සසර බිය ඇතිවන්නේ ඇයි?
පොල්ගහවෙල
මිතභාණි හිමි
තථාගතයන් වහන්සේ නමක් ලොව පහළ වන්නේ බියෙන් තැතිගත් සත්ත්වයාට සසර බිය
ඇතිවෙන කරුණු කාරණා පැහැදිලි කර දෙමින් බියෙන් තැතිගැනීම්වලින් තොර
සුවදායක ජීවිතයක් ගතකර පරම ශාන්තියට පත්වන අවස්ථාව උදාකර දීමටයි. ජන
සමාජයේ ජීවත්වන බොහෝ දෙනා මරණයට බියබව ප්‍රකාශකරයි. නිවැරැදි මාර්ගයේ
සිත වඩාගෙන කටයුතු කරන්නේ නම් බියවීමට කරුණක් නොවන්නේ ය. බිය වන්නේ නම්
යම් හෝ ප්‍රමාදයක් සිදුවී ඇතිබව සිතට ගත යුතුය. බියවන කරුණු කිහිපයක්
මූලික වශයෙන් මෙහිලා සඳහන් කරමි.
ලොව්තුරා බුදුන්වහන්සේ සැවැත්නුවර වැඩවසන සමයෙහි අනේපිඬු ගෘහපතිතුමා
භාග්‍යවතුන් වහන්සේ බැහැදැකීමට පැමිණියේ ය. එතුමාට මෙම දැහැමි කතාවෙන්
සංග්‍රහ කළේ ය. නැතහොත් දේශනා කළ සේක. ගෘහපතිය, යම් කලෙක ප්‍රජාවට
පස්වැදෑරුම් භය හා වෛර චේතනාවෝ වෙද්ද එම කරුණු මෙසේ ය.
1.පරපණ නසන සුළු පුද්ගලයෙක් වේද ඒ හේතු කොට ගෙන සසර බිය හා තැති ගැනීම
වෛරය රැස් කෙරේද, කායික වූත් මානසික වූත් දුක් දොම්නස් බහුලව වාසය
කරයි. මෙලොව පරලොව දෙලොව තැවීමට බියවීමට කරුණු වේ.
2. නුදුන් දෙය ගන්නා සුළු පුද්ගලයා අනුන්ගේ සැපයට බාධා පමුණුවන්නෙකි.
ඔහු ධනවතෙක් ද නොවේ. දිළිඳු භාවයටම පත් වේ. මෙලොව පරලොව ධන හානියට, භෝග
හානියට පත්වේ. ඇති තැනැත්තාගෙන් ටිකක් සොර සිතින් ගත්තාට පාඩුවක්
නොවෙන්නේ යැයි සිතා සොරකම් කරන්නෝ නැත්තේ නොවේ. ටිකක් හෝ බොහෝ දෙයක්
සොරකම් කරන විට එහි අකුසලය තමා පසුපස පැමිණෙයි. නුදුන් දෙය ගැනීම
හේතුවෙන් මෙලොව බිය හා වෛරය රැස්කෙරෙයි. පරලොවද බිය හා වෛරය රැස්
කෙරෙයි. බිය තැති ගැනීම නිරතුරු ඇතිවෙයි. මෙලොව පරලොව දෙකෙහිම චෛතසික
දුක් දොම්නස් බහුලව දුකසේ වාසය කරයි.
3. කාමයෙහි වරදවා හැසිරෙන පුද්ගලයා එහි හැසිරීම් වශයෙන් මෙලොවත් බිය,
වෛරය රැස් කෙරේද? පරලොවත් බිය, වෛරය රැස් කෙරේද? ඒ හේතුවෙන් කායික
මානසික දුක් දොම්නස් බහුලව වාසය කරයි. සමාජ සම්මත සදාචාරයෙන් වෙන්ව
කටයුතු කිරීම මෙලොව පරලොව දෙලොව නින්දා, හිංසා, පීඩා ගෙනදෙයි. සතර
අපාදුකට වැටෙයි. බොහෝ සතුරන් ඇතිවීමට හේතු වේ. කාම මිච්ඡාචාරයට හේතුවන
කරුණු දසයම කෙටියෙන් විස්තර කරමි. එය දැන ගැනීම කාහටත් වැඩදායක වේ.
