නවම් පුර අටවක 2015.01.27
දින චර්යාව
සම්මා සම්බුදුපියාණන් වහන්සේ පුරා පන්සාළිස් වසක් මුළුල්ලෙහි
ලෝක සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් වැඩ සිටි සේක. උන්වහන්සේ වැඩ
සිටි සෑම මොහොතක්ම ලොවට මහා ආශීර්වාදයක්ම වූහ. එමෙන්ම
ආදර්ශයක්ම වූහ. ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ දින චරියාව
පිළිබඳ සිහියට නැගෙන විට පවා මහා සැනසිල්ලක්ම ඇතිවෙයි.
උන්වහන්සේ පෙර බත් කිස මගින් අරඹන ලද දින චර්යාව හෙවත් බුද්ධ
කෘත්‍යය පංචවිධ විය.
දුකට පත් අනන්ත අප්‍රමාණ සත්ත්වයා බියකරු සසර කතරෙන් එතෙර
කරවීමට ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන්ම පිහිට වූ
සේක. ඒ නිසාම බුදුපියාණන් වහන්සේ තුරිත චාරිකා, අතුරිත චාරිකා
වශයෙන් වැඩම කරමින් ලෝක සත්වයන් වෙත පිහිට වූහ. ශ්‍රී සද්ධර්මය
අවබෝධ කිරීමට තරම් මුහුකුරා ගිය නුවණ ඇති තැනැත්තකු ඉතා දුර
බැහැරක වසන අවස්ථාවක ඒ තැනැත්තා වෙත දහම් දෙසීම සඳහා සෘද්ධි
බලයෙන් වැඩම කළ සේක. ආලවක නමැති යක්ෂ දමනයට තිස් යොදුන් මගක් ද
අංඟුලිමාල දමනයටද, පුක්කුසාති රජු හමුවීමට යොදුන් පන්සාළිසක්
පමණ දුරක්ද, ධනිය ගෝපාල හමුවීමට යොදුන් හත් සියයක් තරම් දුරද
ආදී වශයෙන් මොහොතකින් වැඩම කළ සේක. එසේ පියෙවි ගමනින් බැහැරව
සෘද්ධි බලයෙන් ඉතා ඈත දුර බැහැර වැඩම කළ අවස්ථා බුදුසිරිතෙහි
ඇතැම් අවස්ථාවල දක්නට ලැබේ.
අසරණ අහිංසක අය පමණක් නොව වියපත් වූ සහ රෝගීහුද ගෞතම
බුදුපියාණන් වහන්සේ දැක ගැනීමට පැමිණිය නොහැකි බොහෝ අයදවූහ. ඒ
සෑම මොහොතකම බුදුරජාණන් වහන්සේ ඔවුන් වෙතට මහා කරුණාවෙන් වැඩම
කළ විට ඔවුන් බුදුරදුන් දැක, උන්වහන්සේ වෙත වැඳුම් පිදුම් කර
අපමණ කුසල ශක්තීන් උපදවා ගත්හ. උන්වහන්සේගෙන් දහම් අසා පැහැද
අමා මහ නිවනින් සැනසුනහ. නොයෙක් ගම් නියම් ගම්හි නුවණ මුහු
කුරා ගිය බොහෝ දෙනාට සිව්සස් දහම අවබෝධ කරවනු පිණිසත් භික්ෂු
භික්ෂුණී, උපාසක, උපාසිකා සිව් පිරිස සනසාලීමත්, බොහෝ
සත්ත්වයන් අෂ්ට ධ්‍යාන, සමාපත්තීන් ලබන බවද සලකා බුදුරජාණන්
වහන්සේ එසේ වැඩම කළ සේක.
ගම් නියම් ගම් පිළිවෙළින් දිනපතා පිඬු පිණිස වැඩම කරවමින්
ලෝකානුග්‍රහය කෙරෙමින් වැඩම කළ ගමන අතුරිත චාරිකා නම් වූහ. එසේ
අතුරිත චාරිකාවෙහි යෙදුණු බුදුපියාණන් වහන්සේ යොදුන් ගණන් පා
ගමනින්ම වැඩම කරවූහ. මෙසේ වඩිනා බව ආරංචි වූ මොහොතේ දී යොදුන්
සිය ගණන් ඈත ජනයා පවා උන්වහන්සේ වැඩම කරවන තෙක් නොඉවසිල්ලෙන්
බලා සිටියහ.
උන්වහන්සේ වඩිනා බව ආරංචියෙන් පවා දැනගත් ජනී ජනයා ඒ උතුම්
මොහොත එළඹෙන තෙක් බලා සිටියේ උන්වහන්සේ දැක බලා වැඳ පුදා
ගැනීමට මෙන්ම දානය පිළිගැන්වීමෙන්, දහම් ඇසීමෙන් ආදී අප්‍රමාණ
බලාපොරොත්තු ඇතිවය. සම්‍යග් දෘෂ්ටික පිරිස් බුදුරජාණන් වහන්සේ
වෙත ගෞරව දැක්වීමට අපේක්ෂාවෙන් පසුවුවද අන්‍ය ලබ්ධික
පරිබ්‍රාජිකාදීහු ඔවුනගේ බැතිමත්හු බුදුරජාණන් වහන්සේගේ ධර්මය
පිළිගැනීමට යොමුවෙතැයි කැළඹීමට ද පත්වූහ.
කෙසේ වුවද ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ බුදුසිරිත මහා
අසිරිමත් ය. උන්වහන්සේ ලොව වැඩ සිටි සෑම මොහොතක් පාසාම සසර
කතරේ අතරමංව සිටි සත්ත්වයා වෙත බුදු නෙතින් දැක බුදුනුවණින්
පිහිටවූයේ උන්වහන්සේට ම පමණක් ආවේණික වූ මහා කරුණාවත් මහා
ප්‍රඥාවත් හේතුවෙනි. ඒ අසිරිමත් බුදු සිරිත අනුගමනය කරන
බෞද්ධයා සතු අපේක්ෂාව විය යුත්තේ ජීවිත කාලය යම් දින චරියාවකට
අනුව ගත කිරීමටය.
කවර කටයුත්තකදී වුවද නිශ්චිත කාලවකවානුවකට අනුව ජීවිත ගත
කිරීමේ උදාර ආදර්ශය බෞද්ධ සමාජය වෙත ආදර්ශයෙන් පෙන්නුම් කර
වදාළේ තථාගත බුදුපියාණන් වහන්සේ ය. අරමුණ, අපේක්ෂාව,
බලාපොරොත්තුව සාර්ථක කර ගැනීමටත් වගකීමෙන් සිය ජීවිතය අර්ථවත්ව
ගත කිරීමටත් උදාර ආදර්ශය, මාර්ගෝපදේශකත්වය සලසනු ලබන්නේ,
සම්බුදු දහම මගිනි. ස්වකීය ජීවිතය යහපත්ව ගත කිරීම මිනිස්
සමාජය සතු වගකීමකි. ඊට සම්බුදු දහම නිසි මඟ පෙන්වා දෙන හෙයින්
අසිරිමත් සම්බුදු සිරිතෙන් ගත හැකි උදාර ආදර්ශයන් අප අපගේ
ජීවිතවලට ළඟා කර ගන්නේ නම් එය නිරන්තරයෙන් සැනසීම උදාකරවන්නක්ම
වේ. එය මෙලොව ජීවිතය පමණක් නොව සංසාර ගමන පවා සුවපත් කරනු ලබන
මගක් බව කල්පනා කළ යුතු ය.
|