
ශක්තියක් තමයි තාත්තට තිබුණේ. දහයක් දොළහක් ආවත් ඔක්කොටම ගහලා පන්නනවා.
නමුත් මගේ අම්මා මීට හාත්පසින්ම වෙනස් කෙනෙක්. ඇය හරිම කාරුණික අහිංසක
තැනැත්තියක්.”
අපේ ලොකු අම්මටත් දරුවන් හිටියෙ නැහැ. ලොකු අම්මා කියන්නෙ ලොකු
තාත්තාගේ භාර්යාව. නෑකමට අම්මගේ අක්කා. එයාටත් ළමයි නැති නිසා හැමදාම
වගේ මගේ අම්මා හම්බවෙන්න ඇවිත් කියනවාලු. ළමයෝ උඹට දරුවකු ලැබුණොත් මට
දීපන් කියලා මේ අක්ක නගෝ දෙන්නා හරිම ස්නේහවන්තයි. කොහොම නමුත් බේරෙන්න
බැරිම තැන මගේ අම්මා පොරොන්දු වෙලා තියෙනවා. දරුවකු ලැබුණොත් දෙනවා
කියලා. එතෙන්දී ලොකු අම්මා කියලා තියෙනවා. දරුවා උපන් හැටියේම බාර
දෙන්න ඕනෑ කියලා. ඒ වෙලාවෙ මගෙ අම්මා කියලා තියෙනවා. පිරිමි දරුවෙකු
ලැබුණොත් මහණ කරන්න පොරොන්දු වෙනවා නම් විතරක් බාර දෙනවා කියලා. ගැහැනු
ළමයකු ලැබුණොත් කැමැත්තක් කරන්න. කියලත් කිව්වාලු.”
“අම්මට මා ලැබෙන්න කලිනුත් සිහිනෙන් පවා පෙන්නුම් කරලා තියෙනවා. මා
ඉපදිලා වැඩි දවසක් අම්මා ජීවත් වෙන්නෙ නැහැ කියලා. ඒ බව අම්මා අනෙක්
අයටත් කියලා තියෙනවා. මා උපදින වෙලාවෙ ලොකු අම්මා තමයි සාත්තුවටත් එක්ක
අම්මා ළඟ ඉඳලා තියෙන්නේ. මා ඉපදිලා ටික වෙලාවකින් අම්මා මාව ලොකු අම්මා
අතට දුන්නලු’ මෙන්න මා වෙච්ච පෙරොන්දුව ඉටු කරනවා’ කියලා. කොහොම නමුත්
මට මව් තුරුළේ ඉන්න ලැබිලා තියෙන්නේ දින දාහතරක් විතරයි. අම්මා ලොකු
අම්මට කිව්වලු ‘අක්කේ මං ඉක්මනින් මැරේවි, මේ ළමයා උඹට අයිතියි’ කියලා.
‘හැබැයි පොරොන්දු හැටියට නොවරදවා ම මේ ළමයා මහණ කරන්නත් ඕනෑ’ කියලා
කිව්වලු. මේ විදියට කියලා සති දෙකකට පස්සේ අම්මා මැරුණලු.”
“මගේ තාත්තා අම්මා මැරුණ නිසා ඒ පළාතේ ඉන්නෙ නැතිව වෙන පළාතකට ගියාලු.
තාත්තා නිවිතිගල ගිහිල්ලා එහෙ පදිංචි උණාලු. ඇත්තෙන් ම මා හැදුණේ ලොකු
අම්මා ළඟ. නමුත් අවුරුදු කීපයක් ගතවෙන කල් ම මේ මගේ අම්මා කියලමයි ලොකු
අම්මා ගැන මට හිතුණේ. අම්මා නෙවෙයි කියන හැඟීමක් ඇති වුණේ ම නැහැ. ලොකු
අම්මා ඒ තරමට පරෙස්සමෙන් තමයි ක්‍රියා කළේ. වයස අවුරුදු හතර වනවිට තමයි
මට යන්තම් වැටහුණේ මේ මගේ අම්මා නොවෙයි කියලා. මා ලොකු අම්මා ළඟ ඉතාම
සැපෙන් වැඩුණා. මා ඉපදිලා මාස දහයක් විතර වෙනකොට සිදුවෙච්ච සමහර දේවල
මට මතකයි. එයින් කීපයක් මම කියන්නම්.”
“මගේ මුත්තණුවන්ගේ මරණය මට හොඳට මතකයි. එයාගේ මරණයෙන් මාස හතකට විතර
පස්සේ අපේ ගෙදරට සැතපුම් කාලකට විතර එහා ගෙදරක විශාල බලියක් තිබුණා.
විශාල රූප රාශියක් හදල තිබුණු බවත් මට මතකයි. මාවත් වඩාගෙන ලොකු අම්මා
මේ බලිය බලන්න ගිය හැටි මට මතකයි. මාවත් කර තියාගෙන පඩි පෙළවල් නැඟ
ගෙන, මහා කඳු නැඟ ගෙන ගිය ගමනකුත් මට මතක තියෙනවා. පසුව මා තේරුම්
ගත්තා ඒ ගියේ සිරිපාදේ කියලා. ගෙදර සෙල්ලමෙන් හැදුණු, හැටිත් මට මතකයි.
විටින් විට මාව බලන්න පියාත් ඇවිත් ගියා. ලොකු අම්මා මාව හැදුවේ ඇහැක්
වගේ ආරක්ෂා කර ගෙන.” .......
උන්වහන්සේගේ ජීවිතය මහත් රසාලිප්ත බොහෝ සිදුවීම්වලින් ගහණ එකකි. මේ
පොතේ පිටු අතර බොහෝ දේ කියැවෙයි. එහෙත් මා අද ඔබට එකතු කළේ උන්වහන්සේගේ
මව් වරුණ හා සම්බන්ධ සිදුවීම් කීපයක් පමණි.
එදා ඒ හිමියන් සමඟ කතිකා කළ ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමියන්ට
පුණ්‍යානුමෝදනා වේවා.
- උපාලි සමරසිංහ |