ඤාණයෙන් හා ගුණයෙන්ද ශිෂ්‍යයා පරිපූර්ණ විය යුතුය
කැලණිය විශ්වවිද්‍යාලයේ
සිංහල අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මල්වානේ චන්දරතන හිමි
ගුත්තිල ජාතකයේ “ගුත්තිල” හා මූසිල කතා ප්‍රවෘත්තිය බෝසත් චරිතය හා
බැඳී පවතී. තමාගේ ශිෂ්‍යයාට ශිල්ප ශාස්ත්‍ර ඤාණය ලබාදී අවසානයේදී
ශිෂ්‍යයා පරාජයට පත්කිරීම ගුරුවරයෙකු සතුව තිබිය යුතු යහපත් ලක්ෂණයක්
ද? විශේෂයෙන්ම බෝසත් චරිතයකට එය කෙතෙක් දුරට ගැළපෙනවා ද? යන්න ඇතැම්
විචාරකයන් තුළ එවැනි මතයක් ගුත්තිල කාව්‍ය පිළිබඳව ගොඩනැඟී තිබිණි.
වෑත්තෑවේ හාමුදුරුවන් ගුත්තිල කාව්‍ය රචනා කිරීමට යෙදුනේ කෝට්ටේ
යුගයේදීය. එම කතා පුවතට පසුබිම සකස් වූයේ ගුරු ගෝල සබඳතාවයයි. මූසිල,
ගුත්තිල පඬිවරයා සමීපයට පැමිණ වීණා වාදනය පිළිබඳව ශිල්ප හදාරයි. ඒ වන
විටත් මූසිලයන්ට වීණා වාදනය පිළිබඳව ප්‍රමාණවත් දැනුමක් ලබා නොතිබිණි.
උදේනි පුරයෙහිදි විණා වාදනය කිරීම තුළින් මූසිලයන්ට එම දැනුම නොතිබුණ
බව මනාව පැහැදිලිවේ. එම අවස්ථාව තුළ වෙළෙඳුන් වීණා වාදනය අසා සිටියත්
එය සතුටක් ලබමින් රසවත් ලෙසට රසවින්දනය කරන බවක් මූසිලයන්ටනොපෙනෙයි.
මූසිලයන් එම වෙළෙඳුන්ගෙන් විමසනු ලබනුයේ “ඔබ සතුටට පත්නොවන්නේ කුමන
කාරණාවක් නිසාද? යන්න.
ඇදුරු තුටු නොවෙතියි
නොසිතප සිප් නොදනිතියි
උනුමු වෙණ සදතියි
නොදත්තමු ගායනා කරතීයි
තමා දන්නා සියලුම ශිල්ප ශාස්ත්‍ර ඤාණය උපරිම ආකාරයෙන් උපයෝගි කරගෙන
මූසිලයන් වීණා වාදනය කරනු ලැබුවත්, වෙළෙඳුන් ප්‍රකාශ කරනු ලැබුවේ “ඔබ
තවමත් වීණාව හදමින් ඒ සඳහා සූදානම් වන බවටයි. අප සිතාගෙන සිටියේ ඔබ
වීණා වාදනය කළ බවක් අපට දැනුනේ නැති බවයි” .මූසිල තුළ වීණා වාදනය
පිළිබඳව පරිණත දැනුමක් නොතිබුණ බව ඉන් පැහැදිලි වේ. මූසිලයන් වීණා
වාදනය ඉගෙන ගැනීම සඳහා ගුත්තිල පඬිවරයාගේ නිවසට ගිය අවස්ථාවේදී ගුත්තිල
ඇදුරිඳුගේ අන්ධ දෙමාපියන් එහි සිටියි. එම අවස්ථාවේදී ගුත්තිලයන් වෙනත්
කාර්යයක් සඳහා බැහැරට ගොස් ඇත. ගුත්තිලගේ වීණාව දක්නට ලැබෙන මූසිලයන්
ගුරුතුමා එන තුරු ගුත්තිල පඬිවරයාගේ වීණාව රැගෙන වීණා වාදනයක යෙදුණි.
