UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුරදුන් ජීවමානව වැඩසිටි දවස... දිරිය වඩා සසර දිනූ බහු පුත්තික සෝණා

බුදුරදුන් ජීවමානව වැඩසිටි දවස...

දිරිය වඩා සසර දිනූ බහු පුත්තික සෝණා

පවුල් පන්සල් වෙන්න අදහසක් නැද්ද? වැඩිවියට පත් තරුණ තරුණියන්ගෙන් බොහෝ වැඩිහිටියන් අසන පැනයකි මේ. සෑම පුද්ගලයකුම විවාහ දිවියට එළඹ පවුල් සංස්ථාවක් ගොඩනගා ගත යුතු යැයි නීතියක් නොමැති වුවත් මනුෂ්‍යයකු නම් සුදුසු වයස එළැඹි කළ යුග ජීවිතයට ඇතුළත් වීම සමාජ සම්මත කරුණකි. ජීවිතය එකලස් වීමක් තැන්පත් වීමක් ලෙස සමාජය මෙය හඳුන්වයි. එසේ නොමැති නම් ඔහුට හෝ ඇයට ගිහි ජීවිතය හැරදා පැවිදි ජීවිතය තෝරා ගැනීමටද අවස්ථාව ඇත. බෞද්ධ සමාජය තුළ පුද්ගලයකුට ඇත්තේ මුලික වශයෙන් මාර්ග දෙකකි. ඒ පවුල් වීම හෝ පන්සල් වීමයි. පැරැණි සිංහල ජන සමාජයේ වැඩිහිටියන්.

“පවුල් පන්සල් වෙන්න අදහසක් නැද්ද” යනුවෙන් වැඩිවියට පත් දරුවන්ගෙන් ප්‍රශ්න කරන්නේ ඒ නිසාය. ස්ත්‍රියක හා පුරුෂයකු එකතු වී අරඹන මේ යුගදිවිය තුළ බොහෝ බලාපොරොත්තු, සිහින, ප්‍රාර්ථනා රැඳී පවතී. තම ජීවිතයේ තනිකම, පාළුව මගහරවා ගැනීම, දුක සැප බෙදා හදා ගැනීමට හවුල්කරුවෙකු සිටීම, ජීවිතයේ අවසාන කාලයේ අත පය වාරු නැතුව අසරණ වන විට දූ දරුවන්ගේ පිහිට ආරක්ෂාව බලාපොරොත්තු වීම ආදී, අරමුණු විවාහ දිවියට එළඹෙන ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේම සිත් තුළ රැඳී පවතී. හැම කෙනෙකුගේම සිත් තුළ උපදින මේ සිහින එලෙසින්ම ඉටුවේවිද? තමන් පැතු ජීවිතය අහිමිව ගියහොත් වීර්යයෙන් යුක්තව ජීවිතයට මුහුණ දෙන්නේ කෙසේද? බුදුසමයෙන් අපට හමුවන ආදර්ශවත් බෞද්ධ කාන්තාවක් වූ සෝණා තෙරණියගේ චරිතයෙන් එය අපට උගත හැකිය.

ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේ සැවැත්නුවර එක්තරා කුලගෙයක දියණියක් උපන්නාය. මවුපියන් ඇයට “සෝණා” යැයි නම් කළා. පියුමතුරා බුදුන් වහන්සේගේ කාලයේ සිට ගෞතම බුදුන්වහන්සේගේ කාලය දක්වා වූ කාල පරාසය තුළ නොයෙක් පින් දහම් කොට සසර සැරි සරා මෙසේ ඉපදුන සෝණා දැරිය සුදුසු කලවයස පැමිණි පසු මවුපියන් විසින් ඇය සුදුසු කුමාරයෙකුට සරණපාවා දුන්නේය. විවාහයෙන් පසුව දූ පුතුන් දස දෙනෙකුගේ මවක් වූ සෝණා” බහුපුත්තික සෝණා” යැයි ප්‍රසිද්ධ වූවාය. ඇය ඉතා සාර්ථක යුග දිවියක් ගත කළ කාන්තාවක් විය. ඇය හා සමාන ගුණ ඇති ආදරණීය ස්වාමියාගේ පමණක් නොව නැදිමයිලන්ගේද නැදෑයින්ගේද නොමද ආදරයට, ගෞරවයට පාත්‍ර වීමට සෝණාට හැකි වුණි. දේපළ වස්තුව ද සෝණාට යහමින් තිබූ බැවින් දූ දරුවන් වැඩිවියට පත් වී ආවාහ විවාහ කටයුතු කර ගන්නා කාලය එළඹෙද්දී අඹුසැමි දෙදෙනා එම කටයුතුද නිසි ලෙස ඉටු කළහ. දූ දරුවන්ගේ බරින් නිදහස් වූ බැවින්ද, ජීවිත කාලය සැපෙන් සතුටින් ජීවත් වන්නට ඇති තරම් මිල මුදල් තිබූ බැවින්ද, සෝණාගේ ස්වාමිපුරුෂයා සියලු දේපළ සිය බිරිඳගේ නමට පවරා පැවිදි වීමට ගියේය. සෝණා තම විශාල ගෘහයෙහි වාසය කරමින් වතුපිටි ද පාලනය කරමින් දැසි දසුන් හා විසුවාය. මෙලෙස කාලය ගෙවී යද්දී ක්‍රමයෙන් වියපත් වන සෝණාට තුන්කල්හිම, මහලු මවුපියන්ට මුහුණ දෙන්නට සිදු වූ සදාතනික ප්‍රශ්නයට මුහුණ පාන්නට සිදුවුණි. වරින් වර නිවසට පැමිණෙන දු පුතුන්,

”මෑණියෙනි, මේ ගෘහභාණ්ඩ ඔබට දැන් අවශ්‍ය නොවේ. ඔබෙන් පසුව මේවා අයිති වන්නේ අපටය. එම නිසා අප ඒවා දැන්ම ගෙන යමු” යනුවෙන් ප්‍රකාශ කරමින් නිවසේ ඇති සියලු වටිනා ගෘහභාණ්ඩ තම තමන්ගේ නිවෙස් කරා රැගෙන යන්නට විය. දූ දූවරුන් පැමිණ සෝණා සතු වටිනා ආභරණ ඇඳුම් පැළඳුම් ආදිය රැගෙන ගියේය. මෙලෙස සෝණා සතු සියලු වටිනා දෑ අවසන් වූ පසු දරුවන්ගේ අවධානය යොමු වූයේ සුවිසල් මන්දිරය හා ඇයට අයත් කෙත්වතු කෙරෙහිය.

“මෑණියනි, මේ සුවිසල් නිවස හා අවට කෙත්වතු අප අතර බෙදා දෙන්න. ඔබ දැන් මහලුයි. ජීවිතයේ අවසාන කාලයේ දරු මුණුබුරන්ගේ සුරතල් බලමින් අපගේ නිවෙස්වල වාසය කරන්න. මියෙනතුරු අපි ඔබ රැක බලා ගන්නම්”

දරුවන්ගේ පෙරැත්තය නිසාත්, සෝණාගේ හදවත තුළ දරුවන් කෙරෙහි පැවතුණා වූ අධික ස්නේහය හා විශ්වාසය නිසාත්, අවසානයේ ඇය දරුවන්ගේ යෝජනාව පිළිගත්තාය. දරුවන් කෙරෙහි පවතින අධික පේ‍්‍රමයත්, දැඩි විශ්වාසයත් නිසා තමා සතු සියලු දේපළ ඉඩකඩම්, දරුවන්ට පවරා අවසානයේ, දරුවන්ගෙන් විඳින්නට සිදුවන දුක් ගැහැට නිසා මහමගට බසින දෙමවුපියන් අද සමාජයේ වගේම, එදා සමාජයේත් සිටි බව සෝණාගේ ජීවිත කතාව තුළින් ප්‍රකට වේ. සිය ජීවිත කාලයම දරුවන් වෙනුවෙන් කැප කළ දෙමවුපියන් වෙනුවෙන් දරුවන් තම ජීවිත කාලයෙන් කොටසක් හෝ වෙන් නොකරන්නේ ඇයි දැයි නොදනිමි. එහෙත් ඒ දරුවන් අමතක නොකළ යුතු වැදගත් දෙයක් ඇත. ඒ තමනුත් දිනක මවුපියන් වන බව. තම දරුවන්ද ලොකු මහත් වන බව දරුවන් ලොකු මහත් වන විට තමන් වයසට යන බව.

