සත්තභරියා සූත්‍රය
අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ
උප කුලපති මහාචාර්ය
තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමි
බුදුරජාණන් වහන්සේ සාර්ථක ගෘහ ජීවිතයක පැවැත්ම සහතික කරන ප්‍රධාන
අවශ්‍යතාවක් ලෙස අතිශයින් හේතුවන භාර්යාවකගේ ලක්ෂණ කෙබඳු විය යුතුදැයි
බොහෝ අවස්ථාවල දේශනා කර තිබෙනවා. ඒ වගේම “වත්ථූ සූත්‍රයේ” දී
බුදුරජාණන් වහන්සේ මව්පිය දෙපළට දරුවන් වටිනා වස්තුවක් බවට පත්වන්නට
නම් භාර්යාව ස්වාමිපුුරුෂයාගේ පරම මිත්‍රයා විය යුතු බවත් පැහැදිලි කර
දී තිබෙනවා. භාර්යාව පිළිබඳ වර්ගීකරණයක් කර තිබෙන ප්‍රසිද්ධ සූත්‍ර
දේශනාවක් ලෙස “සත්තභරියා සූත්‍රය” මෙහිදී පෙන්වා දෙන්නට පුළුවන.
බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව පවත්වා තිබෙන්නේ සැවැත්නුවර
අනේපිඬු මහ සිටුතුමාගේ නිවසේදීය. එක් දවසක් බුදුරජාණන් වහන්සේ උදේ
කාලයේ මෙම අනේපිඬුසිටුතුමාගේ එසේත් නැත්නම් උන්වහන්සේගේ අග්‍ර දායක
මහත්මාගේ නිවසට පාසිවුරු රැගෙන වැඩියා. මේ අවස්ථාවේදී මෙම සිටුවරයාගේ
නිවසෙහි ගැවසුණු මිනිස්සු බොහොම උස්හඬින් ශබ්ද නගමින් සිටිනු දුටු
උන්වහන්සේ ඔවුන්ගේ කථාබහේ කිසියම් ඝෝෂාකාරි ආකාරයක් තේරුම් ගියා. මේ
තරම්’ ඝෝෂාකාරි වන්නේ කවුරුන් දැයි කුමක් නිසාදැයි” උන්වහන්සේ ඒ
අවස්ථාවේදී අනේපිඬුසිටුතුමාගෙන් විමසා සිටියා. අනේපිඬුසිටුතුමා
පිළිතුරු දෙනවා. “ස්වාමීනි, මගේ පුතුට භාර්යාව කොට සුජාතා නම් බොහොම
ධනය වස්තුව ඇති සරු පවුලකට අයත් කුලදියණියක් මෙම සිටු මාලිගාවට
කැඳවාගෙන ආවා. මේ ලේළිය “මේ මාගේ මාමණ්ඩිය කියා හරි. මේ මාගේ නැන්දනිය
කියා හෝ තැකීමක් කරන්නෙ නැහැ. ඒ විතරක් නොවේ මේ මාගේ ස්වාමිපුරුෂයා
කියලාවත් ගණන් ගන්නේ නැහැ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපේ නිවසට
වැඩියා නේද? ඉතින් මම සංවර වෙන්නට ඕන නේද කියාවත් තැකීමක් නැහැ. කිසිදු
සැලකිල්ලක් උනන්දුවක් ඒ පිළිබඳ දක්වන්නෙත් නැහැ. ගරුබුහුමන් කරන්නෙත්
නැහැ” කියා සිටුතුමා බුදුරජාණන් වහන්සේට පිළිතුරු දුන්නා. උන්වහන්සේ ඒ
අවස්ථාවේදි සුජාතා නම් ඒ සිටු දියණියට “සුජාතාවනි මෙහි එන්න” යනුවෙන්
දැනුම් දුන්නා. ඒ අවස්ථාවේදි සුජාතාව එම දැනුම් දීමට කීකරු වී
බුදුරජාණන් වහන්සේ වෙත එළඹුණා. බුදුරජාණන් වහන්සේට වැඳලා එකත්පසෙකට වී
සිටියා. ඒ වේලාවෙදී බුදුරජාණන් වහන්සේ පුරුෂයෙකුට ලැබෙන්න පුළුවන්
භාර්යාවන් සත් දෙනෙකුගෙ වෙනස් වෙනස් ලක්ෂණ පැහැදිලි කර දෙමින් මෙම
සත්තභරියා නම් සූත්‍ර දේශනාවෙන් ධර්ම දේශනා කළා.
