පෙරභවය යි
කර්ම විපාකය යි 14
දන්දුන් පුතුට
ගැරහූ මව ප්‍රේතියක් වෙයි
ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත
මහරැඹෑවැවේ පාලිත හිමි
රේවත තෙරණුවෝ තම පාත්‍රයට පැන් ගෙන තමන්වහන්සේගේ අතේ තිබියදීම ඇයට බීමට
සලස්වා, එසේ ඇය ප්‍රේතියක්ව ඉපිද දුක්විඳීමට හේතු වූ අකුශල කර්මය
විමසයි. එවිට ඇය තම පුතා වූ උත්තර මානවකයා දන් දෙන කල්හි එයට ගැරහීම්
ආදී වූ තමා කළ අකුශල කර්මයන්ගේ සියලු තොරතුරු පැවසුවා ය.
ගියවර අපගේ අවධානය යොමු වූයේ පෙර එක් අත් භවයක ස්ත්‍රියකගේ කුස තුළ
වැඩෙන දරු ගැබක් විනාශ කළ තවත් ස්ත්‍රියක් ප්‍රේතියක්ව ඉපිද අනේකවිධ
දුක්ඛයන්ට භාජනය වන අයුරු සඳහන් වන පේතවත්ථුවේ ඇතුළත්
‘පඤ්චපුත්තඛාදකපේතවත්ථු’ව විමසා බැලීමටයි. අද අපගේ අවධානය යොමුවන්නේ
පේතවත්ථුවේ ම සඳහන් දන් දෙන තම පුතුට ගරහා ප්‍රේතියක් ව උපන් මවක්
පිළිබඳ සඳහන් ‘උත්තරමාතු’ නම් පේතවත්ථුව විමසා බැලීමටයි.
සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසක් ගතවීමෙන් අනතුරුව පළමු සංගායනාවට
සහභාගී වූ මහාකච්චායන මහරහතන් වහන්සේ තවත් භික්ෂූන් වහන්සේලා දොළොස්
නමක් සමඟ කොසඹෑ නුවර සමීපයෙහි එක්තරා වන ලැහැබක වැඩ වාසය කළහ. එකල උදේන
රජතුමාගේ ඇමතියෙක් කළුරිය කළේ ය. ඔහුගේ ඇවෑමෙන් පසු එම තනතුරෙහි ඒ
ඇමැතිවරයාගේ පුතා වූ උත්තර නම් තරුණයා පිහිටු වන ලදී. ඔහු දිනක් නගරයේ
ප්‍රතිසංස්කරණ කටයුත්තකට අවශ්‍ය දැව සෙවීම සඳහා වඩුවන් ගෙන වනයට ගියේ
ය. එහිදී ඔහු මහා කච්චායන මහරහතන් වහන්සේ වසන ස්ථානයට පැමිණ උතුම්
පාංශුකූල චීවරය දරමින් වැඩහුන් මහරහතන් වහන්සේ දැක පැහැද, තමන් හඳුන්වා
දී කරන ලද පිළිසඳර කතා ඇත්තේ මහා කච්චායන තෙරුන් වහන්සේගෙන් ධර්මය අසා
පැහැදුණේ පසු දින දානයට වඩින ලෙස ආරාධනා කොට සතුටු සිතින් පිටත්ව ගියේ
ය.
නගරයට පැමිණ උත්තර ඇමැති පුත්‍රයා තමන් වහන්සේ මහා කච්චායන මහරහතන්
වහන්සේ බැහැදැක මෙදින දානයට ආරාධනා කළ බව දැන්වීය. ඔවුන් ද සතුටු වූයේ
දානය පිළිගැන්වීම සඳහා පැමිණීමට කැමති වූහ. පසු දින උදෑසන සිට ම බොහෝ
ශ්‍රද්ධාවෙන් දානය පිළියෙල කළ ඔහු දානය වේලාව පැමිණි පසු වඩින තෙරුන්
වහන්සේ දැක පෙර ගමන් කොට පාත්‍රය පිළිගෙන ගෞරව පෙරදැරිව නිවසට වැඩමවා
ප්‍රණීත වූ ආහාරපානාදියෙන් උපස්ථාන කොට දන් වළඳා අවසානයෙහි අනුමෙවනී
දහම් ද අසා නැවත තෙරුන් වහන්සේ ආපසු වඩින කල්හි උත්තර මානවකයා පසු ගමන්
කොට උන්වහන්සේ නික්මෙන මොහොතෙහි දිනපතා ම ඔහුගේ නිවසට දානයට වැඩමවන ලෙස
ඇය ද සිටියේ ය. තෙරුන් වහන්සේ ද නිශ්ශබ්දව එය පිළිගත්හ. ඔහු එතැන් පටන්
දිනපතා ම රේවත තෙරනුන් වහන්සේට දානමානාදියෙන් ඇප උපස්ථාන කොට දහම් අසා
නොබෝ කලකින් ම සෝවාන් ඵලයෙහි පිහිටියේ ය. ඔහුගේ ඤාතීන් ද අධිකතර
පී‍්‍රතියෙන් යුක්තව තෙරුන් වහන්සේට ඇප උපස්ථාන කරමින් කල් ගෙවූහ. ඇමති
පුත්‍රයා මහා කච්චායන මහරහතන් වහන්සේ ඇතුළු මහ සඟනට මනහර වූ ආරාමයක් ද
ඉදිකොට පූජා කළේ ය.
