UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පුද්ගල යහපත සලසන මාවත

පුද්ගල යහපත සලසන මාවත

මනුෂ්‍යත්වයක් ලැබීම ඉතා අනගි අවස්ථාවකි. එහි අගය තේරුම් ගැනීම වූ කලී මනුෂ්‍ය ධර්ම ක්‍රියාත්මක කිරීම ලෙස හැඳින්විය හැකිය. මනුෂ්‍යභාවයක හිඳ තිරිසන් ගති ලක්ෂණ ක්‍රියාත්මක කිරීමට පෙළඹීම ලැබුවා වූ මනුෂ්‍යත්වය පිරිහීමට හේතු වන කරුණකි. මිනිසා විසින් තම ජීවිතය ආලෝකමත් කරගැනීමට නම් උසස් ගුණ ධර්ම පුරුදු පුහුණු කළ යුතුවේ. නොයෙක් අපරාධ, වංචා හා දූෂණ පිටුපස පවතින්නේ පිරිහී ගිය මනුෂ්‍යත්වයයි.

අප ජීවිතය යනුවෙන් සලකන්නේ උපතේ සිට මරණය දක්වා කාල පරාසයයි. ලෝක විෂය හා සංසන්දනය කරන විට එය ඉතාම සුළු කාලයකි. මේ කෙටි කාලය තුළ බොහෝ දෙනෙක් තම ජීවන ගමන නිවැරදි මාවතට යොමු නොකිරීමේ හේතුවෙන් විවිධ දුක් කරදරවලට ගොදුරු වෙති. මනස නම් සිතයි. සෑම සත්වයකුටම සිතක් ඇත. නමුත් ඒ සත්වයන් අතරින් මිනිසාට සිතීමේ හැකියාව ඇත. ඒ හොඳ සිත රැකගත යුතුය. ඒ අනුව ජීවිතයද සුඛිත මුදිත තත්ත්වයට පත්කර ගත හැකිවනු ඇත. සිත සියල්ලටම ශ්‍රේෂ්ඨ බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. හොඳ නරක දෙකද සිත මුල් කොට පවතී. හොඳ සිතින් කළ දෙයට හොඳ ප්‍රතිඵලද නරක සිතින් කළ දෙයට නරක ප්‍රතිඵලද ලැබේ. මේ කරුණ කීමෙන් පමණක් බුද්ධ දේශනාව අවසන් වන්නේ නැත. හොඳ ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය මනස සකස් කරගැනීමට අවශ්‍ය පරිසරය බලපාන ආකාරය මංගල සූත්‍රයේ දැක්වේ. මනස යහපත් වීමට අවශ්‍ය පාරිසරික සාධක මෙම සූත්‍රය මඟින් ඉතා පැහැදිලිව හා තර්කානුකූලව පෙන්වා දෙනු ලැබේ.

මංගල සූත්‍රය දිනපතා අපට උදය සවස ශ්‍රවණය කරන්නට ලැබේ. ඉන් පුද්ගලයාගේ අධ්‍යාත්මික හා බාහිර දියුණුව ලබා ගැනීමට පසුබිම් වන කරුණු තිස් අටක් ගෙන හැර දක්වයි. කුඩා කාලයේ සිට ජීවිතයේ අවසාන අවස්ථාව දක්වා ජීවිතය යහපත් කරගැනීමට මනසට අවශ්‍ය පරිසරය සකස් කරගත යුතුය. වෙනත් ලෙසකින් පවසනවා නම් අපේ සිතුම් පැතුම් වලට ඉතා ප්‍රබල ලෙස පාරිසරිකද සාධක බල පවත්වනු ලැබේ.

“සොත්ථානං” යනුවෙන් හැඳින්වනුයේ කුසලධර්ම අත්කර ගැනීමට කැමැති යන අර්ථයයි. කුසල් යනු කෙලෙස් පලවා හැරීමට දක්වන වීර්යයයි. සාමාන්‍ය ව්‍යවහාර භාෂාවෙන් ප්‍රකාශ කරන්නේ නම් නරක වැඩ නොකර සිටීමට දක්වන ධෛර්යත් හොඳ වැඩ කිරීමට දරන වෑයමත් වේ.