සත්තභරියා සූත්‍රය
ඒ හත් දෙනා නම් වශයෙන් මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. ඒ
අනුව වධකසම භාර්යාව, චෞරසම භාර්යාව, ආර්යසම භාර්යාව, මාතෘසම භාර්යාව,
භගනීසම භාර්යාව, සඛීසම භාර්යාව හා දාසිසම භාර්යාව යන මේ සත් ආකාර බව
පෙන්වා දීල උන්වහන්සේ විමසා සිටියා. එයින් ඔබ අයත් වන්නේ මේ භාර්යාවන්
හත් දෙනාගෙන් කුමන භාර්යාව හැටියටද කියලා. ඒ අවස්ථාවේදි මෙම සුජාතාව
උත්තර දෙනවා.” ඔබවහන්සේ ස්වාමීනි මේ භාර්යාවන් සත් දෙනා ගැන කෙටියෙන්
සඳහන් කළේ, ඒ නිසා විස්තර වශයෙන් මට කියා දුන්නොත් මට එතකොට වැටහෙනවා.
ඒ වනතුරු මට පිළිතුරක් දෙන්නට අමාරුයි. ඒ නිසා විස්තර වශයෙන් පහදා
දෙන්න කියා” බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා. ඒ වෙලාවේදි
බුදුරජාණන් වහන්සේ මේ භාර්යාවන් සත් දෙනාගේ ලක්ෂණ වෙන් වෙන් වශයෙන්
ප්‍රකාශ කළා.
වධකසම භාර්යාව
මෙයින් මේ වධක භාර්යාව හෙවත් “වධකභරියා” ලෙස හඳුන්වා දෙන කාන්තාවගේ
ලක්ෂණ වන්නේ නිතරම ද්වේෂ හෙවත් තරහ සිතින් ක්‍රියා කිරීමයි. මේ නිසාම
තමන්ගේ ස්වාමිපුරුෂයා ගැන කිසිඳු අනුකම්පා සහිත බවක් දක්වන්නේ නැහැ.
හැමවිටම ස්වාමිපුරුෂයාට වධයක්, හිරිහැරයක්, කරදරයක් වන ආකාරයෙන්
ගෙදරදොර ක්‍රියා කරනවා .තම ස්වාමිපුරුෂයාගේ අදහස් මතවලට එකඟ බවක්
දක්වන්නට සූදානමක් ඇත්තේ නැහැ. ධනය බලය තුළින් මත් වූ ආකාරයෙන්
ක්‍රියාකරමින් සිටිනවා. ඒ විතරක් නොවේ. නොයෙක් වධහිංසා මානසිකවත්
කායිකවත් ඇති කිරීමට උත්සාහවත් වෙනවා. වෙනත් අය ලවා හෝ එවැන්නක් සිදු
කිරීමට පසුබට වන්නේ නැහැ. එමෙන්ම කලක් යනවිට ස්වාමිපුරුෂයාට ද භාර්යාව
වධයක් වූ විට ඇය වෙනත් පුුරුෂයන් දුටු විට එවැනි අය පිළිබඳ ඇලෙනවා.
අදත් අප ජීවත් වන සමාජයේ මෙබඳු භාර්යාවරුන් අපට හමු වෙනවා. ඉතින්
බුදුරජාණන් වහන්සේ මේ ආකාරයෙන් මේ වධක භර්යාවගේ ලක්ෂණ සුජාතාවට
පැහැදිලි කර දුන්නා. සාමාන්‍ය ගෘහ ජීවිත ඉතා අවසානාවන්ත තත්වයට පත්වන
මෙබඳු ආකාරයේ වධක භාර්යාවන් නිසා ඇතැම් ස්වාමිපුරුෂයෝ බොහෝ විට
මහත්වේදනාවෙන් මානසික අසහනයෙන් ජීවිත ගත කරනවා පමණක් නොව මෙයින් වඩාත්
අහිතකර ප්‍රතිඵලය වන්නේ එබඳු නිවසක නිරන්තරයෙන් දක්නට ලැබෙන අඬදබර
තත්ත්වයයි. එපමණක් නොව එය දරුවන්ගේ මානසික අසහනයට ද හේතු වෙනවා.
