UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 10 සදහම් සිසිල ලොවට බෙදා දුන් බරණැස ඉසිපතන මිගදාය

සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 10

සදහම් සිසිල ලොවට බෙදා දුන් බරණැස ඉසිපතන මිගදාය

බරණැස ඉසිපතන මිගදාය අද වන්දනා කරමු

බුදුපියාණන් වහන්සේ ගේ පළමුවන ධර්ම දේශනාව වන දම්සක් පැවැතුම් සූත්‍රයේ දී “එතං භගවතා බාරාණසියං ඉසිපතනෙ මිගදායේ” යනුවෙන් සඳහන් වේ.

පන්සිය පනස් ජාතක කතා පොතේ බොහෝ කතා වස්තූන් පටන් ගන්නේද යටගිය දවස බරණැස් නුවර “බ්‍රහ්මදත්ත” නම් රජ කෙනෙකු රාජ්‍යය කරන කල්හි ... යනුවෙනි.

ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධගයාවේදී උතුම් බුද්ධ රාජ්‍යයට පත්ව සත් සතිය ගත කරමින් තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය මුලින්ම දේශනා කළ යුත්තේ කාටදැයි මෙනෙහි කළ අතර එහිදී උන්වහන්සේට මුලින්ම සිහිපත් වූයේ ආලාර කාලාම, උද්දකාරාමපුත්ත ආදී ගුරුවරුන්ය. නමුත් ඔවුන් මියගොස් සිටි නිසා දුෂ්කර කි‍්‍රයා කරන සමයෙහි තමන්ට උවටැන් කරන ලද පස්වග තවුසන් බරණැස ඉසිපතනයේ සිටින බව දැන එම පිරිසට මා අවබෝධ කරගත් මෙම ධර්මය දේශනා කළ යුතුයි. ඔවුනට ධර්මය කියා දී පැහැදීම ඇතිකර දීමේ අරමුණ මත බුද්ධගයාවේ සිට බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනයට වැඩම කළ සේක. තථාගතයන් වහන්සේ තමන් සොයා වඩින බව පස්වග තවුසන්ට ආරංචි විය.

සිද්ධාර්ථ ගෞතමයෝ ඈත වඩින දුටු පස්වග තවුසන් මෙසේ කතිකා කර ගත්හ. “මොහු දැන් වීර්යය අත්හල තැනැත්තෙකි. දුක අතහැර සැප විඳීමට පුරුදු වී ඇත. එබැවින් සිද්ධාර්ථට සැලකිලි නොකරමු. ගෞරව නොකරමු. ශාක්‍ය වංශයේ නිසා අසුනක් පනවමු.” එහෙත් උත්තම ලොව්තුරා බුදු බවට පැමිණි බුදුරජාණන් වහන්සේ වඩින විට මේ සියල්ල වෙනස් විය. උන්වහන්සේට වැඳ නමස්කාර කර අසුන් පනවා උන්වහන්සේ පිළිගත්තේ ය.

උන්වහන්සේට පුද සත්කාර හා ගරු බුහුමන් දක්වා උන්වහන්සේ සමඟ සම්මුඛ සාකච්ඡා පවත්වන ලදී. ඉන් අනතුරුව උතුම් ඇසළ පුර පොහොය දවසේ බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මය සමස්ත ලෝකවාසී සත්වයන් වෙත බෙදා හැරීමේ මෙහෙවර ආරම්භ කරමින් බරණැස ඉසිපතන මිගදායේ දී (සාරානාත්) ධම්මචක්ක පවත්තන සූත්‍රය පස්වග තවුසන් වන කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප, මහානාම, අස්සජි වෙත දේශනා කළ සේක. එහිදී පළමුව කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් ඵලයට පත්විය. දේශනාව අවසානයේ දී “ඒහි භික්ඛු පබ්බජ්ජාවෙන්” (බුදු හිමියන් විසින් “එව මහණ” යැයි ඇමතීමෙන් පසු අදිටන් බෙලෙන්) පැවිදිව රහත් බවට පත් වූ සේක. වැසි සාර මාසය ද ඇරැඹිණ. එබැවින් එදා වැසි සාර මාසයෙහි මේ ඉසිපතනයෙහිම වෙසෙමියි ඉටූ සේක. ඒ භාග්‍යවතුන් වහන්සේගේ පළමු වස් විසීමයි.

පසුදින වප්ප තවුසාද (අව පෑළවිය දා) ඉකුත් පසුදා භද්දිය තවුසාද අවතියවක් දා මහානාම තවුසාද අව ජලවක් දා අස්සජි තවුසාද භාග්‍යවතුන් වහන්සේගේ අවවාදයෙහි පිහිටා නුවණ වඩා සෝවාන් වූහ. ඒහි භික්ෂු සම්පත්තියද ලැබූහ. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කළ වදාළ අනාත්ම ලක්ෂණ දේශනාව අසා ඒ පස්නම ම සියලු කෙලෙස් නසා රහත් වූහ.

