ලෝකය දකිනුයේ කවරෙක්ද ?
ඉපලෝගම – මච්චාගම
චිත්ත සමාධි යෝගාශ්‍රමයේ
මැල්ලවගෙදර
සමණ ධම්ම හිමි
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
අන්ධභූතෝ අයං ලෝකෝ
තනූකෙත්ථ විපස්සතී,
සකුන්තෝ ජාල මුත්තෝව
අප්පෝ සග්ගාය ගච්චත්ති,
පින්වත්නි,
අදාළ ගාථාව ධම්මපදය බෞද්ධ අත්පොතේ ලෝකවග්ගයට අයත්ය. මෙහි සරල අදහස
වන්නේ පුහුදුන් ලෝවැස්සා නුවණැස නැති නිසා අන්ධය. ටික දෙනෙක් ඇතිතතු
දනිති. දැලෙන් මිදුනු කුරුල්ලාමෙන් ටික දෙනෙක් සුගතියට පැමිණෙති.
යනුයි.
මෙම ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අග්ගාලව ග්‍රාමයේ පේශකාර දුවක්
අරමුණු කරගෙනය. අලව්නුවරට වැඩි බුදුරජාණන් වහන්සේ එනුවර වැසියන්ගේ
ආරාධනය අනුව දන් වළඳා ධර්මදේශනා කළසේක. එම ධර්මදේශනාවට පාදකවූයේ
ජීවිතයේ අනියතබව හා මරණය ඒකාන්තයෙන්ම තමා පසුපස පැමිණෙන බවය. එනිසා මරණ
සතිය වඩන ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. මෙම ධර්මය ශ්‍රවණය
කිරීමට සොළොස්හැවිරිදි පේශකාරී දැරියක් පැමිණ සිටියා ය. ඇය හොඳින් මෙම
ධර්මය අවබෝධකර ගත්තාය. මෙම දැරිය තුන් අවුරුද්දක්ම මෙම මරණසතිය
වැඩුවාය.
එක්දිනක මහාකරුණාසමාපත්තියෙන් අලුයම් වේලෙහි ලොව බලාවදාරණ බුදුරජාණන්
වහන්සේට මෙම දැරිය යොමුවූහ. ඇය ධර්මය අසා සෝවාන් ඵලයට පත්වන බව
බුදුරජාණන් වහන්සේ බුදුනුවණින් දුටුවහ. බුදුරජාණන් වහන්සේ ඇයට අනුකම්පා
පිණිස අග්ගාලව විහාරයට වැඩම කළ සේක. බුදුරජාණන් වහන්සේ වැඩි බව සැල වූ
අලව්නුවර වැසියෝ බුදුපුද සඳහා තෙල්, මල් රැගෙන විහාරයට ගියෝ ය. මෙම
පුවත සැල වූ පේශකාරී දැරියද ඊට තෙවසරකට ඉහත දී දුටු බුදුරජාණන් වහන්සේ
දැකීමට දැඩි කැමැත්තක් ඇතිවූවාය. රන්වන් සිරුරින් යුත් බුදුරජාණන්
වහන්සේ දැකීමටත්, මිහිරි වූ උතුම් දහම් අසන්නටත් ඇයට ආශාවක් ඇති වූවාය.
ඇය බුදුබණ අසන්නට යන්න සූදානම් වූවා ය.
තම පියාද පෙහෙකම්හලට යාමට සූදානම්ව සිටියේ ය. පියා දුව අමතා මෙලෙස
ප්‍රකාශ කළේ ය. “දුව, මම අන්‍ය අයකගේ රෙද්දක් වියන්න ගත්තා. එහි තව
වියතක් පමණ වියන්න තියෙනවා. එම රෙද්ද වියා අවසන්කර අද බාරදෙන්න ඕන. එම
නිසා රෙද්දවියන හරස්දඬුවෙහි නූල් ඔතා ඉක්මනින් පෙහෙකම්හලට රැගෙන එන්න.