ගුත්තිල පඬිවරයාගේ වීණා වාදනය පිළිබඳව අසා නොදුටු හුරු පුරුදු බවක් ඇති
ගුත්තිල ඇදුරිඳුගේ අන්ධ දෙමාපියන්ට මෙම වීණා වාදනයේ වෙනසක් දැනුනි.
අඳ මව්පිය දෙදෙන
ඔහු වයන බව නොමැදැන
කතී වෙණ මීයන
සූ සූ යැයි අත ගැසූ සැකයෙන
මූසිලයන්ගේ වීණා වාදනය අන්ධ මව්පියන්ට දැනුනේ මීයන් පැමිණ වීණාවේ තත්
කා දමන බවයි. මූසිල වීණා වාදනය කරන බවක් දෑස් අඳ දෙමාපියන් දැන සිටියේ
නැත. මූසිල තුළ වීණා වාදනයේ පරිණත බවක් නොතිබුණ බව මෙම අවස්ථාවෙනුත්
පැහැදිලි වේ.
මේ ආකාරයෙන් වීණා වාදනය පිළිබඳව දැනුමක් ලබා නොතිබුණු මුසිලයන්ට
ගුත්තිල ඇදුරුතුමා වීණා වාදනය පිළිබඳව ශිල්ප ඤාණය ලබාදෙයි. ශිල්ප ඤාණය
ලබාදීමෙන් පසුව ගුත්තිල පඬිවරයා තුළත්, මූසිලයන් තුළත් ශිල්ප ඤාණය
පිළිබඳව සමාන දැනුමක් තිබෙන බවක් මූසිලට හැඟී යයි. එම කාරණාව හේතුකොට
ගෙන මූසිල රජතුමාගෙන් සමාන වේතනයක් ලබාදෙන ලෙසට ඉල්ලීමක් කරනු ලබයි.
හිමි ඔබ ඉදිරියේ
වැයුවත් වෙණ ඉදිරියේ
ශිල්ප එක සරියේ
එයින් දුන මැනවි පඩි සරියේ
අප දෙදෙනාගේ ඤාණය එක හා සමාන බැවින් ඒ සඳහා ලබාදෙන වේතනය එක සමානව
ලබාදෙන ලෙස ඉල්ලීමක් කරනු ලබයි. මේ වන විට ගුත්තිල පඬිතුමා වයස්ගතව
සිටී. අවසානයේ කලකිරීමට පත්වූ ගුත්තිල පඬිවරයා වනගත වීම හේතුකොට ගෙන
ශක්‍ර දෙවියන්ගේ පාණ්ඩුකම්භල ශෛලාසනය උණුවේ. ගුත්තිල පඬිවරයා හමුවීමට
පැමිණෙන ශක්‍රදෙවියන් ගුත්තිලයන්ගේ කලකිරීමට හේතුකාරණා පිළිබඳව විමසනු
ලබයි. තව දින හතකින් වීණා වාදනය පිළිබඳව තරගයක් පැවැත්වෙන බව ගුත්තිල
පඬිවරයා ප්‍රකාශ කරයි. වීණා වාදනය කරන අතර තුර මම ඔබට ලබාදෙන මෙම ගුලි
තුනම උඩට වීසි කරන්න. විසි කළාට පසුව එක ගුලියකට දිව්‍යාංගනාවන්
තුන්සියය බැගින් දිව්‍යාංගනාවන් නව සියයක් බිමට බහිනු ලබන බව ශක්‍ර
ද්වේන්ද්‍රයන් ප්‍රකාශ කරනු ලබයි.
ගුත්තිල ඇඳුරු සඳ
ඔහු වාදයට වන් සඳ
වයව තත් සිඳ සිඳ
නැගෙයි නද සිඳි තතින් මන නඳ
වීණා වාදනය කරන අතර තුර මූසිලයන්ට පෙනෙන ආකාරයට ගුත්තිල පඬිවරයාගේ
වීණාවේ තත් එක බැගින් දෙවන තතේ සිට කඩා දමන ලෙස ශක්‍ර දේවේන්ද්‍රයා
උපදෙස් ලබා දුනි.