මාතුරක්ඛිතාය - මව විසින් රක්ෂා කරන දියණිය අනවසරයෙන් පැහැරගෙන යෑම.
පිතුරක්ඛිතාය - පියා විසින් රැකවල් ඇති දියණිය අනවසරයෙන් පැහැර ගෙන යෑම.
මාතුපිතුරක්ඛිතාය – මව පියා දෙදෙනාගේ රැකවරණය යටතේ පෝෂණය වන දියණිය
අනවසරයෙන් පැහැරගෙන යෑම.
භාතු රක්ඛිතාය - මව පියා දෙදෙනා නැති විට වැඩිමහල් සහෝදරයා යටතේ රැකවරණය ඇති සහෝදරිය
අනවසරයෙන් පැහැර ගෙන යෑම.
භගිනි රක්ඛිතාය -
මව පියා සහ වැඩිමහල් සහෝදරයෙක් නැති විට වැඩිමහල් සහෝදරිය විසින්
රැකවල් කරන බාල සහෝදරිය අනවසරයෙන් පැහැරගෙය නෑම.
ඤාති රක්ඛිතාය - මව, පියා වැඩිමහල් සහෝදර සහෝදරියන් නැතිවිට ඤාතීන්ගේ සෙවනේ හැදෙන දැරිය
අනවසරෙන් පැහැරගෙන යෑම.
ගොත්ත රක්ඛිතාය - පවුලේ කිසිවෙක් නැතිවිට ගෝත්‍රය විසින් ඇයව ආරක්ෂා කරයි. ගමේ
ප්‍රධානියා, යම් ජාතියක හෝ කුලයක් විසින් ඇයව රක්ෂා කරයි. එසේ තිබියදී
අවසරයකින් තොරව පැහැරගෙන යෑම.
ධම්මරක්ඛිතාය - රැකවල් කරන කිසිවකු නැතත් යම් හෝ සීලයක ශික්ෂණය ලබමින් ජීවත් වෙයි. උදා
– කුමර කුමරි බඹසර රකින අය හෝ සිල්මාතාවක් වැනි අය. එවන් ධර්මයෙහි
හැසිරෙන කෙනෙකු සමඟ හැසිරීම, කාම මිථ්‍යාචාරයට ලක්වේ.
සස්සාමිකාය - ස්වාමියකු යටතේ රැකවරණය ලබන ස්ත්‍රිය සමඟ සම්බන්ධතා ඇති කර ගැනීම.
සපිරි දණ්ඩාය -සමාජ රෝග ඇති ස්ත්‍රියක් (රජය විසින් පනවා ඇති නීති ඛණ්ඩනයකොට) තවත්
පුරුෂයකු සමඟ හැසිරීම, මෙහිදී ස්ත්‍රී පුරුෂ දෙදෙනාටම කාම මිථ්‍යාචාර
අකුසලය සිදුවේ.
4. මුසාබස් බෙණෙන පුද්ගලයා (අන් අය රැවටීම් පිණිස හානි පැමිණීම පිණිස
සමඟිය සමාදානය බිඳින ආකාරයට, අවැඩ පිණිස) මෙලොව පරලොව දෙලොව යම් බියක්
හා වෛරය රැස් කෙරේද, චෛතසික වූ දුක් දොම්නස් විඳින්නේ වෙයි. ඔහුගේ බස්
කිසිවෙකු විශ්වාස නොකරයි. සමාජයේ ඇදහිය හැකි පුද්ගලයෙක් නොවෙයි. සෑම
දෙනාගේම පිළිකුළට ලක්වෙයි.
