UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් දැනුම

 සදහම් දැනුම

ප්‍රශ්නය – ‘මහණෙනි, මනෝ සංචේනාව අවබෝධ කර ගත්තෝ ත්‍රිවිධ තණ්හාව අවබෝධ කර ගත්තෝ වෙති. ත්‍රිවිධ තණ්හාව අවබෝධ කර ගත් පසු තව දුරටත් කළ යුතු කාර්යයක් නැතැයි කියමි.

ත්‍රිවිධ තණ්හාව තේරුම් ගැනීමෙන් විමුක්ති ප්‍රතිලාභය සිදුවේ. එය බෞද්ධ විමුක්ති මාර්ගයෙහි අවසන් අරමුණයි. එනිසා ඉන් එහා කළ යුත්තක් නැත.

මෙම දේශනා පාඨද උපයෝගී කර ගනිමින් දුක්ඛ සමුදය සත්‍යය විස්තර කරන්න.

පිළිතුර – බුදුරජාණන් වහන්සේගේ පළමුවන ධර්ම දේශනයෙහිදී “දුක්ඛ සමුදය සත්‍යය” විස්තර කරමින් ත්‍රිවිධ වූ තෘෂ්ණාව මෙසේ පැහැදිලි කර ඇත.

”යායං තණ්හා පොනොභවිකා නන්දිරාග සහගතා තත්‍ර තත්‍රාහි නන්දිනී, සෙය්‍යථිදං කාම තණ්හා – භව තණ්හා , විභව තණ්හා” පුනර්භවය ඇති කරන නන්දිරාගය සහිත වූ ඒ ඒ තැන ඇලෙන යම් තණ්හාවක් වේද? කාම තණ්හා – භව තණ්හා , විභව තණ්හා නම් වූ දුක්ඛ සමුදයයි.

තණ්හාවෙහි ලක්ෂණ තුනක් ද ප්‍රභේද තුනක් ද දම්සක් සූත්‍ර පාඨයෙහි අවධාරණය වේ. තණ්හාව පුනර්භවය ඇති කරන්නකි. එය නන්දිය හා රාගය සහිතය. “නන්දි” සතුටට පත්වීමයි. රාග නම් ඇල්මයි. ඒ ඒ තැන, එනම් ඒ ඒ භවයන්හි හෝ ඒ ඒ වස්තුන්හි ඇල්ම, “තන්ත්‍ර – තන්ත්‍ර අභිනන්දනී” යන්නෙන් අදහස්වේ. මේ එහි ලක්ෂණත්‍රයයි.

තණ්හාව – කාම භව , විභව යනුවෙන් ප්‍රභේදගත වේ. මෙහි කාම තණ්හා යනු, කාම වස්තූන්ට ඇති තණ්හාවයි. පංචේන්ද්‍රියයන්ට ගෝචර වන අරමුණු පස, කාම වස්තු ලෙස විස්තර කොට තිබේ.

“තණ්හාය ජායතී සොකො
තණ්හාය ජායති භයං
තණ්හාය විප්පමුත්තස්ස
නත්ථි සොකො කුතො භයං”

තණ්හාව නිසා ශෝකය හට ගනී. තෘෂ්ණාව නිසා භය හට ගනී. තෘෂ්ණාවෙන් තොර වූවෙකුට ශෝකයක් හෝ භයක් නොමැත යන “ධම්ම පද” ගාථාවෙන්ද පැහැදිලි වන්නේ, තෘෂ්ණාව සෑම දෙනාගේම සිත් තුළ නිළීනව (සැඟවී ඇති) පවත්නා බලගතු මානසික බලවේගයකි. එය ජීවිතයේ බොහෝ දුක්වලට මූලික හේතුවයි. සියුම් හෝ ගොරෝසු හෝ මෙම තෘෂ්ණාව සසරෙහි නැවත නැවත ඉපදීමට හේතුවෙයි. කාම තෘෂ්ණාවෙහි දළ ස්වරූපයෝ සකෘදාගාමි ඵලය ලබන විට දුර්වල කරනු ලැබ අනාගාමී වන විට මූලෝත්පාඨනය කෙරෙති. රහත් ඵලය ලැබීමත් සමඟම තෘෂ්ණාවෙහි අවසානය (තණ්හක්ඛයො නිරෝධො) යනුවෙන් සිදු වන්නේය.

ප්‍රශ්නය – කැඳ වැළඳීමේ ආනිශංස පහක් පෙළ දහමෙහි සඳහන් වෙයි. ඒමොනවාද?

