දම්පද මිහිර 12
පවෙහිම ඇලුනු සිත
දෙලොවම දවාලනු ඇත
මොරවක
සෝරත නා හිමි
සමහරු කුඩා කාලෙ ඉඳලම කුසල් කරනව. ධර්මකාමීවම දියුණුවේ මාවත සකසා
ගන්නව. හිටිගමන් පාප මිත්‍රයෙකුගේ හෝ අධර්මයේ ඇසුර නිසා හෝ සිය ගමන් මඟ
වෙනස් කරල එතැන් සිට අකුසල්ම කරමින් ජීවත් වෙන්න පටන් ගන්නව. එවැනි අය
අතරෙන් සමහරු අකුසල් මඟට වැටුනත්, කුසල මූලය ඔහු තුළ ඉතිරි වී තියෙනව.
සමහරුන්ගෙ කුසල මූලයත් විනාස කරගෙන තමයි අකුසල් මඟට වැටෙන්නෙ.
කවර මොහොතක හරි ධර්මය මුණගැසී කල්‍යාන මිත්‍ර ආශ්‍රයක් ලැබුණොත් කුසල
මූලය ඉතිරි වී තියෙන කෙනා නැවත කුසල් මඟට හැරෙන්න පුළුවන්. හැබැයි කුසල
මූලයවත් ඉතිරි නොවී අකුසල් මඟට වැටුණ කෙනා කොතරම් කල්‍යාණ මිත්‍රයන්
හමු වුනත් නැවත යහපත් මඟට එන්නෙත් නැහැ. ගන්නත් බැහැ. ඔවුන්ගෙ මේ භවයෙ
ඉදිරි කාලයත් විපත් බහුලයි. ඊළඟ භවයත් ඉතාම භයානකයි.පරලොව උරුමයත්
දුගතියම පමණයි.
පුද්ගලයෙකු සතු මේ ස්වභාවය හරියටම පෙනෙන්නෙ බුදු කෙනෙක් සතුව ඇති
ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානයට විතරයි. බුදුහාමුදුරුවො එහෙම කෙනෙක් ගැන
දවසක් හෙළිදරව්වක් කළා. ඒ තමයි දේවදත්ත. බුදු සමිඳුන් මෙන්ම සාරිපුත්ත
මොග්ගල්ලාන වැනි උතුමන්ද සමඟ “ ඉඳ ඉඳ එක වෙහෙර” කටයුතු කළත් “විඳ විඳ
දහම් මනහර කල් ගෙව්වත් ඔහු කුසල මූලයත් සිඳගෙන අකුසල් මඟට වැටුන
කෙනෙක්.
දේවදත්ත හරිම ලස්සනයි. මහණ වුණෙත් ආසාවෙන්. ධර්මයත් හොඳට ඉගෙන ගනිමින්
කාගෙත් හිත් දිනාගෙන හිටි භික්ෂුවක්. ලෞකික ධ්‍යාන උපදවා ගත හැකි පමණට
චිත්ත සමාධිය ඇතිකර ගත්ත. ප්‍රාතිහාර්ය පෑමට පවා හැකියාව ඇති වුණා.
ලස්සන රූපයයි, බණ දහම් කියාදීමේ හා පෙළහර පෑමේ හැකියාවයි ආයත සංවරයයි
සියල්ලම නිසා නවක ස්වාමීන් වහන්සේල වගේම සැදැහැවත් දායක දායිකාවන් බොහෝ
දෙනෙක් උන්වහන්සේට ආදර ගෞරව දක්වන්න පටන් ගත්ත.
පිරිසක් මධ්‍යයේ දේවදත්තට ඉබේම නායකත්වයක් ගොඩනැගෙමින් තිබුණ. ඒත්
එක්කම බුදුහාමුදුරුවන්ගෙ ඥාතිත්වය ගැන උඩඟු සිතකුත් පහළ වුණා. භික්ෂූන්
වහන්සේලාගෙන් අර්ධයක හෝ නායකත්වය තමාට ලබා දෙන්න කියල බුදුරජාණන්
වහන්සේගෙන් ඉල්ලා සිටියෙ ඒ නිසා.බුදුරජාණන් වහන්සේ ඒ ඉල්ලීම
ප්‍රතික්ෂේප කළා. ඒ වගේම සසුන් බඹසර හැසිරෙන භික්ෂුවක් විසින් ලැබිය
යුතු ලොව්තුරු ඵල සැපතක් නොලැබූ පුද්ගලයෙක් විසින්, මෙරමාට ලබාදෙන
නායකත්වයේ ඇති නිසරු බවත් පැහැදිලි කළා. එදා පටන් දේවදත්ත කුසල් මගින්
ඉවත් වෙනව. අකුසල් මගේ ගමන් කරන්න පටන් ගන්නව. කුසල මූලය පවා සිඳ
ගන්නව.