බුදු දහමේ දැක්වෙන මංගල කරුණු අප සාමාන්‍ය ජීවිතයේදී අත් විඳින මංගල උත්සව නොවේ. එනම් පුද්ගලයාගේ යහපත සාදන කරුණු වේ. පුද්ගලයා ගේ මෙලොව පරලොව දෙකේම දියුණුවට හේතුවන කරුණු වේ. එම සියලු කරුණු තිස්අටක් දක්වා තිබුණද ඉන් තිස්දෙක් ම ලෞකික දියුණුවටත් හයක් ලෝකෝත්තර දියුණුවටත් හේතුවේ.

මව්පිය ඇසුර

යහපත් ජීවිතයකට මූලික අඩිතාලම දැමිය යුත්තේ කුඩා කාලයේදීමය. කුඩා දරුවන් හට හොඳ නරක පිළිබඳ වැටහීමක් නොමැත. ඔවුන් සිදුකරන්නේ වැඩිහිටියන් අනුකරණය කිරීමය. නරක ගති ලක්ෂණ දෙමාපියන් සතු නම් පහසුවෙන් ඒවා දරුවන් විසින් අනුගමනය කරනු ලැබිය හැකිය. දරුවකු නරක පුද්ගල ඇසුරෙන් වෙන්වී හොඳ පුද්ගලයන් වීමට පව් නසා සිය අභිවෘද්ධියට හේතුවන දැනුම දියුණු කළ හැකි සද්පුරුෂයන්ගේ ඇසුර ලැබීම මංගල කරුණක් ලෙස දක්වා ඇත.

“පූජා ච පූජනීයානං “ මෙහි අර්ථය දක්වා ඇත්තේ බුද්ධාදී ආර්ය ශ්‍රාවකයන්ට පූජා පැවැත්වීමය. මෙහිදී අදහස් වනුයේ සද්පුරුෂයන් හඳුනා ගැනීමය. මව පියා සිය කුඩා දරුවන් සමඟ දානාදී පින්කම් පැවැත්විය යුතුය. යහපත් ක්‍රියා හරහා දරුවෝ පිදිය යුත්තේ කවුරුද? යන්න හඳුනා ගනිති. පිදිය යුත්තන් කවුද? ගරු කළ යුත්තන් කවුද ? යන්න හඳුනා ගැනීම හා ඔවුනට පුද පූජා පැවැත්වීම හා ගෞරව කිරීම මඟින් කුඩා දරුවන් හට බුද්ධාදි ආර්ය ශ්‍රාවකයන් අනුගමනය කළ ප්‍රතිපත්ති පූජාවන් අනුකරණය කිරීමට අවස්ථාව ලැබේ. ඉන් හොඳ නරක තේරුම් ගැනීමට අවශ්‍ය පසුබිම සකසයි.

කරදර හා අනතුරු සහිත ප්‍රදේශවල වාසය කිරීමෙන් තමන් හටද විවිධ උපද්‍රවලට මුහුණ දීමට සිදුවේ. තමා නිවැරදි වුවද ජීවත්වන පරිසරයේ කලකෝළාහල හා සමාජ අපචාර නිසා සියලු දෙනාම සමාජය ඉදිරියේ නරක පුද්ගලයන් ලෙස හංවඩු ගැසෙනු ඇත. එපමණක් නොව එවැනි පරිසරය තුළ ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව වැනි සිතිවිලි මගින් මෙහෙයවන ක්‍රියාවන් බහුල නිසා සුබදායි කටයුතු වලද නිරත වීමට ඉඩ ප්‍රස්තා නොලැබේ. පෙර කරන ලද පින් ඇති බව ද දස පුණ්‍ය ක්‍රියා පවතින ප්‍රදේශවල වාසය කිරිමට හේතු වේ.

