වප් පුර පසළොස්වක 2014.10.08
චීවර මාසය
හේමන්ත, ගිම්හාන සහ වස්සාන වශයෙන් සෘතු තුනකට වසරේ මාස දොළහ
වෙන් කරනු ලැබේ. ඉන් වස්සාන සෘතුවේ වැසි සාර මාසයෙන් පළමු මාස
තුන තුළ අධිසිල් ලද ගෞරවනීය ස්වාමීන් වහන්සේ වස් එළඹ වැඩ සිටින
කාලයයි. ඇසළ පුර පසළොස්වක පොහොය දින පොහොය සීමාවට එක් රැස්වන
පූජනීය මහ සඟරුවන පොහොය විනය කර්මය සිදු කර ඇසළ අව පෑළවිය දා
වස් එළඹීමට අදිටන් කර ගනිති. මෙසේ වස්සාන සමය එළඹෙත්ම උවැසි
උවැසියෝ ස්වකීය වෙහෙර විහාර වෙත ගොස් දිනපතා සතිපතා ආගමික
වතාවත් හි නිරත වීම අතීතයේ සිට පැවැත එන උදාර බෞද්ධ
සම්ප්‍රදායකි. ඇසළ පුන් පෝදා හෝ ඊට පසු දින ස්වකීය
විහාරස්ථානයට ගොස් දැහැත් ගොටු මහ සඟරුවන වෙත පුදා මෙවර වස්සාන
සමය තුළ වස් එළඹ වැඩ සිටින්න යැයි ද දායක පක්ෂය විසින් ආරාධනා
කර ගෞරවනීය මහසඟරුවන වස් වසවා ගැනීම සිදු කළේය.
වස් කාලය තුළදී විහාරස්ථ දායක පිරිසෙහි ශක්ති ප්‍රමාණයෙන්
විහාරස්ථානයේ වස් වසා වැඩ සිටින ගරුතර ස්වාමීන් වහන්සේලා වෙත
උපස්ථාන කරති. එමෙන්ම මහ සඟරුවනෙහි අවවාද අනුශාසනා පරිදි
විහාරස්ථානයේ දී අන් කවර කාලවලටත් වඩා දෛනිකව හෝ සතිපතා ආගමික
වතාවත් විවිධාකාරව පවත්වති. ඒ අතර දිනපතා බුද්ධ වන්දනා, බෝධි
පූජා, ධර්ම දේශනා ආදී පින්කම් වේ.
එමෙන්ම වසරේ යෙදෙන වස්කාලය නිමිත්තෙන් දායක පිනැතියන්ගේ
පරිත්‍යාගයෙන් ඇතැම් විහාරස්ථානවල සමහරවිට නව විහාරාංග
ඉදිකරමින් එම වස් කාලය අනුස්මරණීය අයුරින් පින්දහම් සිදු
කිරීමට ද කටයුතු කරති. අද අවධානය යොමු කිරීමට අපේක්ෂා කරනුයේ
වස්සාන සමයේ චීවර මාසයේ දී පවත්වනු ලබන උදාර පින්කම පිළිබඳව
සිහිපත් කිරීමටය. වප් පුර පසළොස්වක පෝදා මහා සඟරුවන මහා පවාරණය
කරනු ලබන අතර එතැන් පටන් ඉල් පුර පසළොස්වක පොහොය දිනයෙන් චීවර
මාසය තුළ කඨින පින්කම් සිදු කරනු ලැබේ. කඨිනය යනු වටිනාම
පින්කමකි. කෙතෙක් ධනය, හැකියාව අවශ්‍යතාවය පැවැතියද කවර
ස්ථානයකදී වුවද වසරකට එක්වරක් පමණක් එක ස්ථානයක දී කළ හැකි
උදාර පින්කම නම් කඨින පින්කම වේ. ඒ නිසාම එම පින්කම කෙතරම්
වටිනා බලවත් පින්කමක් දැයි ඉන් පැහැදිලි වේ.
