UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 23

රාහුල කුමාරයා පැවිදිකිරීම

නන්ද කුමරු පැවිදි කිරීම

භාග්‍යවතුන් වහන්සේ යශෝධරා දේවියට දහම් දේශනා කිරීමෙන් අනතුරුව නිග්‍රෝධාරාමයට වැඩම කළ සේක. පසුදා නන්ද කුමරුගේ රාජාභිෂේක මංගල්‍යයද, ගෙවදින මංගල්‍යයද, සරණ මංගල්‍යය යැයි උත්සව තුනක් විය. ඒ දිනයේ භාග්‍යවතුන් වහන්සේ නන්ද කුමාරයාගේ මාලිගාවට වැඩම කර දන් වළදා ධර්මය දේශනා කරන ලදී.

අනතුරුව භාග්‍යවතුන් වහන්සේ නන්ද කුමරු අතට පාත්‍රය දී පෙරාතුව වැඩි සේක. කුමරු තෙම බුදුරදුන් දැන් දැන් පාත්‍රය ගනිතැයි සිත සිතා නොකැමැත්තෙන්ම යන්නේ උන්වහන්සේ කෙරෙහි ඇති මහත් ගෞරවයෙන් කිසිත් නොකියා නිශ්ශබ්දව ම පස්සෙන් ගියේය. නන්ද කුමරුට සරණ පාවාදීමට නියමිත වූ ජනපද කල්‍යාණි කුමරි ඒ දැක “ස්වාමි පුත්‍රයාණනි, වහාම අව මැනැවැයි කියා බෙල්ල දිගුකොට නන්ද කුමරු දෙස බැලුවාය. මේ කතාව කුමරුගේ සිත්හි තදින් වැදී ගියේය. එහෙත් කුමරු තෙම පාත්‍රය ගත මැනැවැයි කීමට නොහැක්කේ බුදුරජාණන් වහන්සේ අනුව විහාරයටම පැමිණියේය. එහිදී භාග්‍යවතුන් වහන්සේ “නන්ද මහණ වන්නෙහිදැයි” ඇසූ සේක. හෙතෙම ජනපද කල්‍යාණිය කෙරේ පේ‍්‍රමයෙන් එයට නොකැමැතිව බුද්ධ ගෞරවයෙන් ඒ බව නොකියා එසේම මහණ වෙමි යි කීය. ඉක්බිතිව භාග්‍යවතුන් වහන්සේ ඔහු මහණ කළ සේක. මෙසේ කිඹුල්වත් පුරයට බුදුරජාණන් වහන්සේ වැඩි තුන්වනදා නන්ද කුමරුගේ ප්‍රව්‍රඡ්‍යාව විය. මේ වනාහි බුද්ධත්වයෙන් දෙවෙනි වර්ෂයෙහි වෙසක් මස අවදියවක් දාය.

රාහුල කුමරු පැවිදි කිරීම

භාග්‍යවතුන් වහන්සේ කපිල වස්තු පුරයට වැඩමවා සත් වන දවසෙහි භික්ෂු සංඝයා පිරිවරාගෙන රජ මැදුරට වැඩ දන් වැළඳූ සේක. යශෝධරා දේවි තම සත් හැවිරිදි වූ රාහුල කුමරුවා මනා කොට හැඳවා පළඳවා පුත විසිදහසක් ශ්‍රමණයන් වහන්සේ විසින් පිරිවරන ලදුව රන් පැහැයෙන් බබලමින් තෙලවැඩ ඉන්නේ නුඹේ පියාය. යනාදීන් කියා පියා සතු ධනය ඉල්ලනු පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත යැවූය.

