දෙවියන්ට වදාළ
සම්බුදු බණ
05
මහපොළවට දැනුන සම්බුදු ගුණ
පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පහළවීම යනු
තුන් ලෝකයම එළිය කරන විශාල ආලෝකයක පහළ වීමයි. තුන් ලෝකයේම පැතිර යන
විශාල ප්‍රභාෂ්වර භාවයක පහළවීම යි. තුන් ලොවම දකිනා මහත් වූ ප්‍රඥා ඇසක
පහළ වීමයි.දවසක් අපගේ සම්බුදුරජාණන් වහන්සේගෙන් එක්තරා දෙවියෙක් මෙහෙම
විමසුවා.
මේ ලෝකයේ යමකින් එළිය විහිදෙනවා නම් එතැන එළිය විහිදෙන ආලෝක කීයක්
තිබෙනවා ද? භාග්‍යවතුන් වහන්සේ ළඟට අප ආවේ මේකටයි. ඉතින් අප කොහොමද ඒක
දැන ගන්නේ?
සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අපගේ බුදුරජාණන් වහන්සේ ඒ දෙවියාට
මෙසේ පිළිතුරු දුන්නා.
චත්තාරෝ ලෝකේ පජ්ජෝතා - පඤ්චමෙත්ථ න විජ්ජති
දිවා තපති ආදිච්චෝ - රත්තිං ආභාති චන්දිමා
අථ අන්නි දිවා රත්තිං - තත්ථ තත්ථ පකාසති
සම්බුද්ධෝ තපතං සෙට්ඨෝ - ඒසා ආභා අනුත්තරා
ආලෝක හතරක් තිබෙනවා. හැබැයි පහක් නැහැ. දවල්ට සූර්යයා බබළනවා.
රාත්‍රියට සඳ බබළනවා. දිවා රාත්‍රී දෙකේම ඒ තැන ගින්න බබළනවා. මේ බබළන
හැම දේකටම වඩා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ යි. ඒ ආලෝකය අනුත්තර යි.
ඉතින් ඒ අනුත්තර වූ බුදුරජාණන් වහන්සේ බොහෝ දෙවි දේවතාවුන් ආදරයෙන් සරණ
ගියා. තමන්ගේ ශාස්තෘන් වහන්සේ කර ගත්තා. ඒ දෙවිවරු නිතර නිතර ඒ
සම්බුදුරජාණන් වහන්සේ අසමසම සම්බුදු ගුණ සිහි කරමින් තමා හිටියේ.
දෙවියන් බඹුන් පවා සාධුකාර දෙමින් සිහිකළ මේ හිත්පිත් නැති සොබාදහමට
පවා වැටහුණු ඒ සම්බුදු ගුණ මහිමය නො වැටහුණු අවාසනාවන්ත පිරිසක් ඒ
කාලෙත් හිටියා.
ඔබ දන්නවා අපගේ ශාස්තෘන් වහන්සේට නොයෙක් අවස්ථාවල කෙනෙහෙළිකම් කිරීමට
උත්සාහ කළ දේවදත්ත ගැන. දේවදත්ත මුලින්ම දුණුවායන් ලවා බුදුරජාණන්
වහන්සේ විනාශ කරන්නට උත්සාහ කළා. ඒක අසාර්ථක වූවා. ඊළඟට නාලාගිරි
හස්තියා රා පොවා පෙරමඟට එව්වා. මහාවීර සම්බුදුරජාණන් වහන්සේගේ ආනුභාවය
අභියස එයත් අසාර්ථක වූ නිසා ඔහුම ඒ වැඩේ කරන්නට හිතුවා.
