UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් පිළිවෙත

 සදහම් පිළිවෙත

මිනිසා මුහුණ දුන් ගැටලුවලට විසඳුමක් ලෙස ආගමික චින්තාවක් ලොව පහළ වූ බව ආගමික ඉතිහාසය පරීක්ෂා කරන විට පැහැදිලිය. ඒ ඒ අවස්ථාවල ඔවුන්ට මුහුණ දීමට සිදු වූ ස්වාභාවික උපද්‍රව, වසංගත, සතුරු කරදර, භූත අමනුෂ්‍ය උපද්‍රව, ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න, මරණින් මතු ජීවිතය යනාදී කරුණුවලදී ඒවාට මුහුණ දීමේ ක්‍රියාවලියක් ලෙස ආගමික චින්තාවන් ගොඩනැගී සමාජය වැළඳ ගත් බව ‘බහුංවෙ සරණං යන්නි

පබ්බතානි වනා නිච
ආරාම රුක්ඛ චේත්‍යානි
මනුස්සා භය තජ්ජිතා “

යන ධම්ම පද පාඨය නිදසුනකි. මෙසේ ප්‍රාදුර්භූත වූ ආගමික සංකල්පනාවන් යුගයෙන් යුගයට සංවර්ධනය වී ජන විඥානය හා බද්ධ විය. බොහෝ ආගමි දේවවාදී විය. අදෘෂ්‍යමාන බලවේග මගින් ඒවා පාලනය විය. මැවුම්කරුවකු පිළිගත් ඔව්හු තමන් පිළිබඳ සියලු වගකීම් එම නිර්මාපකයාට පවරා දී ඇත. තම ආත්ම විමුක්තිය පමණක් නොව එදිනෙදා ජීවිත පැවැත්මද තීරණය කරනු ලබන්නේ නොපෙනෙන බලවේගය මතින් බව පිළිගත්හ. එම ආගම් ලොවට ගෙන එන දේව දූතයකු පිළිබඳ විශ්වාසයද ඔවුන්ට ආවේණිකය.

කර්ම මාර්ගය හා ඤාණ මාර්ගය යන පිළිවෙත් දෙකකට අනුව ව්‍යාප්ත වී ගිය ආගමික ප්‍රතිපදා මාර්ග දෙකකි. මැවීම් සංකල්පවාදීන් කර්ම මාර්ගය ඔස්සේ ආගමික ක්‍රියාකාරකම්හි නිරත වූ අතර ඤාණ මාර්ගය අනුගමනය කළේ විඥානවාදීහුය. ඔවුන් බුද්ධිය අවදි කිරීමෙන් ජීවිත විමුක්තිය උදා කරගත හැක යන අදහසේ සිට ක්‍රියා කළහ. භාවනාව පදනම් කරගෙන ඤාණගවේෂණය හා විදර්ශනාව තුළින් ජීවිතය හා ලෝකය පිළිබඳ යථාවබෝධය ලැබීමට උත්සාහ කළ ආගමක් ලෙසද බුදුදහම පෙන්වා දිය හැකිය. නිර්මාණවාදී ආගමික පසුබිම තුළ පුද්ගලයාගේ ස්වාධීනත්වය අන්සතු කර තිබුණි. තමා පිළිබඳව තීරණ ගන්නේ අනෙකකි. එහෙත් බුදුදහම ස්වච්ඡන්දතාව ඉහළින්ම අගය කර ඇත. තමාගේ ස්වාමියා තමාමය. තමාට පිහිට තමාමය, “අත්තාහි අත්තනො නාථො කොහි නාථො පරොසියා” යන යෙදුම එයට නිදසුනකි. “සුද්ධී අසුද්ධී පච්චත්තං නාඤ්ඤමඤ්ඤා විසොධයේ” තමාගේ පිරිසුදු අපිරිසුදු බව තම තමා තුළම පවතින්නකි. තවකෙනකුට කිසිවෙක් පිරිසුදු කළ නොහැකිය. තථාගතවරයෙකු කරනුයේද මාර්ගය කියාදීම පමණයි. එහි ගමන් කර ප්‍රතිඵල උදා කරගැනීම තම තමන් සතු වගකීමක් බව “තුම්හෙහි කිච්චං ආතප්පං අක්ඛාථාරෝ තථාගතා” යන පැහැදිලි කිරීමෙන් පෙනෙයි.