යනුවෙන් පවසා පියා පෙහෙකම්හලට ගියේ ය. දැරියට ලොකුම ප්‍රශ්නයකට මුහුණ
දෙන්න වූවාය. “බණ අසන්න යනවාද? නැතිනම් පියාට නූල් ඔතාගෙන යනවාද? මම
පියාට නූල් ටික ඔතාදී බණ අසන්න යනවා ඇය තීරණයකට පැමිණියා ය.
අලව් වැසියෝ බුදුරජාණන් වහන්සේ වළඳවා අවසන්කොට අනුමෙවැනි බණ අසන්නට
සූදානම්ව සිටියා ය. බුදුරජාණන් වහන්සේ තිස්යොදුන් මඟ ගෙවා අලව්නුවරට
වැඩමකළේ පෙහෙකම් දැරියගේ හේතුසම්පත් දුටුව නිසයි. “දැරියගේ ආයුෂ අදින්
අවසානයි. ඒකාන්ත වශයෙන්ම ඇය අද දින මියයනවා. මෙම පේශකාර දැරිය මාවෙත
නොපැමිණියොත් අනියත ගති ඇතිව පුහුදුන්ව කලුරිය කරන්නීය. මාවෙත පැමිණ
මගෙන් බණ අසා ගියොත් සෝවාන්ව නියතගති ඇතිව කලුරියකොට තුසිත දෙව්ලොව
උපදින්නීය. “මෙලෙස සිතූ බුදුරජාණන්වහන්සේ තුස්නිභූතව වැඩ සිටියේ ය.
පේශකාර දැරිය නූල් ඔතා පැසක ලා පියතුමා හමුවනු පිණිස ගියාය. ඇයට යායුතු
වූයේ බුදුරජාණන් වහන්සේ වැඩසිටි ස්ථානය පසුකරගෙනය. ඇය බුදුපියාණන්
වහන්සේ දුටුවා ය. බුදුරජාණන් වහන්සේත් ඇය දුටු සේක. බුදුරජාණන් වහන්සේ
තමනෙත් ඇයවෙත යොමු කළ සේක. මෙතෙක් පිරිසක් මැද තමා වෙතම නෙත් යොමු
කිරීම ගැන ඇය පුදුම වූවාය. ඇයට ලොකු සතුටක් ඇතිවුවා ය. නූල් පැස පසෙක
තබා ඇය බුදුරජාණන් වහන්සේ වෙත ගියාය. පෙහෙකාර දැරිය බුදුරජාණන් වහන්සේ
බැලූ බැල්මෙන්ම බුදුරදුන් වෙත ඇදී ගියා. සවනක් රැස් දහරින් නැහැවුණ
දැරිය බුදුරජාණන් වහන්සේට දෑත් දොහොත් මුදුනේ තබා වැඳ පසෙකට වී
වාඩිවූවා ය. බුදුරජාණන් වහන්සේ පේශකාර දැරියගෙන් මෙසේ අසා වදාළහ.
බුදුරජාණන් වහන්සේ, ළමයා කොහිසිට ආයේද?
දැරිය - ස්වාමීනී, මා කොහිසිට ආයේදැයි නොදනිමි.
බුදුරජාණන් වහන්සේ - දැන් ඔබ කොතනට යන්නේද?
දැරිය – එයද නොදනිමි ස්වාමිනී.
බුදුරජාණන් වහන්සේ - නොදන්නේද?
දැරිය – දනිමි ස්වාමිනි,
බුදුරජාණන් වහන්සේ - දන්නේද?
දැරිය - නොදනිමි ස්වාමීනි,
නැවත බුදුරජාණන් වහන්සේ දැරිය අමතා, “ඔබ කොහිසිට ආයේ දැයි මා ඇසූ විට
නොදනිමි කීවේ කුමක් නිසාද?”
“ස්වාමිනී, මා පෙහෙකම් ගෙදර සිට මෙහි ආ බව ඔබවහන්සේ දන්නේ ය. එහෙත්
ඔබවහන්සේ මාවෙතින් විචාලේ කොතැනින් චුතව මෙහි උපන්නේදැයි මාගෙන්ම
දැනගනු සඳහා ය. මා කොතැනින් චුතව මෙහි උපන්නේදැයි නොදන්නා නිසා නොදනිමි
යයි පැවසිමී” පෙහෙකම් දැරිය පැවසුවාය.