වීණා වාදන තරගය අතර තුරදී වීණාවේ දෙවන තතේ සිට කඩා දැමීමට ගුත්තිල
පඬිවරයා ක්‍රියා කරනු ලබයි. එය බලාසිටින මූසිලයන් සිතනුයේ මෙම ශිල්ප
ක්‍රමය මට උගන්වා නොමැති ශිල්ප ක්‍රමයක් යැයි සිතමින් ගුත්තිල පඬිවරයා
අනුකරණය කරමින් මූසිලයන්ද වීණාවේ තත් සිඳ දැමීම ආරම්භ කරයි. ගුත්තිල
පඬිවරයා දෙවන තතේ සිට තත් සිඳ දමමින් ඉදිරියට වීණාව වාදනය කරන්න කරන්න
වීණාවේ මිහිරි නාදය තවදුරටත් මධුර මනෝහර ස්වරයෙන් උත්සන්න වන අතර
මූසිලයන් එය අනුගමනය කරනු ලැබුවත් ඔහුගේ විණාවේ මධුර ස්වරය ක්‍රමයෙන්
අඩුවෙමින් වීණාවේ නාදය අඩුවෙමින් මුසිලයෝ පරාජයට පත්වෙනු ඇත.
තමාගේ ගෝලයා පිළිබඳව ගැටලුව ප්‍රශ්නය පැන නඟින්නේ මෙම අවස්ථාව තුළදීය.
එහිදී ගුත්තිල ඇදුරිඳු තම ශිෂ්‍යයාට වැරැදි ශිල්පයක් උගන්වා නොතිබිණි.
මෙම අවස්ථාව තුළ සිදු වූයේ ලෝකය තුළ ශිල්ප ඤාණය උරාගනු ලබන ක්‍රම හතරක්
පවතින බව අවබෝධ කරගත යුතු බවයි.
අප ගුරුවරයා තුළින් ශිල්ප ඤාණය උරාගනු ලබන්නේ හතරෙන් එක පංගුවකි. අනෙක්
හතෙන් එක් පංගුව තමා සතු ඤාණයෙන් ලබාගත යුතුය. ඉතිරි හතරෙන් එක් පංගුව
තමන් ඇසුරු කරන අවට පරිසරයෙන් ඉගෙන ගත යුතුය.
කාලය ගතවීමෙන් අත්දැකීම් බහුල වීමෙන් පරිණත වීමෙන් අනෙක් හතරෙන් එක්
පංගුව ඉගෙන ගත යුතුයි. සම්පූර්ණ ශිල්ප ඤාණය ලැබෙන්නේ එවිටයි. පාදං
කාලනඞ ක්‍රමේනචං” යන ක්‍රමය මූසිලයන්ට කෙසේවත් ලැබෙන්නේ නැත. ඒ සඳහා
ශිල්ප ඤාණය වගේම මානසික ශක්තිය , ඉවසීම, විමසීම සහ සියලු කරුණු කාරණා
මනසෙහි තැන්පත් වීම තුළින් පරිණත බුද්ධිය ලබාගනී.
සියලුම ඤාණයන් ගුරුවරයාගෙන් ලබාගත යුතුව ඇති බවට මූසිලයන් සිතාගෙන
ක්‍රියා කරනු ලැබුවත්, ශිල්ප ඤාණය එසේ ලබාගත නොහැකියි. එය ගුරුවරයාගේ
වරදක් නොවන බව වටහා ගත යුතුයි. එනිසා ගුත්තිල පඬිවරයා ජයග්‍රහණය කරනු
ලබනුයේ කාලයත් ගතවීමත් සමඟ තමා ලබාගත් පරිණත වීම,අත්දැකීම් බහුල වීම
තුළින් ලබාගත් පරිණත ඤාණය ඔහු භාවිත කරයි. එම ඤාණය තත් සිඳීමක් ලෙස
භාවිත කරනු ලැබුවා මිස වෙන ක්‍රමවේදයක් නොතිබුණි.
එම නිසා තත් සිඳදැමීමෙන් පමණක් කළනොහැකි වූවක් බවට මූසිලයන් විසින්
වටහා ගත යුතුවාක් මෙන්ම, එම අවස්ථාවන් කාලයාගේ ඇවෑමෙන් ශිල්පයේ පරිණත
ඤාණය තුළින් ලබාගත යුතු වූවක් බව වටහාගත යුතුය. මෙම අවස්ථාව බෝසත්
චරිතයකට ගැළපෙනවාද? යන්න ඇතැම් විචාරකයන් විමසනු ලබයි. කල්යාමෙන් තමා
තුළින් ලබාගත් පරිණත ඤාණය ඒ අවස්ථාව තුළ උපයෝගී කරගත්තා පමණි.