පිළිතුර
01. කුසගිනි නැතිවීම (බුදං පටිහන්ති)

02. පිපාසය නැතිවීම (පිපාසං පටිවිනෙති)

03. වාත රෝග සමනය (වාතං අනුලොමෙති)

04.අතුනු බහන් පිරිසුදු වීම (වත්ථිං සොධෙති)

05.ආහාර දිරවයි (ආමවාතං පාවෙති)

ප්‍රශ්නය – බුදු දහමට අනුව දානය ප්‍රතිග්‍රාහක (පිළිගැනීමට) සුදුසු තැනැත්තන් ගැන සටහන් නිකායාගත තොරතුරුවලින් පැහැදලි වෙයි. දන්දීම පින්කමක් බවට පත්වන්නට ප්‍රතිග්‍රාහක ලබන්නා වූ පක්ෂයෙහි සුදුසුකම් මෙන්ම වගකීම ද දහමට අනුව පැහැදිලි කරන්න.

පිළිතුර
සත්ත ආහුනෙය්‍ය ට්ඨාවාචී පූජා ලැබිය යුත්තන් කරුණු හතකින් යුක්ත විය යුතුය.

ධර්මය දැනීම අවබෝධය (ධම්මඤ්ඤතා)

අර්ථය දැනීම – (අර්ථඤ්ඤතා) තමන් ගැන දැනීම, (ආත්මාවබෝධය) ප්‍රමාණය දැනීම (අත්තඤ්ඤතා) කාලය දැනීම – මත්තඤ්ඤතා) පිරිස් ගැන දැනීම, (පරිසඤ්ඤතා) පුද්ගලයන් පිළිබඳ අවබෝධය (පුද්ගලපරොපරඤ්ඤතා)

ප්‍රශ්නය – පෙළ දහමෙහි මෙන්ම අටුවා ග්‍රන්ථවල ද මෛත්‍රීය භාවනාවක් වශයෙන් ප්‍රගුණ කිරීමේ ක්‍රම සතක් දක්වා ඇත. මෛත්‍රිය භාවනාවක් වශයෙන් ක්‍රමානුකූලව වැඩීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය. “පාලි නිකායාගත පත පොතෙහි මෙන්ම අටුවා ගත තොරතුරු අනුව “සත්ත ඔසදීසො ඵරණ මෙත්තා චෙතො විමුක්ති” යනුවෙන් මෛත්‍රිය ප්‍රගුණ කරන ක්‍රම හතක් දක්වා ඇත. පැහැදිලි කරන්න.

පිළිතුර
01. සියලු ස්ත්‍රීහු වෛර නැත්තෝ වෙත්වා. (සබ්බේ ඉත්ථියෝ අවෙරා අබිභ්‍යාපාපජ්ජා)

ක්‍රෝධ නැත්තෝ වෙත්වා නිරෝගි වෙත්වා , සුවපත් වෙත්වා –(අනීඝා හොන්තු සුකී අත්තානං පරිහරන්තු)

සියලු පිරිමි ( පුරිසා)
සියලු ආර්යයෝ (සබ්බේ) (අරියා)
සියලු අනාර්යයෝ (සබ්බේ) (අනාරියා)
සියලු දෙවියෝ (සබ්බේ) (දෙවා)
සියලු මිනිස්සු (සබ්බේ) (මනුස්ස)
සියලු අපාගත සත්වයෝ (සබ්බේ විනිපාතකා)

ඉහත සඳහන් කරුණු හත යෝගාවචරයෙකු මෛත්‍රී වැඩීම සඳහා යොදා ගත යුතු කරුණු ලෙස දක්වා ඇත.

ප්‍රශ්නය – දි.නි. වාසෙට්ඨ සූත්‍ර දේශනාවෙහිදී බුදුරජාණන් වහන්සේ මිනිස් සමානත්වය විවිධ සාධක මඟින් සනාථ කළහ. විවරණයක් කරන්න.

