UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බණ්ඩාරිගල්ගොඩ විසුද්ධි රතන හිමි

බණ්ඩාරිගල්ගොඩ විසුද්ධි රතන හිමි

කුරුණෑගල බිංගිරිය බණ්ඩාරිගල්ගොඩ නම් වූ සුන්දර ගම් පියසෙහි 1969 ජූලි 11 උපන් කුමරුවාට දෙමාපියන් විසින් උපාලි වීරවර්ධන යයි නම් තබන ලදී. ගල්ගොඩ කනිෂ්ට විද්‍යාලයෙන් සහ වීරපොකුණ විජිත මධ්‍ය මහා විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය ලැබූ එම කුමරු වැවගම වෑකන්ද ශ්‍රී ලෝකානන්ද මහා පිරිවෙනට ඇතුළත්ව වසරක පමණ කාලයක් පැවිද්දට අදාළ බණ දහම් ප්‍රගුණ කොට 1981 අගෝස්තු 08 දින හාල්පන්විල ධම්ම රතන හිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට පත් උන් වහන්සේ එදින පටන් බණ්ඩාරිගල්ගොඩ විසුද්ධිරතන නම් වූහ.

උන්වහන්සේ සිංහල, පාලි, සංස්කෘත යන භාෂාත්‍රයෙන් ප්‍රාචීන ප්‍රාරම්භ මධ්‍යම, විභාග සමත්වූ අතර 1983.ජූලි 13 දින ඉඳුරුවේ උත්තරානන්ද මහා නා හිමියන්ගේ උපාධ්‍යාය යටතේ රත්නපුර කළු ගඟ උදකුක්ඛේප සීමා මාලකයේදී උපසපන් ශීලයෙහි පිහිටියහ. රාජකීය පණ්ඩිත දියදොර සෝමරතන නා හිමියන්ගේ පා සෙවනේ හිඳිමින් ආගමික කටයුතු පිළිබඳ නිපුණතාවය ලැබීමත් සහජ හැකියාවනුත් නිසා අධ්‍යාපන කටයුතු හදාරමින් සිටියදීම ගුරුදේවයන් වහන්සේ ආධිපත්‍යයෙන් පරිපාලනය වූ විහාරස්ථානවල නේවාසිකව වැඩ හිඳිමින් ශාසනික සේවාවන්ට දායක විය.

වීරපොකුණ ඉහළ කරඹේ” ශී‍්‍ර සවර්ණ තිලකාරාමයට 1990 මැයි 08 දින වැඩම කරන ලදී. පොල්අතු සෙවිලි කළ කුඩා කුටිය සංඝාවාසය විය. ඉතා කෙටි කලකින් චෛත්‍යය හැර සෙසු විහාරාංග වලින් සම්පූර්ණ දැකුම්කළු පිං බිමක් බවට පත් කර තිබීම ප්‍රශංසනීයය. ප්‍රදේශයේ බොදු දරුවන්ගේ ගුණ නැණ දියුණුව උදෙසා 1991 ශී‍්‍ර ධර්ම ප්‍රදීප දහම් පාසල නමින් දහම් පාසලක් ආරම්භ කොට ගුණගරුක පුරවැසියන් පිරිසක් රටට දායාද කිරීමට ගත් උත්සාහය ප්‍රශංසනීය වේ.

උන්වහන්සේගේ පෞද්ගලික කැපවීම නිසා උපාධිධාරී, පුහුණුගුරු, ධර්මාචාර්ය හා අවසාන සමත් ගුරු භවතුන් පිරිසක් දහම් අධ්‍යාපනයේ නියැලෙමින් සිටින අතර බිංගිරිය ශාසනාරක්ෂක මණ්ඩලයේ දහම් පාසල් අතර දීප්තිමත් දහම් පාසලක් බවට පත්වී ඇති අතර උන්වහන්සේ ගත් උත්සාහය කෘතවේදීව සිහිපත් කළ යුතුය.

බණ්ඩාරී ගල්ගොඩ ශ්‍රී මුනින්දාරාමය අගාරේ ශ්‍රී ධර්ම විජයාරාමය, දංගස්වැටිය ශ්‍රී ශාක්‍ය මුණි විහාරය, ප්‍රස්සනගම සිරි ධම්ම විශුද්ධී බෞද්ධ මධ්‍යස්ථානය ආලංකුලම ශ්‍රී සෛල දස්සනාරාමය, බෝවත්ත ශ්‍රී ධර්මරාජ ධර්මායතනය යන විහාරස්ථානවලට නව ජීවයක් ලබා දෙමින් දහම් පාසල් පෙර පාසල් පිහිටුවා බහුජන සේවා සංවිධාන රැසක අනුශාසකවරයෙකු වශයෙන් කටයුතු කරනු ලැබේ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නිකරවැටිය හා වාරියපොළ සංඝ සභාවේ සහකාර ලේඛකාධිකාරි ලෙසද අවුරුදු 15 ක් පමණ බිංගිරිය ශාසනාරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි වශයෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කිරීම පැසසිය යුත්තකි.

සසුනට දායාද කළ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 18 නමක්වන අතර විවිධ හැකියාවන් ඇති ශාසනික සේවයේ යෙදී සිටින හිමිවරුන් කීප නමක් සිටීම අගනේය.

භික්ෂු ජීවිතයේ චිරාගත සම්ප්‍රදායයන් අනුගමනය කරන මුන් වහන්සේ පිරිත් පිරීමෙහි හා දේශනයෙහි දක්ෂයෙකි. ශ්‍රද්ධාව වර්ධනය වන අයුරින් අට විසි පූජා, අසු මහා ශ්‍රාවක පූජා, තෙසැත්තෑඤාණ පූජා, සත් බුදු පූජා, පවත්වති. ධර්ම දේශනයෙහි දක්ෂයෙකි.

බණ්ඩාරි ගල්ගොඩ විසුද්ධිරතන ස්වාමින් වහන්සේට තුනුරුවන්ගේ සූවිසි මහා ගුණ බලයෙන් ඉදිරියටත් සසුන් වැඩ වඩනට සියලු ශක්තිය ධෛර්ය හා චිර ජීවනය ලැබේවා.

උන්වහන්සේ වෙනුවෙන් ඔක්තෝබර් මස 08,09,10.,11 දිනයන්හි ආශිර්වාද පූජා, අටවිසි පුජා, ධර්ම දේශනා ස්වර්ණ තිලකාරාම දායක සභාව ධර්ම ප්‍රදීප දහම් පාසල හා දෙමාපියන් ඇතුළු ඥාතීන් විසින් සංවිධානය කොට තිබිණි. 11 දින 65 නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාවෙන් පසු පින්කම නිමාකෙරිණි.

 

  වප් අමාවක පෝය

වප් අමාවක පෝය ඔක්තෝබර් මස 23 වැනිදා පූර්වභාග 02.35 ට ලබයි. 24 වැනිදා සිකුරාදා පූර්වභාග 03.27 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 23 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
ඔක්තෝබර් 31 වැනි දා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 23

First Quarterපුර අටවක

ඔක්තෝබර් 31

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 06

Second Quarterඅව අටවක

නොවැම්බර් 14


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]