බුදු දහමේ ඇති චින්තන නිදහස මෙහිලා ඉතා වැදගත්ය. අන් කිසිදු දහමක දැකිය නොහැකි පරිදි සිතීමේ හා විමසීමේ නිදහස බුදු දහමේ නිර්දේශිතය. විචාර ් කොසොල් රට කේසපුත්ත නියම් ගමෙහි වැසි කාලාම පුත්‍රයන් අමතා දේශනා කර ඇත්තේ විමර්ශනයෙහි ඇති වැදගත් කමයි. අප තුළ ඇතිවන යම් යම් දෘෂ්ඨින් නිසා සත්‍ය, යුක්තිය, ධර්මය නිසි ලෙස වටහා ගත නොහැකිය. එනිසා විවෘත මනසින් යමක් දෙස බැලීමත් ධර්මයට විනයට අනුව පරීක්ෂා කර බැලීමත් එමගින් අවධාරණය කර ඇත. කාලාම පුත්‍රයින්ට ඇතිවූ ගැටලුව වූයේ ඔවුන් වෙත පැමිණෙන විවිධ මතදරන මහණ බමුණන් තම තමන්ගේ මතය, ලබ්ධිය නිවැරදි බවත් අන්‍ය ලබ්ධීන් වැරැදි බවත් කියමින් කරන ප්‍රකාශයන්ය. ඒ පිළිබඳව පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ ඔවුන්ට ප්‍රකාශ කළේ මා අනුස්සවේන . තමන් ඇසූ පමණින්ම යමක් නොපිළිගත යුතුය. මා පරම්පරාය. පරම්පරානුයාතව පැවත්තක් නිසා නො පිළිගත යුතුය.මා ඉතිකිරාය. මිනිසුන් අතර ඇතිවූ මතයන් කථාවක් නිසා මෙසේ වූයේය යන අදහසින් නොපිළිගත යුතුය. මා පිටක සම්පදානෙන – ආගමික පොත්පත්හි සඳහන්ව පැවති තරමින් නො පිළිගත යුතුය. මා තක්ක හේතු -තර්කයට අනුව ගැලපෙන හෙයින්ද නොගත යුතුය.

මා නය හේතු - න්‍යායට ගැලපෙන නිසාද එකවර නොපිළිගත යුතුය. මා ආකාර පරිවිතක්කෙන – පරික්ෂා නොකොට මතුපිටින් බලා පිළිගත යුතු නොවේ. මා දිට්ඨි නිජ්ඣානක්කත්තියා - තමාපිළිගත් දෘෂ්ටියට ගැලපේයැයි නො පිළිගත යුතුය. මා භබ්බරූපකාය - ප්‍රකාශ කරන්නාගේ හැඩරුව යහපත්කම සලකාද නොපිළිගත යුතුය. මාසමණො නො ගරු හොති - අප විසින් ගරුකටයුතු ශ්‍රමණයකු දෙසූ නිසාද නොපිළි ගත යුතුය. මෙය අකුසල්ය. මෙය සාවද්‍යය. මෙය නැණවතුන් විසින් ගර්හිතය මෙය අනුගමනය කිරීමෙන් අහිත පිණිස දුක පිණිස පවතීද එය නොපිළි ගෙන මෙය කුසලය. යහපතය. නිවැරැදිය ධර්මයට විනයට ගැලපේයැයි වැටහේනම් එය පිළිගත යුතුය. “යදා තුම්හෙ කාලාම අත්තනාව ජානෙය්‍යයාථ, ඉමේ ධම්මා අකුසලා, ඉමේ ධම්මා සාවජ්ජා , ඉමෙ ධම්මා විඤ්ඤු ගරහිතා, ඉමෙ ධම්මා සමත්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තතීති.අථ තුමහෙ කාලාම පජහෙය්‍යාථ, (කාලාම) මේ අනුව කිසිවිටක අවබෝධයෙන් තොරව යමක් පිළිගත යුතු නොවේ. නිරන්තරයෙන් විමසිලිමත් වීමෙන් වඩාත් පැහැදිලිව නිවැරැදිව වටහා ගත හැකිවෙයි.

අපට යමක් තේරුම් ගැනීමේදී ක්‍රම දෙකක් ඇත. එනම් අනුමාන ඥානය හා ප්‍රත්‍යක්ෂ ඥානයයි. යම් යම් කරුණු සාපේක්ෂකව බලා වටහා ගැනීම පූර්ණ නිවැරදිම අවබෝධයක් නොවේ. එහි විචල්‍යන් බහුලය. වෙනස්වීමේ සම්භාවිතාවක් ඇත. එහෙත් ප්‍රත්‍යක්ෂයෙන් යමක් දැකිය හැක්කේ අවබෝධ කරගත හැක්කේ ඒ පිළිබඳ අභ්‍යාසයකිනි. පිළිපැදීමකිනි. භාවිතාවකිනි. එය නිවැරදි වැටහීමයි. සම්මා දිට්ඨිගතිකයකු වන්නේ එවිටයි.