එදා දේවදත්තගෙ හිතේ බුදුරජාණන් වහන්සේ ගැන ඇතිවෙන වෛර සිත විසින් ඔහුව
මෙහෙය වූ හැටි ඉතාම දරුණුයි. පෙළහර පාල, අජාසත්ත රාජ කුමාරයත් ළං
කරගෙන, බුදුරජාණන් වහන්සේ ඝාතනය කරන්න කොතරම් වෙහෙසුනාද?
අජාසත්ත මඟින් තිස් දෙනෙකුගෙන් සමන්විත හේවා පන්නයක් යොදවා ගත්ත. ඒත් ඒ
පිරිස බුදුගුණ සුවඳ ළඟ දමනය වුණා. පැවරූ වගකීමේ තොරතුරු හෙළිකළා.
අකුසල් මඟින් ගැලවිල දහම් මඟට පිවිසුණා.
නාලාගිරි කියන්නෙ අජාසත්තගෙ ඇත් සේනාවෙ හිටිය දරුණුම ඇතා. දේවදත්තගෙ
මෙහෙයවීමෙන් රා කළ දහසක් පොවා, ඒ තිරිසන් සතා තවත් බිහිසුණු කළා.
හෙණ්ඩුවෙන් ඇනල තවත් කුපිත කළා. කුලප්පු වුන ඇතා මග දෙපස ගස් ගලවා විසි
කරමින් දූවිලි අවුස්සගෙන මඟ දිගේ දුවන්න පටන් ගත්ත. මහ පොළව
පලාපියන්නාක් මෙන් දුවන ඇත් රජුගේ දෑස යවැට මෙන් රත් පැහැති වී තිබුණ.
මේ බිහිසුණු හස්ථිරාජයා මඟ දෙපස අවන්හල් පෙරලමින් වේගයෙන් ඉදිරියට දිව
ගියා. පිඬු සිඟා වඩින මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ ඉදිරියට
පැමිණෙමින් සිටි හස්ථියා දුටු ආනන්ද හිමියන් බියටත් කලබලයටත් පත් වුණා.
‘බුදු රජාණන් වහන්සේට විපතක් නොවේවා ඒ විපත මට වේවා’යි සිතමින් ඉදිරියට
පැන්න. ඒත් බුදුරජාණන් වහන්සේ එය වළක්වා මෙත් සිතින් යුතුව බඹසර අවදි
කරමින් ඒ සතාට කතා කළා. දරුණු හස්තිරාජයා කීකරු වුණා. දෙදළ බිම තබා සොඬ
දිගු කොට බුදු සිරිපා වන්දනා කළා.
ඈත සිට සැඟවී සියල්ල බලා සිටි දේවදත්තගේ නළල රැළි වැටුණ. කෝපයෙන් දෑස්
රතු වුනා. “ ඒ වැඩෙත් අසාර්ථකයි. වෙන කෙනෙකු ලවා මේ වැඩේ කරවගන්න බෑ.
මගේ අතින්ම මෙයාව විනාශ කරනව කරනවාමයි’ කියමින් එතැනින් පලා ගියා.
දවසක් ගිජුකුලු පව්ව පාමුල බුදුරජාණන් වහන්සේ සක්මන් කරමින් සිටිය. මේ
පුංචි කඳු ගැටේ ඉහළට හොරෙන්ම නැග ගත්ත දේවදත්ත ඉහළ තිබූ ටිකක් ලොකු
ගලක් උන්වහන්සේට ඉලක්ක කරල පෙරලුව. සිදු වූ දේ හරි පුදුමයි. අතර මග මතු
වූ තවත් ගලක් නිසා ඒ ගල ගමන් කළ දිසාව වෙනස් වුණා. ඒත් ගල් දෙක එකට
ගැටීමෙන් විසි වූ පුංචි ගල් පතුරක් බුදු සිරිපා මත ගැටුන. මහපට
ඇඟිල්ලෙන් ලේ ගලන්න පටන් ගත්ත. සියලු කුසල් සිඳගත් මේ පාපතර දේවදත්ත
බුදු සිරුරෙහි ලේ සෙලවීමෙන් ආනන්තරිය පාප කර්මයත් කරගත්ත.