හොඳ ප්‍රදේශයක වාසය කිරිම මගින් මනස සන්සුන් කර ගත හැකිය. තවද එය ධන ධාන්‍ය, කීර්තිය හා යසස ලැබීමට ද හේතුවේ.

සිත මනාව පිහිටුවා ගැනීම, මංගල කරුණක් ලෙස දක්වා ඇත. තමා ජීවත්වන පරසරය අයහපත් නම් ශීල ශ්‍රද්ධා ත්‍යාග සම්පත්තියෙහි සිත පිහිටුවා ගැනීමට පෘථග්ජන පුද්ගලයකුට අපහසු විය හැකිය. කරණීයමෙත්ත සූත්‍රයේ දැක්වෙන පරිදි තමා පවත්වන පවුල් ජීවිතයට දැඩි ඇල්මක් නැති පුද්ගලයන් හට තම ජීවත්වන භුමියටද ඇල්මක් ඇති නොවේ. බොහෝ දෙනෙකුට තමා ජීවත්වන නුසුදුසු ප්‍රදේශවලින් ඉවත්විය නොහැක්කේ භූමියට ඇති තද ආශාව නිසාය. සිත මනා කොට පිහිටුවා ගත නොහැකිවුවහොත් ඔහු වරදට පෙළඹෙන අවස්ථා වැඩි විය හැකිය.එසේ වූ විට තම පවුල් ජීවිතය පවා බිඳ වැටිය හැකිය. සාමකාමී පරිසරයක ජීවත් වුවද සිත මනාසේ පිහිටුවා ගත නොහැකි නම් ඔහුට හෝ ඇයට සැනසිලිදායක ජීවිතයක් ගත කළ නොහැකිය.

බහුශ්‍රැත බව, ශිල්ප දන්වා බව හා මනා කොට හික්මවන විනය ඇතිබව යන කරුණු තුනම එකිනෙකට සම්බන්ධය.

බොහෝ ඇසූ පිරූ තැන් ඇති පුද්ගලයා සිය ප්‍රගුණ කළ ශිල්ප ශාස්ත්‍ර හරහා ආදායම් ඉපයීමේ දී එහි සීමාවන් හඳුනා ගනියි. ව්‍යාපාරිකයින්, වෘත්තිකයන් යනාදි සියලුම පුද්ගලයෝ ආර්ථික සංවර්ධනයට මෙන්ම සමාජයේ භෞතික ප්‍රගමනයට දායක වෙති. නමුත් තම වපසරිය ඉක්මවා ආදායම් ඉපයීමට ගිය කල්හි සිදුවන්නේ හොරකම වංචාව දූෂණය වැනි අපගමන ක්‍රියාවන් වේ. එවිට ඔවුන්ගෙන් සිදුවන සේවාවක් නොමැත. මංගල සූත්‍රය අනුව බහුශ්‍රැත බව ශිල්ප ශාස්ත්‍රදැනීම හා හික්මවන විනය ඇතිවිට පමණක් ජීවිතයේ සුන්දරත්වය ඇති බව අවධාරණය කෙරේ.

පවුල් ජීවිතය තුළ කාර්යාල තුළ අතරමඟ සහ නොයෙක් අවස්ථාවලදී ඇතිවන බොහෝ ගැටලුවලට මුල යහපත් වචන කථා නොකිරිමය. අයහපත් වචන නිසා ඇතිවන්නේ ද්වේෂ සහගත සිතිවිලිය. එම ද්වේෂය තවදුරටත් වර්ධනය වීම නිසා අභිඡිඣා තත්වයට පත්වීම .

එනම් කර්ම බවට පත්වීම නිසා සමාජයේ පලිගැනීම් , විවිධ අපරාධ, පවුල් සංස්ථා බිඳවැටීම යනාදි නොයෙක් ව්‍යසනයන් ඇති වේ. යහපත් වචන ලෙස බුදු දහම හඳුන්වා දෙන්නේ බොරුකීම, කේලාම් කීම, පරුෂ වචන කීම හා හිස් වචන කීම යන සිව් වැදෑරුම් වාග් විලාසයෙන් තොරවීමය. ඇතමෙකු යොවුන් අවදියේ සිට තාරුණ්‍ය යන අවස්ථාවන්ට එළඹෙන විට ආක්‍රමණශීලිවන නිසා මෙසේ කායික මානසික හා වාචසික හික්මීම අවශ්‍ය වේ.