ඔහුගේ මව වනාහි අධික වූ මසුරු මළ ඇත්තියකි. කිසි දිනක දානය පිළිගැන්වීම
සඳහා සහභාගී නොවූවාය. නිතර දන් දෙන තම පුතු කෙරෙහි තරහවෙන් හා දන් දීම
පිළිබඳව නිගරු කරමින් කල් ගත කළා ය. ඇය නිතර මෙසේ පැවසුවා ය. එනම්
“මාගේ අකැමැත්තෙන් ශ්‍රමණයන්ට දෙන ආහාර පාන මතු ආත්මයෙහි ලේ බවට පත්
වේවායි” ශාප කළා ය. උත්තර ඇමති පුත්‍රයා විසින් විහාරය ඉදිකොට පූජා කළ
දිනයෙහි ඇය විසින් මොනර පිල් කළඹක් පමණක් පූජා කරන ලදී.
මෙසේ කල්ගත වීමත් සමඟ උත්තර ඇමැති පුත්‍රයාගේ මෑණියන් කළුරිය කොට
ප්‍රේතියක්ව උපන්නාය. ඇඟට වස්ත්‍ර නැති ඇයට විලි වසාගැනීමට සමත් දික්
වූ නිල්වන් වරළසක් විය. ගංතෙරෙහි වාසය කළ ඇයට කිසි දිනක අහරක් හෝ බීමට
පැන් පොදක් නොලැබිණි. පිපාසිත වූ ඇය දිය බොන්නෙමියි ගඟට බට කල්හි ගඟේ
සියලු වතුර ලේ බවට පත්ව පෙනෙයි. පිපාසාව තිබුණද කිසි දිනක බීමට සිත්
නොදෙයි. ඒ ඇය තම පුතු දන් දෙන කල්හි ඔහුට ද්වේෂ කරමින් “මාගේ
අකැමැත්තෙන් ශ්‍රමණයන්ට දෙන ආහාර පාන මතු ආත්මයෙහි ලේ බවට පත් වේවායි”
ශාප කළ නිසා ය. විහාරය පූජා කරන දිනයෙහි මොනර පිල් කළඹ පිදූ නිසා දිගු
නිල්වන් වරළසක් ඇයට හිමි වූවා ය.
මෙසේ ඇය පනස් පස් වසරක් සා පිපාසාවෙන් පීඩිතව ජීවත් වූ අතර දුර්වර්ණ වූ
ශරීර ඇත්තේ දැකීමට බියකරු දසුන් ඇත්තේ විය. මේ ප්‍රේතිය දිනක්
කංඛ්‍යාරේවත මහරහතන් වහන්සේ එම ගඟ අසබඩ දිවා විහරණය පිණිස වැඩි
අවස්ථාවක තමා සතු වූ දිගු කෙස් කළඹින් විළි වසා තෙරුන් වහන්සේ වෙතට
පැමිණ බීමට පැන් පොදක් ඉල්ලා සිටියා ය.
දිවාවිහාරගතං භික්ඛු
- ගංගාතීරෙ නිසින්නකං
තං පෙති උපසඩ්කම්ම
– දුබඹණ්ණා හීරුදස්සනා
ස්වාමීනි, මා පෙර උදේන රජුගේ ඇමතියෙකුගේ භාර්යාවක් වුණෙමි. මා ඒ
මිනිසත් බවෙන් කළුරිය කොට පනස් පස් වසක් වෙමි. ඒ පනස් පස් වසම
ප්‍රේතියක්ව උපන් මම කුසට ආහාර නොලැබ බීමට පැන් පොදක් නොලැබ දුක්
විඳිමි. ස්වාමීනී මට අනුකම්පා කොට බීමට පැන් පොදක් දෙනු මැනවි.
පඤ්චපණ්ණාස වස්සානි
– යතො කාලකතං අහං
නාභිජානාමි භුත්තං වා
- පිතං වා පන පානීයං
දෙහි ත්වං පානියං භන්තෙ
– තසිතා පානියාය
මෙති ප්‍රේතියගේ වදන් අසා ගඟ දෙස බැලූ රේවත තෙරණුවෝ
මෙසේ පවසයි. මේ ගංගා නම් නදිය හිමවතෙහි සිට ගලා එන්නකි. සිහිල් දිය
දහරින් යුක්තය. එයින් පැන් පොදක් ගෙන බොනු මැනවි.
