UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධම්මික මෙහෙයවන ධම්ම සාකච්ඡා

1 ප්‍රශ්නය
මිහිඳු මහරහතන් වහන්සේ ඍද්ධි බලයෙන් ලංකාවට වැඩම වු බව පිළිගත් සත්‍යයකි. ඒ බව උන්වහන්සේද චක්‍රකාරයෙන් දක්වා ඇත. අම්පාර දිස්ත්‍රික්කයේ රජගල ප්‍රදේශයෙන් ලැබුණූ ශිලා ලේඛනයේද මේ බව සඳහන් වේ. එසේ වුනේ වී නමුදු සංඝමිත්තා මහරහතන් මෙහෙණින් වහන්සේ ලංකාවට වැඩම කළේ නැවකිනි. ඒ ඇයි?

පිළිතුර
සෘද්ධි බලය තිබූ පිරිසක් සමඟ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළහ. සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේ වැඩම කළේ බොහෝ වූ පිරිසක් සමඟයි. 18 ක් වූ ශිල්ප ශ්‍රේණිවල ප්‍රවීණයන් ද සමඟ එතුමිය වැඩම කළේ නැවකිනි. ඒ ශිල්පීන් අදාළ ශිල්පයේ දක්ෂයෝ වුවද ඍද්ධි ප්‍රාතිහාර්ය පෑ හැකි අය නොවෙති.

ඒ හැර සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේ ශ්‍රී ලංකාවට ජය ශී‍්‍ර මහ බෝධි ශාඛාවක් වැඩම කරවුහ. එම අවස්ථාව හදිසියේ අප්‍රකටව සිදු කරනු වෙනුවට උත්සවාකාරයෙන් සංවිධානය කිරීමට අශෝක මහ රජතුමාද දේවානම්පියතිස්ස රජතුමාද කාර්ය සංවිධානයක් කර තිබුණි.

දේවානම්පියතිස්ස මහ රජු ජම්බකෝලපට්ටනය හෙවත් වර්තමානය යාපනේය දඹකොල පටුනට ගොස් මහ මුහුදේ කරවටක් දියට බැස ගෞරවයෙන් ශී‍්‍ර මහා බෝධිය පිළිගෙන මහ පෙරහරින් උත්සවාකාරයෙන් අනුරාධපුර අග නගරයට වැඩම විය. තිවක්ක බමුණ ගම ඇතුළු බොහෝ ස්ථාන වල පිළිගැනීම් සමඟ රාත්‍රි ගත කිරීම සහිත වූ මේ මහා පෙරහර දකින විට සාමාන්‍ය ජනතාව තුළ මහත් භක්තියක් ඇතිවීම අනිවාර්යයි. බුදු දහම සමඟ ජන සංස්කෘතියට අවශ්‍ය පුද පූජා හඳුනා දෙමින් කටයුතු කළයුතු බැවින් සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ දඹදිව සිට නැවෙන් ලංකාවට වැඩම කළ බව පෙනේ . අවශ්‍ය නම් එතුමියට ඍද්ධියෙන් බෝධින් වහන්සේ වැඩමවා ගෙන ඒමටද හැකියාව තිබුණි.

වර්තමානයේ ඍද්ධි ප්‍රාතිහාර්ය ඉතා ප්‍රබල ලෙස සැලකුව ද බුදුරජාණන් වහන්සේ ඍද්ධි ප්‍රතිහාර්ය උසස්ම කාර්ය ලෙස නොසැලකූහ. බුදුරජාණන් වහන්සේද රජගහ නුවර සිට කිඹුල්වතට යොදුන් 60 ක් දුර වැඩම කළේ පා ගමනිනි. ඒ ගමන බුදුරජාණන් වහන්සේ කවුදැයි රටවැසියාට හඳුනා ගැනීමට හේතු භූත විය.

2.ප්‍රශ්නය
අවමංගල උත්සව අවස්ථාවල පුජනීය භික්ෂූන් වහන්සේ දීර්ඝව දේශනා පවත්වමින් කාල කළමනාකරණය ගැන නොසිතා කටයුතු කිරීම දක්නට ලැබෙන ලක්ෂණයකි. මේ නිසා විටෙක ගිහි නියෝජිතයනට ශෝක ප්‍රකාශ කථාවක් කිරීමට ලැබෙන අවස්ථාව අහිමි වෙයි. ගිහි ඇත්තන්ටද අවස්ථාවක් ලබා දෙන පරිදි භික්ෂූන් වහන්සේ කටයුතු කරන්නේ නම් මැනවැයි මට සිතේ. මේ ගැන ධර්මානුකූල අදහසක් දක්වන්නේ නම් මැනව.

පිළිතුර
බෞද්ධයෙකු අභාවයට පත් වූ විට දේහය නිවසින් සුසාන භූමියට ගෙන යෑමට පෙර පවත්වන ආගමික වතාවත් හා වෙනත් ශෝක ප්‍රකාශ කිරීම් අවමංගල්‍යය උත්සව ලෙස වර්තමානයේ සැලකේ.