මීළඟට එළඹෙන්නේ විවාහවන අවදියයි. එහි අවස්ථාවට එළඹෙන විට තම දෙමාපියන් වැඩිහිටි වෘද්ධ අවස්ථාවට පත්වේ. එවිට දෙමාපියන්ට උපස්ථාන කළ යුතුය. බෞද්ධ සංස්කෘතියේ වැදගත් අංගයක් ලෙස පැසසුමට ලක් වූ මෙම කාර්ය වත්මන් සමාජයේ ඇතැම්විට ගිලිහෙමින් පවතී. විවාහ ජීවිතයේ පැවැත්මට හේතුවන කරුණක් නම් අඹුදරුවන්ට සංග්‍රහ කිරීම, එනම් ආහාරපාන වස්ත්‍රාභාරණ හා අධ්‍යාපනය ලබාදීමෙන් පි‍්‍රය වචන කථා කිරීමෙන් දාන, ශීල ආදී හොඳ ක්‍රියාවලට පුරුදු පුහුණු කිරීමෙන් සිය අඹූදරුවන් පෝෂණය කළ යුතු බවය.

දැහැමි ලෙස රැකියාව කිරීමද මීට අන්තර්ගත වේ. ප්‍රධාන වශයෙන් සතුන් මැරීම, සොරකම් කිරීම ,වැරදි කාමයෙහි හැසිරීම, මත්ද්‍රව්‍ය වෙළෙදාම යන කර්මාන්ත බුදු දහමේ ප්‍රතික්ෂේපිත රැකියා වේ. කිසියම් පුද්ලගලයෙක් ඉහත රැකියාවලින් වෙන්ව දැහැමි රැකියාවල නිරත වීම ඔහුගේ අනාගත අභිවෘද්ධි හා මානසික සුව සලසාලයි. රහසේ පව් කර මානසිකව ඇතිවන බිය, අසහනය, දුක්ඛ දෝමනස්ස ,සැකය,ආත්ම වංචනය, මෙපමණකැයි කියා පැවැසිය නොහැකිය.

”ආරති” යනුවෙන් අදහස් කරන්නේ පාපයෙහි නො ඇලීමයි. මෙය මානසික ක්‍රියාවලියකි. මෙහි “පාප” යනු දස අකුසල්ය. සිතින් වන වැරදි නම් දැඩි ලෝභය, අනුන් නැසේවායි සිතීම සහ වැරදි අවබෝධයයි. මෙසේ අකුසල සිත් ඇතිවු විට එහි ආදීනව නොදත් මෝහාධික පුද්ගලයෝ ඒවායන්හි ඇලෙති. ඒවා දිවා රෑ ඒ ගැනම සිතති. ඉන් ගැලවීමට නම් කුසල් සිත් පුරුදු පුහුණු කළ යුතුය. මෙසේ සිතින් කයින් සිදුවන දස අකුසල්වලින් ඈත්වීම මංගල කරුණක් ලෙස වදාළ සේක.

“මජ්ජපානාච සඤ්ඤ මෝ “ යනු මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීමයි. පන්සිල් සමාදන් වීමේදීද මත්වතුර ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතා නොකරන ලෙසට බුදුරජාණන් වහන්සේ අනු දැන වදාළ සේක. මත්ද්‍රව්‍ය භාවිතය වෛද්‍ය විද්‍යාත්මකව හා සමාජ විද්‍යාත්මකව පුද්ගලයාටත් සමාජයටත් අහිතකරය. මංගල සූත්‍රයේදී මෙය දේශනා කරනු ලබන්නේ පුද්ගලයා සුරාපානයට පෙළඹවීම වැළැක්වීමටය.