5. ගෘහපතිය, මදයට හා ප්‍රමාදයට කරුණු වූ රහමෙර පානය කරන්නේ එවැනි
පුද්ගලයා ප්‍රමාදයේ ම යෙදෙති. උමතු වූ සිතින් කටයුතු කරයි. තමාටත් අන්
අයට අනර්ථයක් කරයි. හිංසා පිණිසම හැසිරෙයි. මෙලොවත් යම් බියක් හා
වෛරයක් රැස් කරයිද, පරලොවත් යම් බියක් හා වෛරයක් රැස් කෙරේද, මහත් වූ
චෛතසික දුක් දොම්නස් විඳියි. බිය නොසන් සිඳෙයි. (සමාජයේ සිදුවන
ක්‍රියාවන් තුළින් මෙහි දෝෂ දැකිය හැක) මෙම පස් ආකාරයෙන් අකුසල් කරන්නේ
පංචානන්තරිය පාපකර්මද කරගනී. පරලොව සැපයෙන් පහවූ නපුරු ගති ඇති. විවව
පතිත වන නිරයෙහි උපදි. සතර භීතීහු මෙසේ දැන ගනිමු.
අත්තානුවාද භය -
තමා මුල්කොට ගත් භය වේ. සිත, කය වචනය යන තිදොරින් සිදු කළාවූ
දුශ්චරිතයන් නිසා සීලයෙන් උපවාද කරනු ලබයි. මෙලොව පරලොව දෙලොව තවයි.
තමාටම උපවාද කෙරෙයි.
පරානුවාද භය - දුසිරිත් කිරීම හේතු කොටගෙන අන් අයගෙන් (පරහුගෙන්) උපවාද ලබන්නට
සිදුවේ. ඔවුන් තමාට ශීලයෙන් දෝෂ නඟන ලදී. පිරිසුදු වූ ආත්මයක් පරිහරණය
නොකරන ලද්දේයි, විවිධ නයින් උපවාදයට ලක්වේ. මෙසේ අන් අය විසින් කරනු
ලබන උපවාද නිසා අතිබිය පරානුවාද භය වේ.
දණ්ඩ භය - සමාජයේ අපරාධ කරන අයට විවිධ නයින් හිංසා පීඩා පමුණුවයි. එකල රජ දරුවෝ
අපරාධ කරන සොරකුට කසවලින්ද පහර දෙයි. දඬු ආදියෙන් ද පහර දෙයි. අත් පා
සිඳියි. කන් නාසාත් සිඳිත් දඟගෙයි දමයි. පැසෙන තෙලේ ද දමයි. ගින්නේ
ඇවිදවයි. කටුපහරින් වධ දෙයි. කටද ඉරයි. (මුඛය) නියපොතු ගලවයි. මහපොළොවේ
ඇදගෙන යයි. හිසකෙස් ගලවයි. හුලේ හිඳවයි. හිස සිඳියි. නපුරු සුනඛයන් ලවා
හපා කවයි. මෙබඳු අනේක විධ වද පමුණුවයි. මෙසේ පව්කම් කරන ලද කෙනෙකු
දඬුවම් පමුණුවන ලද සොරකු දැක මා හටත් මෙවන් දඬුවම් විඳින්නට සිදුවෙතැයි
බියට පත්වෙයි. මෙය දණ්ඩ භය වේ.
දුගීති භය - සමාජයේ බොහෝ දෙනා මුලින් ඇතිවෙන ත්‍රිවිධ භය නැතිකරගැනීමට අල්ලස් මුදල්
දී තාවකාලික නිදහසක් ලබයි. පුරසාරම් දොඩවයි. එහෙත් මරණින් මතු
දුගතියෙහි ඉපදීමට සිදුවෙන භයෙන් නිදහස් විය නොහැකිය. එයට කිසිදු
ප්‍රතිකර්මයක් නැත. පිහිට වෙන කෙනෙකුද නැත. දියෙන් මාළුවෙක් ගොඩ දමන
විට හාත්පසින් දඟලන්නාක් මෙන් නිරතුරු තමන් කරන ලද කළු කර්මයෙන් දැවීමට
පත්වෙයි. පරිදාහයට පත්වෙයි. පළමු විපාකයෙන් බේරීමට කිසිදු ස්ථානයක්
නොමැත. සසර බිය මෙම ගාථාවෙන් පැහැදිලි වෙයි.