කෙසේ හෝ වස්තුව තමන් වෙත පවරා ගත් දරුවන් සෝණාගේ ජීවිතයද අඳුරට තල්ලු කර දැමුවේය. එක් එක් දරුවන්ගේ නිවෙස්වලට යමින් ඔවුන්ගේ නින්දා අපහාස ඉවසමින් සිය මහලු කාලය ගත කළ සෝණාගේ සිත මහත් සේ කලකිරීමට පත් විය. තමන්ට අත් වූ මෙම අවසානාවන්ත ඉරණම පිළිබඳ ඇය කිසි විටකත් දරුවන්ට ශාප නොකළාය. ඇය හැම විටම දරුවන්ගේ යහපතම පැතුවාය. අවසානයේ ඇය තීරණයකට එළඹියාය. දරුවන්ගේ කැමැත්ත මත ඇය භික්ෂුණී ආරාමයකට ගොස් පැවිදි වූවාය. තමා මහලු කළ පැවිදි වූ බැවින්, ශරීරයේ ජරා ජීර්ණභාවය ඇය හොඳින් අවබෝධ කර ගත්තාය. ආදරයෙන් හැදූ වැඩූ දරුවන්ගේ අනාදරය නිසා ඔවුන් වෙත බැඳී තිබුණ අධික ස්නේහයද අඩු විය. ඇය සිය ආචාර්ය උපාධ්‍යාය භික්ෂුණීන් වෙතින් කමටහන් ගෙන, තම ශෝකී සිත සනසා එකඟ කරගනු වස් සමථ භාවනාව වැඩුවාය. සමථ භාවනාව දියුණුූ කර අනතුරුව විදර්ශනා භාවනාව වැඩීමට උනන්දු වූවාය. මේ අයුරින් සෝණා භික්ෂුණියගේ පැවිදි ජීවිතය ගෙවී ගියේය.