නිර්මාණවාදීන් තුළ ඇත්තේ භක්තිය පදනම් වූ ක්‍රියා මාර්ගයන්ය. බුදුදහම භක්තිය පිළි නොගනී. ආකාරවති සද්ධා අමුලිකා සද්ධා නමින් හැඳින්වීම් දෙකක් දක්වන බුදුදහම අමුලිකා ශ්‍රද්ධාව භක්තිය පදනම් වුවක් ලෙස ප්‍රතික්ෂේප කොට ඇත. ප්‍රඥාව පදනම්කොට ගත් අවබෝධයට මගපාදන ආකාරවති ශ්‍රද්ධාවම බුදු දහමෙහි අගයා ඇත. නිවන් මගට උදව්වන්නේ විමසුම් සහගත පිළිගැනීමයි. විශ්වාසයයි. “පඤ්ඤාවන්තස්සායං ධමෙමා නායං ධමමො දුප්පඤ්ඤස්ස’ යන පැහැදිලි කිරීම විමර්ශනයට බුදු දහම ලබා දී ඇති ඉඩකඩ මනාව පිළිබිඹු කරන්නකි. ප්‍රඥාවන්තයා යථාර්ථවාදිය, සහේතුකය, විමසුම් සහගතය. නිර්මාණශිලීය.සන්සන්දනාත්මකය.යථාවබෝධයට ඉඩ හැරීම විදර්ශනා යන වචනාර්ථයෙන්ම ගම්‍ය වෙයි. වි +දර්ශනා යනු යමක් දෙස විමසුම් නුවණින් බැලීමය. විශේෂ කොට බැලීමය. බෙදා වෙන්කොට බැලීමය. යථා භූත ඥානය ලද හැක්කේ ප්‍රඥාව අවදිකරගත් යෝගාවචරයකුට පමණි.අන් කිසිම ආගමක නොමැති වැදගත්කමක් ප්‍රඥාව විකසිත කිරීමට බුදුදහම ලබාදී ඇත. ප්‍රඥාව පාරමිතාවක් ලෙස දීර්ඝකාලයක් පුරුදු නොකර එම යථාවබෝධය ලැබිය නොහැකිය.

දහමේ ගුණ දක්වන තැන්හි ඒහිපස්සික නමින් හා පච්චත්තං වේදිතබේබා විඤ්ඤුහි” යනුවෙන් ගුණ දෙකක් දක්වා ඇත. ඒහිපස්සික යනු ඇවිත් පරීක්ෂා කර ස්වබුද්ධියෙන් ප්‍රඥාවෙන් කරුණු තේරුම් ගෙන ධර්මය තේරුම් ගැනීමට ආරාධනා කිරීමට සුදුසුය. යන්නය. කිසිදු බලකිරීමකින් තොරව නිදහස් මනසකින් හේතු පරීක්ෂා කිරීමට ඉන් ඉඩහසර ලබා දී ඇත. අනතුරුව දැක්වූයේ තම තම නැණ පමණින් ධර්මය වටහා ගැනීමට ඇති හැකියාවයි. එහිද කිසිදු බලකිරීමක් නැත. තම තමන් සිතා පරීක්ෂා කොට වැටහෙන අන්දමට ධර්මය තේරුම්ගෙන ප්‍රතිඵලය දක්වා ගමන් කිරීමට අවකාශ සලසා ඇත.

ඉහතින් සඳහන් කළ කරුණු අපට ගෙන හැර පාන්නේ ඥානමාර්ගයක් වූ බුදු දහම විවෘත වූ තරමට බබළන බවත් පුද්ගල විමුක්තිය තම තමා විසින්ම උපයාගත යුතු සකසාගත යුතු වැඩ පිළිවෙළක් බවත් පුද්ගල ස්වච්ඡන්දතාවයත් තමාගේ විමුක්තියේ වගකීම තම තමාම දැරිය යුතු බවත්, බුදුදහම අවධාරණය කර ඇති බවත් මින් මනාව වටහා ගත හැක.

 

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය නොවැම්බර් මස 29 වැනි දා සෙනසුරාදා පූර්ව භාග 04.39 ට ලබයි. 30 වැනි දා ඉරිදා පූර්වභාග 02.38 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 29 වැනි දා සෙනසුරාදාය.

මීළඟ පෝය දෙසැම්බර් 06 වැනිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 29

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 06

Second Quarterඅව අටවක

දෙසැම්බර් 14

Full Moonඅමාවක

දෙසැම්බර් 21


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]