ගිජුකුළු පර්වතය පාමුල සක්මන් කරමින් වැඩසිටි සම්බුදුරජාණන් වහන්සේගේ
දෙසට විශාල කළු ගලක් පෙරලුවේ දේවදත්ත විසින්ම යි. දේවදත්තට නො තේරුණු
සම්බුදු ගුණය මහපොළාවට තේරුණා. විශාල ගල් කුළු දෙකක් පොළොවෙන් මතුවෙලා
අර ගල නතර වුණා. නමුත් ඒ වේගයත් ගැටීමේදී ගැලවී ගිය ගල් පතුරක් සම්බුදු
සිරිපතුලේ වැදුණා. ඒ හේතුවෙන් තරමක් විශාල තුවාලයක් සිදුවුණා.
ඉතින් ස්වාමින් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ යහනක තබාගෙන මද්දකුච්ඡි
කියන විවේකී මිගදාය වෙත කැඳවාගෙන ගියා. ඒ හට ගත් තුවාලය නිසා
භාග්‍යවතුන් වහන්සේට ශාරීරික වේදනා තිබුණා. ඒ වේදනා දුක් සහිතයි.
තියුණුයි. කර්කශ කටුකයි. අමිහිරියි. නමුත් භාග්‍යවතුන් වහන්සේ ඉතා හොඳ
සිහි නුවණින් යුක්තව ඒ පීඩා ඉවසුවා. උන්වහන්සේ 'සඟල සිවුර' හතරට නවලා
ආසනයක් පණවාගෙන දකුණු සිරිපතුලෙන් වම් සිරිපතුල මදක් මෑත්කරලා දකුණු
පසට හැරිලා සිංහ සෙය්්‍යාවෙන් සැතපිලා සිටියා.
අසද්්පුරුෂ දේවදත්ත විසින් සම්බුදුරජාණන් වහන්සේ විනාශ කිරීමට උත්සාහ
කළ බව සම්බුදු ශ්‍රාවක වූ දෙවියන් බඹුන් අතර වේගයෙන් පැතිරී ගියා. මහත්
සංවේගයට පත්වූ දෙවියනුත් ඒ දිනවල නිතර නිතර භාග්‍යවතුන් වහන්සේ බැහැ
දැකීමට පැමිණුනා. සතුල්ල්‍යකායික නම් වූ දෙවිවරු හත්සිය දෙනෙකුටත්
භාග්‍යවතුන් වහන්සේගේ ගිලන් බව ආරංචි වුණා. එවිට ඒ හත්සියයක්
සතුල්ල්‍යකායික දෙවිවරු රැය පහන්වෙන වේලාවේ මුළුමහත් මද්දකුච්ඡි
මිගදායම ඒකාලෝක කරගෙන පැමිණ භාය්‍යවතුන් වහන්සේට වන්දනා කළා. එකත් පසක
හිටගත්තා.
ඒ දෙවිවරුන්ට හරිම පුදුමයි. තියුණු කර්කශ දුක් වේදනා ඉවසමින්
සිහිනුවණින් සිංහසෙය්්‍යාවෙන් සැතැපී සිටින සම්බුදු සමිදාණන් කොයිතරම්
ආධ්‍යාත්මික ශක්තියක් ඇති කෙනෙක් ද? එතකෙට එක් දෙවිකෙනෙක් පී‍්‍රති
වාක්‍යයක් ප්‍රකාශ කළා.
”පින්වත්නි ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඒකාන්තයෙන්ම හස්ති රාජයෙක්. මේ තරම්
දුක් වූ, තියුණු වූ, කර්කශ වූ, අමිහිරි වූ, ශාරීරික වේදනාවන්
දැනෙද්දත්, පීඩාවකට පත්නොවී සිහිනුවණින් ඉවසාගෙන වැඩ ඉන්නේ මහා
හස්තිරාජයෙක් නිසාම යි.
තවත් දෙවියෙකුට සතුටු හිතිලා මෙහෙම කිව්වා.
