නවම් අමාවක 2015.02.18
ජීවිතයයි
ගුණදහමයි
මනුෂ්‍ය ලෝකය තුළ උපත ලබන මනුෂ්‍යයා සැබැවින්ම මහත්
වාසනාවන්තය. එනම් මිනිස් භවයක් ලැබීම පවා දුර්ලභ වන හෙයිනි.
මෙසේ මනුෂ්‍ය ලෝකය තුළ උපත ලබන මනුෂ්‍යයා මනුෂ්‍යයකු ලෙස
ජීවත්වීම වැදගත් කාර්යයකි. මනුෂ්‍යයකු ලෙස උපත ලද පමණින්
මිනිසාට සැනසීම ලද නොහැකිය. එසේ සැනසීමට නම් යහගුණ අනුගමනය කරන
සද්පුරුෂයෙකු ලෙස ජීවත්වීමද අත්‍යාවශ්‍යය.
කර්මානුරූපව සසර ඇවිදින සත්වයා වාසනාවකට මෙන් මිනිස් ලොව
පහළවීම නිසා අනෙකුත් සත්ත්වයාට අහිමි වාසනාවක් මනුෂ්‍යයාට හිමි
වෙයි. “සසර” නම් පරතෙරක්, ඉමක්, කොනක් සෙවිය නොහැකි දිගු
ගමනකි. ඒ දිගු ගමනේ එහෙ, මෙහෙ ඇවිදින මනුෂ්‍යයා මිනිස් ලොව පහළ
වීමෙන් පසු දිවිමග සරු කර ගැනීමේ මඟ අනුගමනය කිරීමේ වගකීම
පවතිනුයේ එම මනුෂ්‍යයාටය.
ඊට අන් කෙනෙකුට කළ හැකි උදව් නොමැත. ජීවිතය සදාකාලික නොවන්නක්
බව පිළිබඳ ඉතා සුළු දැනුමක් ,අවබෝධයක්, විශ්වාසයක් පවතින
මනුෂ්‍යයා සසර ගැන පවතින යම් සුළු දැනුමක් හෝ නිසා යුතුකම්
මෙන්ම වගකීම්ද ඉටු කරමින් ජීවිතය සාර්ථක කර ගැනීමට උනන්දු වේ.
මිනිස් ලෝකය යනු තාවකාලික නේවාසික පහසුකම් ඇති ගිමන්හලක් බඳුය.
එබඳු ගිමන්හලක ගිමන් හරින තැනැත්තකු වැනි මනුෂ්‍යයා සසර ගමනේදී
ලද මිනිසත් භවය කෙතරම් අගනේද? ඇතැම් විට අවාසනාවකට හෝ තිරිසන්,
පේ‍්‍රත ආදී දුගතියක උපත ලද හොත් එබඳු සත්වයෙකුට කාගේ නම්
පිහිටක්ද? ඒ දුගති භාවයෙන් අතමිදෙනතුරා දුක් විඳින්නට සිදුවීම
අවාසනාවක් නොවන්නේද? ජීවිතය කෙතරම් අගනා, වටිනා දෙයක් වුවද එය
නොවටිනා තත්ත්වයට පත් කර ගන්නේද මනුෂ්‍යයන් විසින්මය.
දස මසක් මව්කුස ගෙවා මෙලොවට බිහිවීමෙන් පසු මනුෂ්‍යයා සුන්දර
ළමාවියට පත්වෙයි. ඒ ළමා විය සොඳුරු ජීවිතයක් ලෙස ගෙවී යද්දී
තමා කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් සුන්දර වූ තුරුණු වියට පත්වෙයි.
ඒ අයුරින් ළමා, තරුණ, මහලු කල මෙසේ ගෙවීයාම ජීවිතයක ස්වභාවය
වේ. කැමැති වුවද, අකැමැති වුවද ජීවිතයේ යථාර්ථය එයම වේ. ඒ
යථාර්ථය වෙනස්කළ හැක්කේ ජීවිතය පිළිබද නිසි අවබෝධයක් ලදහොත්
පමණි. මනුෂ්‍යාත්මභාවයක් ලද පමණින්ම සතුටුවිය හැකිද? අංග
සම්පූර්ණ මනුෂ්‍ය ජීවිතයක් ලැබීමත් ඒ අනුවද තම තමන්ට සතුටු විය
හැකි, සතුටු විය යුතු කරුණකි.
මනුෂ්‍ය ජීවිතයේ අරුත යථාර්ථය පිළිබඳ සුළු හෝ අවබෝධයක් ලද
මනුෂ්‍යයා එය සාමාන්‍ය අයුරින් ගෙවෙන්නට ඉඩ හැර බලා නොසිටියි.
ලද මිනිස් දිවියෙන් අර්ථවත් මෙහෙවරක් සලසා ගැනීමට පසුබට නොවේ.
මිනිස් ලොව තාවකාලික නම් ඒ තාවකාලික ලොව තුළ සසර ගමනේ ඉතා
කෙටිකලකට මිනිස් ලොවට පැමිණ සසර ගමන, පැවැත්ම තව තවත් වර්ධනය
කර ගත යුතුද ? නැතහොත් සසර දුක් අවසන් කිරීමට උත්සාහ කළ යුතුද?
යන්න බුද්ධිමත් මනුෂ්‍යයාම පමණක් කල්පනා කරන්නකි.
භව ගමන පුරා ඇවිදයාම සත්ත්වයාට නිරන්තරයෙන් හිමි වූවකි. ඒ නිසා
ම බුද්ධිමත් මනුෂ්‍යයා විශේෂයෙන් බෞද්ධයා ඒ පිළිබඳ ඉඩ ලද හැම
විට සිය අවධානය යොමු කිරීම නිසා නිති පන්සිල් හෝ අවම වශයෙන්
ආරක්ෂා කිරීමට පෙළඹෙයි.
සමාජයේ යහපැවැත්මට හේතුවන මූලික අඩිතාලම නම් පංචශීල
ප්‍රතිපදාවයි. මිනිසා සීලයෙන් සංවර වන විට පවට බිය වෙයි. පවට
ලජ්ජා වෙයි. පවෙන් ඈත්වීම, වැළකීම සමාජයේ සුවදායක පැවැත්මට
මූලිකවම හේතුවන්නකි. සීලය නොමැති විට සංවරය, සංයමය ගිලිහී යයි.
එබැවින් යහගුණ අගයන මිනිස් සමාජයක් නිර්මාණය කිරීමට කැපවීම
වෙනුවෙන් තම තමන්ට කළහැකි සුළු මෙහෙයක් හෝ ඉටු කිරීම තමන්ට
සැනසීමට හේතු වනවා මෙන්ම සමාජ සුබ සාධනයට ද එය මහත් පිටිවහලක්
වන බව වටහා ගත යුතුය. උපන් හෙයින් මෙලොව ජීවත්වීමට වඩා ජීවිතයේ
වටිනාකම, දුර්ලභ බව තේරුම් ගෙන කලාතුරකින් වාසනාවට ලබා ගත්
වටිනා මිනිස් ජීවිතය ගුණ දහමෙන් පෝෂණය කර ගැනීමට උනන්දුවිය
යුතුවේ. |