රාහුල කුමරු ඉතා සතුටු සිතැතිව පීතෘ ස්නේහයෙන් ශ්‍රමණයන් වහන්ස, ඔබ වහන්සේගේ සෙවණ මට ඉතා සැපයි යන ආදීන් නොයෙක් සුරතල් බස් කියමින් සිටියේය. භාග්‍යවතුන් වහන්සේ දන් වළදා අවසානයෙහි අනුමෝදනා බණ වදාරා හුනස්නෙන් නැගිට වැඩි සේක. රාහුල කුමාර තෙම ශ්‍රමණයන් වහන්ස, මට දායාදය දුන මැනැවැයි කියමින් භාග්‍යවතුන් වහන්සේ පසු පස්සෙන් ගියේය. පස්සෙන් එන කුමරු භාග්‍යවතුන් වහන්සේ නොනැවැත්වූ සේක. බලා සිටි පිරිසද කුමරුගේ ගමන නැවැත්වීමෙහි නොහැකි වූහ. මෙසේ කුමරු භාග්‍යවතුන් වහන්සේ, මා බෝමැඬදී ලද සප්ත විධ ආර්ය ධනය මොහුට දෙමි. ලෝකෝත්තර දායාදයන් මොහුට හිමි කරන්නෙමි”යි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ අමතා රාහුල කුමරු මහණ කිරීමට අනුශාසනා කළ සේක.

වහන්ස, කෙසේ රාහුල කුමරුවන් මහණ කරම්දැයි සැරියුත් තෙරණුවෝ ඇසූහ. තිසරණ ගැන්වීමෙන් සාමණේර ප්‍රව්‍රඡ්‍යාව සිදුකරන ලෙසට භාග්‍යවතුන් වහන්සේ අවසර දුන්සේක. ඉක්බිති මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ කුමරුන්ගේ හිස කේ බා කසා වත් හඳවා තිසරණ සමාදන් කැරැවූ සේක. මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ අවවාදාචාර්ය වූ සේක. ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ උපාධ්‍යාය වූ සේක.

රාහුල කුමරුන් පැවිදි කිරීම සුදොවුන් රජුගේ බලවත් කනගාටුවට හේතු විය. එබැවින් රජහු බුදුරජාණන් වහන්සේ වෙත එළැඹ වැඳ එකත් පසෙක හිඳ ස්වාමීනි, දරු සෙනෙහස වනාහි සිවියත් සමත් මනසත් නහරත් විනිවිද ගොස් එයින් නොනැවතී ඇට මිදුළු වල හැපී පවතී යයි කීවේය. එම නිසා මා පිය අවසර නැතිව දරුවන් මහණ නොකරන ලෙස වරයක් ඉල්ලූහ. ශික්ෂාපදක් පැණැවීමට මේ ආයාචනය බලාපොරොත්තුව හුන් බුදුරජාණන් වහන්සේ එයටද අනුකූල වූ සේක. ඉක්බිති කාලෝචිත ධර්මාවවාදයෙන් රජුන් සතුටු කොට පින් දහම් කිරීමෙහි උත්සාහවත් කළ සේක. රජු බණ අසා සතුටුව වැඳ නික්ම ගියේය. ඉන්පසු බුදුරජාණන් වහන්සේ භික්ෂූන් රැස් කරවා අවවාද අනුශාසනා කොට මහණෙනි මා පියන්ගෙන් අවසර නොලත් දරුවා මහණ කළ යුතු නොවේ යැයි වදාළ සේක.