”පින්වත්නි, ඒකාන්තයෙන්ම ශ්‍රමණ ගෞතමයාණෝ සිංහ රාජයෙක්. මේ තරම් දුක්
වූ, තියුණු වූ, කර්කශ වූ, කටුක වූ, අමිහිරි වූ, ශාරීරික වේදනාවක්
දැනෙද්දීත් පීඩාවකින් තොරව ඉවසාගෙන වැඩ ඉන්නේ සිංහ රාජයෙක් නිසාම යි.
එවිට තව දෙවි කෙනෙකුටත් සම්බුදුරජාණන් වහන්සේ වර්ණනා කරන්නට හිතුණා.
“ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඒකාන්තයෙන් ම පරම ශ්‍රේෂ්ඨ කෙනෙක්. පරම
ශ්‍රේෂ්ඨත්වයට පත් වූ නිසාමයි මේ තරම් දුක් වූ, තියුණු වූ, කර්කශ වූ,
කටුක වූ, අමිහිරි වූ ශාරීරික වේදනා දැනෙද්දීත් සිහිනුවණින් යුතුව
ඉවසාගෙන ඉන්නේ.
තවත් දෙවිකෙනෙක් සියලු දෙනාම සතුටු කරවමින් මෙහෙම ප්‍රකාශ කළා. “ශ්‍රමණ
ගෞතමයන් වහන්සේ නම් ඒකාන්තයෙන්ම පුරුෂෝත්තමයෙක්. මේ තරම් දුක් වූ,
තියුණු වූ, කටුක වූ, කර්කශ වූ, අමිහිරි වූ, ශාරීරික වේදනා දැනෙද්දීත්
සිහිනුවණින් යුතුව ඉවසාගෙන ඉන්නේ පුරුෂෝත්තමයෙක් නිසාම යි.
පී‍්‍රති වාක්‍යයක් තවත් දෙවි කෙනෙක් මෙසේ ප්‍රකාශ කළා.
”පින්වත්නි, ඒකාන්තයෙන්ම ශ්‍රමණ ගෞතමයාණෝ නම් වගකීම් උසුලන්නට දක්ෂ
කෙනෙක්. ඒ වගකීම් ඉසිලීමේ ඇති දක්ෂකම නිසාම මේ තරම් දුක් වූ, තියුණු
වූ, කර්කශ වූ, කටුක වූ, අමිහිරි වූ, අමනාප ශාරීරික වේදනා දැනෙද්දීත්,
සිහිනුවණින් යුතුව ඉවසාගෙන ඉන්නේ.
අපගේ ශාස්තෘන් වහන්සේගේ ඉවසීම ගැන තව දෙවියෙක් මෙසේ කිව්වා “ශ්‍රමණ
ගෞතමයාණන් වහන්සේ නම් ඒකාන්තයෙන් ම දමනය වූ කෙනෙක්ම යි. නිවනට පත් වූ
කෙනෙක් නිසාමයි දුක් වූ, තියුණු වූ, කටුක වූ, කර්කෂ වූ, අමිහිරි වූ,
අමනාප වූ මේ ශාරීරික වේදනා සිහිනුවණින් ඉවසාගෙන ඉන්නේ.
ඉතින් ඒ සතුල්ලපතායික දෙවිවරු ඔය විදිහට තම තමන්ට වැටහුණ විදියට
පී‍්‍රතිවාක්‍ය ප්‍රකාශ කළා. තවත් එක් දෙවි කෙනෙකුට දේවදත්ත කරගත්
විනාශය ගැන සිහිපත් වුණා. දෙවියන්, බඹුන්, මරුන් සහිත ශ්‍රමණ
බ්‍රාහ්මණයන් සහිත මේ දෙවි මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයේ කිසිවෙකුටවත්
ජීවිත හානියක් සිදු කළ නොහැකි වූ තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ
කෙරෙහි දුෂ්ඨ සිතින් ලේ සෙලවූ දේවදත්ත කරගත්තේ ආනන්තරීය පාප කර්මයක්.
මරණින් මතු ඔහු අතරක් නැති නිරයේ උපදින්නේ. කල්පයක් ඒ නිරයේ පැහෙනවා.