ඉන් අනතුරුව යස නමැති එක් සිටු කුමාරයෙක් පැමිණ බුදුරදුන්ගෙන් දහම් අසා සෝවාන් විය. සිය පුතු සොයමින් ගිය යසකුල පුතුගේ පියාණන් වූ බරණැස් සිටාණෝ ද දහම් අසා සෝවාන් වූහ. බුදුන්, දහම්, සඟුන් සරණයෙමියි වචනයෙන්ද තෙරුවන් සරණ ගියහ. ලොව තෙරුවන් සරණගිය පළමු උපාසකයා බරණැස් සිටාණෝය. පියාට දෙසු දහම් අසා යස තෙම රහත් විය. යස රහත්හු ඒහි භික්ෂුප සම්පත්තිය ලැබූහ. යසකුල පුතුගේ පැවිද්ද ගැන දැන ඔහුගේ යහළුවන් පනස් හතර දෙනෙකු බුදුරදුන්ගෙන් දහම් අසා ඒහි භික්ෂු සම්පත්තිය ලබා අනතුරුව රහත් වූහ. මෙසේ ඒ සමයෙහි ලොව රහත්හු හැට නමක් වූහ. මෙසේ ධර්මයේ ව්‍යාප්තිය ආරම්භය මෙන්ම සංඝ සංස්ථාවද ස්ථාපනය වූයේ සාරානාත් පුදබිම තුළදීය.

තමන් අවබෝධ කරගත් ශ්‍රී සද්ධර්මය සියලු ලෝකවාසීන් වෙත ප්‍රචලිත කිරීම සඳහා පස්වග මහණුන් වහන්සේලා ඇතුළු ප්‍රථම සංඝයා වහන්සේ සැට නම විවිධ දිසාවලට පිටත් කර හැරීමට බුදුරජාණන් වහන්සේ පියවර ගත්තේ “චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය” යනාදී වශයෙන් දේශනා කරමිනි.

මෙසේ ධර්මයේ උපත සහ සංඝ සංස්ථාව ප්‍රථමයෙන් පිහිටුවනු ලැබූ ස්ථානය වන බරණැස ඉසිපතන මිගදාය (සාරානාත්) මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් ප්‍රධාන ස්ථාන අතුරින් තුන් වන පූජා භූමිය වේ. නිග්‍රෝධ මිග ජාතකයේ සඳහන්වන පරිදි මුවන්ට අභය දානය ලබාදීම සඳහා දිවි පිදීමට ඉදිරිපත් වූ සාරාංගනාත් මුව රජ නමින් සාරානාත් හැඳින්වේ.

වරුණ සහ අසී යන කුඩා ගංගා දෙකක් අතර පිහිටා ඇති බැවින් වාරානසී (බරණැස) යන නම යෙදී ඇත. ඉසිපතන යනු සෘෂිවරුන් පතිත වූ ස්ථානය යන අරුත ගනී. මිගදාය යන නමින් හැඳින්වෙන්නේ මුවන්ට අභයදාන දුන් ස්ථානය නිසාය.

පැරැණි සොළොස් මහා ජනපදවලින් එකක් වන කාසී ජනපදයේ ප්‍රධාන නගරය වන බරණැස අද උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයට අයත්ය. ගංගා නම් ගඟ පසෙකින් ගලායන අතර එහි ඉවුරේ ඇති අවුරුදු දහස් ගණනකට පෙර සිට පැවැත එන හින්දු සංස්කෘතිය අදටත් එලෙසම පවතී. බරණැස හින්දු බැතිමතුන්ගේ අතිශයින්ම වැදගත් පූජනීය ස්ථානයක් වන අතර, ඊට නුදුරින් සාරානාත් පුදබිම බෞද්ධයන්ට මෙන්ම ජෛන ලබ්ධිකයන්ටද අතිශය වැදගත් පුදබිමක් වේ.

කසී රට බරණැස් නුවර අනාදිමත් කාලයක සිට බ්‍රහ්මදත්ත රජ පරම්පරාවේ රාජධානිය විය. ගංගා නම් ගඟේ අනෙක් පැත්තේ ඉවුරේ රාම් නගර් යන ස්ථානයේ මෙම රජ පරම්පරාවේ රජ මාලිගය අදටත් දක්නට ඇත.