“අප්පමාදෝච ධම්මේසු මෙයින් අදහස් කරන්නේ නිතර සිහියෙන් සිටීමයි. කුසල් කිරීමෙහි නොපමා බවයි. පුද්ගලයා මැදිවියෙන් ඉක්මවන විට ලෝභ,දෝෂ, මෝහ පෙරටු කර අකුසල ක්‍රියාවන්වල නිරත වීමේ ප්‍රවණතාවය වැඩි විය හැකිය. එවැනි අකුසල් චේතනා වහා හැඳින වහා ධෛර්ය ගෙන ඒවා මැඩ පැවැත්විය යුතුවේ.

”ගාරවෝච “ බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට වන්දනාමාන කිරීමෙන් වැඩිහිටියන්ට ගරු කිරීමෙන් පාපයට බර වීමේ අවස්ථා වැළැක්විය හැකිය. ‘නිවාතෝච’ සමහරු තමන්ටම ලැබෙන තනතුරු යාන වාහන සහ ධන ධාන්‍ය නිසා මාන උද්ධච්ච යනාදි වශයෙන් අන්‍යයන් පහත්කොට සැලකීමට පෙළඹෙති. එවැනි පුද්ගලයන් තුළ නිවාත ගුණය පවතින්නේ නැත. මානය ඇති තැනැත්තා මව්පියන්ට, ගුරුවරුන්ට සිල්වත් ගුණවත් උතුමන්ට ගෞරව සැලකිලි නොදක්වයි. නිතර අන්‍යයන් අවමානයට ලක් කරයි. ඒ හැසිරීම ඒ අයගේ අප්‍රසාදය පිණිස පවතියි. එපමණක් නොව මානය හේතු කොට ගෙන නොයෙක් භේද ඇති කර ගනිති. මනසේ කුහකත්වය දළුලා අකුසල චේතනා වැඩිකර ගනිති. තමාට කීර්තිය යසස සම්පත් හා තාන්නමාන්න ලැබෙනවිට නිහතමානි විය යුතුය. “සන්තුට්ඨිච” එනම් ලද පමණින් සතුටු වීමයි. අධික කාම ගවේශී පුද්ගලයා හට ලද පමණින් සතුටු විය නොහැකිය.

අප එදිනෙදා ජිවිතයේ හමුවන මිනිසුන්ගෙන් බහුතරයක් ලද පමණින් සතුටු වන්නෝ නොවෙති. මේ නිසා තමාගේ යහපත් දිවිපෙවතට අවශ්‍ය නොවන ලෙස ධන සම්පත් රැස්කිරීමට පෙළඹීම නිසා තෘෂ්ණාවෙන් අසහනයට පත්වේ.ආශාවේ කෙලවරක් නැති බැවින් ලද පමණින් සතුටුවීම පුරුදුපුහුණු කළ යුතුය. කහවනු වැස්සක් වැස්සද කාමයෙහි තෘප්තියක් නොවන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. “කතඤ්ඤුතා “ කිසියම් පුද්ගලයකු විසින් තමාට යම් උපකාරයක් කළා නම් එම උපකාරයට ප්‍රති උපකාර කළ යුතුය. අංගුත්තර නිකායේ දුලභ පාතිභව සූත්‍රයේ දුර්ලභ කරුණක් ලෙස කළදේ දන්නා වූ පුද්ගලයෝ දුර්ලභ බව දේශනා කර ඇත. කළ ගුණ දැක්වීම සද්පුරුෂ ගුණයක් වන අතර ඉන් සමාජයේ පැවැත්ම ද තහවුරු වනු ඇත.