ඉතින් මේ කරුණ මුල් කරගෙන ඒ දෙවියා මේ ආකාරයට ප්‍රකාශ කළා.
බලනු මැනවි කොතරම් හොඳට වැඩූ සමාධියක් ද? කොතරම් හොඳින් නිදහස් වූ
සිතක් ද? රාගය පැත්තට හෝ ද්වේෂය පැත්තට නැමිලා නැහැ. උත්සාහයෙන්,
වීර්යයෙන් කෙලෙස් වළක්වාගෙන ඉන්නවාත් නොවෙයි. යම්කිසි කෙනෙක් මෙබඳු
පුරුෂ හස්තියෙකු සමඟ මෙබඳු වූ පුරුෂ සිංහයෙක් සමඟ, මෙබඳු අජානීය
පුරුෂයෙක් සමඟ, මෙබඳු නරෝත්තම පුරුෂයෙක් සමඟ, මෙබඳු වගකීම ඉසිලීමෙහි
දක්ෂ පුරුෂයෙකු සමඟ, මෙබඳු දමනය වූ පුරුෂයෙක් සමඟ, හැපෙන්නට කල්පනා
කරනවානම් ඒක ඔහුගේ අනවබෝධය මිස වෙන මොකක් ද?
වේද පහම ඉගෙනගෙන අවුරුදු සියයක් පුරා බ්‍රාහ්මණයා උතුම් තපසක හැසිරුණත්
ඔවුන්ගේ සිත මැනැවින් දුකින් නිදහස් වීනම් බොළඳ ස්වභාවය ඇති ඔවුන්
සසරින් එතෙර වෙන්නේ නැහැ.
සීල ච්‍රත වලින් බැඳිලා තණ්හාවට පත්වෙලා අවුරුදු සියයක් තිස්සේ ඔවුන්
රූක්ෂ තපස් රැක්කත්, ඔවුන්ගේ සිත මැනැවින් දුකින් නිදහස් වෙන්නේ නැහැ.
බොළඳ ස්වභාවයෙන් යුතු ඔවුන් මේ සසරින් එතෙර වෙන්නේ නැහැ. මාන්නය කැමැති
කෙනාට නම් දමනය වීමක් නැහැ. එකඟ සිත් නැති කෙනාට මුනිවරයෙකුගේ ස්වභාවය
නැහැ. තනියෙන්ම කැලෑවකට වෙලා හිටියත් ඔහු ප්‍රමාදී කෙනෙක් නම් මාරයාගේ
භූමිය වන මේ සසරින් නම් නිදහස් වෙන්නේ නැහැ.ඒ සියලු කෙලෙස් නැසූ
සම්බුදුරජාණෝ මේ සියලු ප්‍රශංසාවත් අසාගෙන හිටියා. සම්බුදු ගුණයට හිත
පහදවාගත් ඒ හත්සියයක් වූ සතුල්ලපනායික දෙවිවරු සියලු දෙනාවම සතුටු
කරවමින් මේ උතුම් අරුත්බර ගාථාව දේශනා කොට වදාළා.
මානං පහාය සුසමාහිතත්තෝ
සුඛේතසෝ සබ්බධි විප්පමුත්තෝ
ඒකෝ අරඤ්ඥේ විහාරං අප්පමත්තෝ
ස මච්චුධ්‍යෙයස්ස තරෙය්‍ය පාරං
මාන්නය දුරු කරලා ඉතා හොඳින් සිත එකඟ කරගෙන සියලු කෙලෙස්වලින් මනාකොට
නිදහස් වූ හුදෙකලාව වනයේ වාසය කරන අප්‍රමාදී කෙනා මේ මාර විජිතය තරණය
කරලා එතෙරටම යනවා.
නයනා නිල්මිණි
දෙවියන්ට වදාළ සම්බුදු බණ 04 සමිද්ධි තෙරුන් නිසා වදාළ දෙසුම |