අවිද්‍යාවෙන් වැසී තණ්හාවෙන් බැඳී සසර සැරිසරණ සත්වයන් අතින් මොන තරම්
බිහිසුණු දේ සිදුවිය හැකිද? කුසලය මෙන්ම කුසල මූලයත් අකුසලය මෙන්ම
අකුසල මූලයත් නොදන්නා එවන් මිනිසුන්ට මිථ්‍යා දෘෂ්ටියෙහි පිහිටා රැස්
කර ගන්නා කර්මය විසින් නිරා දුක් විඳින්නට සලස්වන බව ඔවුන් දන්නෙ නෑ.
ශ්‍රාවක සංඝයා භේද කළ හැකි නම් තම බලාපොරොත්තුව ඉටු කර ගන්න පුළුවන්
කියා දේවදත්තට හිතුන. උපායක් කල්පනා කළා. කොන්දේසි පහක් හදාගත්ත.බැලූ
බැල්මට ඒ කොන්දේසි අනුගමනය කළොත් ඉක්මනින් තණ්හාව නැති කරන්න පුළුවන්.
ඒත් බුදුරජාණන් වහන්සේ විනය නීති පනවන්නෙ එය නිවන් මඟට ආලෝකය දෙනවාද
කියල බුදුනුවණින් දුටුවොත් පමණයි. දේවදත්තගෙ කොන්දේසි උන්වහන්සේ සම්මත
කළේ නෑ. කැමති කෙනෙක් පිළිපැද්දට කමක් නෑ කීව.
බුදුන්ගෙන් පිරිසක් වෙන් කරගන්න මේක හොඳ අවස්ථාවක් කියල දේවදත්තට
කල්පනා වුණා. සසර කළකිරී පැවිදි වූ නවක භික්ෂූන් එකිනෙකා ළඟට ගියා. ඒ
අයට වෙන වෙනම කතා කළා. ‘බුදුහාමුදුරුවොත් දැන් ලාභ ලෝහ වලට ගිජු වෙල.
සසරින් මිදෙන්න කෙටි මඟ තිබියදීත් ඇයි ඒ මඟ අනුමත කරන්නෙ නැත්තෙ. මේ අය
පැවිදි වුනේ සසරින් මිදෙන්න නේද? අපි පමා වෙන්න හොඳ නෑ. අද පටන්
පිණ්ඩපාතික වෙමු. පාංසුකූලික වෙමු. රුක්ඛ මූලගත වෙමු’යි යෝජනා කළා.
ඇත්තටම නිවන් පැතූ පිරිසක් ඔහුට එකතු කරගන්න පුළුවන් වුනා. හේතුව ඒ අයට
සසර දුක දැනී ලෞකික ආශාවන්ගෙන් මිදෙන්න ඕන කළ නිසා.
කල්‍යාණ වෙසින් පෙනී සිටි මේ පාපමිත්‍රයත් එක්ක පන්සීයක් පිරිස ගයා
ශීර්ෂයට පිටත්ව ගියා.පිරිසට නායකත්වය දෙන දේවදත්ත බණ කියන්න පටන් ගත්ත.
දේශනා ශෛලිය ආවේගකාරී වුනත් සිත් ඇදගන්නා සුලුයි. ඔහුගේ අරමුණ ධර්මයේ
මුවාවෙන් බුදුන්ට එරෙහි පිරිසක් නිර්මාණය කර ගැනීම මිස නිවන් මඟ කියා
දීම නොවේ.
මේ බව දැනගත් බුදුරජාණන් වහන්සේ, දෑ අගසව්වන් වහන්සේලාට කතා කළා.
කල්‍යාණ මිත්‍රයන් තේරුම් ගත නොහැකි වූ ඒ නවක භික්ෂූන් පාපී දහමට අනුගත
වෙන්න කලින් බේරාගෙන එන්න කියල උන්වහන්සේලාට දන්වා සිටිය. දෙදෙනා
වහන්සේ ඒ මොහොතේම මේ පිරිස සිටින තැනට යන්න පිටත් වුණා. පිරිස මැද දහම්
දෙසන දේවදත්ත සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේලා පැමිණෙනු ඈත තියාම
දුටුව. බුදුන් වහන්සේගේ අගසව්වන් පවා බුදුන් හැරදා තමා වෙතට එනවා යැයි
මෝඩ දේවදත්ත විශ්වාස කළා. දේවදත්තට හරිම සතුටුයි. තමන්ගෙ දෙපසින් ආසන
දෙකක් පිළියෙල කරල උන්වහන්සේල දෙනම වඩා හිඳුවා ගත්ත. “ බොහෝ වෙලාවක් බණ
කියල මට දැන් හරි මහන්සියි. පිටත් ටිකක් රිදෙනව. ඔබ වහන්සේල මේ ඇත්තන්ට
බණ කියන්න.මම පොඩ්ඩක් හාන්සි වෙන්න යනව“ කියල ටිකක් දුරින් නිදහස් තැනක
ඔහු හාන්සි වුණා. සුළු වෙලාවකින් තද නින්දට වැටී ගොරවන්න පටන් ගත්ත.