“ඛන්තීච” යනුවෙන් හඳුන්වන්නේ ඉවසීමය. සමාජයේ වැඩපළේ කාර්යාලවල හා පවුල් ජීවිතය තුළ බොහෝ ගැටලු මතුවන්නේ ඉවසීම නොමැති විටය. මහා මාර්ග වල වාහන ධාවනයේදී ඉවසීම නැති නිසා දිනපතා අනතුරුවලින් මිය යයි ප්‍රමාණය වැඩිවෙමින් පවතී. ඉවසීම අවශ්‍ය වන්නේ ආවේගශීලි වූ විටය. එමෙන්ම රාගාදි කෙලෙසුන් තිබුණු විට වහා ඒ පාප හැඟීම් දුරුකර ගනු පිණිස සිල්වතෙකු වෙත හෝ ධර්මධර භික්ෂූන් වහන්සේ වෙතට ගොස් බණ ඇසිය යුතුය. එසේ කිරීමටද නොහැකි වන්නේ නම් බුදුරජාණන් වහන්සේගේ පිළිරුවක් ඉදිරියට ගොස් බුද්ධානුස්මෘති භාවනාව වැඩිය යුතුය. “කාලේන ධම්ම සවණං” යනුවෙන් දක්වා ඇත්තේ ඉහත කරුණුය.

ජීවිතයේ සන්ධ්‍යා සමයේදී භික්ෂූන් වහන්සේලාගේ ඇසුර නිතර අවශ්‍යය. උන්වහන්සේලා ඇසුරෙන් නිතර ධර්ම කරුණු සාකච්ඡා කිරීමට අවශ්‍ය අවකාශය උදාවේ. “සමණානඤ්ච දස්සනං කාලේන ධම්ම සාකච්ඡා” යන ගාථා පාඨයේ අදහස් වනුයේ මෙම කරුණු වේ. “තපෝච බ්‍රහ්ම චරියං ච අරිය පච්චාන දස්සනං” ජීවිතයේ සැදෑ සමය ගතකරන විට ඉන්ද්‍රියන් සංවර කරගෙන වීර්යයෙන් ගුණ ධර්ම වැඩිය යුතුය. බ්‍රහ්මචාරි ජීවිතයක් ගත කළ යුතුය. “අරිය සච්චාන දස්සනං “ එවිට බ්‍රහ්ම චාරි ජීවිතය තුළින් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමේ අවස්ථාව උදාවේ.

ජීවිතයේ සැදෑ සමයේ ලැබිය හැකි උසස්ම පී‍්‍රතිය නම්, ලාභ ,අලාභ, අයස, යසස, නින්දා, ප්‍රශංසා, සැප, දුක් වලින් නොසැලී කාම, භව, දිට්ඨි, අවිජ්ජා යන්නෙන් අත්මිදීමට කටයුතු කිරීම නිසා ඇතිවන මානසික ප්‍රසන්නභාවයයි.

”අසොකං” ජීවිතයේ යථාර්ථය අවබෝධ වීමෙන් ශෝකය ඇති නොවේ. එහි ප්‍රතිඵලයක් ලෙස නිර්වාණය අවබෝධ කර ගැනීමට අවශ්‍ය ප්‍රතිපදා අනුගමනය කිරීමෙන් අවස්ථා උදාවේ. ගත වන සෑම මොහොතක්ම අපතේ නොයවා ආර්ය ප්‍රතිපාද අනුගමනයෙන් ලැබුවා වූ මනුෂ්‍ය ජීවිතයේ උපරිම ඵලය වූ නිර්වාණය අවබෝධ කර ගැනීමට මග පාදා ගත යුතුය, කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් පරිදි “නහි ජාතු ගබ්භසෙය්‍යං පුනරේතිති” යනුවෙන් නැවත මවු කුසක පිළිසිඳ නොගැනීමේ ප්‍රාර්ථනාව මුදුන් පමුණුවා ගත යුතුය. එසේ කිරීමට සියලු දෙනා හට ධර්මඥානය පහළවේවා.

 

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය පෙබරවාරි මස 18 වැනි දා බදාදා පූර්වභාග 09.03 ට ලබයි. 19 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 05.17 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම  පෙබරවාරි මස 18 වැනි දා බදාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 28 වැනිදා සෙනසුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 18

First Quarterපුර අටවක

පෙබරවාරි 28

Full Moonපසෙලාස්වක

මාර්තු 05

Second Quarterඅව අටවක

මාර්තු 13


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]