පිය රජුට ධර්මපාල ජාතකය දේශනා කිරීම

බුදුරජාණන් වහන්සේ පසුදා උදෑසන දානය සඳහා රජ ගෙදරට වැඩම කරන ලදී. බුදුරජාණන් වහන්සේට දන් පූජා කරමින් සතුටු සිත ඇති කරගන්නා ලදී. භාග්‍යවතුන් වහන්සේ දන් වළදා අවසන් වූ විට සුද්ධෝදන රජතුමා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ ඔබවහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලයෙහි දිනක් එක් දේවතාවක පැමිණ මහරජ, තොප පුත්‍රයා හට බුදු බවට පත්වීමට නොහැකිවී මරණයට පත් විය. මා එහිදී ඒ දේවතාවට කියා සිටියේ මාගේ පුත්‍රයා බුදු වී මිස කුමන විටක හෝ කළුරිය නොකරන බවයි. එසේ පවසා මම ඒ දේවතාවගේ කථාව නොපිළිගත්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මහරජ,ඔබට ඔය වදන් පෙළ ඉතා හුරු වදන් පෙළකි. මින් පෙර කලක මේ මළාවු නුඹේ පුත්‍රයාගේ ඇට කැබලි යැයි වෙනත් පුද්ගලයෙකුගේ ඇට කැබලි ඔබට පෙන්වා සිටි කල ඔබ එම ඇට කැබිලි තම පුත්‍රයාගේ නොවන බව පවසා එම කථාව නොපිළිගත්හ. එම කථා අසා එම සියලු සිදුවීම් විස්තර කරමින් පුරාණ ප්‍රවෘත්තිය ගෙනහැර දක්වමින් රජුට මහා ධර්මපාල ජාතකය දේශනා කරන ලදී.

එම ධර්ම දේශනාව අසා සිටි පිය රජතුමා අනාගාමී ඵලයෙහි පිහිටියහ.

භාග්‍යවතුන් වහන්සේ රාහුල කුමරු මහණ කළ බව අසා හිතේ හටගත් වේදනා තුළ යශෝධරා දේවියට ශෝකය දරාගන්නට නොහැකි විය. මාගේ පුතණුවන් මගෙන් වෙන් කර ගත් බැවින් මම ගිහිගෙයි නොවසමි. මහණ වෙමියි පැවසුවාය.

ඒ පුවත අසා සුද්ධෝදන රජතුමා ඇය කරා පැමිණ මෙසේ ඔවදන් දී ඇගේ සිත සනසන ලදී. දියණිය යශෝධරාවනි, එදා වෙස්සන්තර ජාතකයෙහි තොප වැදු දරුවන් ජූූජක බමුණාට දන් දුන් කල පවා තොප දරු ශෝකය ඉවසා සිටි ජාතින්හි ඇසුවහුද? දාන පාරමිතාව පුරන අනන්ත ජාතීන්හි තොප වැදු දරුවන් ඉල්ලා ආවුනට දන් දුන් වැල් පමණක් ගොඩ කළොත් මේරු පර්වතයටත් වඩා උස්වන බව වදාළා. නොඇසුවහුද, මේ කිසි තැනකදි තොප දොම්නස් නොවු බව වදාළා නොඇසුවද? මෙසේ කලැදැන් උන් වහන්සේ බුදු වී සිය පියාවු මාත් ඇතුළු සකල ලෝකවාසීන් දරු කොට ගත් කලැ තමන්ගේම දරුවා මහණ කැරැගත් බව ගැන කවර දොසක් කියමොද රාහුල කුමරුන් මහණ කැරැවූ බව අසා අද මම උන්වහන්සේ කරා ගියෙමි, ගොස් උන්වහන්සේගේ ධර්ම කථාව අසා තොපට තවත් පුතකු නොසිටින හෙයින් මිස, සිටියි නම් ඔහුත් උන්වහන්සේ වෙත පැවිදි කරවාලනු කැමැති විම්. අද තෙපි ඒ බණ ඇසුවහු නම් මහණ කරවන්නට තවත් පුතක්හු ඇතොත් කොතරම් යසෙක්දැයි සිතන්නහුමය. පෙරැ බොහෝ දරුවන් දන් දුන් උන්වහන්සේට දැන් එක පුතකු නිවන් සැප වින්ඳවීමට තමන් වහන්සේ වෙතට ගැන්ම ගැන තොප ශෝක කිරීම අයෝග්‍යය. ඒ තොප වැන්නන්ට සුදුසු නොවේ. පුතුට හොඳක්ම උන්වහන්සේ කළ සේක. ඔබේ පුත්‍රයා මහණ වී සිය පියාණන් ළඟ සඳු පස්සේ යන නැකත් තරුවක් සේ සිටින්නහු දක්නා දරුවන් ඇතියවුනට ලොවැ තවත් එවැනි සතුටෙක් කොයින් ද තවද මේ කාරණයෙහිද තොප මහණ වුවහොත් එය සැදැහැයෙන් නොවේ. දරු සොවින්ම කළ එකෙකැයි ලෝවැසි තෙම තොප හෙළාදකී. එබැවින් දැන්ම මහණ නොවව මෙසේ කියා ඇගේ ශෝකයද නිවා මහණ වියැ නොදි ඇය රඳවා ගත්හ.