මුල් කාලයේ ඇය බැලීමට දරුවන් පැමිණිය ද පසුව ඔවුන් තම මව බැලීමට එන ගමන් නතර කර දැමුවේය. බොහෝ දරුවන් සිටි බැවින් ඇය ප්‍රසිද්ධ වූයේ බහු පුත්තික සෝණා මෙහෙණිය යනුවෙනි. ක්‍රමයෙන් මෙහෙණවර සිටි තරුණ භික්ෂුණීන්ද සෝණා තෙරණියට නින්දා පරිභව කරන්නට පටන් ගත්තාය. ඇය මුලුතැන්ගෙයි වැඩවල යෙදෙව්වාය. තරුණ වියේ සැප සම්පත් මැද ජීවත්ව, දැසි දසුන් ලවා නිවසේ සියලු කටයුතු සිදු කරගත් සෝණා මෙහෙණිය තමන්ට නුපුරුදු වැඩ කටයුතුවල සුසුම්ලමින් නිරත වුවාය. ඔයෙන් දිය ඇද්දාය.ආහාර පිසීමට උදව් කළාය. දර පැළුවාය.එහෙත් විවේකය ලැබෙන සෑම අවස්ථාවකම මුළුතැන්ගෙයි සිට හෝ භාවනා කළාය. භාවනා කිරීමෙන් සිත දියුණු කරගෙන සිටි සෝණා මෙහෙණිය ඇයට නින්දා,අපහාස පරිභව කරන සියල්ලන් කෙරෙහි මෙත් සිතින් කල් ගෙව්වාය. මහත් උත්සාහයෙන් යුතුව භාවනා කරන බැවින් “අධික වීර්යය දරන සෝණා” යැයි මෙහෙණිවරු ඇයව නම් කළහ.මේ කාලයේ බුදුන් වහන්සේ සැවැත්නුවරට වැඩම කර දිනපතා ධර්ම දේශනා කරන බව භික්ෂුණි ආරාමයට ද සැල විය. ආරාමවාසී භික්ෂුණීන් ද එක් දිනක බුදුන් වහන්සේගෙන් ධර්මය ඇසීමට යාමට සුදානම් විය. මහලු සෝණා මෙහෙණියද ඉමහත් ශ්‍රද්ධාවෙන් යුතුව ධර්මය ශ්‍රවණය සඳහා තරුණ මෙහෙණිවරුන් සමඟ යාමට සුදානම් වුවද ඇයට ඒ සඳහා ඔවුන්ගෙන් අවසරය නොලැබුණි. ධර්මය ශ්‍රවණය කර ආපසු පැමිණෙන මෙහෙණිවරුන්ගේ පා දෝවනයට උණු පැන් සකස් කර තබන්න යැයි සෝණා මෙහෙණියට පවසා අනෙකුත් භික්ෂුණීන් ආරාමයෙන් පිටත්ව ගියාය. සෝණා මෙහෙණියගේ සිත තුළ ශෝකයක් ඇති වුවද ඇය සිත සනසා ගත්තාය. “භාජනවලට දිය පුරවා, උඳුන් ළඟට දර ඇද දමා පසුව භාවනා කරමි’ සිතු සෝණා මෙහෙණිය සියල්ල සූදානම් කොට තබා භාවනා කිරීමට පටන් ගත්තාය. බුදුරජාණන් වහන්සේ එදින දම් සභා මණ්ඩපයට යෑමට පෙර එහි රැස්වන ජනයා ගැන බලන්නේ, මෙහෙණිවරුන් අතහැර දමා ගිය මහලු භික්ෂුණියගේ පිරිසුදු සිත බුදු නෙතට දිස් වූහ.ඇයට පිහිට විය යුතු යැයි සිතූ උන්වහන්සේ ගඳකිළියේ සිට ඕභාසධාරාවක් යවා, ගිනිහල් ගෙය ආලෝකවත් කර සෝණා භික්ෂුණිය අමතා ධර්මය දේශනා කළහ. ධර්මශ්‍රවණය අවසානයේ ඈ සියලු දුක් නසා අරහත් ඵලයට පත් වූවාය. ජීවිතයේ තමන් ලද සියලු දුක් ගැහැට උපේක්ෂාවෙන් විඳ දරාගත් සෝණා අවසානයේ වීර්යය වඩා ජීවිතයේ සැනසුම හිමි කර ගත්තාය. ඇයට දුක් වේදනා දුන් අය කෙරෙහි වෛර කරමින් ඔවුන්ට ශාප කරමින් සිටියේ නම් සෝණාට කිසි විටෙක දුකින් පිරුණු මේ සසර ජය ගන්නට නොහැකි වනු ඇත. නිහතමානිකම,උපේක්ෂා සහගත බව, වීර්යවන්ත බව ඇගේ ජීවිතෙන් අප ලබා ගත යුතු ආදර්ශයන්ය.

 

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය පෙබරවාරි මස 18 වැනි දා බදාදා පූර්වභාග 09.03 ට ලබයි. 19 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 05.17 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම  පෙබරවාරි මස 18 වැනි දා බදාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 28 වැනිදා සෙනසුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 18

First Quarterපුර අටවක

පෙබරවාරි 28

Full Moonපසෙලාස්වක

මාර්තු 05

Second Quarterඅව අටවක

මාර්තු 13


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]