“ඔබ නියම පිළිතුර සැපයූවා” යනුවෙන් පැවසූ බුදුරජාණන් වහන්සේ සාධුකාර
දුන් සේක.
“ඔබ කොතනක යන්නේදැයි ඇසුවීට නොදනිමි යයි පැවසුවේ මක්නිසාද? බුදුරජාණන්
වහන්සේ අසා වදාළ සේක.”
“මා පෙහෙකම්හලට යන බව ඔබවහන්සේ දන්නේ ය. එහෙත් ඔබ වහන්සේ මගෙන් විචාලේ
මේ භවයෙන් පසු නැවත කොතනක උපදනේද? යන්නයි. එය මා නොදන්නා බැවින්
නොදනිමි ස්වාමීනි, යයි පැවසීමි” දැරිය පිළිතුරු දුන්නාය.
බුදුරජාණන් වහන්සේ එවරද සාධුකාර දුන් සේක. “මා තෙවන වර නොදන්නේදැයි ඇසූ
විට “දනිමි”යයි පැවසුවේ කුමක් නිසාද? බුදුරජාණන් වහන්සේ අසා වදාළ සේක.
“මා මැරෙන බව දන්නා නිසා” දනිමි” යයි පැවසීමි” දැරිය පිළිතුරු දුන්නාය.
“මා සිව්වනවරට දන්නේදැයි ඇසූවිට නොදනිමි යයි පැවසුවේ කුමක් නිසාද?
බුදුරජාණන් වහන්සේ අසා වදාළ සේක. මා මැරෙන බව දන්නාමුත් කුමන දවසක කුමන
මොහොතක මැරෙන්නේ දැයි නොදන්නා නිසා නොදනිමි යයි පැවසීමි”යි පෙහෙකම්
දැරිය පැවසුවාය. එවරද බුදුරජාණන් වහන්සේ සාධුකාර දුන් සේක.
රැස්ව සිටි පිරිස ඇමතූ බුදුරජාණන් වහන්සේ “යමකුට යමක් තේරුම් ගැනීමට
නුවණැස නැත්නම් මසැස තිබුණේද ඔහු දෑස් නැති අන්ධයකු වැනිය. යමකුට පැණැස
තිබුණේ නම් ඔහු නියම ඇස් ඇති අයෙකි.” යනුවෙන් අනියතය පාදකකොට ධර්ම
දේශනා කළ සේක. මෙම දහම් ඇසූ පෙහෙකම් දැරිය සෝවාන් ඵලයට පත් වූවා ය.
පෙහෙකම්හලට ගිය දැරිය නූල් එතු පන්දුව පියාණන්ට දී පසෙකට වී සිටියා ය.
පියා කලබලයෙන් සරස්දඬුව අදින විට එය දැරියගේ උරෙහි වැදි දැරිය එතැනම
මිය ගියාය. ශෝකය දැරිය නොහැකි පියා, බුදුරජාණන් වහන්සේ වෙත ගොස් මෙම
ප්‍රවෘත්තිය ප්‍රකාශ කළහ. බුදුරජාණන් වහන්සේ ඔහු අස්වසා දහම් දේශනා කළ
සේක. තුනිවූ ශෝකය ඇති ඔහු පැවිදිව රහත් ඵලයට පත්වූහ.
උත්පත්තියා සහේවේදං
මරණං ආගතං සදා
මරණත්ථාය ඕකාසං
වධකෝ විය ඒ සති
මෙම මරණය උපතත් සමඟ පැමිණියේ ය. වධකයකුමෙන් මරණුපිණිස අවකාශයක් සොයන්නේ
ය. මෙය නිතර සිහිපත් කර මරණානුස්සතිය වඩා සසර දුක නිමාකර ගනිමු. ඔබ
සැමට තෙරුවන් සරණයි. |