ශාක්‍ය කුමරුවන් පැවිදි වීම

බුදුරජාණන් වහන්සේ නොබෝ කලෙකින්ම කපිලවස්තු පුරයෙන් නික්ම මල්ල රටට වැඩමවා එහි සැරිසරන සේක.අනෝමා නදි තීරයෙහි වූ අනුපිය නිගමයට සම්ප්‍රාප්තවැ එහි අඹ වනයෙහි වසන සේක. එහිදී සුද්ධෝදන රජ්ජුරුවන් විසින් මෙහෙයන ලද ශාක්‍ය රජුන් විසින් යැවුණු කුමරුවෝ බොහෝ දෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදි වූහ. ඉක්බිති තවම නොපැවිදිව සිටි භද්දිය, අනුරුද්ධ ,ආනන්ද, භගු, කිම්බිල, දේවදත්ත යන ශාක්‍යයන් සයදෙනාය.

මේ ශාක්‍යයන් සයදෙනා දැක පැවිදි වූවන්ගේ මා පියෝ මොවුන් බුදුනට නො නෑ හෙයින් වේද?. පැවිදි නොවන්නේ යැයි දොස් නැගූහ. ඉක්බිති සයදෙනා සතියක් දෙවියන්සේ රජ සිරි විඳ අටවන දා උපාලි කරනවෑමියා සමඟ මහ සෙනගින් පිරිවැරුණෝ කිඹුල්වතින් නික්ම ගියහ. ශාක්‍ය කෝලිය ජනපද ඉක්මි තැනදි සෙනඟ පෙරළා එවා ඔහු සත්දෙනා අනුපිය අඹ වනයටද වැදෑ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ පැවිදි වූහ. මෙසේ පැවිදි වූ ශාක්‍ය කුමාරවරුන් පසු කලක බුදු සසුන තුළ ස්ථානාන්තරලත් භික්ෂූන් වහන්සේලා විය.

ආනන්ද මහ රහතන් වහන්සේ – අග්‍ර උපස්ථායක හා ධර්ම භාණ්ඩාගාරික විය. උන්වහන්සේ අමිතෝදන රජුගේ පුතනුවන් අනුරුද්ධ මහ රහතන් වහන්සේ – දිවැස් ඇත්තන් අතුරෙන් අග්‍ර විය. උන්වහන්සේ අවුරුදු 150 ක් ජීවත් විය. උපාලි මහරහතන් වහන්සේ විනයධරයන් අතුරෙන් අග්‍රය.

තවත් කොටසක් නවම් පුර පසළොස්වක පොහෝදා පෙබරවාරි 03 වනදා පත්‍රයේ


සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 22

 

නවම් පුර අටවක පෝය 

නවම් පුර අටවක පෝය ජනවාරි මස 26 වැනි දා සඳුදා අපරභාග 10.52 ට ලබයි. 27 වැනි දා අඟහරුවාදා අපර භාග 09.53 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 27 වැනිදා අඟහරුවාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 03 වැනි දා අඟහරුවාදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 27

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 03

Second Quarterඅව අටවක

පෙබරවාරි 12

Full Moonඅමාවක

පෙබරවාරි 18


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]