නිරන්තරයෙන්ම සිදුවන මේ කලබලකාරි එමෙන්ම නොසන්සුන් තත්වය නිසා ඔවුන්ගේ
මුවින් රොස් පරොස් වචන ප්‍රකාශ වෙනවා. මේ වචන දරුවන්ට නිතර නිතර අසන්නට
සිදුවීම තුළ ඔවුන් ළාබාල අවදියේ සිටම දෙමාපියන් අනුකරණයට යොමු වෙන්නටත්
හැකියාව තිබීම තුළ ඔවුන්ගේ අනාගත ජීවිත පැවැත්මටද හානිකර තත්වයක් ඇති
වෙනවා. දරුවන් දෙමාපියන්ගේ මුවින් පිටවන අසැබි වචනද නිතර ඇසීම නිසා
ඔවුන් ද නොදැනුවත්වම ඒ පරුෂ වචන භාවිතයට පවා හුරු වෙනවා. එමෙන්ම සමාජ
ජීවිතය ද දෙමාපියන්ගේ මෙන්ම දරුවන්ගේද පහත් තත්වයට ඉබේම වාගේ පත්
වෙනවා. එවැනි දරුවන් පවා ළාබාල වියේ සිටම වැදගත් සත්පුරුෂ සමාජ
වටපිටාවෙන් දුරස් වෙනවා. මෙවැනි අහිතකර තත්ව රාශියක් ඇති වීම තුළ
සමාජයටද මෙවැනි නිවැසියන් හිරිහැරයක් බවට පත් වෙනවා. එපමණක් නොව
භාර්යාවගේ වධක ස්වරූපය නිසාම ඇතැම් අනුවණ ස්වාමිපුරුෂයන් වෙනත්
කාන්තාවන් පිටුපස යාම, ඔවුන්ට ඇලුම් කිරීම සමහර විට ගෙදර දැනෙන අසහනයට
විසඳුමක් යයි අනුවණ ලෙස සිතා එම පියවරු මත්වතුරට හුරුවීම වැනි තවත්
බොහෝ අහිතකර තත්වයන් උදාකර ගන්නවා. වධක භාර්යාවගෙන් නිදහස් වීමට.
කල්පනා කරන ඇතැම් ස්වාමිපුරුෂයෝ විවාහය දික්කසාද කර ගැනීමට පවා
පෙළඹෙනවා. මේ සියල්ලෙහිම අහිතකර වඩාත් භයානක ප්‍රතිඵල භුක්ති විඳීමට
සිදු වන්නේ මේ දෙමව්පියන්ට දාව මෙලොවට ජනිත වී අහිංසක දරු පැටවුන්ට යයි
කීවොත් වඩාත් නිවැරදිය කියා කියන්නට පුළුවනි.
චෞරිසම භාර්යාව
මේ අතර බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව චෞර හෙවත් “චෞර” භාර්යාව ගණයට
හෙවත් “චෞරිභරියා” වශයෙන් ගැනෙන කාන්තාවෝ ද ඉන්නවා. මෙබඳු ස්ත්‍රීන්ගේ
ස්වරූපයේ විශේෂ කැපීපෙනෙන ලක්ෂණයක් වන්නේ ස්වාමිපුරුෂයා බොහොම දුකසේ
කිසියම් රැකියාවක් වෙන්නට පුළුවන් . එසේත් නැත්නම් කය වෙහෙසා ගොවිතැනක්
, කුළී වැඩක්, වෙළෙඳාමක් කර්මාන්තයක් කර එයින් උපයා ගන්නා ධනය හෙවත්
වැටුප එක්කො භාර්යාවට දෙනවා. ගෙදරදොර වියදමට දූදරුවන්ගේ අවශ්‍යතාවන්ට
වැඩ කිරීමටය, එසේ වී නමුදු ඇතැම් මේ චෞර ගණයේ බිරින්දෑවරුන් ඒ මුදලින්
ක්‍රමානුකූලව ස්වාමිපුරුෂයාට දැනගත හැකි වන සේ හෝ දැන ගත හැකි නොවන සේ
සොර සිතින් තමන් සතු කර ගන්නවා. තමන්ගේ වෙනත් අවශ්‍යතා ඉටු කර ගැනීමට
හෝ තමන්ගේ මුල් ගෙදරදොර පරපුරේ අවශ්‍යතා ඉටු කරගැනීමට යොදා ගන්නවා.