මේ අවස්ථාවට සහභාගි වන පිරිස් අතර ආරාධිතව සහභාගි වන්නේ භික්ෂුන් වහන්සේලා පමණි. කෙනෙක් සමීපයෙකු අභාවයට පත් වුවද භික්ෂුව මතක වස්ත්‍ර පූජාවට සහභාගි වන්නේ ආරාධිතයෙකු ලෙසිනි. දෙවෙනි කරුණ එම අවස්ථාව වෙන් කර ඇත්තේ ආගමික වතාවත් වලටයි. එබැවින් ආරාධිත භික්ෂුවට ආරාධිතව කරුණු ලබන සම්ප්‍රදායික ආගමික වතාවත් හා දේශනා පාලනය කළ නොහැකිය. අදාළ දේශකයන් වහන්සේලා කාල කළමනාකරණයෙන් යුතුවම එය කළ යුතුමය. එමෙන්ම අනිත්‍යානුපස්සනාවට යෝග්‍ය ලෙස දෙසුම් ද පැවැත්විය යුතුයි. ඉන් අදහස් කරනුයේ ගුණයක් තිබේ නම් එය නොවදාළ යුතු යැයි නොවේ’. “පින්කරු ගුණ වැනීම් “ දොළොස් පින් අතර එකක් බව කාව්‍යශේඛරයේ ද සඳහන් වෙයි. විශේෂයෙන් ස්වාමින් වහන්සේ ගුණ කථා දේශනා කරන්නේ නම් අභාවයට පත් වූවන් මැනවින් දැන හැඳින එය කළ යුතු වෙයි. ගිහි පින්වතුන් ද එසේ විය යුතුවේ. නොවේ නම් අභාවප්‍රාප්ත පශු වෛද්‍යවරයා තම පවුලේ හා තමාගේ වෛද්‍යවරයා යැයි කියා කියවිය හැකියි.

කාල කළමනාකරණය අත්‍යවශ්‍ය වෙයි. ලද අවස්ථාවෙන් ධර්ම ප්‍රචාරය කිරීමද අත්‍යවශ්‍ය වෙයි. නාගරික ප්‍රදේශවල ගෑස් වලින් දේහය දවන සුසානාගාර පිළිවෙත අනුව නිසි වෙලාවට කටයුතු අත්‍යවශ්‍ය බැවින් අවසන් කටයුතු සංවිධානයේදි කාලය ආරක්ෂා කරගැනීම අත්‍යවශ්‍ය වී ඇත. ඈත දුර ප්‍රදේශවලින් පැමිණෙන ඤාති හිත මිත්‍රාදීන්ට තම නිවෙස් වලට යෑමට අවශ්‍ය මෙන්ම දේහය සමඟ පසු ගමනින් සුසාන භූමියටද යෑමට අවශ්‍යය. මේ නිසා නිසි කාලසටහනකට අනුව මෙම අවස්ථාව සංවිධානය විය යුතුවේ.

ගිහි පින්වතුන් ශෝක ප්‍රකාශ කරනුයේ යම් ආයතනයන්ගේ සංගමයක් වෙනුවෙනි. එබැවින් ඒ පින්වතුන් එවැනි අවස්ථාවල අනිත්‍ය වැනි ගැඹූරු කරුණූ සඳහා දීර්ඝ දේශනයක් නොකිරීමටද වගබලා ගත යුතුවෙයි. පෙර නොඇසූ විරූ අනිත්‍ය දහම් වටහා ගැනීමෙන් කෙනෙකුට ධර්ම චක්ෂුසය පහළ විය හැකි මේ අවස්ථාව ඉතාම කෙටි වදන් පෙළකින් නිමා කිරීමද භික්ෂූන් වහන්සේට උචිත නොවේ.

“ධම්මික මෙහෙයවන ධම්ම සාකච්ඡා” සඳහා පාඨකයන්ගේ දහම් ගැටලුවලට පිළිතුරු සපයන බැවින් අදාළ දහම් ගැටලු කෙටියෙන් ලියා “ධම්ම සාකච්ඡා” බුදුසරණ ලේක්හවුස් කොළඹ ලිපිනයට යොමු කරන්න.

 

    අධි ඇසළ අව අටවක පෝය

අධි ඇසළ අව අටවක පෝය ජූලි 08 වැනිදා බදාදා අපරභාග 02.56 ට ලබයි. 09 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 12.55 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 08 වැනිදා බදාදාය.

මීළඟ පෝය
ජූලි 15 වැනිදා
බදාදා ය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 15

First Quarterපුර අටවක

ජූලි 24

Full Moonපසෙලාස්වක

අගෝස්තු 01

Second Quarterඅව අටවක

අගෝස්තු 07


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]