සැරියුත් හාමුදුරුවොත් , මුගලන් හාමුදුරුවොත් මේ පිරිසට ධර්මය දේශනා
කළා. දහම් පිපාසිත මේ පිරිසට සැබෑ දහම වැටහෙන්න පටන් ගත්ත. ධර්මාවබෝධය
ලැබුණ. දේවදත්තගෙ ව්‍යාජත්වය තේරුම් ගත් පිරිස දෑ අගසව්වන් පසුපසින්
දෙව්රම් වෙහෙර බලා පිටත් වුණා. පිරිස පිටත්ව ගිය බව දුටු කෝකාලික
භික්ෂුව කලබල වුණා. වැලමිටෙන් පපුවට ඇනල දේවදත්ත අවදි කළා. තමා හැරදා
තම පිරිස පිටත්ව යන දර්ශනය අත දිගු කරල පෙන්නුව. එය දුටු දේවදත්තට
දරාගන්න බැරි වේදනාවක් හටගත්ත. දෙපා පන නැතුව ගියා. ලේ වමනෙ කරන්න පටන්
ගත්ත.
එදා රෝගාතුර වූ දේවදත්තට යළිත් නීරෝගි සුවයක් ලබන්න බැරි වුණා. දවසින්
දවස තත්ත්වය බරපතල වුණා. ඔහුට පිළිසරණට හිටියෙ කෝකාලික ඇතුළු කිහිප
දෙනෙක් විතරයි. මුළු ගතම දරාගත නොහැකි වේදනාවකින් පෙළෙනව. ඒ අතර තමා
විසින් බුදුරජාණන් වහන්සේ විනාශ කිරීම සඳහා රුදුරු සිත් ඇති කරගෙන කළ
කී දෑ මැවි මැවී පේන්න පටන් ගත්ත. ඒත් ඒ කිසිවකට නොසැලී, තමාට
පිළිසරණක් වෙන්න බුදුරජාණන් වහන්සේ ගත් කාරුණික උත්සාහ මතකයට නැඟුන,
අප්‍රමාණ බුද්ධ ගෞරවයකින් සිත පිරීගියා. උන්වහන්සේගෙ මූණ දැකල දෙපා
වන්දනා කරල සමාව ගන්න ඕන කියල සිත් පහල වුණා. ඒ බව තමාට උපස්ථාන කරන
කිහිප දෙනාට දැනුම් දුන්නා. පස්සෙ ඇඳක තියල ඔසවාගෙන දෙව්රම් වෙහෙරට
එන්න පිටත් වුණා. අතර මඟදී එන්න එන්නම රෝගී තත්ත්වය බරපතල වුණා. ඇඟ
දැවෙන්න ගත්ත.පිපාසය දැනී දිව ගිලෙන්න ගත්ත. දෙව්රම් වෙහෙරට නුදුරු
තැනක තිබූ පොකුණක් දැකල පිපාසේ නිවාගන්න වතුර ඉල්ලුව. ඇඳ බිම තිබ්බෙ
දැවෙන ගත නිවාගන්න වතුරට බහින්න ඕන කිව්ව නිසා.බිම දෙපා තබා අමාරුවෙන්
නැගිටින්න හැදුව විතරයි ඇඟ වටේට ගිනිදැල් මතු වුණා. ටිකෙන් ටික පොළවට
කිඳා බැස්ස. දෙව්රම් වෙහෙර දෙසට හැරී දෑත එක්කොට වන්දනා කළ දේවදත්ත මම
බුදු සරණ යමි’ කියමින්ම නොපෙනී ගියා.
බුදුරජාණන් වහන්සේ දේවදත්ත අරමුණු කරගෙන රැස් වූ සිව්වනක් පිරිසට දහම්
දේශනා කළා. “පාපකාරයන් මෙලොවත් තැවෙනව. පරලොවදිත් තැවෙනව. මා මෙසේ පව්
කම් කරන ලදැයි දුගතියට පැමිණ වඩාත් තැවීමට පත් වෙනව. දේවදත්ත තැවි තැවී
ඉඳල මියගියා. දැන් නිරයෙ නිරා දුක් විඳිමින් තැවෙනව. ඔහුට පිළිසරණ
වෙන්න කිසිවෙකුටත් බැහැ.’ ඒ බණ අහල බොහෝ පිරිසක් ධර්මාවබෝධය ලැබුව.
|