ඇතැම්විට යම් තැනැත්තකුට කඨින පින්කමක් සිදුකර ගැනීමට අවශ්‍ය
වූ පමණින් එම පින්කම සිදුකළ නොහැකිය. එනම් කඨින පින්කමක් සිදු
කර ගැනීමට වස් වසා වැඩ සිටින ස්වාමීන් වහන්සේද ස්වකීය වස්
විසීම වස්සඡේදනයකින් තොරවුවහොත් පමණක් කඨින පින්කම සිදු කර
ගැනීමේ හැකියාව පවතී. කඨින පින්කමෙහි ඇති බලවත්කම නැතහොත්
වටිනාකම කෙතෙක්දැයි මෙනෙහි කරන විට වෙසෙසින්ම ගිහි පැවිදි
දෙපක්ෂයට උදාර ආනිශංස රැසක් හිමිවන උතුම් පින්කමකි. දිනපතා
ගෙදර දොර පවතින එදිනෙදා කටයුතු කල්වේලා ඇතිව නිමාවට පත් කරමින්
ඇතැම් විට පස්වරුවේ දී විහාරස්ථානයේ පවත්වනු ලබන පින්කම්
මාලාවට නොවරදවා සහභාගිවීමට අපේක්ෂා කරති. එම කාලය තුළ භික්ෂූන්
වහන්සේද දායක පක්ෂයෙහි සිත් සතන් ශ්‍රද්ධාවෙන් වර්ධනය කිරීමට
ඇප කැප වී කටයුතු කරති. තෙමසක පමණ කාලයක් මහත් බලාපොරොත්තු
රැසක් ඇති කර ගනිමින් පින්කම් මාලාවක නිරත වෙමින් මූලික
අපේක්ෂාව ලෙස වාර්ෂික කඨින පින්කම සිදු කර ගැනීමේ අපේක්ෂාවෙන්
පසු වේ. එම අපේක්ෂාවට අනුව වප් පුර පසළොස්වක පොහොය දිනයෙන්
පසුව ඒ උදාර කඨින මහ පින්කම සිදුකර ගැනීමට අවස්ථාව උදා වී ඇත.
මසක් තුළ වසරක් පුරා අපේක්ෂා කළ වටිනා පින්කම වූ කඨින පින්කම
සිදු කිරීමේ දී පෞරාණික චාරිත්‍ර විධි අඛණ්ඩව සිදු කිරීමද
විශේෂත්වයකි. විහාරස්ථානයක දායක ගම්මාන කීපයක් පැවැතිය හැකිය.
ඇතැම්විට එක් ගම්මානයක් පමණක් විය හැකිය. ඒ අතර ගම්වැසියන්
සියලුම දෙනා කල්පනා කරනුයේ ගමේම ජනතාව ඒ සඳහා දායක විය යුතු
බවයි. ඕනෑම පිනක් සිදුකර ගැනීමට තම ශක්ති පමණින් හැකියාව පවතී.
බොහෝ දෙනා කඨින පින්කම සිදු කිරීමේ දී ගමපුරා නිවසක් පාසා ඒ බව
දැනුම් දෙනු ලබන්නේ ද ගම්වැසියන් සියලු දෙනා ඊට සහභාගි කරවා
ගැනීමේ අපේක්ෂාවෙනි. ඇතැම් විට වසරේ එක් වතාවක් පමණක් පවත්වනු
ලබන එම වටිනා පින්කම ආරංචියෙන් දැනගත් පමණින් ඊට දායකත්වය
සපයනු ලබන්නේ ද එහි ඇති වටිනාකම, අගය මැනවින් තේරුම් ගෙන ඇති
හෙයිනි.
කඨින චීවරය රැගත් පෙරහර ගම වටා සංචාරය කරමින් ලොකු කුඩා සියලු
දෙනා ඊට සහභාගි කරවා ගත යුතු ය. ගමත් පන්සලත් අතර පවතින
සුහදතාවය වර්ධනය වීමටද එය එක් හේතුවක් ද වේ. එමෙන්ම ගමේ සියලු
වැසියන් එබඳු වටිනා පින්කම් සොයා ගොස් අත හිත දෙමින් සහභාගී
වීම මෙලොව පරලොව දෙලොවටම වැඩදායක ක්‍රියාවක් වනු ඇත. |