“ගබ්භ මේකේ උප්පජ්ජන්ති නිරයං පාපකම්මනො සග්ගං සුගතිනො යන්ති
පරිනිබ්බන්ති අනාසවා”
“මියගිය ප්‍රාණ අතර ඇතමෙක් මවුකුසට පැමිණේ. දුසිරිත් (පව්කොට) කොට සතර
අපායට සත්වයෝ වැටෙති. යහපත් කර්ම කොට දෙව්ලොව උපදිත්. කෙලෙස් නැසූ
උතුමන් පිරිනිවෙති.
සැවැත්නුවර මැණික් ඔපවත් කරන නැතැත්තෙක් බිරිඳ සහ දරුවෝ සමඟ වෙසෙති.
පිනට බොහෝ සේ කැමතිය. ඒ පවුලට රහත් උතුමෙක් නිතර දනට වැඩම කරති. එහෙත්
ඔවුන් ඒ බව නොදන්නේ ය. දොළොස් අවුරුද්දක් උපස්ථාන කළහ. ඇසුර බලවත් නිසා
එම තෙරුන් “මණිකාරකුලුපගතිස්ස” නමින් ප්‍රසිද්ධ විය. කොසොල් මහරජ
ඇමැතියකු අත මැණිකක් ඔපවත් කිරීම පිණිස යැවීය. මස් ලේ තැවරුණු අතින්
තෙරුන් වහන්සේ ඉදිරියේ පෙට්ටියක් මත තැබුවේ ය. අත සෝදා නැවත එන විට
මැණික නැත. තෙරුන්වහන්සේ කෙරෙහි සැප ඉපදවිය.
මැණික්කරු - හිමියෙනි, මැණික ගත්තෙහිද?
තෙරහු - උවසුවෙනි, මම නොගතිමි.
මැණික්කරු - මෙතැනට ආවෙනකකු නැත, ගත් මැණික දෙන්නැයි බලවත් කෝපයට
පත්විය.
තෙරහු - නිහඬ විය.
මැණික රජු සතුය, නැවැත නොදුන්නොත් දඬුවම් පැමිණේ. කෝපය දරුණු විය.
ලණුවක් ගෙන තෙරුන්ගේ හිස වෙලා දඬුවක දවටා මිරිකීය. කන් නාසවලින් ලේ
ගලන්නට විය. නිවසේ සිටි කොස්වාලිහිණියා ලේ බීමට පැමිණ විට බලවත්
කෝපයෙන් පහරක් දුනි. පක්ෂියා මැරී වැටුනේ ය. තෙරුන්වහන්සේ මැරී වැටුන
ලිහිණියා දැක මෙම ලිහිණියා මැණික ගිලින ලදැයි පැවසුවේ ය. බඩ පළා බලන
විට මැණික තිබුණේ ය. බලවත් ශෝකයට තැවීමට පත්විය.
හඬමින් වැළපෙමින් දුකට පත්විය.බැම්ම ලිහා නොඑක් ලෙස බෙහෙත් යොදා
පිළියම් කළහ. ඔබවහන්සේ ගේ ගුණ දොළොස් අවුරුද්දක් උවටැන් කළත් නොදැක්කේ
ය. මට සමාව දුන් මැනවි සමාව අයැදීය. හටගත් වේදනාවෙන් තෙරුන් වහන්සේ
පිරිනිවීය. කොස්වාලිහිණියා බිරිඳ කුස පිළිසිඳ ගත්තේ ය. බිරිඳ දෙව්ලොව
උපන්නාය. මැණික්කරු අකුසල කර්මයෙන් තැවී නිරයේ උපන්නේ ය. පස්පව් හා
වෛරය රැස් කරන්නට සිදුවෙන බියකරු භාවය මේ කථාවෙන් තේරුම් ගන්න.
දුසිරිත් වලින් වැළකී සසර බිය වටහාගෙන ගුණ දහම් පුරා සසර කතරින්
එතෙරවීමට උත්සාහවත්වන්න. |