බුදුරජාණන් වහන්සේ ප්‍රථම වස් කාලය ගත කළ සාරානාත් පුදබිම බරණැස ප්‍රධාන නගරයේ සිට කිලෝමීටර් 10 ක් දුරින් පිහිටා ඇත. තුන්වන ධර්ම සංගායනාව පැවැත්වීමෙන් අනතුරුව අශෝක අධිරාජයා ස්වකීය ධර්ම යාත්‍රාවේ දී සාරානාත් වෙත පැමිණ ඇති අතර එහි අශෝක ස්ථම්භය පිහිටුවා ඇත. ක්‍රි.ව. පළමුවන ශත වර්ෂයේ කුෂාණ රාජවංශික කණිෂ්ක අධිරාජයාගේ කාලයේදී බුදුදහම දඹදිවෙන් උතුරට මධ්‍යම ආසියාව දක්වා පැතිරුණ අතර, විශාල සංස්කෘතික දියුණුවක්ද ඇති වී ඇත.

ක්‍රි.ව. 4 – 7 ගුප්ත යුගය දඹදිව බෞද්ධ ඉතිහාසයේ ස්වර්ණමය යුගය ලෙස හැඳින්වේ. කුමාරගුප්ත සහ සමුද්‍රගුප්ත අධිරාජවරුන්ගේ කාලපරිච්ඡේදයන් ඉන් විශේෂිතය. මූර්ති හා කලා ශිල්ප අංශයන්ගෙන් විශාල සංස්කෘතික ප්‍රබෝධයක් ද ඇති වූයේ මෙම වකවානුව තුළදී ය. චීන දේශාටකයන් වන පාහියන් සහ හියුං සාං භික්ෂූන්ගේ වාර්තාවලින් ද ඒ බැව් තහවුරු වී ඇත.

ඉන් අනතුරුව හර්ෂ සහ බොගාලයේ පාල වංශික රජවරුන්ගේ කාල සීමා තුළ ද දසවන සියවස දක්වා බෞද්ධාගමට රාජ්‍ය අනුග්‍රහය ලැබී ඇත.

සියවස් අටකට ප්‍රථම මහමුද් ගස්නවීගේ ආක්‍රමණයත් සමඟ (ක්‍රි.ව. 1017 දී) සාරානාත් හි බෞද්ධ උරුමය අභාවයට ගියේ ය. බෞද්ධ වෙහෙර විහාර නෂ්ටාවශේෂ බවට පත් විය. විහාර භූමියේ කැණීම්වලින් හමුවූ ඇටකටුවලින් සංඝයා වහන්සේලා සමූල ඝාතනයට ලක් වූ බව තහවුරු වේ.

බරණැස් රජතුමාගේ රාජ නිලයක් ඉසිලූ බාබු ජගත් සිං විසින් ධර්මරාජික ස්ථූපය කඩා ඒ ගඩොල් වෙනත් ගොඩනැගිලි තැනීම සඳහා ඉවත් කර ඇත. ස්ථූපය තුළ තිබූ සධාතුක කරඬුව පසුව ඉන්දීය පුරාවිද්‍යාඥයන් විසින් සොයාගෙන ඇති අතර එය කල්කටා කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. ක්‍රි.ව. 103 දී ඇලෙක්සැන්ඩර් කනිංහැම් සාරානාත්හි පුරාවිද්‍යා ගවේෂණ කටයුතු ආරම්භ කරන ලදී.

ක්‍රි.ව. 1891 දී ශ්‍රී ලංකාවේ අනගාරික ධර්මපාලතුමා බලවත් දුෂ්කරතා මධ්‍යයේ සාරානාත්වලට පැමිණියේ ය. එතුමා සාරානාත්වලට පැමිණෙන විට ද සාරානාත් පුදබිමේ සිට කරත්තවලින් ගඩොල් යනාදිය බරණැස ගොඩනැගිලි තැනීම සඳහා රැගෙන යනු දකින්නට ලැබී ඇත. ගසක් යට විවේක ගෙන ඉතාමත් සංවේගයට පත් අනගාරික ධර්මපාලතුමා ඉන් අනතුරුව බුද්ධගයාව බලා පිටත් විය. ඉන්දීය පුරාවිද්‍යා ප්‍රධානි ඇලෙක්සැන්ඩර් කනිංහැම්තුමා තම දායකත්වය සහ අනගාරික ධර්මපාලතුමාගේ අප්‍රතිහත ධෛර්යය සහ කැපවීම නිසා අද සාරානාත් යනු සමස්ත ලෝකවාසී සියලු බෞද්ධයන්ට දැක වැඳ පුදා ගත හැකි ඉතාමත් දර්ශනීය පුදබිමකි.

තවත් කොටසක් ඉල් පුර අටවක පොහෝදා ඔක්තෝබර් 31 වනදා පත්‍රයේ

 

  වප් අමාවක පෝය

වප් අමාවක පෝය ඔක්තෝබර් මස 23 වැනිදා පූර්වභාග 02.35 ට ලබයි. 24 වැනිදා සිකුරාදා පූර්වභාග 03.27 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 23 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
ඔක්තෝබර් 31 වැනි දා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 23

First Quarterපුර අටවක

ඔක්තෝබර් 31

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 06

Second Quarterඅව අටවක

නොවැම්බර් 14


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]