යක්කඩුවේ නායක හාමුදුරුවන් සොයාගනු ලැබු පුස්කොළ පොත්වල සදහන්ව ඇත්තේ
“යවයි නෙරපූයේ යැයි තම පුරයට” යනුවෙනි. එහිදි මූසිලයන් තමාගේ උදේනි
පුරයට පිටත් කර හරියි.
මෙහිදී වඩාත් සාධාරණය ඉෂ්ඨ වන්නේ ගුත්තිලට නොව මූසිලටයි. මූසිල තුළ
නොතිබුණ ශිල්ප ඤාණය ගුත්තිල පඬිවරයා තුළින් ලබාගත් මූසිල සැබෑවටම
ශිෂ්‍යයකු වශයෙන් ගුරුවරයාට කෙසේ සැලකිය යුතුද ? යන නිවැරැදි ගෝලයකු
තුළ තිබිය යුතු ලක්ෂණ තැන්පත් කරගෙන පරිපූර්ණ වූ ශිෂ්‍යයකු ලෙස
මූසිලයන් එතැනින් පිටමං වනු ඇත.
ගුත්තිල පඩිවරයා සහ මූසිල අතර පැවතුන වීණා වාදන තරගය නැරඹීමට ශ්‍රවණය
කිරීමට එහි ආස්වාදය ලැබීමට සත්ත්ව ලෝකයත් මුළු මහත් පරිසරයත් සැදී
පැහැදී සිටි බව කවියා සඳහන් කරයි.
“නොදනිත් දරුවන් ඇකයෙන්. වැටුණා”
මින්රල විත් රැස් ගංවෙරළට රැස්වූ
මෙම වීණාවාදනය අසාගෙන සිටින අම්මලාගේ ඇකයේ සිටින දරුවන් මවට නොදැනීම
ඇකයෙන් බිමට වැටේ.
මාළු රංචුව ගංවෙරළට ගසා ගෙනවිත් වීණා වාදනය අසයි. කුරුල්ලන් පියාඹන්නේ
නැතිව එකම තැනක සිටිමින් මේ මිහිරි නාදය ශ්‍රවණය කරන විට අලි ඇත්තු කන්
නොසොල්වමින් මේ වීණා වාදනය අසාගෙන සිටියි. සත්‍ය වශයෙන්ම ඔවුන් වීණා
වාදනය ඇසීමට පැමිණි පිරිසක් නොවේ.
අම්මා කෙනෙකුගේ ඇකයෙන් දරුවකු බිමට නොවැටේ. කුමක් දේ සිදු වුවද සැබෑම
අම්මා කෙනෙකුගෙන් තම දරුවා බිමට නොවැටෙයි. මේ සියලු දෙයටම වඩා දාරක
ස්නේහය ප්‍රබල වේ. මේ පිරිස සිටින්නේ වීණා වාදනය ඇසීමට නොවෙයි. මේ
පිරිස අද රැස්ව සිටින්නේ මේ වේදිකාව මත සිදුවන ගුරුගෝල සබඳතාවයට කුමක්
වන්නේද? මෙතනදී කුමන හේතුවකින් හෝ ගුත්තිල පරාජයට පත්වුවහොත්, මේ සමාජය
ඉදිරියට ගලාගෙන යාමේ හැකියාවක් නැහැ. බුදුපියාණන් වහන්සේ සිඟාලෝවාද
සූත්‍රයෙහි දේශනා කළ පරිදි මේ ලෝකය තුළ පවතින සමස්ත සංයුතිය වන දෙමාපිය
– දූ දරු සබඳතා ව, ගුරුගෝල සබඳතාව පාලක පාලිත සබඳතා ව වැනි මෙවැනි
සම්බන්ධතා තුළින් ලෝකයේ පැවැත්ම රඳා පවතී.