එයින් සිදු වන්නේ කලක් ගතවන විට මේ අඹුසැමි යුවළ අතර විවිධ මතභේද
ඇතිවීමයි. ඔවුන්ගේ දෙපාර්ශ්වයේ දෙමාපියන් අතර පවා අසමඟිකම් ගොඩ
නැඟීමයි. තව පැත්තකින් බලන විට ගෙදරදොර කෑම බීම අවශ්‍යතාවන්, දරුවන්ගේ
අවශ්‍යතාවන් ඉටු කරගැනීමට අපොහොසත් වීමයි. මේ නිසාත් අවසාන ප්‍රතිඵලය
වන්නේ ඔවුනොවුන් අතර අසමඟිය දැඩි වීමෙන් පවුල් අවුල් වන තරමට ප්‍රශ්නය
දිග්ගැසීමයි.
ආර්යාසම භාර්යාව
මේ අතර බුදුරජාණන් වහන්සේ තවත් භාර්යාවකගේ ලක්ෂණ පැහැදිලි කරමින් එම
භාර්යාව ආර්යාසමභරියා”ලෙසම පෙන්වා දෙනවා. මේ භාර්යාව අතිශයින් අලස
හෙවත් කම්මැලි ස්වභාවයක් දක්වනවා. ගෙදර දොර හෝ දරුවන්ගේ කිසිදු වැඩක්
කරන්නට කැමැත්තක් දක්වන්නේ නැහැ. හැබැයි හොඳට රසට කෑම බීම බලාපොරොත්තු
වෙනවා .
ඒ සියල්ල තම ස්වාමිපුරුෂයා විසින් ඉටු කරදෙන්නට ඕන කියන හැඟීමෙන්
කටයුතු කරනවා. තම ස්වාමිපුරුෂයා දෙස හැමවිටම කිපුණූ, සැඩපරුෂ
ස්වභාවයකින් ක්‍රියා කරනවා. කියන වචන වුවත් බොහොම ගොරෝසු ස්වරූපයක්
දරනවා. එපමණක් නොව මේ තත්වය නිසා තම ස්වාමිපුරුෂයාගේ ධෛර්යවන්ත භාවයද
මර්දනය වෙනවා. ස්වාමිපුරුෂයාගේ සිතේ ලොකු කලකිරීමක් අප්‍රසාදයක් ඇති
වෙනවා. ඇය නිරතුරුවම තමන්ගේ ප්‍රධානත්වය නායකත්වය බලාපොරොත්තු වන අතර
ස්වාමිපුරුෂයා ලඝු කොට සිතා ඔහුගේ වචනයට යටත් නොවෙනවා කියන හැඟීමෙන්
ක්‍රියා කරනවා. ස්වාමිපුරුෂයාට අණ හෝ නියෝග දී තමන්ගෙ අවශ්‍යතා ඉටු
කරගැනීමටත් යොමු වෙනවා. මේ තත්ත්වය මැනවින් අප ජීවත්වන මේ සමාජයේද
දක්නට ලැබෙනවා. එපමණක් නොව සමහරවිට එබඳු භාර්යාව තමන්ගේ ස්වාමිපුරුෂයා
බාහිර සමාජ ජීවිතයේදී අනිත් අයට හඳුන්වා දීමටවත් අකැමැත්තක් දක්වන්නට
පුළුවනි. මේ තත්වයද පවුල් කඩාකප්පල් වීමට හේතු වෙනවා.
මෙම සත්තභරියා සුත්‍ර දේශනාවට අනුව ඉහත පෙන්වා දී ඇත්තේ තුන් වර්ගයකි.
මේ තුන් ආකාර භාර්යාවරු සාර්ථක අඹුසැමි ජීවිතයක් ගත කිරීමට අදාළ වන්නේ
නැහැ. මෙබඳු ගෙවල් දොරවල්වල නිරන්තරයෙන්ම දක්නට ලැබෙන්නේ දරුවන්ගේ
මානසික අසහනය හෝ ඔවුන් පසුකාලයේදි විවිධ මානසික ආබාධිත තත්ත්වයන්ට පත්ව
ජීවත්වන බවක්, එපමණක් නොව එවැනි කාන්තාවන් සමාජයේ නිරතුරුම ගර්හාවට ලක්
වෙනවා.
ඉතිරි කොටස වප් අව අටවක පෝදා (ඔක්තෝබර් 15 වනදා ) පත්‍රයේ පළවේ. |