පිළිතුර – වාසෙට්ඨ සූත්‍ර දේශනාවට අනුව ජිව විද්‍යාත්මක සාධක අනුව “ශාක” ලෝකයෙහි (තිණරුක්ඛෙහි) කුහුඹු,කෘමීන්, සිව්පා සතුන්, උරගයින්, මසුන් මෙන්ම පක්ෂීන් සහ තිරිසන් සතුන් අතර ද ඔවුන් වෙන් වෙන් කොට දක්වන හඳුනාගත හැකි ලක්ෂණ දක්නට ලැබෙයි. එහෙත් මිනිසුන් අතර එසේ නොවේ. හිස, කන. ඇස්, මුඛය, නාසය, තොල, බැම, ගෙල ,උදරය , පිට ආදි ශාරිරික අවයයන්ගෙන් හෝ පැහැය, මෛථූනය යන ක්‍රියාදාම යන්ගෙන් හෝ මිනිසා වෙන් කොට හඳුනාගත නොහැකිය. මිනිසුන් කෙරෙහි පවත්නා වෙනස හුදෙක් ව්‍යවහාර මාත්‍රයක් පමණි. (පච්චත්තංච සරිරෙසු – මනුසසේ සෙ – වතං න විජ්ජති – වොහරඤ්ච මනුස්සෙසු සමඤ්ඤය පවුච්චති)

ගව පාලනය ගොවිතැනින් දිවි ගෙවන්නා, ගොවියෙකු ලෙසද. උගත් සිල්පයකින් දිවි රැක ගන්නා ශිල්පියෙකු ලෙසද වෘත්තිය අනුව ව්‍යවහාරයට යයි. කුල ගෝත්‍ර ආදි විකපල්ප දෘෂ්ටි මතවාදයක් පමණි. මිනිස් සංහතිය ඒකාකාර වූවක්මය යන අදහස පෙරදැරිකොට ගෙන ප්‍රකාශ කරන ලද ජීව විද්‍යාඥ නිගමනයන් හා බුදු සමය සැසඳෙන බවයි. මෙසේ හෙයින් ජාති හෝ කුලභේද නොතකා සියලුම මනුෂ්‍යයන් අපගේ දෙමව්පියන් හා සොහොයුරු සොහොයුරියන් වශයෙන් සැලකිය යුතු යැයි බුදුසමය පෙන්වා දෙයි. වාසෙට්ඨ සූත්‍ර දේශනාවට අනුව තවදුරටත් බුදුරජාණන් වහන්සේ කරුණු පැහැදිලි කරයි.ආචාර විද්‍යාත්මක සාධක අනුව බලන විට කවර කුලයකට අයත් වූවෙක් වුවද පහත් වැඩ කිරීමෙන් මෙලොව දීම ඊට නිසි දඬුවමකට භාජන විය හැකි බවත්, පරලොව දුගතිගාමී වන බවත් යහපත් වැඩ කිරීමෙන් ඉහාත්මයෙහි ප්‍රශංසාවට මෙන්ම පරලොව සුගතිගාමි වීමටද ඉඩ ලැබෙන බවත් කියැවෙයි. එමෙන්ම කෙලෙසුන් නසා රහත් වීමට හා විමුක්තිය ලැබීමටද උපත බාධාවක් නොවන බව බුදුසමය අවධාරණය කරයි.

පසේනදී කොසොල් රජුගේ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ කරදර විශේෂයෙකින් දැල්වුවද ගින්නෙහි විශේෂයක් නොදැක්වෙන බව සදහන් කරමින්, මහරජ, ව්‍යායාමයෙන් හා පධන් වීර්යයෙන් දල්වන ලද ආලෝක යද එසේම යයි වදාළහ.

ආදී බෞද්ධ ග්‍රන්ථයෙහි එන සමාජ සමානාත්මතාව පිළිබඳ තර්කානුකූල හා විද්‍යානුකූල මතය පිළිබඳව අදහස් දක්වන උගත් මිනිසා කර්මය තමා අයත් කොට ඇතැයි බුදුරජාණන් වහන්සේගේ පැහැදිලි ප්‍රකාශයෙන් අදහස් වන්නේ පුද්ගලයා තම ක්‍රියාවන්ගේ ප්‍රතිඵලයක් බවත් එනිසා පවත්නා දුක්ඛදායක තත්ත්වය එලෙසම පවත්වා ගැනීම හෝ එය නැවැත්වීම ඔහු අතම රඳා පවතින බවය.

කවර සමාජ සංස්ථාවක් වුවද ප්‍රභවය ලැබුවේ සමාන වු මිනිසුන් අතරය. එම මිනිසුන් නිසාමය.

 

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය පෙබරවාරි මස 18 වැනි දා බදාදා පූර්වභාග 09.03 ට ලබයි. 19 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 05.17 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම  පෙබරවාරි මස 18 වැනි දා බදාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 28 වැනිදා සෙනසුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 18

First Quarterපුර අටවක

පෙබරවාරි 28

Full Moonපසෙලාස්වක

මාර්තු 05

Second Quarterඅව අටවක

මාර්තු 13


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]