මේ ලෝකය තුළ කිසියම් ස්ථානයක මෙම සබඳතාවයන් බිඳ වැටුණ හොත් එම සමාජයට
ඉදිරියට ගමන් කළ නොහැකියි. ඒ නිසා මේ පිරිස දෙනෙත් අයා බලා සිටින්නේ
මෙම තරගය තුළදී ගුරු ගෝල සබඳතාවට සිදුවන්නා වූ වෙනසයි. කුමන හේතුවකින්
හෝ ගුරුවරයා පරාජයට පත්වී ගෝලයා ජයග්‍රහණය කළ හොත් ශිෂ්‍යයන් ගුරුවරුන්
නොතකා හරිනු ලැබේ’.
මේ සබඳතාව බිඳ වැටීම සමාජයීය වශයෙන් හානි කරවෙයි. වීණා වාදනය ශ්‍රවණය
කරනවාට වඩා සමාජයීය වශයෙන් දැවැන්ත ප්‍රශ්නයක් මතුවේ.
මිනිසුන් අතර පවතින අන්තර් සබඳතා බිඳ වැටේ. මීට පෙර මෙම සියලුම දෙනා
ගුත්තිලගේ වීණා වාදනය අසා තිබුණත් මෙම අවස්ථාව නැරඹීම සඳහා එම පිරිස
රැස්ව සිටියි. ගුත්තිල පඬිවරයා මූසිල පරජය කළ බවට බොහෝ දෙනා චෝදනා කරනු
ලැබුවද , ගුත්තිල කාව්‍යයේ සාධාරණය මැනවින් ඉෂ්ට වූයේ මූසිලයන්ටයි.
ශිල්ප ඥානය පිලිබඳව ළාබාල ළාමක ස්වභාවයකින් පැමිණි මූසිල පරිණත වූ
ශිල්ප ඥානය ලබාගෙන ගුරුවරයා මැනවින් හඳුනාගත් ගුරුවරයාට සැලකිය යුත්තේ
කෙසේද ? යන්න වටහාගත් යහපත් ශිෂ්‍යයකු පිටවී යාම තුළින් සාධාරණය
ඉටුවන්නේ මූසිලයන්ටයි.
‘ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු” මුළු ලෝකයේම අධ්‍යාපනය පිළිබඳව
අර්ථකථනයක් දෙනවා නම් උදාහරණයට ගත යුත්තේ මේ සිංහල කවියයි. ගුණයත්,
ඥානයත් දෙකම පිහිටා තිබිය යුතුය. එදා ගුත්තිල පඬිවරයා මූසිලයන්ට
ගුණයත්, ඥානයත් ලබාදී පරිපූර්ණ ශිෂ්‍යයකු බවට පත්කරමින් උදේනි පුරයට
පිටත් කර හැරීය. සිදත් සඟරාවෙහි සඳහන් වන
“ගතු ගතු ද දුදණෝ
යහ කට මැන සපුන්වෙත්”
හිමාලයේ ජීවත්වන සර්ප කොට්ඨායකගේ බෙල්ලෙහි ඉතාමත් වටිනා මැණිකක් ඇත. එම
සර්පයන් මැණික ආරක්ෂා කරනු ලබන්නේ තම පණමෙනි. එම මැණික ලෝකයක
වටිනාකමකින් යුක්තය. ලෝකයක් වටිනා මාණික්‍යයක් වුවද, එය සර්පයකු තුළ
තිබීම නිසාම එයින් ප්‍රයෝජනයක් නැත.
සර්පයාගේ කට තුළට අත දමා එය ගත නොහැකියි. ගුණධර්මවලින් තොරව ශිල්ප
ශාස්ත්‍ර හැදැරුවද ඔවුන් කණ්ඨ මාණික්‍යය සහිත සර්පයන් මෙනි. එම ශිල්ප
ඥානයෙන් ඵලක් නැත. වර්තමාන ලෝකය තුළ ශිල්ප ඥානය පමණක් ලබාදීම ගුණධර්ම
නැති කණ්ඨ මාණික්‍යයේ සැඩ සර්පයන්ගෙන් පිරී තිබේ. ඒ නිසයි මේ ලෝකය මේ
තරම් ගිනිගෙන දැවෙන බිහිසුණු ලෝකයක් වී තිබෙන්නේ.
හේමමාලා රන්දුනු |