අයං සීතොදිකා ගංගා
- හිමවන්තතො සන්දති
පිව එත්තො ගහෙත්වාන
– කිං මං යාවසි පානීයං
එවිට ප්‍රේතිය රේවත තෙරණුවන්ට මෙසේ පවසයි. අනේ ස්වාමීනි, මේ ගංගා
නදියෙහි ජලය සිහිල්ය. එහෙත් මාගේ පාප කර්මයේ මහත් බව නිසා බීමට ගත් විට
ලේ බවට හැරෙයි. එබැවින් මට මේ සිහිල් දිය කිසිදා බීමට නොහැක.
සාවාහං භන්තෙ ගංගාය
- සයං ගණ්හාමි පානියං
ලොහිතං මෙ පරිවත්තති
– තස්මා යාවාමි පානියං
ප්‍රේතියගේ පවෙහි මහත් බව ගැන සංවේගයට පත් රේවත තෙරණුවෝ තම පාත්‍රයට
පැන් ගෙන තමන්වහන්සේගේ අතේ තිබියදීම ඇයට බීමට සලස්වා, එසේ ඇය
ප්‍රේතියක්ව ඉපිද දුක්විඳීමට හේතු වූ අකුශල කර්මය විමසයි.
එවිට ඇය තම පුතා වූ උත්තර මානවකයා දන් දෙන කල්හි එයට ගැරහීම් ආදී වූ
තමා කළ අකුශල කර්මයන්ගේ සියලු තොරතුරු පැවසුවා ය. භික්ෂූන් කෙරෙහි
පැහැදී සැදැහයෙන් දන් දුන් තම පුතුට කළ ශාපයන්හි ප්‍රතිඵල වශයෙන් එහි
විපාක ඇයට ම විඳින්නට සිදු වී ඇති බව ඉතා දුක්ඛිත ස්වභාවයෙන් පැවසුවාය.
එම ප්‍රේතිය රේවත තෙරණුවන්ගෙන් ඇයද සිටියේ තමා වෙනුවෙන් භික්ෂූන්ට දන්
පැන් පූජාකොට පින් දෙන ලෙසය. එසේ වුවහොත් තමා කළ ඒ පාප කර්මයෙන් මිදීමට
ප්‍රේතියට හැකි බව ද ඇය ප්‍රකාශ කළාය. ප්‍රේතිය කෙරෙහි අනුකම්පා කළ
රේවත තෙරණුවෝ භික්ෂූන් උදෙසා පිරිසුදු පැන් පූජා කළහ. පිණ්ඩපාතයේ හැසිර
භික්ෂූන්ට එම පිණ්ඩපාතය පිළිගැන්වූහ. පාංශුකූල වස්ත්‍ර එකතුකොට සිවුරු
පිණිස, ඇතිරිලි පිණිස, කොට්ටඋර පිණිස, පාපිසි පිණිස පූජා කොට එම
ප්‍රේතියට පින් අනුමෝදන් කළහ. එම පින්අනුමෝදන් වූ ප්‍රේතිය ඒ දුක්ඛිත
ප්‍රේත අත් බවින් මිදී දිව්‍යමය වූ ශරීර වස්ත්‍ර ආහාරපානදිය ලැබූහ. පසු
දින රේවත තෙරුන් වහන්සේ හමුවට පැමිණ ඇය තම ලද සියලු සම්පත් පිළිබඳ
උන්වහන්සේට පවසා සතුටු වූවාය.
මේ සිද්ධිය අරමුණු කොට ගෙන රේවත තෙරණුවෝ තමා වෙත පැමිණි සිව් පිරිසට ම
දහම් දෙසූහ. බොහෝ දෙනෙක් ධර්මාභිසමය ලදහ. එයින් ප්‍රසාදයට පත් තවත්
බොහෝ අය දානමානාදී බොහෝ පින්කම් කොට දිව්‍ය ලෝකයෙහි උප්පත්තිය ලදහ.
එබැවින් දන් දෙන කල්හි සිත අසතුටට පත් කර ගැනීම හා ඒවාට ගැරහීම මහත්
පාප කර්මයක් බව මේ කතාව අපට උදාහරණ සපයයි. එබැවින් තමා දන් දීමට
අකැමැති නම් අන් අය දන් දෙන කල්හි ඒවා වැළැක්වීම හා හානි පැමිණ වීම
තමාගේ ම අයහපතට හේතුවන අකුශල කර්මයක් බව සිහියෙහි තබා ගත යුතු ය.
|